ඕනෑම කාන්තාවක් තරුණ වියට පා තබත්ම විවාහය ගැන සිතන්නට පෙළඹෙයි. එලෙසම ඇය සිය සහකරු ගැනත්, ඔහු කොහොම කෙනෙක් වේවිද යන්නත් සිතන්නට පෙළඹෙයි. කෙසේ නමුත් විවාහය සිදුවන තුරුම ඇය මේ සිතුවිලි අතර සැරිසරයි. එහෙත් ඊට නිසි පිළිතුරක් ඇයට හමුනොවන බව පැහැදිලිය. එනිසා තරුණියකට සිය ජන්ම පත්‍රය තමන්ම බලාගෙන සිය අනාගත සහකරු ගැන දැනගන්නට පහසු ක්‍රමයක් පැහදාදීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා තම උත්පත්ති කේන්දරයේ හත්වැනි කොටුව පරීක්ෂා කර බැලිය යුතුය. එහි සිටින ග්‍රහයා කවුරුන්ද යන්න හඳුනාගෙන, පහත සඳහන් ආකාරයට තම අනාගත සහකරු පිළිබඳව තේරුම් ගැනීමට පහසුවනු ඇත.
රවි ග්‍රහයා හත්වැන්නේ සිටින තරුණියකට හමුවන්නේ, තලෙළු පැහැ සිරුරක් ඇති හැඩි දැඩි කඩවසම් සහකරුවෙකි. කෙළින් තීරණ ගන්නා අන් අය සමඟ හරි හරියට වැඩ කරනා ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියක් ඇති ඔහු සියල්ල ජයගන්නා තැනැත්තෙකි.
යම් කේන්දරයක හත්වැන්නේ සඳු පිහිටා ඇත්නම් නම්‍යශීලී අදහස් සහ හැසිරීම් ඇති ඉක්මනින් කේන්ති නොගන්නා, ගුණ යහපත් සහකරුවකු ලබන්නට වාසනාව ලැබේ. ඉතා අවංක ආදරයක් සිත තුළ ඇතත්, කලබල වැඩවලට ප්‍රිය නොකරන ඔහු නිතරම නිදහස ප්‍රිය කරන පුද්ගලයකු වෙයි. ඉවසීමෙන් ප්‍රශ්න විසඳගන්නට සමතෙකි.
කුජ ග්‍රහයා තම කේන්දරයේ හත්වැන්නේ සිටීනම් ඇයට ලැබෙන්නේ හැඩිදැඩි සිරුරක් ඇති සහකරුවෙකි. ඉවසීම අඩු කාය ශක්තිය සහ කාමාශාව අධික මෙම සහකරු තරමක් ප්රචණ්ඩ පුද්ගලයකු වීමටද ඉඩකඩ ඇත.
බුධ හතේ සිටින තරුණියට මධ්‍යස්ථ සිරුරක් හිමි සාමාන්‍ය තරුණයකු හා විවාහ වීමට වාසනාව තිබේ. මේ සහකරුවන්ගේ කෙස් තරමක් රැලි සහිත වෙයි. මොහු තුන්කල් දකින, නුවණ නිසාම ජීවිතයේ බොහෝ බාධක අභියෝග ජයගන්නා අයෙකි.
යම් තරුණියකගේ හඳහනේ හත්වැන්නේ ගුරු ග්‍රහයා තැන්පත්ව සිටී නම් තම බිරියට පණමෙන් ආදරය කරන කරුණාවන්ත සහකරුවකු ලැබේ. ධනයෙන්, ගුණයෙන් මෙන්ම බුද්ධියෙන්ද අංගසම්පූර්ණ ඔහු ඇයට සතුට සාදන්නෙකි. එසේම එවන් තරුණියට දුප්පත් වුවද විවාහයෙන් පසු ධනවත් වීමේ වාසනාව ලැබේ.
සිකුරු හත්වැන්නේ පිහිටි තරුණියකට ලැබෙන්නේ කලාකාමී අදහස් ඇති විනෝදයට බර හැඩට, වැඩට, අඳින – පලඳින ප්‍රියමනාප කෙලිලොල් සැමියෙකි. තරුණියද තරමක් රාගාධික කෙළිලොල් තැනැත්තියක නිසා දෙදෙනාට සතුටින් දිවි ගෙවිය හැකිය.
හත් වැන්නේ සිටින්නේ ශනි නම් ඇයට හිමි වන්නේ වෙහෙස නොබලා වැඩ කරන කාර්ය ශූර සැමියෙකි. ඔහු අත-පය දිගු කෙසඟ සිරුරක් හිමි අයකු වෙයි.
යම් ස්ත්‍රියකගේ හත්වැන්නේ රාහු සිටීනම් නිතර ගමනේ යෙදෙන, තැන, තැන රැකියා කරන අයකු සහකරු ලෙස ලැබේ. දුරදිග නොසිතන ඔහු නිතර පාඩු සිදුකර ගන්නා අයෙකි.
කේන්දරයේ හත්වැන්නේ කේතු පිහිටා ඇත්නම් ඇයට ලැබෙන සැමියා නිතරම සැකෙන් පසුවන්නෙකි. එනිසාම පවුල් ජීවිතයද අවුල්කර ගන්නට වුවද ඉඩ තිබේ.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











