දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය විසින් නිර්දේශ කර තිබේ. Sri Lanka Latest News
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකර ඇති අදාළ නිර්දේශය මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් උත්පලවන්නා ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායකවරයා වෙත අද (26) දිනයේ දැනුම් දී ඇති බව වාර්තා වේ.
දෙවිනුවර විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙන අතර එහි කාවඩි නර්තන අංගය සහිත පෙරහැර ලබන 28 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.
අදාළ පෙරහර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, ජාතික බුද්ධි සේවාව සහ පොලිස් විශේෂ කාර්යංශය සිදුකළ බුද්ධි තක්සේරු වාර්තා අනුව සංවිධායකයින් සහ නර්තන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ දිනයෙහි පැවැත්වෙන කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට තරයේ නිර්දේශ කරන බව පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එම ලිඛිත දැනුම් දීමට අනුව මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් අද දිනයේ දී ඒ පිළිබඳව දෙවිනුවර උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.










