නළු නිළියෝ ආදර කතා ගොතන්නේ රඟපෑමට විතරක් නෙමේ. හැබැයි ඔය අතර සමහරු කාටත් හොරා ආදරය විඳිනවා. මම මේ කියන්නට යන්නෙ එහෙම තරු දෙකක් පසුගියදා එකට එකතු වුණා. ඒ වෙන කවුරුවත් නොව නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී සිනෙති අකිලා සහ නව පරපුරේ රංගන ශිල්පී සහන් මාන්නගේයි. සිය කතාවේ මංගල රාත්‍රියට පෙරාතුව සහන් ‘හාට්’ එකට කියපු ආදර කතාව තමයි මේ.
කොහොමද අලුත් ජීවිතේ?
අලුත් ජීවිතය පටන් අරගෙන දවසයිනේ තාම. ඉතින් කාලයක ඉඳලා මම දැන හඳුනන කෙනෙක් නිසා මේ ගෙවන ජීවිතය හරිම සුන්දර ආදරණීයයි.
සිනෙතිගේ ආදරය ඔබට ලැබුණේ අකිල ධනුද්ධර කරපු කපුකමකින් නේද?
අකිල තමයි කපුවා. ඔහු මගේ හොඳ යහළුවෙක්. අකිල සිනෙතිව මම ළඟට එක්කගෙන ආවේ ‘සිරිපැරකුම්’ චිත්‍රපටය වෙනුවෙන් කළු එතනාගේ චරිතයට ශරීරය හැඩගස්සවා ගන්න. එදා යකඩ උස්සන්න ඇවිත් ඒ බැඳුණු ආදරයක් තමයි මේ දුරදිග ආවේ.
ගෝලයෙක්ගෙන් එහෙම ආදරය ඉල්ලපු එක වැරැදියි නේද?
හිත ගිය තැන මාලිගාව. සිනෙති දැක්කදා ඉඳලා මට ඇය ගැන ආදරයක් දැනුණා. දවසින් දවස එය පිබිදෙන්න පටන් ගත්තා. දින කිහිපයකට පසු මම ඇයගෙන් කෙළින්ම ඇහුවා. සිනෙති ඒවනකොටවත් නිළියක් වෙලා නැහැ. මම ඇයට ආදරය කළේ ඇයගේ ඒ තිබුණ ගතිගුණ සහ ඒ තිබුණ අහිංසකකමට.
විවාහය දිනයත් විශේෂයිලු නේද?
ඔව්. 28 වැනි දින සිනෙතිගේ උපන් දිනය. ඉතින් ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව එදිනම අපට විවාහ මංගල්‍යයේ දිනයත් උදාවුණා. මෙය අපි දෙන්නාගේ ජීවිතයත් අලුත් උප්පත්තියක් විදියට තමයි මම සලකන්නේ. ජීවිතයේ නොවිඳපු අමුතු රසයක් අපට හිමිවුණා.
ආදරයටත් සෑහෙන කාලයක්ලු නේද?
ඔව්. වසර හතක පමණ කාලයක් වෙනවා දැන්. මේ ගෙවුණ කාලය තුළ අපි දෙන්නට දෙන්නා හොඳට දැන හඳුනගෙන අපි තේරුම් ගත්තා.
මේ ක්ෂේත්රයේ එවැනි ලොකු කාලයක් ආදරයක් පවතිනවා අඩුයි. අමාරු දෙයක්. අපි එකිනෙකාට පෙම් බැන්දෙත් මේ කලාව නිසයි. කසාදය සිදුවුණෙත් තරු පිරිවරාගෙන ඔවුන්ගේ ආශීර්වාදය මැද. අපි අතර ප්‍රශ්න නැහැ. අපි දෙන්න අතර හැංගිලි නැහැ.
දෙන්නාම එකම ක්ෂේත්රයට වැඩ කරන නිසා සහන් ඉදිරියේදි සිනෙතිට තහංචි දායිද?
කවදාවත්ම නැහැ. ඇයට මම උපරිම නිදහස දෙනවා වගේම උදව් කරනවා. මොකද ඇය ගැන මම හොඳට දන්නවා. ඉතින් අපි දෙන්නාම මේ ක්ෂේත්රයේ කටයුතු කරන්නේ. අපි දෙන්නාව හැමෝම දැන හඳුනනවා. ඉතින් මම ඇයට කිසිම බාධාවක් කරන්නේ නැහැ.
ඔබ සිතූ පැතූ හැමදේම සුන්දර විදියට ඉටුවුණා. ඔය සිතුවිලි අතර ආදර බලාපොරොත්තු එහෙම තවත් ඇති?
සියලුම දේ මම හිතපු විදිහට හොඳ විදියට සිද්ධවුණා. මගේ ලොකු ආශාවක් තිබෙනවා අපි දෙන්නම එකම නිර්මාණයක එකට රඟපාන්න. බලමු ඉතින් ඉදිරියේදී.
වසන්ත විතාරණගේ











