මේ රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව බවත් මේ මොහොත වන විට අප රටේ ජනතාවගේ මූලික අයිතියක් වන සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම කෙලෙසමින් නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණ ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එය සලකා බලා අන්තර්වාර නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදවන ලෙස වුවත් රජය සිදු කර සිටියේ තමන්ට පක්ෂපාතී මන්ත්‍රීවරු දෙපලක් උපයෝගී කර ගෙන පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉස්මතු කර මේ තීන්දුව අභියෝගයට ලක් කළ බවත් මේ හේතුවෙන් ප්රජාතන්ත්රවාදය සුරකින අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර දැවැන්ත අර්බුධයක් නිර්මාණය වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය සිකුරාදා (24) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණයේ සියලුම සාමාජිකයන්ගේ ගරු පැවැත්ම වෙනුවෙන් විපක්ෂයක් ලෙස පෙනී සිටින බව ද පැවසීය.
විධායක සහ පාර්ලිමේන්තු බලතල උපයෝගී කර ගෙන විනිසුරුවන් අපහසුතාවට ලක් කර අවලාදවලට ලක් කර වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙනවිත් චරිත ඝාතනය කිරීම තුළින් අධිකරණයට අත පෙනීමට සූදානම් වීමක් බවත් ප්රජාතන්ත්රවාදය අගයන මහජන නියෝජිතයකු ලෙස එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාම අත්වැල් බැඳ ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් සියලු දේශපාලන කුමන්ත්‍රණ නවත්වා මිනිසුන් ඉල්ලා සිටින මැතිවරණය පවත්වන ලෙසත් එසේ නොමැති වුවහොත් සමහර පාර්ශ්වයන් විසින් ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවල නිරත විය හැකි හෙයින් එවැනි රටට අහිතකර තත්ත්ව ඇති වීමට පෙර මැතිවරණය පවත්වා ප්රජාතන්ත්රවාදය සුරකින ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.