විජය කුමාරණතුංග සහ එච්.ආර්. ජෝතිපාල යනු හරි අපූරු සුසංයෝගයකි. ගසට පොත්ත මෙන් බැඳුණු රුවක් සහ හඬක් දෙදෙනාටම තිබිණි. විජයගේ කඩවසම් රුවට ජෝතිගේ පිරිපුන් හඬ කොතරම් දුරට ගැළපේදැයි සිංහල සිනමා රසිකයාට නැවත නැවැත පහදා දිය යුතු නොවේ. මන්ද ඔවුහු විජයගේ රුවටත්, රඟපෑමටත් ඇලුම් කරන්නේ කොතරම්ද ඒ තරමටම එච්.ආර්. ජෝතිපාලගේ හඬටත් ඇලුම් කරති. එසේම විජය ජෝතිගේ හඬට රඟද්දී ඒ හඬ ජෝතිගේ රඟපෑම විජයගේ යැයි කිසිවකුට සිතන්නට අවස්ථාවක්ද නැත. මන්ද ඒ හඬත් ඒ රුවත් එතරම්ම එකිනෙක බැඳී තිබිණි.
එතරම් බැඳීමක් තිබුණද විටෙක ජෝතිපාලයන් සමඟ අමනාප වන්නට විජයට සිදුවූ බව අප අසා ඇත්තෙමු. ඒ බොහෝ අවස්ථාවල විජය කුමාරතුංගයන් ජෝතිපාලයන් සමඟින් තර්ක විතර්කවලට පැටලී ඇත්තේ ජෝතිගේ හොඳටම බවයි විජයගේ කතාබස්වලින් පැහැදිලි වන්නේ. එවන් සුවිශේෂී කතාවක් ජෝති ගැන විජය කුමාරතුංගයන් සිදුකළේ ජෝතිපාලයන්ගේ මරණයෙන් පසු අවමංගල උත්සවයට සහභාගි වෙමිනි. එහිදී ඔහු කොතරම් දුරට සිය මිතුරා ගැන ආදරණීයව සිතුවාද යන්න පැහැදිලි වන්නේය. මේ එදින විජය කුමාරතුංග සිදුකළ ආදරණීය මිතුරාට සමුදීමේ කතාවයි.
එච්.ආර්. ජෝතිපාල නැතිව ගියාම හුඟ දෙනකුට පාඩු වුණා. හැබැයි මං හිතනවා ගොඩක්ම පාඩු වුණේ අර දුප්පත් අම්මට. යාළුවෝ අඬන්න ඇති. මිත්‍රයෝ අඬන්න ඇති. මිත්‍රයෝ, හිතවත්තු, හිතවතියෝ අඬන්න ඇති. ඒත් ඒ සියලු ඇස්වලට වඩා ඒ අම්මගේ ඇස්වලින් ගලපු කඳුළු ප්‍රමාණය වැඩි ඇති. ඒ අම්මා තරම් අඬන්න නැතිව ඇති කවුරුවත්. ඒ අම්මා ඇඬුවේ ආදරයයි කරුණාවයි නැතිවීමේ දුකටයි. ඒ වගේම පාඩුව නිසයි. යාළු මිත්‍රයොත් එහෙමයි. ඒත් මං ඇඬුවෙ නැහැ. මොකද මැරෙන්න ඉස්සර වෙලා මං ජෝතිපාලට කියල තිබුණා උඹ මැරුණු දවසට මළ මිනිය බලන්න මං එන්නෙ නෑ කියලා. ඒ කිව්වේ හේතුවක් ඇතිව. මට ඕන කරලා තිබුණෙ එච්.ආර්. ජෝතිපාලගෙ මළමිනිය බදාගෙන අඬන්න නෙවෙයි. ජෝතිපාල කියන සුහද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් හරි ජීවත් කරවා ගන්නයි”
විජය යනු තම හිතවතුන් ගැන මිත්‍රයන් ගැන, ජනතාව ගැන කොතරම් ළෙන්ගතු සිතින් කටයුතු කරන්නේද යන්න ඉහත කතාවෙන්ම ඉතා පැහැදිලිව තේරුම්ගත හැකිය. සියලුදෙනා නොසිතන පැත්තකින්, නොසිතන අයුරින් සමාජය දෙස බැලීමේ දූරදර්ශී බව නිසාම ජන හදවත් තුළ මානව හිතවාදියකු ලෙසින් ලැගුම් ගන්නට සමත්කම් දැක්වූ හෙතෙම කිසි විටෙකත් කිසිවකු ගැන ද්වේෂයෙන් කටයුතු නොකරන්නකු බවද මේ හරහා පැහැදිලි වන්නේය.
කුමාර රත්නායක











