“අපි ප්ලෑන් කරන්නේ මොනවා හරි දෙයක් සාර්ථක වුණාම ඒක සමරන්න විතරයි. ඒත් අහම්බෙන් කවුරුහරි අසමත් වුණොත් ඒ අසාර්ථකත්වය දරාගන්නෙ කොහොමද කියල අපි කියල දෙන්නෙ නෑ. අඩුම තරමේ ඒ ගැන කතා කරන්නවත් යන්නේ නෑ” Chhichhore චිත්‍රපටයෙදි රෝහලේ අසාධ්‍යව සිටින තම පුතාව බලන්න එන යාළුවන්ට එහෙම කියන සුශාන්ත් සිං රාජ්පුත්ගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර ඇත්ත ජීවිතයෙදි මුම්බාහිවල සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී පහුගියදා සොයාගන්නව. චිත්‍රපටවලින් මවන ලෝකය මහ පොළොව තුළ ඇත්ත වෙන්නෙ නෑ කියල එයින් ඔහු මුළු ලෝකෙටම කියල දෙන්නෙ නරක පූර්වාදර්ශයකුත් එක්ක.
කොහොම වුණත් මේ ගෙවීයන කාලය සමස්ත ඉන්දියාවට මෙන්ම බොලිවුඩයටද ඉතාම නරක කාලයක්. මීට මාසයකට විතර කලින් ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් තම දිවි රඟ මඩලෙන් බැහැල යනකොට ඒ ලිස්ට් එකට අලුතෙන්ම එක්වෙන්නෙ 34 හැවිරිදි සුශාන්ත් සිං රාජ්පුත්. හැබැයි මේක ස්වාභාවික මරණයක් වෙන්නෙ නෑ. තවමත් හරි හැටි හේතුවක් සොයාගන්න බැරිව තියෙන මේ මරණය සැලකෙන්නෙ සියදිවි හානිකර ගැනීමක් විදිහට.
සුශාන්ත් සිං රාජ්පුත් ඉපදෙන්නේ 1986 අවුරුද්දේ ජනවාරි 27 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නාවල. පැට්නාවල සෙන්ට් කැරන් හයිස්කූල් එකෙන් වගේම නව දිල්ලියේ කුලාචි හන්ස්රාජ් මොඞ්ල් ස්කූල් එකෙනුත් සුශාන්ත් අධ්‍යාපනය හදාරනවා. තේරෙන කාලෙ ඉඳලම වේදිකා නාට්‍යවලටයි, ඩාන්සිංවලටයි තියෙන ආශාව නිසා සුශාන්ත් මුම්බායිවලට එන්නෙ ඇක්ටිංවලට චාන්ස් එකක් හොයාගෙන. එහෙම ඇවිත් පොඩි පොඩි වේදිකා නාට්‍ය කෑලි, වෙළෙඳ දැන්වීම්වලට වගේ පෙනී ඉන්නවා. මේවයින් තමයි සුශාන්ත්ට ටෙලිනාට්‍ය පැත්තට යන්න අවස්ථාවක් උදාවෙන්නෙ.
චේතන් භගත්ගේ ‘The 3 Mistakes of My Lifez’ නවල් එකෙන් අභිෂේක් කපූර් කරන ‘Kai Po Che’ ෆිල්ම් එකෙන් තමයි සුශාන්ත් ෆිල්ම්ස්වලට අවතීර්ණ වෙන්නේ. හැබැයි සුශාන්ත්ව මුළු ඉන්දියාවම හඳුනගන්නෙ බොක්ස්ඔෆිස් ෆිල්ම් එකක් වෙච්ච ‘ඡණ’ වලින්. සුශාන්ත් ඒකෙ පොඩි කැරැක්ට් එකක් කළාට චිත්‍රපටය ලබන ජනප්‍රියතාව නිසා මුළු ඉන්දියාවම හඳුනන චරිතයක් බවට සුශාන්ත් පත්වෙනව.
සුශාන්ත්ට ප්‍රධාන නළුවෙක්ගෙ චරිතයක් කරන්න ලැබෙන්නෙ 2016දී. ඒ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාවෙන් හැදෙන ‘M.S. Dhoni (The Untold Story’ ෆිල්ම් එකෙන්. 2011 ලංකාව පරාජය වෙන වර්ල්ඞ් කප් ෆයිනල් එක පදනම් කරගෙන නිපදවපු මේ චිත්‍රපටය ක්‍රිකට් ආගමක් විදිහට අදහන ඉන්දියාවෙ ඉතාම ජනප්‍රිය වෙනව. මේක ආදායම් වාර්තා පිහිටවපු චිත්‍රපටයක් බවට පත්වෙනව. කෙසේ වෙතත් ඉන්දීය සිනමාව තුළ දිගු ගමනකට හිමිකම් කීමට අවස්ථාව තිබූ සුශාන්ත් අවසානයේ නික්ම යන්නෙ Shuddh Desi Romance (2013), Detective Byomkesh Bakshy (2015), PK (2014), MS Dhoni: The Untold Story (2016), Kedarnath (2018), Chhichhore (2019) වැනි අතලොස්සක් නිර්මාණ ඉදිරියේ තම නම සටහන් කරගෙන.
සුශාන්ත් මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකද්ද කියන එක මේ ලියන මොහොත වන විටත් පැහැදිලි නෑ. නමුත් දැනට මාස හයකට කලින් ඉඳලා සුශාන්ත් විෂාද තත්ත්වයකින් පීඩා විඳලා තියෙනවා කියන එක මේ වෙනකොට ඉන්දියාවේ බොහෝ මාධ්‍ය හෙළිකරල තියෙනවා. සුශාන්ත්ගේ හිටපු මැනේජර් දිෂා සාලියාන් පහුගිය ජූනි අටවෙනිදා තට්ටු දාහතරක උඩකින් පල්ලෙහාට පැනලා සියදිවි හානිකර ගන්නව.
2014 තිරගත වුණු pk චිත්‍රපටයෙ ගොඩක් ජනප්‍රිය වූ ගීතයක් වෙන්නෙ “චාර් කදම් බස් චාර් කදම්” ගීතය. මේ චිත්‍රපටයෙ සුශාන්ත් රඟපාන්නෙ අනුශ්කා ෂර්මගෙ පෙම්වතා විදිහට. ගීතයෙන් සුශාන්ත් කියන්නෙ අපි පියවර හතරක් ඉදිරියට යමු කියලා. නමුත් අනුශ්කාට ඕන මුළු ජීවිතයම ඉදිරියට යන්න.
එහෙම කියපු සුශාන්ත් අද වෙනකොට අනුශ්කාව විතරක් නෙමෙයි මුළු බොලිවුඩයම දාලා යන්න ගිහින්.
ඉන්දික වික්‍රමරත්න











