විශ්වාසය, වාසනාව, හඳුනාගැනීම හා යහපත යන වචනාර්ථය යෙදෙන විවාහය ඕනෑම ජන්මියකුගේ දෙවැනි උපත ලෙස සලකනු ලබයි. ඇතැමෙක් විවාහය නිසා දිනෙන් දින දියුණු වී සතුටෙන් ඉපිලෙන අතර, ඇතැමෙක් දිනෙන් දින දිලිඳු වී දුකෙන් දුකටම පත්වනු ඇත. ඇතැමකුට තම විවාහය, තම ජීවිතයට ලැබෙන ප්‍රබල රැකවරණයක් වන අතර, තවත් අයකුට විවාහය නිසා මරණය පවා සිදුවුණු අවස්ථා එමටය.
මෙලෙස කාසියක දෙපැත්තක් බඳු විවාහය ලොව උපදින සෑම ජන්මියකුම තමාට හිමි වාසනාව හෝ අවාසනාව උරගා බැලීමට පෙලඹෙයි. ජන්මීන් ගත් කල ඇතැමකුට ඉතා අඩු වයසින් තම විවාහය සිදුවන අතර, ඇතැමකුට බොහෝ කල් ගොස් විවාහය සිදුවනු ඇත. තවත් සමහරක් මුළු ජීවිතය පුරාවටම විවාහ නොවී තනිකඩව සිටිනු ඇත. විවාහය ගත් කල එයද හත් ආකාර වෙයි. ඒ බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය, ස්වයංවර විවාහය, රාක්‍ෂ විවාහය හා ප්‍රේත විවාහයයි. මෙයින් බ්‍රහ්ම විවාහය හා දේව විවාහය සුබ ගණයේ විවාහ වන අතර, අනෙක් විවාහ වර්ග 5ම අසුබ ගණයේ විවාහ වෙයි.
දෙපාර්ශ්වයේම මවුපිය කැමැත්ත ඇතිව පොරොන්දම් ගළපා, උත්සවශ්‍රීයෙන් කරන බ්‍රහ්ම විවාහය හා දේව විවාහය වුවද අසාර්ථක වනු අප දැක ඇත. එය සාමාන්‍ය ජනයා එක් එක් පුද්ගලයා කළ පව් හෝ පින් ලෙස අර්ථ දැක්වුවද ජ්‍යොතිෂය ඇසින් එය මනාව පහදාලිය හැකිය. විවාහය අසාර්ථක වන හේතු අතර නාශාංශක දෝෂය, විෂ කන්‍යා යෝග පිහිටීම, අභිමුඛ කාලසර්ප යෝග හිමියෙක් වීම, කාම යෝග පිහිටීම, විවාහය අපායක් වන පිහිටීම් පිහිටීම විවාහය පෙන්නුම් කරන 7 වැන්න පාප පීඩිත වීම හෝ 7 වැන්න පාප තර්කරී වීම ආදිය සුලබව දැක්විය හැකිය.
නාශාංශක දෝෂය ජන්ම පත්‍රයක් තුළ ආකාර දෙකකට යෙදේ. ඒ පුරුෂ ලග්න වන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ ලග්නවල 7 වැනි නවාංශකය නාශාංශක වන අතර, ස්ත්‍රී ලග්න වන වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර යන ලග්නවල 3 වැනි නවාංශකය නාශාංශක වෙයි.
නාශාංශක දෝෂය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම යෙදෙන අතර, විෂ කන්‍යා යෝගය ස්ත්‍රීන්ට පමණක් යෙදේ. ස්ත්‍රීන්ගේ විවාහය අසාර්ථක කරන විෂ කන්‍යා යෝග කිහිපයක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අතර, රවි 5 වැන්නේ වී කුජ භංග නොවන නීචයකු වීම මෙය ඉතා දරුණු විස කන්‍යා යෝගයකි. සුබ දෘෂ්ටි වැටුණද අසුබය නැති වී නොයනු ඇත. 7 වැන්න, 8 වැන්න, 12 වැන්න යන රාශිවලින් එකක් මේෂ, වෘශ්චික වී කුජ එහි වේ නම් එයද විෂ කන්‍යා යෝගයකි. 8 අධිපතියා පාපයෙක් වී 9 වැන්නේ වේ නම් එය විෂ කන්‍යා පිහිටීමක් වන අතර, ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවීමද විෂ කන්‍යා පිහිටීමකි. ඊට අමතරව ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි පිහිටීම හා ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනෙක් පිහිටීමද විෂ කන්‍යා යෝගයකි.
මෙම විෂ කන්‍යා යෝග පිහිටා ඒවා භංග නොවී ජන්ම පත්‍ර තුළ ඇති ස්ත්‍රීන්ගේ විවාහය කඩාකප්පල් වී යනු දැකගත හැකිය. මෙවැනි දරුණු විෂ කන්‍යා යෝග භංග වන ක්‍රමද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අතර, 7 වැන්නාධිපති 7 වැන්නේම සිටීම, ලග්නයේ සුබ ග්‍රහයකු සුබ ආකාරයෙන් සිටීම, සඳු සමඟ සුබ ග්‍රහයකු සිටීම, ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රබලව සිටීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.
විෂ කන්‍යා දෝෂය භංග වන පිහිටීම් ගණනාවකින් භංග වුවද නාශාංශක දෝෂය භංග වීමට නම්, නාශාංශක දෝෂය නොමැති කේන්දරයක් හිමි අයකු සමඟ විවාහ විය යුතුමය. නොඑසේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ඉතා කටුක එකක් වනු ඇත.
මීට අමතරව 4 වැන්නේ පාප ග්‍රහයෙක් බහුල වීම මෙන්ම එම පාප ග්‍රහයන් සතුරු වීම, 4 වැන්නේ ග්‍රහයකු භංග නොවන නීචයක වීම, 4 අධිපති නීච වීම, 4 අධිපති සතුරු හෝ සතුරු මුලු වීම ආදී පිහිටීම් හිමි ජන්මියාගේ විවාහය මිහිපිට අපායක් වනු ඇතැයි ඍෂි මතය වෙයි.
ජන්ම පත්‍ර සැලකීමේදී විවාහය අසාර්ථක වන පිහිටීම් මෙන්ම විවාහය ප්‍රමාද කරන පිහිටීම් හා කිසිදින විවාහයක් සිදු නොවන පිහිටීම්ද දැකිය හැකිය.
විවාහය ප්‍රමාද කරන දහසකුත් පිහිටීම් අතර, ලග්නාධිපති හා 7 අධිපති සංයෝග වීම, 6, 8, 2 භාවයක 7 අධිපති සිටීම, ලග්නය හා සඳු ප්‍රබල ලෙස පාප පීඩිත වීම, සඳු, කුජ, සිකුරු 1 හෝ 7 සිටීම, කුජ, ශනි, රාහු 7හි යෝග වීම, ශනි කුජ යෝගය පිහිටීම, 7 වැනි භාවය දෙපස රවි හා ශනි පිහිටීම, රවි, ශනි හා 7 අධිපති කිසියම් භාවයක තැම්පත් වීම, සිකුරු ග්‍රහයා රවිට හා ශනිට මැදි වීම, පාපී ග්‍රහයකු භංග නොවන නීචයක 7 වැන්නේ තැන්පත් වීම හා සුබ දෘෂ්ටි නොලැබීම, සිකුරු පාපියකු සමඟ 7 වැන්නේ සිටීම, සඳු හා ශනි 7 වැන්නේ වීම, සිකුරු තැන්පත් රාශි අධිපති භංග නොවන නීචයක සිටීම, සිකුරු තැන්පත් රාශි අධිපති 6, 8, 12 හි සිටීම, ශනි-ගුරු, ශනි-චන්ද්‍ර, ශනි-ශුක්‍ර ආදී යෝග පැවැතීම සිකුරු-සඳු භංග නොවන නීචයක සිටීම, 7 අධිපතියා හා නවාංශකයේ 9 අධිපතියා නීච වීම සුලබව දැකිය හැකි පිහිටීම් වෙයි.
සාමාන්‍ය කේන්දර පරීක්‍ෂාව තුළින් නිර්ණය කළ හැකි විවාහ දෝෂ, විවාහය ඇති නැති බව මෙන්ම එහි සාර්ථක, අසාර්ථක බව හා විවාහ වන කාල වකවානු ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තුළින්ද නිර්ණය කළ හැකිය.
සාමාන්‍ය ක්‍රමයට විවාහයක් පරීක්‍ෂා කිරීමේදී කාම ත්‍රිකෝණයට අයත් වන 3, 7, 11 වැන්න අධිපතීන් හා එම අධිපතීන්ගේ බල දුබලතාව සොයා බලයි. මෙයින් 11 වැන්නේ විවාහයට යොමු වීම, 3 වැන්නෙන් විවාහයට ලැබෙන ප්‍රතිපාදන හා 7 වැන්න තුළින් විවාහයේ පැවැත්ම පෙන්නුම් කරයි. මීට අමතරව 8 වැන්නේ විවාහයෙන් ලැබෙන ධනයද, 2 වැන්නෙන් විවාහයෙන් පසු ජීවිතය මෙන්ම පවුලේ ආරක්‍ෂාව හා 12 වැන්නෙන් සායන සුවය සොයනු ලබයි. 4 වැන්නේ කලත්‍රයාගේ රැකියාව, 5 වැන්නෙන් කලත්‍රයාගෙන් ලැබෙන ආදරය, දරුවන් හා රැකවරණය ගැනද 6 වැන්නේ විවාහයක් වීම හෝ නොවීම පරීක්‍ෂා කරයි. මීට අමතරව 7 වැන්නේ සිටින ග්‍රහයා, 7 වැන්න දකින ග්‍රහයා, 7 අධිපති සිටින ස්ථානය 7 අධිපති යෝග වී හෝ දෘෂ්ටි ලබන ග්‍රහයා විවාහයක් ගැන බැලීමේදී බැලිය යුතු කරුණු වෙයි.
ජ්‍යොතිෂවේදී මංජුලා පුෂ්පරාංගනී











