වර්තමාන ජන සමාජය වූ කලී අතිශයින් සංකීර්ණ මෙන්ම කාර්යබහුල වූ සමාජයකි. එසේම නූතනයේ තාක්ෂණයේ දියුණුවත් සමඟින් අපට සිතාගත නොහැකි පුදුම නිර්මාණයන් දිනෙන් දින බිහිවෙමින් පවතී. එම සමාජය තුළ මිනිසාද අතිශය සංකීර්ණ කාර්යයබහුල ජීවිත ගතකරමින් සිටී. මෙම කරුණු කාරණා තුළින් අපගේ සංස්කෘතියත් සමඟින් බැඳී පවතින ඉපැරැණි කෙම් ක්‍රම නූතනයේ ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. නමුත් මිනිසා කොතරම් දියුණු වුවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් සමඟින් බැඳී පවතින ඉපැරැණි කෙම් ක්‍රම පිළිබඳව අදටත් නූතන සමාජයේ ප්‍රමුඛ පිළිගැනීමක් පවතින බව අපට ජ්‍යොතිෂ ක්‍ෂේත්‍රයේ නිරත වීමේදී බහුලව දක්නට ලැබේ. එම ඉපැරැණි කෙම් ක්‍රම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව ඕනෑ තරම් උදාහරණ අප සතුව ඇත. ඒවා ඉතාමත් සත්‍ය වූ කරුණු බව ඒවායින් ලැබූ ප්‍රතිඵල මත නිගමනය කළ හැකිය. එවන් වූ ප්‍රතිඵල සහිත කෙම් ක්‍රමයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
වත්මන් සමාජය තුළ ඇස්වහ, කටවහ දොස් පිළිබඳ නිතර කතාබහක් පවතී. විශේෂයෙන් ඇස්වහ, කටවහ හේතුවෙන් විවිධාකාරයේ ආබාධ තත්ත්වයන් ඇති වීම අපට නිතර දැකගත හැකිය. සමාජයේ මේ පිළිබඳව මේ ආකාරයේ කතාබහක් අපට අසන්නට ලැබේ. “කිසිම දියුණුවක් නැහැ. කරන දෙයක් හරියන්නේ නැහැ. දෙහි ටිකක්වත් කපාගන්න ඕනේ.” මේ නිතර අපට අසන්නට ලැබෙන දේවල්. ඇස්වහ කටවහ දෝස නිසා වගා පාළුවීම්, නිරෝගී අය රෝගීවීම්, සතා සිවුපාවා විනාශ වී යෑම, ව්‍යාපාර නොසිතූවිට ඇදවැටීම අපට බොහෝ විට දක්නට ලැබෙනවා.
ඇස්වහ, කටවහ දොස් සරලව හා පහසුවෙන් ඔබටම ඔබගේ නිවසේදීම ඉවත් කරගත හැකි ඉතාමත් සරල කෙම් ක්‍රමයක් ඉපැරැණි ග්‍රන්ථයකින් ඔබ වෙනුවෙන් උපුටා දැක්වීමට අපට හැකි විය. ඒ අනුව ‘කේන්දරේ’ පාඨක ඔබ වෙනුවෙන් එම කෙම් ක්‍රමය පහත සඳහන් වෙයි. මෙහි විශේෂත්වය මෙය ලොකු, කුඩා සැමටම එකසේ ගැළපෙන තැඹිලි ගෙඩියක් භාවිතයෙන් කරන්නා වූ කෙම් ක්‍රමයක් වීමයි. මෙය ඔබට ඔබගේ නිවසේදීම පහසුවෙන් කරගත හැකිය. එවැනි ඇස්වහ, කටවහ දොස් ඇත්නම් බොහෝ ප්‍රතිඵල සහිත මෙම කෙම් ක්‍රමය ඔබත් කර බලන්න. ප්‍රතිඵල සහතිකයි.
අවශ්‍ය ද්‍රව්‍ය
තැඹිලි ගෙඩියක්, අබ, ගොරක, කහ, ලුණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පය බැගින්, කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක්.
සෙනසුරාදා දිනෙක රාත්‍රී හතයි තිහට පමණ ලොකු තැඹිලි ගෙඩියක ඇස්ස කපා වතුර ඉවත් කර ඒ තුළට අබ, ගොරක, කහ, ලුණු, කපු ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පය බැගින් දමා කොළ හතක් ඇති දෙහි අතු කැබැල්ලක්ද දමා යළි තැඹිලි වතුර පුරවා ඉරිදාට එළිවන අලුයම මේ මන්තරයෙන් 21 වරක් හෝ 108 වරක් ජප කරගන්න.
‘ඕං කීකරු, නොකීකරු, දුටුකරු, නොදුටුකරු, ඇස්වහ, කටවහ, (ඉන්පසූ අදාළ පුද්ගලයාගේ නම කියා) අද හිටන් නෑ’ යනුවෙන් ජප කරන්න.
පසුව එම දියර ශරීරයේ පිටතින් ගෑමටත්, ගෙයි ඉසීමටත් සුදුසු වෙයි. (මෙය සම පිට රෝග ඇති අයටද වඩා හොඳයි)
කුඩා දරුවන්ගේ ඇතිවන ඇස්වහ, කටවහ දෝෂවලදී දෙහිගැට තුනක්, තැඹිලි ගෙඩියකට දමා,
‘සං…සං…සං…’
යන්න 21 වරක් මතුරා දරුවා එම දියරෙන් සෝදන්න. මෙය බදාදා දිනෙක උදේ 6, 7 හෝ රාත්‍රී 8, 9 අතර කාලයේදී කිරීමෙන් සියලු ඇස්වහ, කටවහ දුරු වෙයි.
ඉහත සඳහන් ආකාරයට මෙම කෙම් ක්‍රමය කිරීම තුළින් ඔබටත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











