හනුමාන්ගේ වඳුරු
හමුදාවේ සහායෙන් රාවණා පරාජය කළ රාමා සීතාව ද රැගෙන අයෝධ්‍යා නුවරට ගියේය. වසර විස්සකට ආසන්න කාලයක් රාවණාගේ ග්‍රහණයේ සිටි සීතා කෙරෙහි රාමාගේ සිතෙහි එතරම් ප්‍රසාදයක් පැවතුණේ නැත. ඒ බව තේරුම් ගත් සීතා ගිනි දැල් මැදට වී පතිව්‍රතාවේ මහිමය පෙන්නුවාය. ඇය කොතරම් කරුණු කීවත් රාමා ඒ සියල්ල විශ්වාස නොකෙළේය. මාලිගාවේ සේවක කාරකාදීන්ගේ නොසරුප් කතා බහ ඒ අවිශ්වාසයේ ගින්නට පිදුරු එක් කෙළේය.”තී රාඝව රාජපරම්පරාවට කැළලකැයි”මුර ගෑ රාමා අන්තිමේ දී සිය බිරිය මාලිගාවෙන් පිටමං කෙළේය.
ඒ අවස්ථාව වන විට සීතා ගැබ්බරව සිටියාය. ඇය දිවි නසා නොගත්තේ එහෙයිනි. වන ගත වූ සීතා වනයේ විසූ වාල්මිකී ඍෂිවරයාගේ අසපුවට ගොස් වන සතුන් සමඟ විසුවාය. ඇයට ලැබුණු දරුවන් (පුත්‍රයන්) දෙදෙනාට වාල්මිකී ඍෂි ලව සහ කුස යන නම් තැබුවේය. දරුවන් දෙදෙනා අසපුවේ වැඩෙද්දී රාමා වියපත් වෙමින් සිටියේය. ඔහු නිතර සීතා ගැන කල්පනා කරමින් දුක් වින්දේය. අහිංසක ඇය කෙරෙහි නිකරුණේ සැක කළ බවට තමාටම දොස් පවරා ගත්තේය.
ඒ වන විට අශ්වමේධ යාගය පත්වන කාලය එළඹ තිබිණි. යාගයෙන් කෙරෙන්නේ දේශ දේශාන්තර හරහා දිවෙන ජව සම්පන්න අශ්වයකු මුදා හැරීමය. එම අශ්වයා නැවැත්විය හැක්කේ රජුට අභියෝග කළ හැකි කෙනකුට පමණි. රාමා විසින් මුදා හරින ලද සෛන්ධවයා කොලු ගැටවුන් දෙදෙනකු විසින් ගසක බැඳ ඇති බව අයෝධ්‍යාවේ වැසියන්ට දැනගන්නට ලැබිණි. රාම් ඒ පිළිබඳව සොයා බැලීමට හනුමාන් පිටත් කළේය. කොලු පැටවුන් දෙදෙනා හනුමාන්ද අල්ලා ගස් බැඳි බව රාමාට ආරංචි විය. සිදුවන්නේ කුමක් දැයි දැක ගනු රිසින් රාමා වනයට ගියේය. ඔහු දුටුවේ ගස් බැඳි හනුමාන්ට උසුළු විසුළු කරන කොල්ලන් දෙදෙනෙකි. උන් දෙදෙනා රාමා දුටුවත් ඒ ගැන වගේ වගක් නැතුව හනුමාන්ට ඔච්චම් කරන්ට විය. ඒ දුටු රාමාට යකා නැංගේය. මුන් දෙන්නා එක හී පාරකින්ම විද මරා දමමියි යන හැඟීමෙන් හීයක් තබා දුනු දිය ඇද්දේය.
“ඔය ඔබේ දරුවන් දෙදෙනා” යන සීතාගේ හඬ ඇසුණෙන් රාමා දුන්න හෙළා ඇය දෙස බැලුවේය. රාමාට සිය දරුවන් දෙදෙනාත් සීතාත් හමු විය. සිය පවුලම සමඟ රාමා අයෝධ්‍යාවට යාමට සූදානම් වූවේය. එහෙත් සීතා ඔහු සමඟ යෑමට අකැමැතිව අසපුවේම නැවතුණාය.
කාලය ගෙවී ගියේය. රාමායණයේ සඳහන් පරිදි විෂ්ණුගේ එක් වේශයක් (චරිතයක්) වශයෙන් මනු ලොවට පැමිණ සිටි රාම් හෙවත් රාමාට ආපසු දෙව් ලොවට යෑමට කාලය එළඹ තිබිණි. ඔහු ගිලන් වූවේය. ඒ පුවත හනුමාන් ගොස් සීතාට සැල කළ විට ඈ පැමිණියාය. තමා මනු ලොව හැර යා යුතු මොහොත පැමිණ ඇති බව රාම් ඇයට කීවේය. තමා ද මනු ලොවින් යා යුතු යැයි සීතා කීවාය.
සීතා (ජානකී) මනුස්ස දුවක් නො වූවාය. ඇය මහීකාන්තාවගෙන් (මිහි කත) ජනක රජුට දායාදයක් ලෙස ලද්දියකි. ජනක රජු සී සාද්දී මිහි කතගෙන් (පොළවෙන්) ලැබිණි. තමා මනු ලොවින් සමු ගත යුතු බව රාමා සීතාට කී කල්හි ඇයද මනු ලොවින් සමු ගත යුතු බව පවසා තමා තම මව වන මිහි කත කරා යන බවද කීවාය. තමාද රාමා සමඟ එන බව හනුමාන් කීවේය. එහෙත් රාමා හනුමාන්ට උපදෙස් දුන්නේ රාමා ගුණ ගයමින් මානව වර්ගයාට උදව් කරමින් මනුලොවම ජීවත් වන ලෙසටය.
සියල්ල එපරිද්දෙන්ම සිදු විය. රාම් දෙව් ලොව ගියේය. එසේ ගියේ සරයූ නදියේ ගිලී අතුරුදන් වීමෙනි. විවර වූ මහ පොළොවෙන් සීතා මිහි මව කරා ගියාය. හනුමාන් මිනිසුන්ට උදව් උපකාර කරමින් අදත් මනු ලොවේ වෙසෙන බව වාල්මිකී ඍෂි සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
රාම රාවණා කතාව පිළිබඳව මත දෙකකි. එකක් රාමායණය වාල්මිකීගේ ප්‍රබන්ධයක් මිස සත්‍ය කතාවක් නොවන බවයි. අනෙක රාවණා යන නමින් අදට වසර හත් අට දහසකට පෙර ලංකාපුරයේ පහළවූ මහ බලසම්පන්න නරනාථයාණ කෙනකු මෙරට පාලනය කළ බවයි.
සත්‍ය අසත්‍ය කුමක් හෝ වේවා ශ්‍රී ලංකාවේ වෙසෙන විශේෂයෙන් සිංහල දෙමළ ප්‍රජාවගේ සිත් සතන් තුළ පරම්පරාවෙන් පරම්පරාවට යුගයෙන් යුගයට අවිඡ්චින්නව, අඛණ්ඩව පවත්නා මේ පුරාවෘත්තයට අනුව ඈඳුණු බැඳුණු ස්ථාන ගම් බිම් විශාල ප්‍රමාණයක්ද තිබේ. බහුජන හිතාය වෙනුවෙන් ඒවාද දැනගත යුතුම වන්නේය.
සීතා සඟවා සිටි බවට සැලකෙන්නේ වර්තමානයේ නුවරඑළිය ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේ ඇති “රම්බොඩ” ප්‍රදේශය රාමා නිසා ඇතිවීලු. බොඩ බඩ යන්නෙන් සෑදුණු වචනයකි. බඩ යනු ආසන්නය වේ. කඳුබඩ, වෙරළබඩ, වැල්ල බඩ විමසත්වා. රම්බොඩ ප්‍රදේශය ආසන්නයේ පිහිටි එක් කඳු වැටියක් මිනිසකු උඩුබැල්ලෙන් නිදා සිටින ආකාරයක් ඈතට දිස්වේ. ප්‍රදේශ වාසීන්ගේ මතය ඒ හනුමා නිදා ගත් බව කියන කන්ද වේ. රාවණාගොඩකන්ද ප්‍රදේශය රාවණා නිතර ගැවසුණු ප්‍රදේශයක් බවද කියත්. රාවණා සිය දඬුමොනරයෙන් ගොඩ බටු ස්ථානය රාවණා ගොඩයි. තොටුපොළකන්ද දඬුමොනරය නැවැත් වූ ස්ථානයකි. තංගලල්ලේ සිට හම්බන්තොට දක්වා දිවෙන මහා මාර්ගයේ උස්සන්ගොඩ රතුපස්වල ප්‍රදේශයේද රාවණාගේ දඬුමොනරය බිමට බට තැනකි. එම ප්‍රදේශයේ පස් රතු පැහැයෙන් යුතු බව කියන්නේ එහෙයිනි. වාරියපොළ යනු වාතයෙන් ගමන් යන වාහනය නවත්වන ස්ථානය යන අරුතින් ඒ ප්‍රදේශයට ඒ නමපට බැඳුණේලු. මන්ද රාවණාගේ ප්‍රධාන ගුවන්තොටුපොළ වාරියපොළ තිබූ බැවිනි.
රාවණාගේ මල්වත්ත හක්ගල මල්වත්ත ලෙස සැලකේ. ලංකා පුරයේ අග නගරය හෙවත් රාවණා රාජ්‍යයේ අගනුවර ‘වේරගංතොට’වීලු. රාවණාගේ දඬුමොනරය නිර්මාණය කළ ප්‍රදේශය මොනරාගල වේ. මාලිගය පිහිටා තිබුණේ සියඹලාණ්ඩුව අම්පාර ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේ මහාරාවණාහුළ (හුළ යනු පන්දමය)’ ලෙසින් හැඳින්වෙන ගල්පර්වතයක් තිබේ. හනුමා සිය වල්ගයෙන් රාවණාගේ මාලිගයද ගිනිබත් කර රාමා හමුවට ගියේය. එසේ ගොස් ගිනි ගෙන දැවෙන මාලිගය දක්වා ‘අන්න රාවණාගෙ හුළ’ යැයි කීවේලු. එවක් පටන් ඒ ප්‍රදේශය එනමින් හැඳින්වේ.
රණ බිමේදී හීපහරක් කෑ ලක්ෂ්මණ මරණාසන්න වූවෙන් ඔහු සුවපත් කිරීම උදෙසා වෛද්‍ය උපදෙස් අනුව සංජීවනී ඖෂධය ගෙනෙන්නට හනුමාන් හිමාලය වනාන්තරයට ගියත් ඖෂධය නොහඳුනන බැවින් හෙතෙම ඖෂධය ඇතැයි සැලකෙන කඳුබෑවුමෙන් කොටසක් රැගෙන ආවේය. ඒ අවස්ථාවේදී ගාල්ල ප්‍රදේශයේදී කොටසක් උණා වැටුණේලු. එසේ වැටුණ කොටස අද උණවටුනය. රූරා වැටුණු කොටස රූමස්සලය. එසේ රූරා නො වැටී එල්ලී තිබූ බව කියන කොටස මාතර ප්‍රදේශයේ එළියකන්දය.
ලංකාපුරයට පැමිණි හනුමන්තා අල්වා ගත් රාවණා රජු උගේ වල්ගයේ පාන්කඩ ඔතා ගිනි තබන්නට අණ දුන්නේය. ගිනි ඇවිළුණු වල්ගය හතර අතේ වනා මුළු නගරයම ගිනි බත් කෙළේය. ඒ ගින්න ඉතා ඈත ප්‍රදේශවලට ද දර්ශනය විය. “අර නුවර පැත්තෙන් පේන එළිය මොකක්ද?” මිනිස්සු විමසූහ. අද ඒ ප්‍රදේශය නුවරඑළියයි. ගින්නට අසුවී පිලිස්සුණු ප්‍රදේශයට හෝර්ටන්තැන්න, තොටුපොළ කන්ද යන ප්‍රදේශ අයත් වේ. ඒ ප්‍රදේශවල පොළොවේ පස් අදත් කළු පැහැවී ඇත්තේ එ සේ පිලිස්සුණු නිසාවෙනි.
හනුමාගේ ක්‍රියාකාරකම් නිසා නම් පටබැඳී ඇති ස්ථාන බොහෝය.
හනුමා කොඩි දැමූ බව කියන පර්වතයක් මඩකලපුව ප්‍රදේශයේ ඇත. එය හඳුන්වන්නේ හනුමා කොඩිදැමූකන්ද ලෙසිනි. මන්නාරම සහ ඉන්දියාවේ රාමේස්වරම් අතර පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ ගැඹුරු මුහුදේ කෙනකුට පා ගමනින් යා හැකි වැලි තට්ටුවක් තිබේ. එය ලංකාපුරය තරණය කිරීම උදෙසා හනුමාන්ගේ ප්‍රධානත්වයෙන් වඳුරු හමුදාව ඉදි කළ වැලිපාලම බව කියති.
රාවණා විසින් සීතා උමඟක සඟවා තබන ලදී. පසුව සීතා ඉන් එළියට ආවාය. ඒ ප්‍රදේශය “සීතා එළියයි.” හෝර්ටන් තැන්නේ අශෝක මල් වැවෙන ප්‍රදේශය එදා සීතා සඟවා තැබූ “අශෝක වනයයි. ස්ථාන ගණනාවක ඇති උමං මාර්ග තුළ සීතා වරින් වර සඟවා තබා තිබේ.
රාවණාගොඩ කන්දේ උමං මාර්ගය, වැලිමඩ ස්ත්‍රීපුර කන්දේ සහ බණ්ඩාරවෙල සීතා ගුහා එවන් ස්ථාන ලෙස හැඳින්වේ. රාස්සගල ප්‍රදේශයේද සීතාගල නමින් හැඳින්වෙන පර්වතයක්ද තිබේ. රාවණා ඇල්ල යනු රාවණා දිය නෑ බව කියන ඇල්ල ඇති ප්‍රදේශයයි. එය සීතා ගුහාව ආසන්නයේ ඇත’රාවණාගේ සිරුර දිරාපත් නොවන්නට බෙහෙත් ගල්වා වලපනේ මහ කුඩුගල පර්වතයේ තැන්පත් කර ඇතැයි පැවසේ. වලපනේ යනු රාමා සිහි කරමින් සීතා වැලපුණු ස්ථානයලු. සිය පතිව්‍රතාව පිළිබඳව සපථ කරමින් දිවුරූ ස්ථානය ‘දිවුරුම්වෙල’ වේ. රාවණා විසින් තමා දඬුමොනරයෙන් පැහැරගනු ලැබ එන විට රාමාට මාර්ගය සොයා ගැනීම සඳහා තමා සන්තකයේ තිබූ අග්ගලා සීතා විසින් බිමට දැමූ බව කියත්. හෝර්ටන් තැන්නේ සහ ඒ අවට කීරිවත්ත ප්‍රදේශයෙන් හමුවන අළු පැහැයට හුරු පාෂාණ විශේෂය සීතා විසින් එසේ බිම හෙලූ බව කියන අග්ගලාය. ඒ පාෂාණ උරගා (උරච්චිකර) පානය කිරීමෙන් බඬේ අමාරු සුව වන බව ප්‍රකටය.
සීතා එළිය, මහ එළිය සහ කීරිවත්ත ප්‍රදේශයේ විල් සමීපයේ වැවෙන ළුැණු ‘විල්ළුැණු’ ලෙස හඳුන්වනු ලබත්. ඒවා සීතා විසින් ඉවත දමන ලද ආහාරමය ශාකවලින් පැළවුණු ඒවා බවද මතයකි. කැලණි ගඟේ වංගු සහිත ස්ථානයක (වක්කලමක) සීතා පැන් පහසු වී තිබේ. ගඟේ ඒ ඉසව්ව නිසා පසුව ප්‍රදේශය ම සීතාවක ලෙසින් පළ විය.
දකුණු මුහුදු තීරයේ මුහුදේ විශාල පර්වත දෙකක් මත රාවණාගේ බලකොටු දෙකක් තිබී ඇත. කුඩා රාවණා බලකොටුව සහ මහා රාවණා බලකොටුව ලෙසත් ඒ ගල් පර්වත දෙක හඳුන්වනු ලබන්නේ ඒ බලකොටු නිසාය.
රාම රාවණා සීතා සහ හනුමාන් යන චරිතවලට ඈඳුණු ස්ථාන බොහොමයක් තවත් තිබේ. එපමණක් නොව අපේ වන්නම්වලටද හනුමා වෙනුවෙන් එකක් එකතු වී තිබේ. වෛරොඩි හෙවත් හනුමා වන්නම එයයි. රාමා රාවණා සීතා සහ හනුමාන් ඇත්ත වශයෙන්ම නාම මාත්‍රචරිත විනා සජීවී චරිත නොවන බවද මතයකි. රාම සීතා හනුමාන් යන කවරකු හෝ කිසිදා ලංකාවට පැමිණද නැත. සිදුවී ඇත්තේ විශාල මානසික පෙරැළියක් ඇති කළ වාල්මිකී ඍෂිවරයාණන් රචනා කළ රාමායණ වීර කාව්‍ය දකුණු ඉන්දියානුවන් මෙහි ගෙනැවිත් රෝපණය කිරීමයි. දලු කොළ මල් දමා සශ්‍රීකව වැඩුණු ඒ පැළය යුගයෙන් යුගයට අවිඡ්චිණ්නව අඛණ්ඩව අවුත් ලාංකිකයන්ගේ සිත් සතන් තුළ අරටු බැස ලේ මස්වලට කැවී ජානගතව තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ











