අද සිදුවන විවාහයන් තුළදී පෝරු චාරිත්‍රයට පමණක් ඉතාම සුබ මුහුර්ති සකසා ගන්නා නමුත් එයින් පසු මධුසමය ගතකරන ජීවිතයේ ඉතාම වැදගත් වූ දෙවැනි උපත නමින් හැඳින්වෙන කාලපරාසය ගැන එතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන බවක් නොපෙනේ. අඹු – සැමි එක්වීමේදී ඉතාම සුබ ධනාත්මක හෝරාවක් තිබීම අනිවාර්ය වෙයි. පැරැණි නැකැත් ඇදුරන් මේ ගැන සලකා බලා සුවිශේෂී නැකැත් යොදාගන්නා ලදී. එපමණක් නොව මංගල දිනයේ නැකැත් සෑදීමේදී මනාලියගේ මවගේ උපදෙස් ලබා ගැනීම ගැන පෙර කල්හි වැදගත් මොහොතක් ලෙස සලකන ලදී. අද වන විට පෙම්වතුන්, පෙම්වතියන් තම හිතුමතේට හෝටලේ ඉඩකඩ ඇති වේලාවක් යොදා ගන්නා බැව් දැක්විය හැකිය.
මෙවැන්නක ප්‍රතිඵල අයහපත් වන බැව් දැන් දැක ඇත්තෙමු. ඒ පිළිබඳව ජ්‍යොතිෂවේදියා වගකිවයුතුයි. මනාලියගේ ඔසප් චක්‍රය හැසිරීමද අනිවාර්යයෙන්ම බැලිය යුතු වෙයි. අත්දැකීම් ඇති උගත් ජ්‍යොතිෂවේදියකුගෙන් ඉතාම ශ්‍රේෂ්ඨතම නැකැත් සකසා ගැනීමට හැකි වේවි. පරිගණකය නියමුවා වේ නම් ඒ ගැන කියනුම කවරේද? දෙදෙනාටම සම්පත් තිබීම මෛත්‍රී පරමමෛත්රි නැකැත් වේ නම් එදින කුමන අන්දමට හෝ දාරක බීජානු කළලයක් මනාලියගේ ගැබ තුළ රෝපණය වේ නම් උපදින දරුවාටද ඉතාම සුබදායක වෙයි. පංච මහා සම්පත්තියම හිමිවෙයි.
එකී සුබ මොහොත ගුරු හෝරාවෙහි පංචමය හා සූක්ෂ්ම හෝරාවක් නම් ඉතාම ප්රශස්තව යහපත් වනු ඇත.
ප්‍රථම එක්වීම අරබයා සොයාගනු ලබන සුබ මුහුර්තියන් පවතින වේලාවකම තිබිය යුතුවෙයි.
බුධ හෝ ගුරු සිකුරු තත්කාලයේ සිටීම ඉතා සුබයි. අති සාර්ථක යුග දිවියකට පෙරමඟ ලකුණකි.
7 වැන්නට සුබ ග්‍රහයන් දෙදෙනකු මැදිවී සිටීමත් සුබයි.
සඳු 3, 7, 10, 11 භාවයක සිටියදී ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියට ලක්වීම වඩාත්ම සුබයි.
සඳුට සුබ රාශියක්ව සුබ තැනක සිටියදී ගුරුට හා රවිට සඳු ත්‍රිකෝණ දෘෂ්ටිගත වීම වඩාත්ම සුබවෙයි.
ගුරු, සිකුරු, බුධ සමඟ යෝගවී හෝ ත්‍රිකෝණ පෙනීම ලබමින් සඳු සුබ රැසක සිටීමද යහපත්ය.
සඳු සිංහ නවාංශකයේ සිටි විට ධනු නවාංශකයේ හෝ මීන නවාංශකයේ හෝ සඳු සිටීම යහපත්ය.
එක්වන සුබ මොහොතේ තත්කාල කේන්දරයේ 7 වැන්නේ ගුරු, බුධ දෙදෙනා පමණක් සිටීමත් සුබයි.
සඳු, මිථුන, සිංහ කන්‍යා නවාංශකයක සිටින විටද සුබයි.
5 වැනි භාවයේ ගුරු, බුධ, ශුක්‍ර පමණක් සිටීමත් ඉතාම සුබයි.
ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ 5 වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු සිටීම ඉතාම සුබයි.
එකී මොහොතේ 8 වැන්නට බුධ, ශනි දෙදෙනා හැර වෙන කිසිම ග්‍රහයකු සිටීම සුබ නැත. 8 වැන්නේ ග්‍රහ රහිත බවද යහපත්ය.
ලග්නාධිපතියාත්, 4 වැන්නාධිපතියාත් තැන් දෙකක ස්ථාන මාරුවක් සිටින මොහොත ඉතාම සුබයි.
සඳු දුර්වලව පාප කර්තරීම හෝ පාපි පෙනීම ලබා හෝ සංයෝගීව සිටින මොහොත මංගල ප්‍රථම එක්වීම යුග දිවියට එතරම් සුබදායක නොවන බැව් දැක්වෙයි. මංගල දිනයේ අඹු-සැමි සම්බන්ධතාව පැවැත්වීමට අතිශයින්ම අසුබ ග්‍රහ හැසිරීම් හා සුබ නොව ග්‍රහයෝග පිළිබඳව ඉදිරියේදී කතා කරමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











