අවුරුදු අසිරිය පළමුව පරිසරය මඟින් පවසනු ලබන්නේ එරබදු ගසයි. සිංහල සංස්කෘතිය හා සබැඳුණු එරබදු ගස පිළිබඳව සාහිත්‍ය ග්‍රන්ථයන් තුළ විවිධ අයුරින් වර්ණනාත්මකව සවිස්තර වෙයි.
දේශීය වෙදකමේ එරට මුදලියා යන රහස් නාමයෙන් හඳුන්වන එරබදු ගස කැඩුම් බිඳුම් හෙළ වෙදකමේදී නැතිවම බැරි ශාකයකි. එරබදු සඳහා භාවිත වන සංස්කෘත පර්යාය නම් රැසකි. අවුරුදු පෙර නිමිති කැන්දාගෙන එරබදු ශාකය සංස්කෘතික වටිනාකමක් සනිටුහන් කරන ලෙසම ඖෂධීය ගුණයෙන්ද පෙරමුණ ගනියි. එහි කොළ කොරල්පරයක ස්වරූපයක් මවාපානු ලබයි.
එරබදු කැඳ, වැටී ඉනි ලෙස සිටුවීමටද කොළ පොහොර ලෙස යෙදීමද සාමාන්‍ය පිළිවෙතයි. ඖෂධ සඳහා එරබදු පංචාංගයම යොදා ගැනෙයි.
සන්ධි ශෝථයට එරබදු කොළ කොටා කහ, ලුණු සමඟින් මලවා බැඳීම යහපත්ය. ගම්බද ජනතාව මෙහි ඇති ආහාරමය වටිනාකම නිසි ලෙස හඳුනාගෙන ඇත.
කල්ගතවූ ඔසප් දෝෂ සහ ස්ථුල කාන්තාවන්ගේ වඳ භාවයට එරබදු කොළ යුෂ මේස හැඳි තුනක් පමණ දිනපතා උදේ, සවස බීම ගුණදායකය.
කිරිපණු රෝගය සඳහා එරබදු දලු මැල්ලුම ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් බව ගම්බද මව්වරුන් වටහාගෙන ඇත. අලුත් එරබදු කොළ යුෂ අවුන්ස දෙකක් මී පැණි දමා පානය කිරීමෙන් කිරිපණු, දෝෂ දුරුවන අතර, විරේචන ගුණයද ගෙන දෙයි.
එදිනෙදා දත් කැක්කුමේදී එරබදු කොළ අඹරා දත මුල තැබීමද සාර්ථක ප්‍රතිකාරයකි.
කැඩුම් – බිඳුම් වෙදකමේදී ලොත් සුඹුලු – කුඹුක් පොතු – කෙළිඳ හාල් රත්නිටුල් සමඟ එරබදු පොතු සමව ගෙන කහ, ලුණු ලා කොටා මලවා බැඳීමද තවත් ප්‍රතිකාරයකි.
ඉදිමුම් නාශක ගුණය අනුව වැටීම්, තැළීම්, ඉදිමීම්වලදී කුඩා දරුවන් සඳහා එරබදු දලු තළා තැබීම වර්තමානයේද මවුවරුන් අතර ප්‍රචලිතය. තැල්මට එරබදු කොළ යුෂ බිත්තර සුදු මද සමඟ පොල් අරක්කු මිශ්‍ර කර පෙවීමද වැඩිහිටියන් වෙනුවෙන් සිදුවෙයි. මව්කිරි හීනවීමේදී සිරප් – පෙති – කරල්වල පිහිට පතන මව්වරුන් ඒ සඳහා මුදල් වැයකිරීම් සිදුකරන්නේ එරබදු ශාකය පිළිබඳව ඇති අනවබෝධය නිසාය. වැට මායිමෙන්ද වඳවී යන එරබදු ගස තම ගෙවත්තේ කෙළවරක සිටුවා ගැනීමට සෑම මවකම උත්සාහ දරන්නේ නම් එහි නිසි ඵල අත්විඳීමට හැකිවෙයි.
එරබදු කොළ යුෂ හෝ පොල්කිරි යොදා පිසගත් එරබදු දලු ආහාරයට එක්කර ගැනීම මව්කිරි වර්ධනයට හිතකරය.
එරබදු මල් පූජා කිරීමෙන් දෙවියන් පහදවා ගැනීමට හැකිවෙතැයි ඉන්දියානුවන් අතර විශ්වාසයක් පවතියි.
ලංකාවේ වියළි, පහතරට සහ වෙරළාසන්න ප්‍රදේශවල සිටුවන ගස් දක්නට ලැබෙයි. දීප්තිමත් රත්පැහැ පුෂ්ප හටගනු ලබන්නේ අප්‍රේල් මාසයේදීය. පාරිසරික වෙනස්වීම් මත එම කාලයේ මෙම ශාකයේ පත්‍ර ඇති වීම හෝ නැතිවීම සිදුවෙයි.
සුශ්‍රැත සංහිතාව, අෂ්ටාංග හෘදය සංහිතාව ආදිය පරිශීලනයෙන් එරබදු ශාකයේ ආයුර්වේද වටිනාකම වටහාගත හැකිය.
අවුරුදු අසිරියේ පෙරගමන්කරුවකු වන එරබදු ගසේ ඖෂධීය වටිනාකම අල්පයක් හෝ වටහා ගැනීම සියල්ලන්ගේම නිරෝගී සුවයට හේතුවෙයි.
එරබදු වැට සීමා මායිම් දැමිය යුතු ශාකයක් නොවේ.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











