බාබාසාහිබ් ආම්බේඞ්කාර්තුමා ආර්ථික විශේෂඥයන්ගේද විශේෂඥයෙකි. දර්ශනවාදියෙකි. දේශපාලනඥයෙකි. වින්තකයෙකි. විප්ලවකාරයෙකි. සමාජ ක්‍රියාකාරයෙකි. මහාචාර්යවරයෙකි. ඔහු උපාධි ලබා තිබුණේ කොලොම්බියා සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආදී ආයතනවලිනි. ඇම්.ඒ.පී.එච්.ඩී. – ඩී. එස්.සී. සහ බැරිස්ටර් ඇට්ලෝ යන උපාධි සහතිකද ඔහුගේ සහතික ගොන්නේ තිබිණි.
ඔන්න ඔය කියන සුදුසුකම්වල සහතික ටික මිටියකට බැඳ කරේ තබා ගෙන හෙතෙම අවුරුදු ගණනාවක් තිස්සේ රැකියාවක් සොයමින් ඉන්දියාවේ පාරක් පාරක් ගානේ ඇවිද්දේය.
කාලයක් ගත වූ පසු එවකට පැවති ඉංගිරිසි ආණ්ඩුව මේ මහාචාර්යවරයා යුධ හමුදාවේ උපදේශක තනතුරට බඳවා ගත්තේය. තනතුරේ රාජකාරිය අනුව හමුදා ක්‍රියාකාරකමක අවසාන තීන්දුව ඔහු අතේ තිබිණි. එසේ වූයේ අවසන් තීන්දුවට අත්සන් කිරීමේ වගකීම පැවරී තිබුණේ ඔහුට බැවිනි. එහෙත් ඔහුගේ කාමරයට කිසිවකු ආවේ නැත. සියලු ලිපි ගොනු ගෙනාවේ කාර්යාල කාර්ය සහායකයෙකි. ඔහු ආවේද හමුදා උපදේශකවරයාගේ කාමරයේ fදාරටුවේ එළිපත්ත ළඟට පමණි. එතැනට ලිපි ගොනුව රැගෙන එන කාර්යාල කාර්ය සහායකයා කළේ ලිපි ගොනුව හමුදා උපදේශකවරයා සිටි මේසයට උන් තැනම සිට විසි කිරීමය. ඒ පිළිබඳව වගේ වගක් නැති උපදේශකවරයා කිසිවක් නොසිදූ අන්දමින් ලිපි ගොනුව අහුලා අත්සන යොදා කාර්යාල කාර්ය සහායකයාට දෙන්නේය. විසිකරන ලිපිගොනු ඇතැම් විට මේසය උඩ තිබූ තීන්ත කූඩුවේ වැදී හමුදා උපදේශකවරයාගේ ඇඳුම් පැලඳුම් පවා විනාශ වූවා පමණක් නොව මුහුණේද තැවරුණේය.
බාබාසාහිබ් ආම්බේඞ්කාර් නමැත්තා මොන තරම් උගතකු වුවත් කවර තරාතිරමේ උසස් නිලධාරියකු වුවත් ඔහු හා සම සහෝදර නිලධාරීන් ඔහු සමග එකට තේ කෝප්පයක් පවා පානය කළේ නැත. සමාජයෙන් මෙසේ කොන් කරනු ලැබීමට හේතුව වූයේ ඔහු දාලිත්යන කුලයට අයත් වූවකු බැවිනි. දාලිත් ජාතිකයෝ අසපෘශ :ස්පර්ශ නොකළ යුතු- ජාතියක් ලෙසින්ද හඳුන් වනුයි. පොදු දේපොළ පවා කුලීනයන්ට මිස කුලහීනයන් වන දාලිත් ජාතිකයන්ට ඒවා ස්පර්ශ කිරීමට (ඇල්ලීමට) පවා තහනම් විය. ඔවුනට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම පවා තහනම් විය. පොදු ජල නළයෙන් වතුර ගැනීමේදී කරාමය කිසියම් කුලීනයකු විසින් කරකවා දිය යුතුය. පිපාසයට වතුර ටිකක් බීමට ජල කරාමයක් පවා ඇල්ලීමත් ඔවුනට තහනම් කරුණක්ම විය. කුලීනයන් ජලය පරිභෝජනය කරන ළිඳකින්, වැවකින්, ගඟකින් ස්නානය කිරීම තබා පානීය ජලය ගැනීමත් සම්පූර්ණයෙන්ම තහනම් විය. කුලීනයන් පරිභෝජනය කරන වැවකින් දාලිතයකු ජලය පානය කිරීම නිසා කෝපයට පත් කුලීනයන් පළමුවෙන් දාලිතයාගේ අත පය බිඳ සෙසු දාලිතයන්ටද අමතක නොවන පාඩමක් උගන්වා වෙනුවට කළේ වැව් ජලය ඉස (හිස්කර) ඊට ගොම දමා පිරිසුදු කර ගැනීමය.
පාසලේ සෙසු දරුවන් පුටු බංකුවල අසුන් ගෙන අධ්‍යාපනය ලබද්දී කුඩා ආම්බේඞ්කාර්ට සිදු වූයේ පන්ති කෙළවර එලූ පැදුරු මාල්ලක ඉඳගෙන අකුරු කරන්නටය. මේ පිළිබඳව හෙතෙම පසු කලෙක මෙසේ කීය. මට පාසලේදී වතුර බොන්න සිද්ද වුණේ පාසලේ කාර්යාල කාර්ය සහායකවරයා මගේ fදාා්තට වතුර වත් කළොත් පමණයි. ඔහු නිවාඩු දවසට මට වතුර බොන්න විදිහක් තිබුණෙ නෑ. මම ගෙදර යනතුරු හිටියෙ පිපාසෙන්. (ආම්බේඞ්කාර්ගේ චරිතාපදානය වෙනමම විස්තර කළ යුත්තකි) ආණ්ඩුවේ පොලිස්කාරයින් හිතූමනාපෙට දාලිත් දැරියන් දූෂණය කිරීම තව දුරටත් ඉවසා දරා නොහැකි ආම්බේඞ්කාර්, මහත්මා ගාන්ධි හමුවී මේ අපරාධය නවත්වා දෙන ලෙසට ඉල්ලා සිටියේය. එහෙත් මහත්මා ඊට නෑසූ කන්වම සිටියේය.
තම වර්ගයාට රටේ පොදු නීතියෙන් හෝ අදහන ආගමෙන් හෝ පිළිසරණක් නැති බව ප්‍රත්‍යක්‍ෂ කර ගත් ආම්බේඞ්කාර් මේ ආත්මීය වධ බන්ධනයෙන් සිය සනුහරේ උන් මුදවා ගන්නේ කෙසේ දැයි යන්න ගැන දිවා රාත්‍රි කල්පනා කෙළේය. ඔහුගේ සිත නෙත බැඳුණු රැඳුණු ස්ථානයක් තිබිණි. හෙතෙම ඒ වන විටත් ඉරණමානුකූලව හෝ ඒ ස්ථානයට දෙවරක් ගොස් තිබුණේය. ඒ ලක්නව්හි රිසාල්දාර් ප්‍රදේශයේ මහාබෝධි සමාගමේ විහාරස්ථානයයි.
බාබා සාහිබ් ආම්බේඞ්කාර් යන යුග පුරුෂයා භාරතයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කර තිබීමෙන් ජාත්‍යන්තර පැතිරුණු කීර්තිමතෙක්ද වූවේය. ඔහු පරම්පරාවෙන් පරම්පරාවට අදහමින් පැමිණි හින්දු ආගම අතහැර දාලිත් හෙවත් ජලිත් කුලයේ සිය ඥාාති මිත්‍රාදීන් සමග පරදුක්ඛ දුක්ඛිත වූ කරුණා නිධාන වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සරණ යෑමට තීරණය කර තිබිණි.
පිළිගත මැනවි මිනිසුනේ, මේ දෛවෝපගත, ඓතිහාසික අවස්ථාවේ බාබා සාහිබ් ආම්බේඞ්කාර් නැතහොත් භීමරාඔ ආම්බේඞ්කාර් නමැති යුග පුරුෂයා ඇතුළු ඔහුගේ ඥාති මිත්‍රාදීන් (වාර්තාවල සඳහන් අන්දමට) පනස් දහසක් දෙනාට “බුද්ධං සරණං ගච්ඡාමි” යන පාඨය කියවනු ලැබුවේ (උන්වහන්සේලාගේ ගෞරවනීය නාමයන්ටද නමස්කාර වේවා) ශ්‍රී ලංකා ධරණීතලයේ ඉපිද බෞද්ධ ප්‍රබෝධය උදෙසා වැඩමවා වදාරා ලක්නව් නාගපූර් බෞද්ධ විහාරස්ථානයේ විසූ මහා සංඝයා වහන්සේලා සත් නමකි. ගෞරවනීය චන්ද්‍රමානී මහා ස්ථවිරයන් වහන්සේ, මහාචාර්ය ආනන්ද කෞශල්‍යයාන වහන්සේ, ආචාර්ය ශාන්ත ශාස්ත්‍රීන් වහන්සේ, ගෞරවනීය මැටිවල සංඝරක්ඛිත තෙරුන් වහන්සේ සහ එවකට ලක්නව් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ ගලගෙදර ප්‍රඥානන්ද තෙරුන්වර ප්‍රමුඛ තවත් මහා සංඝයා වහන්සේලා දෙනමකි.
චන්ද්‍රසේන මාරසිංහ











