සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, මෙරට කොවිඞ්-19 රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන කොළඹ නැඟෙනහිර මූලික රෝහලට පූර්ණ පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකයක් ඉදිකිරීමට පසුගියදා කටයුතු ආරම්භ කළේය. වසංගත තත්ත්වයට ගොදුරු වූ ජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා එම රෝහල සතු පහසුකම් මෙම දැඩිසත්කාර ඒකකය මගින් තවදුරටත් ශක්තිමත් කෙරේ.
දැඩිසත්කාර ඒකකය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සෙලාන් බැංකුවත්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.
ශ්‍රී ලංකා රජයේ නිර්දේශ අනුව කොළඹ නැඟෙනහිර රෝහල කොවිඞ්-19 රෝගීන් සඳහාම වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරිණි. ඒ අනුව, එම රෝගී තත්ත්වය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් හට ප්‍රතිකාර ලබා දීම සඳහා දැඩිසත්කාර ඒකකයක අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගත් සෙලාන් බැංකුව එම සහයෝගය ලබාදීමට ඉදිරිපත් විය.
කොවිඞ්-19 සටන සඳහා සෙලාන් බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් සිය දිනක වැටුප පරිත්‍යාග කිරීමට නොමසුරුව කටයුතු කළ අතර එම මුදලට සමාන මුදලකින් සෙලාන් බැංකුවද දායක විය. එලෙස එක්රැස් වූ අරමුදල් හරහා මේවන විට සෙලාන් බැංකුව විවිධ වැඩසටහන් රැසක් මෙරට ජනතාව වෙනුවෙන් දියත් කිරීමට කටයුතු කර තිබේ.











