සිරිකත කැන්දන නිවෙසක් තනා ගැනීම සුළුපටු දෙයක් නොවේ. ඒ වගේම තමයි කෙතරම් මිල-මුදල් වියදම් කළත් ඒ තත්ත්වයට පත්විය හැකි කාරණාවකුත් නොවේ. මිල-මුදල් යහමින් නැතත් සමහරුන් ජීවිතයේ බොහෝ කාරණා කටයුතු පහසුවෙන් සඵලදායිත්වයට පත්කර ගනු ලබනවා. නමුත් සමහරුන් කොතරම් මිල-මුදල් ඉපැයූවත් ඒවා කොතරම් විය පැහැදම් කළත් දිවියට යහපත, සිරියාව උදාකර ගන්නේ කලාතුරකින්. නැතිනම් නිවෙස හදන්න මිල-මුදල් වියදම් කරන්න පටන්ගත් දිනයේ පටන්ම වෙනත් කාරණා කටයුතු වෙනුවෙන් ඒ මුදල් වියදම් කරන්නට සිදුවෙනවා. නැති කරදර හිස මත පාත් වීමෙන් කරදර ගොඩක පැටලෙනවා.
නමුත් බොහෝදෙනා මේ තත්ත්වයෙන් හාත්පසින්ම වෙනස්. නිවෙස් බලාපොරොත්තු මට්ටමින් කෙසේ හෝ ගොඩනඟාගෙන ජීවත් වන අතරතුරේ නිවැසියන්ගේ දිවියට පීඩා දෙනු ලබනවා. මෙවන් අවස්ථාවන් බොහෝ ජන්මීන්ට පීඩා ගෙනදෙනවා. මන්ද මේ වන විට අතේ ඇති මුදල් සන්තකේම වියපැහැදම් කරලා නිවෙස ගොඩනඟා ගත්තද දැන් සැනසීමේ ජීවත් වන්නට නොවීමත් මහා ගැටලුවක්. ඉතින් මෙන්න මේ කාරණා ගොඩට වැටෙන බලවත් වේද දෝෂයක් වශයෙන් දේවතා වේද දෝෂය හඳුන්වා දෙන්න පුළුවන්.
මෙයද සුළුවෙන් තැකිය නොහැකි වේද දෝෂයකි. බොහෝ කලාතුරකින් පිහිටන්නක් වුවද බලපෑම සුළුපටු නොවේ. නිවෙසේ ප්‍රධාන මංගල උළුවස්ස ඉදිරිපිටට පිහිටන ලෙසින් දෙවි දේවතාවන්ගේ පිළිම, රූප හෝ යම්කිසි සුරුවමක් හෝ පිහිටන්නේ නම් එය පිහිටන නිවසේ නිවැසියන්ට වේදයක්ම වෙයි. මෙතුළින් නිවැසියන්ගේ වස්තු භංගත්වය සිදුවීම වනවා සේම නිවෙසේ සාමාජිකයන්ගේ මානසික අසහනයද ප්‍රබල ලෙස ඇති වීමට හේතුවක් වන්නේය. විශේෂයෙන් නොසිතනා අවස්ථාවන්හිදී ජන්මීන් සතු ස්ථාවර ධන හානි වීම් හෝ දේපොළ නොයෙක් කාරණා මත අන්සතු වී සමහර අවස්ථාවන්හිදී රජයට පවරා ගැනීම් ආදිය පවා මෙම වේද දෝෂයෙන් බලපෑම් ගෙනදෙනු ලබන කාරණා වනු ඇත. එසේම තවත් අතකින් කිවහොත් නිවැසියන්ගේ මානසික සිත්තැවුල් බලවත්ව යෙදෙන කරදර කටයුතු බහුල වන්නේද මෙවන් දෝෂයන් ප්‍රමුඛ වන නිසාවෙන් විය හැකිය. එනිසා එවන් ස්මාරක පවතී නම් ඒවායින් මිදී කටයුතු සිදු කිරීමටත්, ප්‍රධාන දොර උළුවස්ස තබන්නේ නම් එවන් දෝෂ මඟහැර ස්ථාපනය කිරීමටත් වගබලා ගතයුතුය.
විශේෂයෙන් නව නිවාස ඉදිකිරීම් සිදු කරන අයකු නම් මෙම කාරණාව මත පදනම්ව හොඳින් සොයා බලා නිවෙසේ ද්වාරයන්ට බලපාන පාරිසරික වටිනාකම සලසා දෙන්නට සිත් සේ සිතට ගතයුතුය. නැතිනම් පසුකාලීනව මහා පරිමාණ වියදම් නැවැත නැවැත සිදුකර නැති කරදරවල පැටලෙන්නට සිදුවන්නේය. එවන් තත්ත්වයන්ගෙන් මිදී යහපත් සුබදායී නිවෙසක් තනා ගැනීමට ඔබත් මින් අදිටන් කරගැනීම වටින්නේය. ඔබට තෙරුවන් සරණයි!
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











