රූස්ස ශාකයකින් ලබා ගන්නා රුද්‍රාක්‍ෂ බීජය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා අතර ප්‍රචලිත වන්නේ භාවනාවට පහසුව සඳහා යොදා ගන්නා නවගුණ වැල නිසාය. එම නවගුණ වැලට රුද්‍රාක්‍ෂ 108ක් භාවිත කරයි. රුද්‍රාක්‍ෂ බීජය නිල් පැහැති පොත්තකින් යුතු බීජයකි. එම බීජයේ මුහුණු හෙවත් මුඛී පැවැතීම තුළින් රුද්‍රාක්‍ෂ බීජය අනෙකුත් බීජ අතර විශේෂ වෙයි. මෙම මුහුණු එක් මුඛී සිට විසි එක් මුඛී තෙක් බහුලව පවතී. විසි එක් මුඛීවලටත් වඩා මුහුණු ඇති රුද්‍රාක්‍ෂද කලාතුරකින් හමුවූ අවස්ථා නැතුවා නොවේ. එකිනෙක බද්ධ වූ රුද්‍රාක්‍ෂද, රුද්‍රාක්‍ෂ අතර කලාතුරකින් හමුවෙයි.
ශිව දෙවියන් මිනිසුන්ගේ දුක අසා, ශිව දෙවියන්ගේ ඇසින් වැටුණු කඳුළුවලින් හටගත් යැයි පිළිගැනෙන මෙම රුද්‍රාක්‍ෂ බීජයට ශිව දෙවියන්ගේ ආකර්ෂණය නිතැතින් හිමිවෙයි. ඊට අමතරව බ්‍රහ්ම, විෂ්ණු, පාර්වතී, කාලි වැනි තවත් දෙවි දේවතාවුන්ගේ බලය, ආකර්ෂණයද මෙම රුද්‍රාක්‍ෂවලට හිමි වෙයි. නියමිත ස්තෝත්‍රවලින් ජප කළ රුද්‍රාක්‍ෂයන් ශරීරයේ ස්පර්ශ වන ලෙස පැලඳීම මඟින් දුක්-කරදර, රෝග පීඩා, ප්‍රශ්න ආදී බොහෝ දුර්විපාක නැතිවී ජන්මියාගේ ජීවිතයට සහන උදාවන බවද පිළිගැනීමයි.
මෙම රුද්‍රාක්‍ෂ පැලඳීමේදී තමන්ගේ ලග්නය, ජන්ම චක්‍රය තුළ අපල කරන ග්‍රහයන් මෙන්ම අංක විiාවට අනුව තමන්ගේ ජන්ම අංකය හා දැනට පවතින දශාවටද අදාළව රුද්‍රාක්‍ෂ පලඳිති. අංක විiාවට අනුව පුද්ගලයකුගේ ජන්ම අංකය එම පුද්ගලයා සම්බන්ධ බොහෝ තතු පවසයි. උපන් වර්ෂය, උපන් මාසය හා උපන් දිනය තනි අංකයක් වන සේ එකට එකතුකර ලැබෙන ජන්ම අංකය අංක 3 නම් එවන් ජන්මීන් පංචමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීමෙන් බොහෝ සුබපල, වාසි අත්වනු ඇත. එමෙන්ම ජන්ම අංකය, අංක 6 වැනි ජන්මීන් සයමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම සුබපල තීව්‍ර කිරීමට හේතු වෙයි. ඒ නිසා පංචමුඛී රුද්‍රාක්‍ෂය හා සයමුඛී රුද්‍රාක්‍ෂය පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරමු. රුද්‍රාක්‍ෂ පිළිබඳ අධ්‍යයනයට ප්‍රථමව ජන්ම අංකය සොයන ආකාරය බලමු.
ජන්මියාගේ උපන් දිනය :- 1978 – 01 – 07
1 + 9 + 7 + 8 + 1 + 7 = 33 = 3 + 3 = 6
මෙම ජන්මියාගේ ජය අංකය හෙවත් ජන්ම අංකය 6 වෙයි.
රුද්‍රාක්‍ෂ අධ්‍යයනයේදී පළමුව පංචමුඛී රුද්‍රාක්‍ෂය ගැන සොයා බලමු. පංචමුඛී රුද්‍රාක්‍ෂය මුහුණු පහකින් යුතු රුද්‍රාක්‍ෂයකි. මෙම රුද්‍රාක්‍ෂය ග්‍රහ ලොව විශාලම ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි. ජන්ම පත්‍රය තුළ ගුරු ග්‍රහයාගෙන් යෙදෙන අපල සඳහා මෙම රුද්‍රාක්‍ෂය සහන උදාකරයි. පංචමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීමෙන් සිතේ සතුට ඇති වන අතර, මානසික අසහනය මෙන්ම කේන්තියද නැති වී යයි. ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලබන මෙම පංචමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම මඟින් සහජ දක්‍ෂතා, සහජ කුසලතා ඔප්නැංවීම සිදුවෙයි. මෙම පංචමුඛී රුද්‍රාක්‍ෂය ශිව ස්තෝත්‍ර මඟින් ජප කර පැලඳීම මගින් ඉහත සුබපල නියතව ලැබේ. පංචමුඛී රුද්‍රාක්‍ෂය හුදෙක් පලඳනාවක් පමණක් නොව රෝග ගණනාවක් නිරාකරණය කරන ඖෂධයක්ද වෙයි. මධුමේහය, අත්‍යාතතිය වැනි බෝ නොවන රෝග ගණනාවකට සුවය අත්පත්කර දෙයි.
මෙම පංචමුඛී රුද්‍රාක්‍ෂය ධනු හා මීන ලග්න හිමියන්ට බොහෝ සුබපල අත්කර දෙනු ඇත. ඊට අමතරව පංචමුඛී රුද්‍රාක්‍ෂය පුනාවස, විසා, පුවපුටුප යන ජන්ම නැකැත් තුනෙන් එකක් හිමි ජන්මියකු පැලඳීමෙන් බොහෝ සුබපල අත්වනු ඇත. ජන්ම අංකය 3 වැනි පුද්ගලයන්ට මෙම රුද්‍රාක්‍ෂය ඉතා වැදගත් වෙයි. එමෙන්ම 3 වැනි දාවක, 12 වැනි දාවක, 21 වැනි දාවක හෝ 30 වැනි දාවක උපන් ජන්මීන්ටද මෙම පංචමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම බොහෝ වාසිදායක වෙයි.
මුහුණු හයක් සහිත සයමුඛී රුද්‍රාක්‍ෂය ග්‍රහ ලොව කුමරිය වන සිකුරු ග්‍රහයාට අයිති රුද්‍රාක්‍ෂයයි. ජන්ම පත්‍රය තුළ සිකුරු නීච වී, අස්ථ වී හෝ පාප දෘෂ්ටි දී ඇති වන අපල සමනයට මෙම රුද්‍රාක්‍ෂය මහෝපකාරී වෙයි. කඳසුරිඳුන්ගේ ආශීර්වාදය, බැල්ම, ආකර්ෂණය ලැබෙන මෙම රුද්‍රාක්‍ෂය පැලඳීමෙන් සිතේ සතුට, ධන ලාභ මෙන්ම නිරෝගීකමද ඇති වෙයි. තවද මෙම රුද්‍රාක්‍ෂයට ගණ දෙවියන්ගේද ආකර්ෂණය හිමි වෙයි. සිකුරු ග්‍රහයාගෙන් නියෝජනය කරන ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය වැනි සියලුම දේ සඳහා සුබපල උදාකරයි. විවාහ ප්‍රමාද වීම නැති වී යයි. විවාහ ජීවිතයේ තිබූ ප්‍රශ්න, ලිංගික ගැටලු සමනය වෙයි. කලාවට සම්බන්ධ අයටද බොහෝ සුබපල අත්කර දෙන රුද්‍රාක්‍ෂයක් ලෙස සයමුඛී රුද්‍රාක්‍ෂය දැක්විය හැකිය. ලග්න දොළසෙන් මිථුන, මකර හා කුම්භ යන ලග්න හිමියන්ට සයමුඛී රුද්‍රාක්‍ෂය අයිති වෙයි. ජන්ම අංකය 6 වූවන්ට හා උපන් දවස 6 වැනිදා, 15 වැනිදා, 24 වැනිදා වන්නෙකුටද මෙම සයමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීමෙන් බොහෝ වාසි අත්පත් කරගත හැකිය. සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරන, බෙරණ, පුවපල්, පුවසල යන ජන්ම නැකැත් හිමියන්ටද සයමුඛී රුද්‍රාක්‍ෂය බොහෝ සුබපල ගෙන දෙනු ඇත.
පංච මුඛී රුද්‍රාක්‍ෂය හා සයමුඛී රුද්‍රාක්‍ෂය ඔබත් පලඳා ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හා ශුක්‍රගෙන් උදාවන අපල දුරුකර ගන්න. එවිට ඔබට ධනවත් මෙන්ම සැපවත් ජීවිතයක් හිමිවනු නියතය.
ජ්‍යොතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී











