කැබිනට් ලේකම්ගේ ලියුම එළියට ආවේ කොහොමද?
මහින්දගේ ගෙදරට යට කරපු සල්ලි ගැන තොරතුරු හාරයි!
චීන තානාපති දැන් නිතරම විජේරාමේ!
ගෝඨාට දෙනවා කියපු සල්ලි මහින්දට දෙයිද?
අපි කියපු ඔක්කොම හරි ගියා!
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලංකාවට ලැබෙනවා…’
‘රාජ්‍ය ආයතන රැසක් විකුණන්න වෙනවා…’
‘බරපතළම කොන්දේසිය වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණයයි…’
‘පළමු අදියරේ දී ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් කළ යුතුයි…’
‘දෙවැනි අදියරේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට පියවර ගන්න ඕනෑ…’
‘අමාරුම කටයුත්ත තියෙන්නේ පළමු අදියරේ සහ දෙවැනි අදියරේ…’
‘ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය අමාරු කොන්දේසියක් දාන්නයි යන්නේ…’
‘චීනය එකඟ වූයේ නැත්නම් ණය වැඩසටහන අනතුරේ…’
මේ, පසුගිය මාස දෙක ඇතුළත ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අයි.එම්.එෆ්. ණය ගැනීම සම්බන්ධයෙන් අප වරින් වර අනාවරණ කළ කරුණුය. අප මෙම කරුණු අනාවරණය කරද්දී ඇතැමුන් ඊට සිනාසුණත් අප කී එම කරුණු සියල්ලක්ම මේ වන විට ඇත්තේ සත්‍ය වෙමින්ය. අප කී ආකාරයටම පසුගිය සඳුදා (20) දින මූල්‍ය අරමුදල මගින් ලංකාවට ණය ලබාදීම අනුමත කළ අතර, බ්‍රහස්පතින්දා දිනයේදි එහි පළමු වාරිකය ලංකාවට ලබාදීමට පියවර ගත්තේය.
ණයත් අරන් රතිඤ්ඤාත් පත්තු කිරීම!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඩොලර් බිලියන 53ක ණය ගෙවීමට ඇති ලංකාවට තවත් ඩොලර් බිලියන 3ක ණය මුදලක් ලැබුණු දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානය මෙන්ම රටේ තැන් කිහිපයකම එජාප පාක්ෂිකයන් සතුටින් ඉපිළ රතිඤ්ඤා පත්තු කිරීමය. අනෙක් අතට එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පස්පඩංගුවේ බැණවැදුණු පොහොට්ටුවේ සාමාජිකයන් මෙවර මූල්‍ය අරමුදලට ජනාධිපතිවරයා සමග එක්ව ප්රශස්ති ගී ගායනා කිරීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සඳුදා රාත්‍රියේදීම මේ පිළිබඳ කෙටි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කළ අතර, බදාදා දිනයේදී ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට පියවර ගත්තේය.
රනිල් ගහපු ගේම!
එමෙන්ම ජනාධිපතිවරයා බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට තවත් විශේෂ කටයුත්තක් සැලසුම් කළේය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම බදාදා දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය විපක්ෂය අධ්‍යයනයට ලක්කිරීමට පළමුව ඡන්ද විමසීමකට ගොස් ඊට අනුමැතිය ගැනීමය.
සජිත්ට ඇතුළෙන්ම තොරතුරු එයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම සැලැස්ම කල් තියාම සමගි ජන බලවේගයේ නායකයන්ටද දැනගන්නට ලැබී තිබිණි. ආණ්ඩුව ඇතුළෙන්ම සජිත්ට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ බදාදා දිනයේදීම මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අනුමැතිය ගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි කියාය. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක කටයුත්තකදී එම ගිවිසුම අධ්‍යයනය කිරීමට විපක්ෂයට කාලසීමාවක් ලබාදීම සිදුකෙරුණද මෙවර ඊට ඉඩක් නොතබා ඉදිරියට යෑම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබිණි.
රනිල් පාර්ලිමේන්තුවට දාන්න කලින් ගිවිසුම සජිත්ගේ අතට එයි!
නමුත් ජනාධිපතිවරයාගේ මෙම සැලසුම කනපිට පෙරලුණේ මූල්‍ය අරමුදලට සම්බන්ධ තැනකින්ම ණය ගිවිසුමට අදාළ කොන්දේසි ඇතුළත් ගිවිසුම අඟහරුවාදා වන විටම සජිත් අතටද පත්ව තිබීම නිසාය. ඒ අනුව සජිත් වහාම කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න ඇතුළු ආර්ථික විශේෂඥ මඬුල්ල කැඳවා ගිවිසුමේ වගන්ති අකුරක් නෑර අධ්‍යයනය කිරීමය. ඉතාම හොර රහසේ සජිත් මෙම කටයුතු සිදුකළේ බදාද දිනයේදී ආණ්ඩුවේ සැලසුමට ශක්තිමත්ව මුහුණ දී ආණ්ඩුව සැලසුම කනපිට පෙරළීම සඳහාය.
ආණ්ඩුව හොල්මන්!
කිව්වා වාගේම බදාදා දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකොට අවසානයේදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් එදිනම ඡන්ද විමසීමක් පැවැත්වීමට තමන් සූදානම් යැයි කියාය. ආණ්ඩුවේ සියලු දෙනාම විපක්ෂය ඊට එරෙහි වනු ඇති බව සිතා සිටියත්, සියල්ලන්ම පුදුමයට පත්කරමින් සජිත් කියා සිටියේ විපක්ෂයද ඊට සූදානම් යැයි කියාය. සජිත් එසේ කියද්දී ආණ්ඩු පක්ෂය එක් වරම අන්දමන්ද වී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම ආණ්ඩුව සැලසුම් කර තිබූ එදිනම ඡන්ද විමසීමේ තීන්දුව හකුළා ගන්නා ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
රනිල් විපක්ෂ ලොබියට ෂෝ එකක් දාන්න එයි! සජිත් දීපු උත්තරෙන් ආපහු හැරී යයි!
මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිය කතාව සිදුකොට කෙළින්ම පැමිණියේ ආණ්ඩු පක්ෂයේ ලොබියට නොව, විපක්ෂයේ ලොබියටය. ඒ, මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලොකු ෂෝ එකක් දැමීමටය. සාමාන්‍යයෙන් සජිත් විපක්ෂ ලොබියේ වැඩිපුර නොසිටියද එදින රාජිත, චන්දිම වීරක්කොඩි, මරික්කාර් ඇතුළු කණ්ඩායමක් සමග සජිත්ද විපක්ෂ ලොබියේ අසුන්ගෙන මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේය. ඒ අනුව සජිත් දුටු සැණින් රනිල් තරමක් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේවෙතත් රනිල් එනු දුටු චන්දිම විමසා සිටියේ, ‘ආ ජනාධිපතිතුමා, අද මොකෝ අයි.එම්.එෆ්. ට්‍රොෆි එකත් අරගෙන මේ පැත්තට මුලින්ම ආවේ?’ යැයි කියාය. ඊට රනිල් පිළිතුරු දීමට ප්‍රථම මරික්කාර් කියා සිටියේ, ‘ආ එතුමා දැන් රෝයල් ට්‍රොෆි එකත් දිනලා තියෙන්නේ.. ඒකයි මේ පැත්තට එන්නේ…’ යැයි කියාය. එවිට රනිල්ද සිනාසෙමින් කියා සිටියේ, ‘ඔක්කොටම ඉස්සෙල්ලා මුජිබර් පාර්ලිමේන්තුවෙන් අයින් කරගත්තු එකේ පාටිය මරික්කාර් දීලා ඉන්න ඕනෙ..’ යැයි කියාය. ඉන් අනතුරුව රනිල් සජිත් ඉලක්ක කොට යමක් කියද්දී සජිත් ද ඊට පෙරළා පිළිතුරු දීමත් සමග වැඩි වේලාවක් එම ස්ථානයේ නොසිට මුහුණ ඇඹුල් කරගෙන ජනාධිපතිවරයා යළිත් වතාවක් ආණ්ඩුව පැත්තේ ලොබිය වෙත යන ආකාරයක් දැකගත හැකි විය.
චීනය සතුටුයි! ඒත් කොන්දේසියක්!
කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමත් සමග ආණ්ඩුව මේ ආකාරයට සතුටට පත්ව සිටියද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා බදාදා දිනම මාධ්‍යයට කළ විශේෂ ප්‍රකාශයක් හේතු කොටගෙන ආණ්ඩුවට ඉදිරියේදී ඉතා අසීරු ගමනක නිරත වීමට සිදුවන බව පැහැදිලිවම දැකගන්නට තිබේ. එහිදී මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සම්බන්ධයෙන් මුලින් සතුට පළ කළ චීන ප්‍රකාශකයා අවසානයේදී කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සියලු රටවලට එක හා සමාන ප්රතිපත්තියක සිට සැලකිය යුතු යැයි කියාය. ඔහු නොකියා කියා සිටියේ ලංකාවේ ණය හිමි සියලු පාර්ශ්වයන් එක හා සමාන අයුරින් මෙහිදී කටයුතු කළ යුතු බවකි. අප පසුගිය සතියේදී කියා සිටියේ චීනය මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී උපක්‍රමයක් වශයෙන් පළමුව මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් තම ණයගැති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණ ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතු බව දැනුම්දීමට චීනය සැලසුම් කර ඇතැයි කියාය. ඒ අනුව ආණ්ඩුවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉතා පහසුවෙන් අවසන් කරගත නොහැකි ලකුණු මේ වන විටත් පහළ කොට ඇති බවක් දැකගන්නට තිබේ.
විජේරාම යළි වැඩ පටන් ගනී!
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස නැවත වතාවක් මීට වසර හතර පහකට පෙර පැවැතියාක් මෙන් නිතර අමුත්තන් යන එන සක්‍රීය තැනක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය මාස කිහිපය පුරාම මහින්ද ජීවත් වන විජේරාම මාවතේ නිල නිවෙස පැවැතියේ පාළුවට ගොස්ය. ඉඳහිට හෝ එහි ගියේ මහින්ද දන්නා කියන අතලොස්සක් වූ කිහිප දෙනෙක් පමණි. නමුත් මේ වන විට විජේරාම මාවතේ නිවෙස පෙර පැවැතියාක් මෙන් මැතිඇමැතිවරුන් යන එන, තානාපතිවරුන් යන එන, දේශපාලන හිතවතුන් යන එන, නිතර සාකච්ඡා, සතරකන්මන්ත්‍රණ, වාද විවාද පැවැත්වෙන දේශපාලන පොර පිටියක් බවට පත්ව තිබේ. අප පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියා සිටියේ මහින්ද නැවත වතාවක් සක්‍රීය දේශපාලනයට එළැඹීමට තීන්දු කර ඇති බවත්, ඒ අනුව පොහොට්ටුව යළි කෙළින් කටින් සිටුවන මෙහෙයුමට අත තබා ඇති බවත්, මහින්ද ජීවත් වන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්ය. අප අනාවරණ කළ එම කරුණු දින කිහිපයක් යෑමට මත්තෙන් තහවුරු කරමින් පසුගිය සතියේදී මහින්ද පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම විජේරාම මාවතේ නිවෙසට ගෙන්වා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
මහින්දලා IMF ගිවිසුමට විරුද්ධ වෙයිද?
එමෙන්ම පසුගිය කාලයේ ඉතා නිහඬ ජීවිතයක් ගතකළ මහින්ද මේ වන විට නැවත වතාවක් සක්‍රීය දේශපාලනයට පැමිණීමට තීන්දු කොට ඇත්තේ බරපතළ තීන්දු තීරණ ගණනාවක්ම හොඳට සිතාමතා සැලසුම් කොට කල්යල් බැලීමෙන් අනතුරුවය. ඉන් එක් තීන්දුවක් වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුව ඇතුළේ සිටිනවාද නැද්ද කියන කාරණයය. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් පසුගිය කාලසීමාව පුරාම පෙනී සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ලංකාවේ ජනතාවට මහත් පීඩාවට පත්වීමට සිදුවනු ඇති බවට වූ ස්ථාවරයේය. මේ නිසා මහින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මන්ද යත් මූල්‍ය අරමුදල හමුවට ගියහොත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය 100%ක්ම අවසන් වනු ඇති බව මහින්දගේ ගණන් බැලීම වී තබීම ඊට හේතුව විය. ඒ අනුව මහින්දලා මේ වන විට ජනතාව හෝ වෘත්තීය සමිති පිට දමා අයි.එම්.එෆ්. උරචක්‍රමාලයෙන් ගැලවීමට තීන්දු කොට ඇති බවක් ආරංචිය.
නෙලුම් මාවත විජේරාම මාවතට!
ඒ අනුව මෙම මෙහෙයුම දියත් කිරීම සඳහා මහින්ද පක්ෂ මූලස්ථානය වූ නෙලුම් මාවත වෙනුවට විජේරාම මාවතම තෝරාගත්තේ ඇයි? ඊට හේතු කිහිපයක්ම තිබේ. ඉන් ප්‍රධානම එකක් වී ඇත්තේ පොහොට්ටුවේ මැති ඇමැතිවරු රැසක්ම නැවත නෙලුම් මාවතට නොයන්නට ගෙන ඇති තීන්දුවය. එමෙන්ම තීරණාත්මක පුද්ගලයන් බොහෝ දෙනකු නෙලුම් මාවතේ පවත්වන සාකච්ඡාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට තිබීමය. ඒ, බොහෝ දුරට නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වීම නිසා විය හැකිය.
විමල්ලා යළි ගන්න මෙහෙයුමක්!
කෙසේ වෙතත් මේ සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් විශේෂ රහසක් රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ, පොහොට්ටු පක්ෂය නිර්මාණය කරද්දී ඊට ඉහළ දායකත්වයක් ලබාදුන් ප්‍රබල චරිත ලෙස සැලකූණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි කණ්ඩායම්ද නැවත මහින්දට එකතු කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් තිරය පිටුපස දියත් වී ඇති බවය. තිරය පිටුපස මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී ඊට සහභාගි වූ පිරිස් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ජාතික තලයේ මාතෘකා කිහිපයක්ම මතුවීමට නියමිතව ඇති බැවින් විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායමේ සේවය ඉදිරියේදී රාජපක්ෂ පාර්ශ්වයට අත්‍යාවශ්‍ය යැයි කියාය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වැනි කටයුතු රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බැවින් විමල්ලාගේ හඬ රාජපක්ෂ කඳවුරේ තිබිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් විමල් සහ ගම්මන්පිල මහින්දගේ විජේරාම නිල නිවෙසේදී මහින්ද සමග සාකච්ඡා කළාද යන්න තහවුරු කිරීමට 100%ක් නිල තොරතුරු අප සතුව නැතත්, ඊට දැරූ උත්සාහයන්, ඒ සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා, හුවමාරු කරගත් කරුණු, එම සාකච්ඡා ආරම්භ කළ පුද්ගලයන් යනාදිය සම්බන්ධයෙන් නිල නොවන තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය සතුය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව අධිකරණය සමග නිර්මාණය කොට ගෙන ඇති ගැටුම පිළිබඳවද අදහස් හුවමාරු වී ඇති බවක්ද නිල නොවන තොරතුරුවලින් ආරංචිය.
බැසිල් ගිහින් රනිල් හමුවෙලා!
මීට අමතරව බැසිල් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. සාමාන්‍යයෙන් බැසිල් නෙලුම් මාවත කේන්ද්‍ර කොට ගෙන දේශපාලන කටයුතු දියත් කළද පසුගිය සතියේ විජේරාම නිවසේ පැවැති මහින්දගේ සාකච්ඡාවට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මහින්ද සක්‍රීය ලෙස යළි දේශපාලනය කරද්දී අපට දැනගන්නට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ බැසිල් තරමක් නිහඬ දේශපාලන චරිතයක් රඟදැක්වීමට සැලසුම් කර ඇති බවය. එමෙන්ම බැසිල් පසුගිය සතියේ කිසිවකුටත් නොකියා තනිවම ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවක්ද දැනගන්නට තිබේ. මෙහිදී අලුත් කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් බැසිල් රනිල්ගෙන් විමසීමක් කර ඇති බවද දැනගන්නට ඇත. ඒ පිළිබඳ සිදුවූ අදහස් හුවමාරුවේදී යම් යම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදිය නොහැකි බව රනිල් පෙන්වා දෙද්දී බැසිල්, එසේ නම් එම චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නොදී, අනෙක් මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බවක්ද ආරංචිය. නමුත් ඊට රනිල් නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් බැසිල් මෙම යෝජනාව කර ඇත්තේ චෝදනා සහිත මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සහිතවද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නැත.
හපුහින්න යළි එළියට!
මේ අතර මීට මාස කිහිපයකට ඉහතදී අප මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ චක්‍රලේඛයක් මුල් කරගෙන පැනනැගුණු බරපතළ ප්‍රශ්නයක් පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ වාර්තා කිරීමක් සිදුකළෙමු. හපුහින්න නිකුත් කළ එම ලිපියෙන් කියවුණේ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ ඇප මුදල් භාරගැනීමෙන් වැළකී සිටින ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට නිකුත් කර තිබූ නියෝගයකි. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වෙද්දී හපුහින්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් කැබිනට් තීන්දුවක් මත තමන් එම ලිපිය යොමුකළ බවත්, එසේ උපදෙස් ලබා දෙන ලෙස කැබිනට් ලේකම්වරයා විසින් තමන්ට ලිපියක් යොමුකොට ඇති බවත්ය.
දිනේෂ් නෑ කිව්වා!
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ එවැනි තීන්දුවක් නොගත් බවත්, කැබිනට් ලේකම්වරයා විසින් එවැනි ලිපියක් යොමුකොට නොමැති බවත්ය. එම ප්‍රකාශයත් සමගම සමාජය හමුවේ නීල් හපුහින්න පත්වූයේ අලි බොරුකාරයෙක් බවටය.
ලියුම එළියට එයි! දිනේෂ් බොරුකාරයා වුණාද?
කෙසේ වෙතත් මෙම සිදුවීම යට ගොස් තිබුණද මීට සති තුනකට පමණ ඉහතදී වෙනත් සිදුවීමක් හරහා නැවත මෙම සිදුවීම දේශපාලන කරළියේ කතාබහට ලක්වන ආකාරයක් දැකගත හැකි විය. ඒ, මීට සති 3කට පමණ ඉහතදී එක්තරා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පතක් සිය ප්‍රධාන සිරස්තලයෙන් විශේෂ පුවතක් අනාවරණ කරමින් කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න මහතා වෙත යොමුකළ ලිපිය පළකිරීමට පියවර ගැනීම හරහාය. ඔවුන් මේ ලිපිය රැගෙන තිබුණේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමිනි. ඒ අනුව මෙම ලිපිය ලබාගත් සිංහල – ඉංග්‍රීසි පුවත්පත් දෙක එය සිය මුල් පුවත මගින් පළකිරීමට පියවර ගත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී එවැනි ලිපියක් කැබිනට් ලේකම්වරයා විසින් එවා නැති බවට කළ ප්‍රකාශය බොරුවක් බවට පත්කරමිනි. ඒ අනුව මෙම පුවත පළවීමත් සමග දිනේෂ් පාර්ලිමේන්තුවේදී අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවක් පැහැදිලිව දැකගන්නට ලැබිණි.
මද්දුමබණ්ඩාරගෙනුත් දිනේෂ්ට විරුද්ධව ප්‍රකාශයක් ගනී!
මීට අමතරව ඒ පුවත්පත ඊට පසු දිනම තවත් විශේෂ පුවතක් පළකොට තිබිණි. ඒ, දිනේෂ් පාර්ලිමේන්තුවේදී බොරු කී බවට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ලබා ගත් ප්‍රකාශයකි. එමෙන්ම එසේ බොරු කීවාට දිනේෂ්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවටද රංජිත් මද්දුමබණ්ඩාර එහිදී එම පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි.
අගමැතිකම ඉලක්ක කර මෙහෙයුමක්ද?
ඒ අනුව පැහැදිලිවම මෙම පුවත් දෙක, දිනේෂ් සහ දිනේෂ්ගේ අගමැති ධුරය ඉලක්ක කොට ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණෙන් පළවූවක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි. ඒ අනුව මෙම පුවත පළවූ වහා ජනාධිපතිවරයාට සම්බන්ධ පාර්ශ්වයන්ද ගණන් හදා තිබුණේ එය පැහැදිලිවම කිසියම් පිරිසකගේ සංවිධානාත්මක සැලසුමකට අනුව පළවූ එකක් බවටය. විශ්වාසභංගයක් ගෙන ඒම හරහා දිනේෂ්ව අගමැති ධූරයෙන් ඉවත් කිරීමට යම් පිරිසකට වුවමනා වී ඇති බවක්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ තීන්දුව විය.
අපි මේ ගේම කලින්ම හෙළිකළා!
කෙසේවෙතත් මීට සති 4කට ඉහතදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අගමැති ධුරය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, ඒ අනුව නියෝජිතයන් කිහිප දෙනකු හරහාම අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස දිනේෂ්ට පණිවුඩ යවා ඇති බවත්ය. මීට අමතරව විශේෂ නියෝජිතයකු දිනේෂ් හමුවී මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවද අපි එහිදී අනාවරණ කළෙමු. නමුත් එහිදී දිනේෂ් විවිධ මාධ්‍යවලට ප්‍රකාශ ලබා දෙමින් කියා සිටියේ එම කතාව අසත්‍යයක් බවත්, අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස තමන්ට කිසිවකුත් දැනුම් දී නොමැති බවත්, තමන් දිගටම අගමැති ධුරයේ කටයුතු කරන බවත්ය.
නිව්ස් එකට විජේරාමත් සම්බන්ධද?
නමුත් යට කී ලිපිය අදාළ පුවත්පත්වල පළවීමත් සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගණන් හදන පිරිස මේ වන විට සොයමින් සිටින්නේ එම පුවතට විජේරාම නිල නිවෙස පැත්තේ සම්බන්ධයක් තියෙනවාද නැද්ද කියාය. ඒ අනුව ජනාධිපතිවරයාගේ පවුලට සම්බන්ධ ඉංග්‍රීසි පුවත්පතක් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පසුගිය සතියේදී තවත් විශේෂ ඉල්ලීමක් සිදුකොට තිබිණි. ඒ, මහින්ද ජීවත් වන විජේරාම නිල නිවෙස ප්‍රතිසංස්කරණය කිරීමේදි ඊට අගමැති කාර්යාලය මගින් කොපමණ මුදලක් වැයකොට තිබේද, ඊට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීම සඳහා කොපමණ මුදලක් වියදම් කර තිබේද, ඊට කොන්ත්‍රාත් ලබාදුන් පුද්ගලයන්ට කොපමණ වියදම් කර තිබේද යන්න පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසටය.
මහින්දටත් ගේමක් කැරකෙනවද?
කෙසේ වෙතත් මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියා කිරීම පිළිබඳ මුලින්ම මාතෘකාව ඉදිරියට ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේය. ඒ අනුව අගමැති කාර්යාලයට ඊට අදාළ යෝජනාව පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා කළේ විජේරාම නිල නිවෙස අලුත්වැඩියා කිරීමේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරා ගැනීමය. අපි එකල එම තොරතුරුද ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියා කිරීමට වැයවූ මුදල් පිළිබඳ තොරතුරු අගමැති කාර්යාලයෙන් විමසද්දී ඔවුන් කියා තිබුණේ ඊට අදාළ කටයුතු සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදුකළා යැයි කියාය. ඒ අනුව අදාළ ඉංග්‍රීසි පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම ඉල්ලීම මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකොට ඇති බවක්ද ආරංචිය. ඒ අනුව මහින්දගේ නිවස අලුත්වැඩියා කිරීමේදී වැයවූ රුපියල් බිලියන ගණනක මුදල්වලට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පුවත්පත වෙත නිකුත් කරනු ඇද්ද යන්න පිළිබඳ මේ වන විට ඇත්තේ බරපතළ තත්ත්වයකි.
BMC එකෙනුත් බඩු අරන්!
එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරද්දී අප වරක් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියා සිටියේ නිවෙස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය විවිධ කොන්ත්‍රාත්කරුවන් හරහා රජයට සම්බන්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් ලබාගෙන ඇති බවය. ඒ අනුව මේ වන විට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපතිවරයා විසින් ඊට අදාළ විශේෂ විගණන වාර්තාවක් සකස් කොට ඇති බවක්ද ආරංචිය. එම විගණන වාර්තාව හරහා මෙම බඩු භාණ්ඩ ගත්තේ කොතැනින්ද, එම බඩු භාණ්ඩ ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළාද, ටෙන්ඩර් කැඳවූවාද යනාදී කරුණු සම්බන්ධයෙන් සියලු තොරතුරු මෙම විගණන වාර්තාව මගින් අනාවරණ කර ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම සභාපතිවරයා විසින් මෙම විගණන වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
සීතල යුද්ධයක් පටන් අරන්!
ඒ අනුව මෙම සියලු කරුණු දෙස බලද්දී එළියේ සිටින විට සිනාසෙමින් කතාබහ කරමින් සිටියද, තිරය පිටුපස අගමැතිධූරය සඳහා දරුණු සීතල යුද්ධයක් ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ජ්‍යොතිෂවේදීන් මහින්දට දීපු දිනය!
එමෙන්ම අපි පසුගිය සතියේදී ජ්‍යොතිෂය පැත්තෙන්ද මහින්දට අගමැති ධුරය ලබාදීම සඳහා නිශ්චිත කාලසීමාවක් යෝජනා කොට තිබූ බවක්ද වාර්තා කොට සිටියෙමු. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කරන්නේද ඊට අදාළ තවත් විශේෂ කරුණකි. අපට ඇති තොරතුරුවලට අනුව මහින්දට යළි අගමැති ධුරය ලබාගැනීම සඳහා ඉතාම සුබ දිනය ලෙස ජ්‍යොතිෂවේදීන් ලබාදී ඇත්තේ ලබන මැයි මස 07 වැනි දිනය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටින්නේ මහින්ද මෙම දිනය ඔළුවේ තබාගෙන අගමැති වීමේ සටන යළි අරඹා ඇතැයි කියාය.
චීන තානාපති නිතරම විජේරාමෙට!
එමෙන්ම මේ දිනවල තවත් අතිවිශේෂ චරිතයක්ද නිතරම මහින්දගේ විජේරාම නිල නිවෙසට යන එන ආකාරයක් සහ නිතරම සාකච්ඡා පවත්වන ආකාරයක් දැනගන්නට තිබේ. ඒ, වෙන කවුරුවත් නොව චීන තානාපතිවරයාය. මේ ආකාරයට චීන තානාපතිවරයා මේ දිනවල නිතර නිතර විජේරාම නිල නිවෙසට ඒම පිළිබඳව කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුණේ තවත් අපූරු සැලසුමකි. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් සුවිශේෂ රහසක් හෙළිකිරීමට සූදානම්ය. අප මේ කියන්න යන්නේ ගෝඨාගේ ආණ්ඩු සමයේ සිදුවූ සිදුවීමක් සහ ඉදිරියේදී මහින්ද අගමැති වුවහොත් සිදුවීමට නියමිත සිදුවීමක් පිළිබඳවය.
ඩොලර් බිලියන 4ක් ගෝඨාටත් දෙන්න ලෑස්ති වුණා!
ගෝඨා ජනාධිපති ධුරයේ සිටියදී ආර්ථික අර්බුදයේ ආරම්භයට මුහුණ දීමට සිදුවීමත් සමග චීනය වහා ලංකාවට උදව් ලබාදීමේ අරමුණෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ණයක් ලබාදීමට තීරණය කර තිබිණි. ඒ, ලංකාව ණය ගෙවීමට නොහැකි බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පෙරාතුවය. ඒ අනුව එවක මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගින් දිගටම ගෝඨාට පෙන්වා දී තිබුණේ ඉකුත් සිංහල අලුත් අවුරුද්දට පළමු චීනය විසින් මෙම ඩොලර් බිලියන 4ක ණය මුදල් ලබාධීමට එකඟ වී ඇති බවත්, රට බංකොලොත් බව ප්‍රකාශ නොකොට මෙම ණය මුදල් ගෙන ඉදිරියට යා හැකි බවත්ය. නමුත් එහිදී ගෝඨා, කබ්රාල්ට දැනුම් දී තිබුණේ තමන්ට මූල්‍ය උපදෙස් ලබාදෙන හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු කණ්ඩායම විසින් රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කොට ණය ගෙවීම අත්හිටුවන ලෙසට උපදෙස් ලබාදී ඇති බවය. කබ්රාල් ඊට එරෙහිව ගෝඨාට කොතරම් කරුණු කීවද ගෝඨා සිය මතය වෙනස් නොකිරීම හේතුවෙන් අන්තිමේදී චීනය ලබාදීමට සූදානම් වූ ඩොලර් බිලියන 4ක ණය මුදල් නොගෙන රට බංකොලොත් බව ප්‍රකශ කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේය. එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යෑමටද ගෝඨා පියවර ගත්තේ ඒ උපදෙස් අනුවය.
මේ පාර 5ක් දෙනවා කියලා?
නමුත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ලංකාවට සම්මත කොට තිබියදීත් චීන තානාපතිවරයා දිගින් දිගටම මහින්දව මුණගැසීමට විජේරාම නිල නිවෙසට යන්නේ ඇයි? ඉදිරියේදී මහින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට විරුද්ධ වීමට තීරණය කර ඇත්තේ ඇයි?
ඒ වෙන මොකක්වත් නිසා නොව මහින්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට විරුද්ධ වී අගමැති ධුරය ලබාගැනීමට කටයුතු කළහොත් මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඉදිරියට නොලැබෙන නිසා පෙර පරිදිම චීනයෙන් ණය ආධාර ලබාගැනීමට ඔලුවේ තියාගෙනය. අපට දැනගන්නට ලැබී ඇත්තේ යම් හෙයකින් මහින්ද අගමැති වුවහොත් චීනය ගෝඨාට ලබාදීමට සූදානම් වූ ඩොලර් බිලියන 4 වෙනුවට ඩොලර් බිලියන 5ක්ම ලබාදීමට සැලසුම් කොට ඇතැයි කියාය.
ලංකාවත් අල්ලන්නද යන්නේ!
මේ ආකාරයට චීනය යළි ලංකාවට ඇතුළු වීමට සූදානම් වන්නේ ඇයිද යන්න පිළිබඳවද ඇත්තේ බරපතළ ප්රශ්නයකි. රුසියාව හා යුක්රේනය අතර වසරකට අධික කාලයක් පුරා දිවෙන යුද්ධය සමග නැවත වතාවක් ඇමෙරිකාව හා චීනය භූ දේශපාලනික වශයෙන් කඳවුරුගත වීමේ සූදානමක් මේ වන විට දැකගන්නට තිබේ. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, ඔස්ටේ්රලියාව, යුරෝපය ඇතුළු ප්‍රබල රටවල් එක කඳවුරකට ගොනුවෙද්දී චීන ජනාධිපති ෂී ජින්පින් හදිසියේම රුසියාවට ගොස් චීන – රුසියා සබඳතා අලුත් කරගැනීමට පියවර ගත්තේය. ඒ අනුව චීනය මේ උත්සාහ කරන්නේ ඒ ගොඩට ලංකාවට ඇතුළත් කරගැනීමටදැයි යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ගැටලුවකි. ඒ කොයි හැටි වෙතත් මෙරට චීන තානාපතිවරයා විජේරාමේ පිහිටි මහින්දගේ නිල නිවෙසට මේ දිනවල නිතර යන එන ගමන පසුපස නම් බොහෝ දේශපාලන කතන්දර සැඟව ඇති බව පැහැදිලිය.
හපුහින්නට මාරුව ලැබුණේ ඇයි?
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් බණ්ඩාර හපුහින්නට හදිසියේම ස්ථාන මාරුවක් ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසටය. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පළමු චෝදනාව එල්ල වූයේ හපුහින්නටය. ඒ, මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ ලිපියක් මුල් කරගෙනය. හපුහින්නගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහු සඳහන් කොට තිබුණේ කැබිනට් ලේකම්වරයා විසින් තමන්ට එවන ලද ලිපියක් මුල් කරගෙන තමන් එම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමුකළ බවකි. නමුත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කැබිනට්ටුව එවැනි තීන්දුවක් නොගත් බවත්, කැබිනට් ලේකම්වරයා එවැනි ලිපියක් යොමුකොට නැති බවත් ප්‍රකාශ කිරීමත් සමග හපුහින්නට විශාල දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ලියුම මාධ්‍යයෙන් ඉල්ලයි!
කෙසේ වෙතත් මීට සති කිහිපයකට ඉහතදී තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මාධ්‍ය ආයතනයක් විසින් කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය ලබාදෙන ලෙස කළ නිල ඉල්ලීමකට අනුව එම කටයුතු භාර ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් හපුහින්න මහතාගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී හපුහින්න උපදෙස් දී තිබුණේ නීතියට අනුව එවැනි ඉල්ලීමක් ලැබුණහොත් එය ලබාදිය යුතු නිසා අදාළ ලිපිය නිකුත් කරන ලෙසය. නමුත් මේ ලිපිය මාධ්‍යයට නිකුත් වීමත් සමග බරපතළ දේශපාලන අර්බුදයක් මතුවිය. ඉන් එකක් වූයේ එවැනි ලිපියක් නිකුත් නොකළ බවට දිනේෂ් පාර්ලිමේන්තුවට කී කතාව බොරුවක් වීමය. අනෙක කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා වී ඇති බව ඔප්පු වීමය. ඒ හරහා හපුහින්නට එල්ල වී තිබුණු විශාල චෝදනාවෙන් කොටසක් එකවරම ගැළවී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. හපුහින්නට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට බලපෑ පළමු කාරණය වී තිබුණේ එයය.
කමිටු දාන්න ඉල්ලයි!
දෙවැනි කාරණය වූයේ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ඒවාට කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මතුවූ සාකච්ඡාවේදී ඇතිවූ විවාදාත්මක තත්ත්වයකි. මෙහිදී බැසිල්ගේ පාර්ශ්වයේ ඉදිරිපත් වූ යෝජනාවකින් කියැවුණේ හිටපු සභාපතිවරු සහ උපසභාපතිවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් පළාත් පාලන ආයතනවල වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවය. නමුත් ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති වීම නිසා එම යෝජනාව මේ වන විට කුණු කූඩයට විසිවී තිබේ.
හපුහින්න මේ පාර බෑ කියලා!
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මේ හා සමානම යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එයද කමිටුවක් හරහා පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටය. මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් හපුහින්නට පැමිණි පසු හෙතෙම ඍජුවම එම යෝජනාව ඉවත දැමීමට පියවර ගෙන ඇත්තේ ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති බව දක්වමිනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත්, කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමත් හපුහින්නගේ අමාත්‍යාංශ ලේකම් ධුරය අහිමි වී ඔහුට ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසට දැනුම් දීමට හේතු වී ඇතැයි බොහෝ දෙනාගේ සැකයට බදුන් වී තිබේ.
ලාබ ලබන තැන් විකුණන්න ලෑස්තියි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලංකාවට ලැබුණු දිනම සවස් වරුවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් තවත් විශේෂ නිවේදනයක් නිකුත් විය. ඉන් පෙන්වා දී තිබුණේ රාජ්‍ය ආයතන හතක් සතු ආණ්ඩුවේ කොටස් ප්‍රමාණය විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවකි. එම ආයතන හත වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්රෝ ගෑස්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලන්කන් කේටරින්, ලංකා හොස්පිට්ල්ස්, හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයට් හෝටලය හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන ආයතනයන්ය. කෙසේ වෙතත් මෙහිදී දක්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව විශාල ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනද මෙසේ ඈවර කිරීමට තීරණය කිරීමය.
ලංකා හොස්පිට්ල් ගන්නේ කව්ද? සාකච්ඡා පටන් ගත්තේ ලන්ඩනයේ!
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම් වන්නේ කවුරුත් මෙතෙක් නොදැන සිටි අතිවිශේෂ රහසකි. ඒ, ලංකා හොස්පිට්ල්ස් ආයතනය විකුණා දැමීමට පදනම වැටුණු ආකාරය පිළිබඳවය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම ආයතනය නිල වශයෙන් විකුණා දමන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් නිවේදනය නිකුත් කළද ඊට අවශ්‍ය වටපිටාව සහ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අදක ඊයේක නම් නොවේ. එම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ මීට මාස හයකට ප්‍රථම, එනම් ඉකුත් වසරේ සැප්තැම්බරයේ ලන්ඩන් නුවරදීය. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප හෙළිකිරීමට සූදානම් වන්නේ ලන්ඩන් නුවර මෙම සාකච්ඡා ආරම්භ වූ ආකාරයත්, ඊට සහභාගි වී සිටි අය කවුරුන්ද යන්න පිළිබඳවත්, ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සුදානම් වන්නේ කවුරුන්ද යන්නත් පිළිබඳවය.
ගන්න යන්නේ අල්ලිරාජාද?
අපට ඇති තොරතුරුවලට අනුව ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සූදානම් වන්නේ වෙන කවුරුවත් නොව ලාංකීය සම්භවයක් සහිත ආන්දෝලනාත්මක ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වූ සුභාෂ්කරන් අලිරාජාය. එසේ නැතහොත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රබල ව්‍යාපාරිකයකු වූ ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරුවාය.
EAP එක ගත්තෙත් අල්ලිරාජා! වාර්තාවට වෙච්ච දෙයක් නෑ!
මේ සුභාෂ්කරන් අලිරාජා යනු ලංකාවට අලුත් නමක් නොවේ. ඔහු ලංකාවේ ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී නාලිකාව මිලදී ගැනීමත් සමගය. මෙම ගනුදෙනුව කෙතරම් ආන්දෝලනාත්මක වූවාද කියනවා නම් අදටත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ විශාල අබිරහසකි. ඒ අනුව මෙම චෝදනා නිසාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි සැණින් ඒ පිළිබඳ සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කළේය. එම කමිටුවද අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නේය. දැනගන්නට ඇති ආකාරයට එම වාර්තාව මගින් මෙම ගනුදෙනුව සිදුකිරීමේදී බරපතළ වංචා දූෂණ සහ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව අනාවරණ කොට ඇති බව ආරංචිය. ඉන් අනතුරුව එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පියවර ගැනිණ. පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එය මහබැංකුව වෙත යොමුකර ඇත්තේ මහබැංකුවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට වූ නිගමන මුල් කරගෙනය. නමුත් අදටත් ඒ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් දැකගන්නට නැත. වත්මන් ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා පාටක්ද පෙනෙන්නට නැත. කෙසේ වෙතත් ඉදිරියේදී අප මෙම ස්වර්ණවාහිනී ගනුදෙනුවේ අලගිය මුලගිය තැන් සහිතව ආන්දෝලනාත්මක ලිපියක් පළකිරීමට සූදානමින් සිටින බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ගියේ ප්‍රබල උපදේශකයෙක්! සුපිරි කාන්තාවක්!
මෙවර අප හෙළිදරව් කරන්නේ මේ කියන අලිරාජාම ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීම සඳහා ලන්ඩනයේ පැවැත්වූ රහස් සාකච්ඡාව පිළිබඳවය. ඊට ලංකාව පාර්ශ්වයෙන් සහභාගි වී සිටියේ එක්තරා ප්‍රබල චරිතයක් සහ සුපිරි කාන්තාවකි. මෙම ප්‍රබල චරිතය අදටත් ආණ්ඩුවේ ඉහළ තැනක උපදේශක තනතුරක් දරන වී.වී.අයි.පී. පන්නයේ පුද්ගලයෙකි. සුපිරි කාන්තාවද ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් සමග සබඳකම් පවත්වන ප්‍රසිද්ධ කාන්තාවකි. ඇය බිලියන ගණන් හුවමාරු වන ගනුදෙනුවල අතරමැදි චරිතය රඟපාන චරිතයක් ලෙසද ප්රකටය. ක්ෂේත්රයේ බොහෝ දෙනා දැන සිටින කරුණක් වන්නේ මෙම දෙදෙනා ‘ලිවින් ටුගෙදර්’ නැතහොත් විවාහ නොවී එක ගෙදරක ජීවත් වන බවය.
VVIP කාමරවල! ගමන් බිමන් රෝල්ස්රොයිස්වල!
ඒ අනුව මේ දෙදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ ලන්ඩනය බලා පිටත්ව ගියේ ලංකා හොස්පිට්ල් සම්බන්ධ ගනුදෙනුව අලිරාජා මුණගැසී සාකච්ඡා කිරීමටය. එම හමුව සංවිධාන කර තිබුණේද මෙම කාන්තාව විසින්මය. ඒ, අලිරාජා සහ ඇය අතර පැවැති සමීප සබඳකම් මුල්කොට ගෙනය. ඒ අනුව ඇය ලන්ඩනයට පැමිණීමෙන් අනතුරුව පළමුවෙන්ම මෙම ප්‍රබල උපදේශකයාව අලිරාජාට මුණගැස්වීමට සැලැස්සුවාය. ලන්ඩනයේ සිටි කාලය අතරතුරදී මේ දෙදෙනා නවාතැන් ගත්තේ අතිසුඛෝපභෝගී හෝටල්වල වී.වී.අයි.පී. කාමරවලය. ගමන් බිමන් ගියේ අතිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් කාර්වලය.
අලිරාජාගෙන් කොළ එළියක්!
ආණ්ඩුව ලංකා හොස්පිට්ල් ආයතනය විකිණීමට සැලසුම් කර ඇති බව පළමු වරට එළියට එන්නේ අලිරාජා සමග පැවැති මෙම සාකච්ඡාවේදීය. ඊට අලිරාජාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබීමෙන් පසු එම ගනුදෙනුව සිදුකරන ආකාරය පිළිබඳවද, ඊට පසුබිම සකස් කරන ආකාරය පිළිබඳවද එහිදී විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම ඒ දිනවලම ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් ලන්ඩනයේ සංචාරයක නිරතව සිටි අතර, ඔවුන් සමග සුපිරි හමුවක් සංවිධාන කිරීමටද මේ දෙදෙනා පියවර ගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
අපි කලින්ම කිව්වා!
ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කර සිටින්නේ පසුගිය සැප්තැම්බරයේ ලන්ඩනයේදී අලිරාජා සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා හොස්පිට්ල් ආයතනය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරනවාදැයි කියාය. මෙහි කොටස් කොළඹ කොටස් වෙළෙඳපළට යොමු කිරීමෙන් අනතුරුව ඒවා මිලදී ගැනීමට සූදානමින් සිටින්නේ අලිරාජාදැයි කියාය. දැනට අලිරාජාගේ ව්‍යාපාරික ක්ෂේත්රය වන සන්නිවේදන ක්ෂේත්රයට අමතරව රෝහල් ක්ෂේත්රයටත් මේ හරහා අලිරාජා යොමුවීමට සූදානමින් සිටිනවාදැයි කියාය.
මෙම ලන්ඩන් සාකච්ඡාවේ තවත් අතිවිශේෂ තොරතුරු සහ ඡායාරූප රැසක් අප සතුව පවතින අතර යම් හෙයකින් ඉදිරියේදී ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් ආයතනවල ගනුදෙනු සිදුවීමේදී අලිරාජාගේ නමද කරළියට පැමිණියහොත් ඒ සියල්ල අප හෙළිකිරීමට සැලසුම් කර ඇත්තේ අප අද හෙළිකරන මෙම කතාව තහවුරු කිරීම සඳහාය.
ලංකාදීපෙන් තවත් බොරුවක්!
පසුගිය සතියේදී සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ඉරිදා ‘ලංකාදීප’ පුවත්පතේ දයාසීලී ලියනගේ මාධ්‍යවේදිනිය විසින් විශේෂ පුවතක් මුල් පිටුවේම පළකිරීමට පියවර ගෙන තිබිණි. ඉන් කියැවුණේ සමගි ජන බලවේගය පිහිටුවීමේදී ඇති කරගත් කොන්දේසි හා එකඟතා ඉටුකිරීමට නොහැකි වීම හේතුකොට ගෙන එම පක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් සජිත් සමග මතගැටුමක් ඇති කරගෙන ඇති බවත්, ඒ අනුව සමගි ජන බලවේගය ඇතුළේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්ය. එම සාකච්ඡාවට රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි වී නොසිටි බවද එම පුවතේ සඳහන්ව තිබිණි. කෙසේ වෙතත් මෙම පුවත පළවූ දිනට පසුදිනම සමගි ජන බලවේගය විශේෂ ප්‍රකාශයක් කරමින් එම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, සජබ පක්ෂ නායකයන් අතර රැස්වීමක් පැවැති නමුත් එහිදී මෙවැනි කිසිදු කරුණක් සාකච්ඡා නොවුණු බවත් සඳහන් කර සිටියේය. එහිදී සාකච්ඡා වූයේ ආණ්ඩුවේ ජනාධිපති විරෝධී කටයුතු සහ විපක්ෂය ඊට එක්ව ප්‍රතිචාර දක්වන ආකාරය බව කියා සිටි සජබය එම සාකච්ඡාවට රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි වී සිටි බවද පෙන්වා දුන්නේය. ඒ අනුව නැවත වතාවක් ‘ලංකාදීප’ මාධ්‍ය ජාලය සජබය ඉලක්ක කොට අසත්‍ය පුවතක් පළකොට ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියැවිණි.
විපක්ෂය ඒතාබද්ධ වෙයි!
මීට අමතරව පසුගිය සතියේදී සජබය තවත් විශේෂ වැඩකටයුතු දෙකකට අතගැසුවේය. එහි පළමුවැන්න වූයේ ආණ්ඩුව විසින් අධිකරණය වෙත එල්ල කරන බලපෑමට එරෙහිව සමස්ත විපක්ෂයම ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළය. මේ සඳහා පදනම වැටුණේ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් සහ මහාචාර්ය ජී.එල්. පීරිස් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
‘ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂය ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගිහිල්ලා මේ තත්ත්වය පරාජය කරන්න ඕනේ…’ යනුවෙන් ජී.එල්. කියද්දී සජිත්ගේ එකඟතාවද ඊට පළවිය. ඒ අනුව තීන්දු වූයේ ආණ්ඩුවේ මෙම මර්දනයට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සත් තැබීමටය. විපක්ෂ නියෝජිතයන් ඊට සම්බන්ධ කරගැනීමේ වගකීම පැවරුණේ සජිත්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධනටය. ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කිරීමේ වගකීම පැවරුණේ ලක්ෂ්මන් කිරිඇල්ලටය. විපක්ෂය ඒකාබද්ධව පසුගිය කාලසීමාව පුරා සිදුකළ කටයුතුවලදී ජවිපෙ මඟහැර සිටියත් කිරිඇල්ල අනුරට කතාකොට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඊට ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි කරවීමට අනුර එකඟතාව පළ කළේය. ඒ අනුව ආණ්ඩුවේ මර්දනයට එරෙහි මෙම ඒකාබද්ධ ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස, ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, එම්.ඒ. සුමන්තිරන්, උදය ගම්මන්පිල, අසංක නවරත්න, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, චන්දිම වීරක්කොඩි, හරිනි අමරසූරිය ඇතුළු විපක්ෂ නියෝජිතයන් රැසක් අස්සන් තැබීම විශේෂ සිදුවීමකි. එය මෑත කාලයේ සමස්ත විපක්ෂයම එකට එක්වූ පළමු අවස්ථාව ලෙස දැකගන්නට ලැබිණි.
පොහොට්ටු මන්ත්‍රී සජබයේ වාඩිවෙයි!
දෙවැනි සිදුවීම වූයේ විපක්ෂය විසින් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හමුවී ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමට තීන්දු කිරීමය. මෙම තීන්දුව ගැනුණේ පසුගියදා පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. මෙම රැස්වීමේ විශේෂ සිදුවීම් තුනක් දැකගත හැකි විය. ඉන් එකක් වූයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වූ ජයරත්න හේරත් මහතා පළමුවරට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අසුන් ගැනීමය. ජයරත්න හේරත් මීට පෙරද සජබය සමග එක් වුවද පසුව නැවත වතාවක් ආණ්ඩුවට ගියේ ඇමැතිකමක් ලබාදෙන බවට දී තිබූ පොරොන්දුවක් මතය. නමුත් කියූ පරිදි ඇමැතිකමක් හිමි නොවීම නිසා නැවත වතාවක් සජබය සමග එක්වීමට ජයරත්න හේරත් තීරණය කර තිබිණි. එදින සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජයරත්න හේරත් සහභාගි වී තිබුණේ ඒ අනුවය.
රාජිත-ඉමිතියාස් ඇවිත්!
මීට අමතරව පසුගිය කාලසීමාව පුරාම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ගෙන ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය වාර්තා කර තිබූ රාජිත සේනාරත්න මහතාද එදින සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම තුන්වැනි සිදුවීම වූයේ ඉමිටියාස් බාකීර් මාකර් මහතාද මෙම රැස්වීමට සහභාගි වී සිටීමය. පසුගියදා ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කොට තිබුණේ ඉමිතියාස් සජබය සමග කිසියම් විරසකයක් හදාගෙන ඇතැයි කියාය. නමුත් එම මාධ්‍ය වාර්තාව පුස්සක් කරමින් ඉමිතියාස් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටිනු දක්නට හැකි විය.
තානාපතිවරුන් ටාජ් එකේදී හමුවෙයි!
කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ආණ්ඩුව දියත් කර ඇති මර්දනයට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් කළේ කාවින්ද ජයවර්ධනය. ඒ ආවාට ගියාට නොව, මෙරට සියලු ප්‍රධාන පෙළේ රටවල තානාපතිවරුන් දැනුවත් කොට වෘත්තීමය ආකාරයට ඉහළ පෙළේ හෝටලයකදී පැවැත්විය යුතු බවටද එහිදී යෝජනා විය. ඒ අනුව ඒ මොහොතේදීම දිනය තීරණය කිරීමටත්, කොළඹ ටාජ් හෝටලය ඒ සඳහා වෙන් කරගැනීමටත් පියවර ගැනිණ. එමෙන්ම සමගි ජන සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සියල්ලන්ටම ඊට ආරාධනා කිරීමටත් තීන්දු කෙරිණි.
ආපු ප්‍රබලයන් මෙන්න! විපක්ෂය ඉල්ලපු දේ!
ඒ අනුව බදාදා රාත්රියේදී මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, බි්රතාන්ය මහකොමසාරිස් සාරා හල්ටන්, යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චයිබි, නවසීලන්ත මහකොමසාරිස් මහිකල් ඇපටන්, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අනුක් බාරොන්, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය ෆ්රැන්සිස්කෝ ෆෙරෙල්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ්, ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ, ඔස්ටේ්රලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමාසරිස් ලලිතා කපූර්, ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔරේවියන් මැලේ, කැනඩා තානාපති කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ඩැනියෙල් බ්ලඩ් සහ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඔසාකි ටකේෂි යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වී සිටියහ. විපක්ෂය නියෝජනය කරමින් සජිත්ට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරල, ඉරාන් වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, ජී.එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී සාකච්ඡාවේ අරමුණ වූ මැතිවරණ කල්දැමීම, අධිකරණයට අත පෙවීම, ප්රජාතන්ත්රවාදය වළදැමීම, මානව අයිතිවාසිකම් කඩකිරීම යනාදී ක්‍රියාමාර්ගයන්ට ආණ්ඩුව යොමුවී ඇති බවත්, කිසිසේත්ම ඊට සහාය නොදක්වන ලෙසත් වශයෙන් කරුණු පැහැදිලි කිරීම් කළේ ජී.එල්. පීරිස්, සජිත් සහ සුමන්තිරන්ය. මෙහිදී පැමිණ සිටි සියලු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එවැනි කිසිවකට තමන් සහයෝගය නොදක්වන බව අවධාරණය කිරීම විශේෂ සිදුවීමක් විය. මේ බව දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇති බව කියා සිටි ඔවුහු ආණ්ඩුව ඊට කන් නොදී දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනීමට සූදානම් බවද විපක්ෂ නියෝජිතයන්ට දැනුම් දී සිටියහ.