සිනහබර මුව මඬලින් නිරන්තරයෙන් කල් ගෙවන ඇය කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ ‘මුතුහර’ ළමා වැඩසටහන හරහාය. එතැන් පටන් දුර ගමනක් පැමිණි මනිෂා නාමල්ගම අද රංගන ශිල්පිනියක් විතරක් නොව රූපලාවණ්‍ය ශිල්පිනියක් වී හමාරයි. ඔබගේ හදවත් සැනසූ ඇයගේ අලුත්බර තොරතුරු සොයා කතාබහ කරන්නට ඇයව අප සම්බන්ධ කරගත්තේ මෙලෙසින්.
මනිෂා මේ දවස්වල කල්ලියකට එකතුවෙලා නේද?
මමත් හිතුවේ නැහැ කල්ලියෙන් මට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. පසුගිය දවසක මම දඹානේ ගියා. එහිදී ඒ වැදි පරම්පරාවේ මුතුන් මිත්තන් පවා හතේ කල්ලිය ගැන තමයි අදහස් ප්‍රකාශ කළේ. ඒ වගේ දුෂ්කර පළාත්වලත්, ටෙලිනාට්‍ය රසවිඳිනවා කියද්දී ඉතින් මට ගොඩාක් සතුටුයි. එයට අමතරව නිරාවරණ, පැණි කුරුල්ලෝ ටෙලිනාට්‍ය විකාශය වුණා.
අද ගොඩ දෙනෙක් චරිත හොයාගෙන නිර්මාණ ඔස්සේ දුවනවා. ඒත් මනිෂා එයට වඩා වෙනස්?
මම එහෙම දුවන්න කැමැති නැහැ. මගේ වටිනාකමක් දැනුණොත් මාව චරිතයකට අවශ්‍ය නම් නිර්මාණකරුවන් මට ආරාධනා කරයි. නැතුව මට එහෙම චරිත පිපාසයක් නැහැ. ලැබෙන දේ සතුටින් භාර ගෙන වැඩ කරනවා.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙසට මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන නිසා හෙමින් ගමනක් අපහසුයි නේද?
ලංකාවේ කලාව වෘත්තියක් විදියට කරන්න අපහසුයි. මම ඒ නිසා මගේම කියලා රූපලාවණ්‍ය ආයතනයක් සහ නිමි ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එයිනුත් ලොකු ආදායමක් නැහැ. අද හැමතැනම හතු පිපිල වගේ රූපලාවණ්‍යාගාර බිහිවෙලා. ඒ විතරක් නෙවේ නිමි ඇඳුම් ආයතනත් එහෙමයි. ලාභ – පාඩු විඳිමින් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
ගැහැනියක් විදියට ඔය වැඩකටයුතු කොහොමද කරගෙන යන්නේ?
ගැහැනියක් කියලා නිකම් ඉඳලා බැහැනේ. මගේ දක්‍ෂතාවයෙන් මම වැඩ කරන්නේ. මගේ මවුපියන් උදවු කරනවා. ඒත් ඒ හැම වැඩකටයුත්තක් ගැනම මම නිතරම හොයලා බලනවා.
ඔබ වැඩිපුරම දකින්න ලැබෙන්නේ අහිංසක චරිත හරහා. එයට ඔබේ බාහිර ස්වරූපයත් බලපානවා ඇති?
ඔබ පවසන විට සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අහිංසකයි කියලා මම එකම චරිතයක රඟපෑවේ නැහැ. ඒ කරපු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් විදියට තමයි නිරූපණය කළේ.
මුතුහර හරහා පටන් ගත්ත ඔබේ ගමන ගැන අද මොකද හිතෙන්නේ?
ඉස්සරට වඩා අද නාළිකා ගොඩාක් බිහිවෙලා. ප්‍රේක්‍ෂකයන් හිතාගන්න බැහැ බැලිය යුත්තේ කෝකද, නොබැලිය යුත්තේ කෝකද කියලා. ඒ තරම් නිර්මාණවල තරගයක්. ඒ විතරක් නෙවේ ශිල්පීන් බිහිවෙලා තරුණ ශිල්පීන්, වැඩිහිටි චරිත කරන්න පෙලඹිලා. ඉතින් හෙමින් ගමනක් යනවා හදිසි නොවී.
මනිෂා රඟපෑමට විතරක් නෙවේ ලිවීමටත් දක්‍ෂයි. අදහසක් නැද්ද ලේඛන කලාවට නැඹුරු වෙන්න?
ගොඩ දෙනෙක් මට ආරාධනා කළා පුවත්පත්වලට ලියන්න. ඒත් එයට නිදහස් පරිසරයක්, වටපිටාවක් තිබිය යුතුයි. නැතුව ඒ දේවල් මට කරන්න බැහැ. අනෙක මගේ තිබෙන වැඩකටයුතුත් එක්ක මට ඒ වෙනුවෙන් ලොකු කාලයක් යොමු කරන්න අපහසුයි.
වසන්ත විතාරණගේ











