විවාහය ගැන කතා කිරීමේදී අද වන විට කාලීන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ දික්කසාදයයි. පැරැණි සමාජ රටාවට වඩා නවීන සමාජය අතිශයින්ම සංකීර්ණයි. ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයම රැකියාවේ නියැළීම දෙදෙනාගෙන් එක් අයකු විදේශගත වීම් ආදිය කැපී පෙනෙන චරිතයන්ය.
මෙවැන්නක් නිසා එන්න එන්නම යුග දිවි ගැටලු පැනනැඟීම පුදුමයක් නොවේ. මේ පිළිබඳව සොයා බැලීමේදී ලග්න 4කට පමණක් වැඩිමනත්ම දික්කසාද වන තැනට පත්වී ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න එක්තරා කුකුසකි.
විවාහය ප්‍රමාද වීම යුගදිවි අසහනය විවාහය කඩා වැටීම ආදී යුග දිවියට සම්බන්ධ කිනම් ගැටලුවකදී අහිතකර ප්‍රතිඵල අත්වන්නේ සිංහ, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට බැව් බොහෝ දෙනා ප්‍රශ්න කරති. මේ මතය එකවරම ඉවත් කිරීමට නොහැකි වන කරුණු කාරණා බොහෝ ගොනුවී ඇති බැව්ද පෙනේ.
දික්කසාද නඩු, නඩත්තු නඩුවලට වැඩියෙන්ම මැදි වන්නේ පළමු, දෙවැනි හා තෙවැනි විවාහවලට මුහුණ දෙන්නේද ඉහතකී ලග්නකරුවන් යැයි යන මතයක් සමාජගතවී තිබේ. ඒ ගැන වැඩිපුර කතා කරති.
ඉතිරි ලග්න අටට විවාහ සම්බන්ධ ඌනතා ඇති නොකරන්නේ යැයි වැරැදි මතයක් ගොඩනැඟීමද එතරම් යෝග්‍ය නොවේ. කුමන ලග්නකරුවකුට වුවත් එවන් සිද්ධියකට මුහුණ පෑමට සිදුවෙයි.
කේන්දර අති විශාල සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමෙන් පොදුවේ කරුණු කාරණා හෙළි වී තිබේ. එහිදී මේ මේ ලග්නකරුවන්ට පමණක් සීමා වන බවක් නොදක්වමු.
අපි දැන් මේ ප්‍රශ්නය ගැන කල්පනා කර බලමු. සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න තිර රාශීන්ය. මකරය චර රාශියකි. සිංහයේ 7 වැන්න අධිපති ශනිය, සිංහ ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයන් තෝරා ගැනීමද අපහසුය. කුජ යෝගකාරකයා වෙයි. එහෙත් 9 වැන්නාධිපති මෙන්ම බාධක ස්ථානාධිපති බැවින්ද කුජගේ අසුබ පල ලැබෙන අවස්ථා වැඩිය. 5 සහ 8 අධිපති නිසා ගුරුගෙන් සිංහ ලග්න හිමියාට අයහපත් ප්‍රතිඵල අත්වෙයි. ධනාත්මක නොවේ. බුධ හා ශුක්‍ර පාපීන්ය. ශනි 7 වැන්නේ සිටීමෙන්ද සස යෝගය නිසාද සිංහ ලග්න හිමියාට යහපතක් වී නැත. ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර, සතුරු නීච, රාශියක සිටියත් විවාහය ගැන සෙවීමේදී සෙනසුරා සෙනසුරාම බැව් අමතක කළ නොහැකිය. අත්දැකීම් අඩු, ඉක්මන් තීරණ ගැනීම අන්‍යයන් කෙරෙහි අනිසි විශ්වාසය තැබීමත් නිසා අමාරුවේ වැටී සිටින සිංහ ලග්න හිමියන් කොතෙකුත් ඇත.
වෘශ්චික ලග්නයට 7 අධිපති ශුක්‍රයයි. 12 අධිපතිය. බුධ, කුජ, ශුක්‍ර පාපීන්ය. ලග්නාධිපති වුවද 6 වැන්නද අධිපති නිසා කුජ පාප ගණයට අයත් වෙයි.
ගුරු – සඳු සුබයි. විවාහයේදී අනෙකා පාලනය කිරීම අධික ආත්මාර්ථකාමීත්වය, තමාගේ නියෝග අන්‍යයන්ට නිකුත් කිරීම ඉක්මන් කෝපය, හදිසි තීරණ ගැනීම, වෘශ්චික ලග්න හිමියන්ගේ කැපී පෙනෙන දුර්වල ගති ලක්‍ෂණයන්ය.
මකර ලග්නයට 7 අධිපති සඳුය. කුජ, ගුරු, සඳු පාපීන්ය. ලග්නාධිපති වුවත් සෙනසුරු මාරක ඵලගෙන දෙයි. මකර ලග්න හිමියාට ඉඩ ලද හැම විටම අසුබ ඵලගෙන දෙනු ඇත. දැඩිම ආත්මාර්ථකාමී බවක් මකර ලග්න හිමියන් සතුය. දැඩි ලෝභීය. අන්‍යයන් ගැන අවදානම අඩුයි. මුදල් මතම යැපෙයි. තමා ගැනම සිතා ක්‍රියාකරන චරිතයකි.
අන්‍යයන් යටත්කර ගැනීමටත් දැඩි ලෙස ලෝභකමත්, මුදල් මතම යැපෙන වගත් සුළු කරුණු ලොකුවට පෙන්වීමත් යටින් පළිගැනීමත් සැකයෙන් බැලීමත් යන දුබලතා කැපී පෙනේ.
ලග්න 12න්ම සුවිශේෂිත ලග්නයකි මකර
බුධ, ශුක්‍ර සුබ වුවත් යුග දිවියට යහපත් නැත. මකර ලග්නකරුවාට මකර කාන්තාව පිරිමි වහා තමා වෙතට ආකර්ෂණය කරගැනීමට සමත්ය. ඒ කිසිවක් නොව මුදල් අවශ්‍යතා මතයි. මකර ලග්න හිමියා සියල්ලම මනින්නේද මුදල් හරහාය.
කුම්භ 7 වැන්නාධිපති රවිය. ගු-ච-කු පාපීන්ය. ශුක්‍ර සුබයි. බාධක දෙන වූ 9 වැන්නාටද අධිපතිය. තනිව විවේකීව වාසය කරයි. අන්‍යයන්ගේ සිත් වංචාසහගතව දිනා ගැනීමට අසමත්ය. තෝරාගත් කිහිප දෙනෙක් සමඟ මිත්‍රකම් පවත්වති. ඉදිරිපත් වීමේ ගතිය අඩුයි. අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට අසමත්ය.
මෙවන් කරුණු කාරණා මත ඉහත සඳහන් ලග්න හතරට විශේෂයෙන්ම විවාහ කටයුතු පිළිබඳ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වන්නේ උත්පත්ති ග්‍රහ හැසිරීම හරහා බැව් පැහැදිලිය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











