සාමාන්‍ය ව්‍යවහාරයේදී ආසන යන්නෙන් අදහස් කෙරෙන්නේ අප හිඳ ගැනීම සඳහා භාවිත කෙරෙන ආධාරකයයි. නමුත් බුද්ධ ප්‍රතිමා කලාව තුළදී මෙම හිඳි පිළිමවල පාද පිහිටුවා ඇති ආකාරය ආසන ලෙස හැඳින්වෙයි. බුද්ධ ප්‍රතිමා කලාවේදී ප්‍රධාන වශයෙන් එබඳු ආසන තුනක් පිළිබඳව තොරතුරු දැක්වෙයි. එම ආසන පහත පරිදිය.
(01) වීරාසනය
(02) භද්‍රාසනය
(03) පද්මාසනය
අපේ ලාංකේය සංස්කෘතියේ ප්‍රෞඪත්වය ලෝකයා හමුවේ හෙළිකරන මාධ්‍යයන් අතරින් එක් ප්‍රබලතම මාධ්‍යයක් ලෙස බෞද්ධ කලා ශිල්ප හඳුන්වා දිය හැකි අතර එයින් බෞද්ධ බුද්ධ ප්‍රතිමා කලාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ අතරින් අපි ඉහළින් දක්වා තිබෙන බුද්ධ ප්‍රතිමා ආසනයන්ට හිමිවන්නේද ප්‍රධාන තැනකි. මේ අතර මෙම බුද්ධ ප්‍රතිමා ආසන ගණන තුනක් බව දැක්විය හැකිය. අප මීට පහළින් ඔබට පවසන්නේ එම ආසන තුනේ කතාවයි.
(01) වීරාසනය
වීරාසනය යනු අපේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ තිබෙන ප්‍රසිද්ධම ආසනයයි. එමෙන්ම අපගේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ වැඩි වශයෙන්ම දැකගත හැකි ආසනය වන්නේද වීරාසනයයි. ඒ අනුව වාඩි වී සිටින වම් පාදය දකුණු පාදයට යටින් මෙන්ම දකුණු පාදය වම් පාදයට උඩින් පිහිටන ලෙසින් තබා හිඳගෙන සිටින ඉරියව්ව වීරාසනයයි. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාවත් තොලුවිල ඒ බුද්ධ ප්‍රතිමාවත් මෙම ආසනයට නිදසුන් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති පුරාණ රජමහා විහාර තුළ වැඩි වශයෙන් මෙම වීරාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා දැකගන්නට ලැබෙයි. එය සුවිශේෂී කරුණකි.
(02) භද්‍රාසනය
මෙහි භද්‍ර යන්නෙන් යහපත් බව හෙවත් සුබ බව යන්න අර්ථවත් වෙයි. එබඳු යහපත් වූ සුබ වූ ආසනය වන්නේ මෙම භද්‍රාසනයයි. මඳක් උස් වූ ආසනයක් මත හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාදද පහළින් ඇති පද්මයක් වැනි යම් පීඨයක් මත තබාගෙන සිටීම එම ආසනයේ ස්වභාවයයි. නමුත් භද්‍රාසනය යනු අපේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ නම් තිබෙන ප්‍රසිද්ධ ආසනයක් නොවේ. සැබෑවටම එය අපේ රටට දුර්ලභ වූ ආසනයකි. එය සුවිශේෂී කරුණකි. එහෙත් බොහෝ විදෙස් රටවල මෙම භද්‍රාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා දැකගත හැකිය.
(03) පද්මාසනය
පද්මාසනය යනුවෙන් හැඳින්වෙන්නේ පද්මාසනය යන අර්ථයට අනුකූලව පද්මයක ආකාරයට හිඳගෙන සිටීමේ එම ආසනයයි. දණහිස් නවා පතුල් උඩ අතට සිටින්නා සේ වම් පත්ල දකුණු කලවා මතද දකුණු පත්ල වම් කලවා මතද පහසුවට තබාගෙන සිටිනා වූ ඉරියව්ව මෙහිදී පද්මාසනය නම් වෙයි. පද්මාසනය යනු අපේ ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ තරමක් දුරට තිබෙන ආසනයකි. එහෙත් එය වීරාසනය තරමටම සුලබ නොවේ.
විශේෂයෙන්ම ජපානය, තායිලන්තය, චීනය සහ බුරුමය වැනි ලොව බෞද්ධ රටවලත් අසල්වැසි ඉන්දියාවෙත් පද්මාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා සුලබව දකින්නට ඇති අතර එය සුවිශේෂී කරුණකි.
අප කොතරම් නම් බුද්ධ ප්‍රතිමා දැක තිබුණද ඒවා වන්දනාමාන කළා මිසක කිසිම දිනෙක ඒවායේ ඇති සුවිශේෂී ලක්ෂණ මොනවාද කියා බැලුවේ නැත. මෙදා බලන්නේද නැත. එහෙත් බුද්ධ ප්‍රතිමාවක ඇති සියුම් රේඛාවක සිටම බුද්ධ ප්‍රතිමාවෙන් බුද්ධ ප්‍රතිමාවට ඒ ප්‍රතිමා බොහෝ වෙනස්ය. ඉහතින් අප සඳහන් කළ ඒ ආසනයද ඇත්තේ එතැනය.
එනම් බුද්ධ ප්‍රතිමා එකින් එකට වෙනස් වීමට එම ආසනයද බලපානු ලබයි. අප අද පාඨක ඔබේ දැනගැනීම පිණිස බුද්ධ ප්‍රතිමා ආසන ගැන කතාබහ කළේ එම නිසාය.
රුවන් එස්. සෙනවිරත්න











