ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී ඇති ඓතිහාසික ස්තූප පිරික්සීමේදී එම ස්තූපයන්ට පොදු වූ ලක්ෂණ මෙන්ම එකිනෙකට අනන්‍ය වූ විශේෂ ලක්ෂණ බොහොමයක්ද නිරීක්ෂණය කළ හැක. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ස්තූපයන්ගේ හැඩයය. පළමු ඉදිකිරීමේදී වෙනස් හැඩයක් ගත් නමුත් පසුව එම හැඩය වෙනස් වූ ස්තූප රාශියක්ද ඒ අතර දැකිය හැක. එමෙන්ම ආරම්භයේදී පොදු සාධකයක්ව පැවැති නමුත් මේ වන විට ස්තූප කලාවෙන් ඉවත් වී ගිය ලක්ෂණද රාශියක් ඇත. ඒ අතරින් ප්‍රධාන තැනක් හිමි වන එක් සාධකයක් ලෙස යූපය හැඳින්විය හැක. ඉතිහාසඥයන් විසින් යූපය, යූපස්තම්බය සහ යූප ගල ලෙසින්ද හඳුන්වා ඇති ආකාරය දක්නට ඇත.
පුරාවිද්‍යා නිරීක්ෂණ අනුව සොයා ගෙන ඇත්තේ “යූපය” යන වදනේ ඉතිහාසය පුරාණ වෛදික යුගය දක්වා දිව යන බවය. වෛදික ආගමට අනුව දෙවියන් සතුටු කිරීම සඳහා බිලි දෙන සතුන් බැඳ තබන කණුව හඳුන්වා ඇත්තේ යූපය ලෙසිනි. ඒ අනුව පැහැදිලිවන එක් කාරණයක් වන්නේ “යූපය” යන වස්තුව අතීතයේ සිටම පූජනීය වස්තුවක් ලෙසින් යොදා ගෙන ඇති බවය. එමෙන්ම යූපය හෙවත් යූපස්තම්භය අතීතයේදී ජයග්‍රහණයේ සංකේතයක් ලෙසින්ද යොදා ගෙන ඇත. ඉන් පසු පූර්ව බෞද්ධ යුගයේදී මළගිය පුද්ගලයකුගේ භස්මාවශේෂ තැන්පත් කරන භූමිය මත පස් ගොඩැල්ලක් ඇතිරීමත්, ඒ මත යූපයක් සිටුවීමත් සිරිතක්ව තිබී ඇත. එම පස් ගොඩැල්ල එකල චෛත්‍යය ලෙසින්ද හඳුන්වා ඇති බව සඳහන් වන අතර එම පස් ගොඩැල්ල මත සිටුවන ලද කණුව චෛත්‍යය යූප ලෙසින්ද හඳුන්වා ඇත. හින්දුන් අතර පැවැති මෙම විශ්වාසය පසුව බෞද්ධයන් විසින් චෛත්‍යය පිහිටුවීම සඳහා යොදා ගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.
මෙම යූපස්තම්භයේ අදහස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බුදු දහම පැමිණි මුල් කාලයේදීමය. යූපස්තම්භය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් හමුවන පළමු සාධකය ලෙස අප බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන සිදුවීම වන්නේ මහාස්තූපයේ හෙවත් රුවන්වැලි මහා සෑයේ ආරම්භය හා සම්බන්ධ සිදුවීමය. අප කවුරුත් දන්නා පරිදි දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑය ඉදි කර ඇත්තේ ඊට වසර කිහිපයකට පෙරදී ඒ සඳහා වෙන් කර තිබූ භූමියකය. ඉතිහාසයේ සඳහන් වන පරිදි එම භූමිය ඒ සඳහා වෙන් කර ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. වෙන් කළ භූමිය සලකුණු කිරීම සඳහා එහි සිටුවා තිබී ඇත්තේ යූපස්තම්භයක් බවද ඉතිහාසයේ සඳහන්ව ඇත.
එහෙත් එම යූපස්තම්භය මැදි කරමින් රුවන්වැලි සෑය ඉදි කළ බවට සාක්ෂි හමු නොවන බව පුරා විද්‍යාඥයන්ගේ අදහසය. නමුත් රුවන්වැලි සෑය ඉදි කිරීමට පෙර සහ පසුව ඉදි කළ ස්තූප බොහොමයක් සඳහා යූපස්තම්භය යොදා ගෙන ඇති බවට සාධක හමුවී ඇත. ඒ අතරින් තවමත් යූපස්තම්භය පැහැදිලිව දක්නට ඇති එක් චෛත්‍යයක් පිහිටා ඇත්තේ ඓතිහාසික පොල්පිතිගම කබල්ලෑලෙන රජමහා විහාරස්ථානයේය. එමෙන්ම තවමත් සංරක්ෂණය වෙමින් පවතින ලාහුගල වන මැද පිහිටි නීලගිරි සෑ රදුන් මතින්ද යූපස්තම්භයක් හමු වී ඇත. එම දාගැබ ඉදි කර ඇත්තේ පොළොව මත සිටවූ යූපස්තම්භයක් මැදි කරමින් බව පැහැදිලිව දක්නට ඇත.
දාගැබ් ඉදි කිරීම සඳහා යොදා ගත් යූපස්තම්භයේ හැඩය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ඒ අපූර්ව කලා නිර්මාණයක් වන බවය. දාගැබ තුළ පිහිටි යූපස්තම්භයේ යට කොටස හතරැස් හැඩයෙන් යුතු වන අතර එය කෙමෙන් ඉහළට ගමන් කිරීමේදී අටපට්ටම් හැඩයක් ගෙන ඇත. අනතුරුව එහි අවසන් කෙළවර නිර්මාණය කර ඇත්තේ එම අටපට්ටම් හැඩයේ දාර අට වක්‍ර වූ යූපස්තම්භ පෘෂ්ඨ මුදුනේදී එකට එක් වන ලෙසටය. බුදු දහම පැමිණි මුල් කාලයේදී මෙරට ඉදි වූ කිසිම චෛත්‍යයක කොත් කැරැල්ලක් දක්නට ලැබී නැත. එලෙස කොත් කැරැලි පැලඳවීමට පෙර අතීතයේදී චෛත්‍යය මුදුනෙන් ඉහළට එසවී තිබී ඇත්තේ යූපස්තම්භයේ සිරසය. දේවානම්පියතිස්ස රජ සමයේදී ඉදි වූ බවට සැලකෙන කබල්ලෑලෙන රජ මහා විහාරස්ථානයේ පිහිටි චෛත්‍යයේ එම ඉපැරැණි ලක්ෂණය තවමත් ඒ ආකාරයෙන්ම දක්නට ඇත. ඒ හේතුවෙන් කබල්ලෑලෙන රජ මහා විහාරස්ථානයේ පිහිටා ඇති චෛත්‍යය මෙරට ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් විදහා දක්වන සංකේතයක් ලෙස හැඳින්විය හැක. අභයගිරිය, මිරිසවැටිය වැනි විශාල චෛත්‍යයන්ගේ මෙන්ම තවත් චෛත්‍යයන් බොහොමයක කැණීම් අතරතුරදී මෙවැනි අටපට්ටම් කණු හෙවත් යූපස්තම්භ හමු වී ඇත. එම සාධක අනුව පුරා විද්‍යාඥයන් පවසන්නේ පසුකාලීනව ගලවා දැමූ නමුත් මේ සියලුම චෛත්‍යයන් මුල් කාලීනව ඉදි කර ඇත්තේ යූපස්තම්භය මැදි කරමින් වන බවය.
චන්දන පොන්නම්පෙරුම











