පාතාලය දැන් එළිපිට වැඩ පටන්ගෙන හමාරය. ටී 56 අවි වලින් සන්නද්ධව බියක් සැකක් නොමැතිව මහ මග ගමන් කරන පාතාල අපරාධකරුවන් එම අවිවලින් වෙඩි තබන්නේ පොලීසිය පවා බලා සිටියදීය. රාජපක්ෂ ආණ්ඩුව බලයට එන විට බියෙන් සලිත වූ පාතාල අපරාධකරුවන් දැන් එළිබැස ඇත්තේ දේශපාලනඥයන්ට හේත්තු වෙමිනි. ජනාධිපතිවරණයේදී එක්තරා ජනපති අපේක්ෂකයෙකුගේ කොළඹ මැතිවරණ කාර්යාලයක් පවා පිහිටා තිබුණේ ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හදුනාගෙන සිටින පාතාල අපරාධකරුවෙකුට අයත් ගොඩනැගිල්ලකය. එම ගොඩනැගිල්ල ඔහු විසින් මැතිවරණ කාර්යාලයට ලබාදී තිබුණේ නොමිලයේය. මෙවර මහා මැතිවරණයේදීද එම කාර්යාලය ලබාදී ඇත්තේ අලුත් පක්ෂයකින් මෙවර මහා මැතිවරණයට කුළුදුලේ තරග කරන නීතීඥවරයෙක්ටය. ඉහළම දේශපාලනඥයෙකුගේ උපදේශකයෙක්ද වන එම නීතීඥයා සිය දේශපාලන පක්ෂ කාර්යාලය වෙනුවෙන් මේ තෝරාගෙන ඇත්තේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගොඩනැගිල්ලක් බව ඔහු දැන සිටින්නේදැයි අප දන්නේ නැත.
එම පාතාල අපරාධකරු තවමත් සිය සුපුරුදු පාතාල කටයුතුවලට අත තබා ඇති බවක් නම් පෙනෙන්නට නැත. එහෙත් ඔහුගේ මත්කුඩු ජාවාරම ජයට කරගෙන යන බව නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට රහසක් නොවේ. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුට අත තියන්නට දැන් නම් දෙවරක් සිතනු ඇත. ඒ අදින් වසර නවයකට දහයකට පෙර මෙම මත්කුඩු ජාවාරම්කරු මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් විට එම මත්කුඩු තොගය කේරල ගංජා බවට පරිවර්ථනය වූ බව දන්නා බැවිනි. එදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොත්පත් මුළුමනින්ම වෙනස් වන්නේ එවකට සිටි පොලිස් ප්‍රධානියෙකුගේ අණින්ය. මෙම මත්කුඩු ජාවාරම්කරු එකල කොළඹ නගර සභාවට තරග කිරීමටද සූදානමින් සිටියේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයෙකුගේ අනුහසද ඇතිවය. ඒ තරමට ඔහු දේශපාලනික වශයෙන් ශක්තිමත්ය.
මධූෂ්ගේ තැන ගන්න කුඩු අංජු එළියට බසී
මේ දිනවල ඔහු නිහඬව ඉන්නා විට පාතාලයේ හයිය පෙන්වන්නට යන්නේ කුඩු අංජුය. ඔහු සූදානම් වන්නේ මාකදුරේ මධුෂ්ගේ තැන ගන්නටය. ඒ අතර මධුෂ්ගේ තැන ගන්නට මධුෂ්ගේ සුවච කීකරු ගෝලයා වූ අංගොඩ ලොක්කාද මේ දිනවල ගේමක් ගසයි. මධුෂ් වසරකට වැඩි කාලයක් තිස්සේ සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. ඒ ඉකුත් වසරේ පෙබරවාරි 04 වෙනිදා සිය දියණියගේ උපන්දින සාදය පවත්වන්නට ගොස් ඩුබායි පොලීසියට හසුවන බැවිනි. ඔහු ඩුබායි පොලීසියට හසුවූවා නොව, හසුකර දුන්නේය. ඒ ඩුබායි පොලීසියටත් ජරාවක් දී මධුෂ්ට ඔහුගේ සගයෙක්ම වැඩක් දීමය. ඔහු කිරුලපන මොරිල්ය. ඔහුද සිටින්නේ ඩුබායිවලය. මධුෂ් මහා පරිමාණ මත්කුඩු ජාවාරමට අතපොත් තැබුවේද මොරිල්ගෙනි. අන්තිමට ඔහු මොරිල්ට කොකා පෙන්නුවේය. මොරිල් ඊට ප්‍රතිචාරය දක්වන්නට වූයේ කල්යල් බලාය.
සන්ෂයින් සුද්දා එළියට ආ හැටි
මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දී මධුෂ්ගේ කථාවට නැවතීමේ තිත තැබූ ඔහු ඒ තැනට අංගොඩ ලොක්කාව ගෙන ආවේය. දැන් අංගොඩ ලොක්කා මධුෂ්ගේ මත්කුඩු ජාලයම සියතට ගෙන හමාරය. ඒ මොරිල්ගේ ආශිර්වාදයද ඇතිවය. අනතුරුව ඔහු මධුෂ්ගේ ගෝල බාලයින් එකා දෙන්නා තමාගේ අණසකට යටත් කර ගත්තේය. ඊට අවනත නොවන අයට ඔහු උත්තර දුන්නේ ‘කට පුංචා’ගෙනි. එසේ ඔහු කටපුංචාගෙන් උත්තර දුන් මධුෂ්ගේ අලුත්ම ගෝලයා වන්නේ සන්ෂයින් සුද්දාය. මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට සහභාගි වූ මධුෂ්ගේ සමීපතයින් අතර සිටියෙක් වන සන්ෂයින් සුද්දා ඩුබායි පොලීසියට මධුෂ් සමග කොටූවූවන් අතරද සිටියේය. එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට පවා ඔහු ලක්විය. බන්ධනාගාරගත කිරීමකට පවා ලක්වූ ඔහු ඇප මත නිදහස ලැබීමෙන් පසු රැඳී සිටියේ ඔහුගේ රාජධානිය පිහිටි මිරිස්සේය. අංගොඩ ලොක්කා ඔහුව තමා වෙත නම්මා ගැනීමට කොතරම් උත්සහ ගත්තද එය කළ නොහැකි වූ තැන ඊට ප්‍රතිචාර දක්වන්නේ කටපුංචාගෙනි. ඒ වෙනුවෙන්ම ඔහු අතුරුගිරියේ සිටින විශ්වාසවන්ත ගෝලයෙක් වන ආමි ජෙරම්ව මිරිස්සට යැව්වේය. ඒ ඉකුත් 30 වෙනිදා සන්ෂයින් සුදාදාගේ කථාවට නැවතීමේ තිත තබන්නටය. යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙක් වන ජෙරම් මිනිස් ඝාතන දෙකකට බන්ධනාගාරගතව සිට ඇප ලබා ඒ වන විට මාස තුනක්වත් නැති තරම්ය. නිදහසේ එළියට වී සිටින්නට කැමැත්තෙන් ඔහු පසුවූවත් අංගොඩ ලොක්කාගේ අණට පිටුපාන්නද ඔහුට කිසිසේත් ඉඩක් නොවීය. මිරිස්සට ගොස් සන්ෂයින් සුද්දාට ඔහු වෙඩි තබන්නේ එබැවිනි. එහෙත් ඔහුට ජීවත්වීමට වාසනාවක් තවදුරටත් ඉතුරු විය. ජෙරම්ට නිදහසේ සිටීමේ අවස්ථාව අහිමි විය. ඒ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන බැවිනි.
මාළිගාවත්තේත් වෙඩි පත්තු වෙයි
බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ අණින් මාළිගාවත්තේ තට්ටු නිවාස සංකීර්ණයක් තුළදී වෙඩි පිට වෙඩි පත්තු වන්නේද මේ අතරතුරදීය. එම නිවාස සංකීර්ණය වන්නේ ලක්සෙත සෙවනයි. වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ එහි 10 වැනි මහලේ පිහිටි නිවසක් තුළදීය. එම නිවස මත්කුඩු භාවිතා කරන්නන්ගේ පාරාදීසයකි. මත්කුඩු ලෝලීන් සැප ගන්නා ඒ තැන පාතාලයේ රජ දහනකි. එම කුඩු තිප්පොළේ වෙඩි පත්තු වන්නේ ඉකුත් 01 වෙනිදාය. ඔහුට වෙඩි තබන්නේ කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් බව කියැවේ. විශේෂ කාර්ය බළකාය විසින් ඔහුව අල්ලා ගන්නේ වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවියද සමගිනි. ඒ කොටහේනේ පිහිටි කේ.එෆ්.සී.අවන්හලේදීය. විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගන්නා විට බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත්තේ දෙපාර්ශවය අතර යම් ගැටුමක් ඇතිවනු ඇති බවය. එහෙත් එවැන්නක් සිදු නොවීය. ඒ ඔහු විශේෂ කාර්ය බළකාය සමග නොගැටුණු බැවිනි.
මොරටු සමන්ගෙන් පසු මොරටුවේ ලෙක්කා
කුඩු අංජුද ඔළුව උස්සන්නේ මේ අතරතුරදීය. ඒ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ඉල්ලමිනි. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව කුඩු අංජු ඩුබායි රැඳී සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ ඔහුටම යැයි කියා කල්ලියක්ද ගොඩනගමිනි. මොරටු සමන්ගෙන් පසු මොරටුවේ ඔළුව උස්සන ලද පාතාල අපරාධකරුවෙක් වන්නේ අංජුය. මෙවර මහා මැතිවරණයට අංජු සිය ගෝලයින් යොදවා ඇත්තේ මොරටුවේ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනි. අංජු ඔහුගේ කුඩු සල්ලි පමණක් නොව, මොරටුව, ගල්කිස්ස සහ රත්මලානේ ව්‍යාපාරික ස්ථානවලින්ද කප්පම් ගෙන සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණයට වැය කරන්නේ දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේවල් ලෙසිනි. ඔහු මේ උදව් කරන්නේද අවස්ථා දෙකකදීම ඔහු විසින්ම මරා දමන්නට උත්සහ කළ පුද්ගලයකුට බව කියැවේ.
ගල්කිස්සේ හෝටලයට වෙඩි වරුසාව එල්ල වූ හැටි
කොවිඞ් වසංගතය අස්සේ එකී දේශපාලනඥයා ඡන්දෙට බරටම වැඩ කළේ ප්‍රදේශයේ අඩුඅදායම්ලාභීන්ට වියළි ආහාර මළු බෙදමිනි. ඒ සදහා අංජුගෙන් ලැබුණේ දැවැන්ත සහයකි. ඔහු ඩුබායි සිට ව්‍යාපාරික ස්ථානවලට ඇමතුම් දෙමින් දේශපාලන සගයාට මුදල් දෙන්නට කියන්නේ ලක්ෂ ගණන්ය. රත්මලානේ සොයිසාපුර පිහිටි ලක්මැදුර හෝටලයේ හිමිකරුටද ඔහු ඇමතුමක් දෙමින් ලක්ෂ පහක් ඉල්ලා සිටියේ අදාළ දේශපාලනඥයාට බෙදන්නට බඩු ගන්නටය. එහෙත් ලක්මැදුර හිමිකරු එතරම් මුදලක් තමාට දෙන්නට නැතැයි කියා හාල් ගෝනි 15 ක් පමණක් දෙන්නම් යැයි කීවේය. ඊට ප්‍රතිචාර එල්ලවන්නේ පසුගිය 19 වෙනිදා ලක්මැදුර හෝටලයට මැර ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවය. එම ප්‍රහාරය කුඩු අංජු විසින් ඩුබායිහී සිට මෙහෙවන ලද්දක් බව එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරුට රහසක් නොවීය. ඒ ඩුබායි සිට ඔහුට අවස්ථා කිහිපයකදීම තර්ජනාත්මක ඇමතුම් ලැබී තිබුණු බැවිනි. ඒ ගැන ඔහු ගල්කිස්ස පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හෝටලයට පොලිස් ආරක්ෂාවක් ලැබෙන්නේ ඒ අසල මාර්ග බාධකයක් ස්ථාපිත කරමිනි. ඒ හෝටල් හිමිකරු හා ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් අතර ඇති හිතවත්කම නිසාය. කුඩු අංජුට ඉහළ පොලිස් සම්බන්ධකම් නොමැති වූවාට ඔහු පහළ පොලිස් නිලධාරීන් ගොන්නක්ම බිලි බාගෙන හිටියේ ඒ අයට අතපය දිගහැර වියදම් කරමිනි. ඒ නිසාම ඔහුට ඉහළ නිලධාරීන්ට වඩා එම පහළ නිලධාරීන්ගෙන් ලබා ගැනීමට බොහෝ දේවල් තිබුණේය. අංජුගේ ගෝල බාලයින්ට නිදහසේ මත්කුඩු ජාවාරම කරගෙන යන්නට හැකියාව ලැබෙන්නේද ඒ නිසාය. පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණත් බියක් සැකක් නොමැතිව අංජු සිය ගෝලබාලයින් යොදා ඉකුත් 28 වෙනිදා හෝටලයට ටී 56 අවියකින් වෙඩි වර්ෂාවක් මුදා හරින්නේද ඒ නිසාමය. එම අවස්ථාවේදී හෝටලයේ ආරක්ෂාවට යොදවා සිටි කිසිදු නිලධාරයෙක්ගේ ගිනි අවිය අංජුගේ ගෝලයින් දෙසට දිගුවූයේ නැත. ඒ නිසාම ඔවුන් නිරුපද්‍රිතව පළා යන්නේ පොලීසියටද සැලියුට් එකක් දමාය.
මේ අංජුගේ ගෝලබාලයින්ගේ හැටිය. පසුගිය කාලය පුරාවටම අංජුගේ ගෝලයින්ගේ හැසිරීම එසේය. ඔවුහු පොලීසිය සමග සෙල්ලම් කරති. මේ සෙල්ලම අංජු විසින් කරන්නේ ඔහුගේ ප්‍රතිවාදියා වන රොහාටද දැනෙන්නටය. ඒ රොහාට වඩා තමන් ශක්තිමත් යැයි පෙන්වන්නටය.
ගොනාකෝවිලේ රොහාගේ නැගිටීම
පොලිස් වාර්තාවලට අනුව රත්මලානත් ගල්කිස්සත් හොල්ලාගෙන සිටින්නේ ගොනාකෝවිලේ රොහා සහ අංජුය. මේ දෙපැත්තේ ගැටුම්වලින් ගෙවී ගිය දසක දෙක තුළ මරුමුවට පත්වූ ගණන විස්සකට තිහකට වැඩිය. ඒ අතර දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද සිටිති. ඒ එක් අයෙක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන්ද සිල්වාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන රංජන් ද සිල්වාට වෙඩි තබා මරා දමන්නේ 2018 වසරේ මැයි 24 වෙනිදාය. ඒ ඔහු රත්මලානේ ඥනේන්ද්‍ර මාවතේ පිහිටි නිවස ඉදිරිපිට රැඳීසිටියදීය.
ඝාතන ඉලක්කය වූයේ ධනංජයගේ පියාව පමණක් නොව දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේම පොදු පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක්ව සිටි ධනංජයගේ සහෝදරයාවූ සාවිත්‍ර ද වෙඩික්කරුගේ ඉලක්කය විය. ඒ දෙදෙනාට අමතරව ධනංජයද වෙඩික්කරුගේ තවත් එක් ඉලක්කයක් බවට පත්ව තිබුණි. ධනංජයගේ පියා අද ජීවතුන් අතර සිටියේ නම් මහා මැතිවරණයට මොරටුව පැත්තෙන් තරග කරන්නේ ඔහුය. අද ඒ තැනට පත්ව ඇත්තේ වෙනත් අයෙකි. හෝටලයට වෙඩි තැබූ බවට සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අය අතර එකී දේශපාලනඥයාගේ පස්සෙන්ම සිටින්නෙක්ද සිටින බව සඳහන්ය. ඔහු අංජුගේ හොඳම ගෝලයෙකි. ධනංජයගේ පියාගේ ඝාතනයට පවා අත්අඩංගුවට පත්වූවෙකි. ඒ අනුව ධනංජයගෙ පියාගේ ඝාතනය ගැන නැවත වරක් සිතා බැලිය යුතු බව පොලිසියේ මතය වී තිබේ.
ඒ ධනංජයගේ පවුල ඝාතන ඉලක්කයක් බවට පත්වන්නේ ධනංජයගේ පියාත් සහෝදරයාත් ගොනා කොවිලේ රොහාට හිතවත්කම් පෑම බව එකල සදහන් කරමින් පොලීසිය පවා එම ඝාතන විමර්ශන වැඩිදුර ගෙන නොගිය බැවිනි.
දැන ගන්නට ඇති ආකාරයට අනුව දේශපාලනික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ධනංජයගේ පවුලේ උදවිය රොහා සමග ගනුදෙනුවක් නොමැති වූවත් රොහා සමග යම් හිතවත්කමක් පැවතුණි නම් ඒ ගමේ කමටය. ධනංජයගේ පවුල රොහාගේ විරුද්ධවාදියා වූ ගොනා කෝවිලේ අංජුගේ ඉලක්කය බවට පත්වන්නේ එකී හිතවත්කම මතයැයි පොලීසියද මතයක් එදා ගොඩ නගා වැඩ සියල්ල ගොඩින් විසඳා හමාර කළේය.
මේ වන විට ඩුබායි රටේ සිය බිරිද සහ දරුවන් සමග රැඳී සිටින අංජුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්කුඩු ජාවාරමයි. ඔහු දැන් මිනී මරන්නේ ඒ වෙනුවෙන් බව බැලූ බැල්මට පෙනී ගියත් නොපෙනෙන කථාව ඊට එහා ගිය එකකි.
ධනංජයගේ පියාට වෙඩි තබා ඝාතනය කළ තම ගෝලයින් රැක ගන්නටද අංජු වග බලා ගත්තේය. පොලිසියෙන් වෙඩි කන්නට මත්තෙන් සිය ප්‍රධාන ගෝලයාව ඔහු ඩුබායි රටට ගෙන්වා ගත්තේය. ඔහු ධර්මසිරිය. අංජුගේ පාතාල අපරාධවල කළමනාකරු ලෙස හඳුන්වන්නේ ඔහුවය. අංජුගේ මත්කුඩු බෙදා හැරියේත්, ගෝල බාලයින් මෙහෙයැවූයේත් ඔහුය.
චතුරංග එළියට එයි
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අල්ලන්නට සොයමින් සිටි ගෝලයෙක් අංජු විසින් පොලිසියට කොටුකර දෙන්නේද මෑතකදීය. අංජුගේ කල්ලියේ වැඩකරුවෙක් වන ඔහු ගමගේ චතුර ප්‍රියදර්ශනය. තිස් එක් වියැති ඔහුට පාතාලයේ නම් තබා ඇත්තේ ආමි චතූ යැයි කියාය. ධනංජයගේ පියාට වෙඩි තබා සුරාබදු නිලධාරීන්ට හසුවූයේද ඔහුය. ඇප මත ඔහු හිරෙන් එළියට ඇවිත් වැඩි කල් නැත. ඒ පැමිණි දා සිට ඔහු රත්මලානේත් ගල්කිස්සේත් පතුරුවන්නට වූයේ පාතාලයේ භීෂණයකි. ආමි චතූගේ පාතාල භීෂණය තීව්‍ර වන්නේ ගොනා කෝවිලේ රොහාගේ ගෝල බාලයින් මරා දමන්නට සොයමින් මහා රෑ පමණක් නොව, මහා දවාලයේත් ටී 56 අවි අමෝරාගෙන කිසිදු බියක් සැකක් නොමැතිව ප්‍රසිද්ධියේම සැරිසරමිනි. අඟුලාන සහ ගල්කිස්ස පොලිසිවලට මේ කල්ලිය ගැන ගම්වැසියන් කොතෙකුත් දැනුම් දී තිබුණද පොලිසිය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇත්තේ අංජුගේ පොලිසි යැයි කියා එම පොලිස් ස්ථාන දෙකකට පටබැඳි ඇති නාමයන් සනාථ කරමිනි. මහා දවාලයේ ටී 56 අවි දෙකක් අමෝරාගෙන කඩු සහ මන්නාවලින් සන්නද්ධව සැරිසරන අංජුගේ මේ කල්ලියට පොලිස් ආශිර්වාදය එසේ ලැබෙන විට පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන්ව පාලනය කිරීමට අත තබන්නේ ඇස් කන් වසාගෙන ඔවුන්ට බලා සිටීමට නොහැකි වූ තැනය.
අංජුගේ මල්ලි සංජු
ආමි චතූ ඇතුළු ගෝල බාලයින් යොදා අංජු විසින් මෙම භීෂණයට ආරම්භක පියවර තබන්නේ රත්මලානේ වෙඩිකන්ද පාරේදී මහේෂ් උදය කුමාර නැමැත්තාට පිහියෙන් ඇන මරා දමමිනි. රොහාගේ ගෝලයෙක් වන ඔහුව මරා දැමීමට අංජුගෙන් ආමි චතූට නියෝගයක් ලැබෙන්නේ අංජුගේ බාල සහෝදරයා වන සංජුව ඝාතනය කිරීමට ඔහු උත්සහ දැරීමක් නිසාය. සංජුව මරා දැමීමට ඔහු උත්සහ දරා ඇත්තේ වෙඩි තබාය. සංජු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව රොහාගෙනි. ඔහු මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. සංජුව මරා දමන්නට රොහා සැලසුම් කරන්නේ රොහාගේ ජීවිතය වෙනුවෙන් අංජු මේ වන විටත් කෝටි 04 ක ලන්සුවක් තබා ඇති බැවිනි. ඉදිරියේදී එම ලන්සුව ඉහළ යා හැකි ඉඩ කඩ බොහෝය. ඒ මැගසින් බන්ධනාගාරයේදී රොහාට සයනයිඞ් එන්නත් කර මරා දැමීමට ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී අංජු උත්සහ දරන්නේ රුපියල් කෝටි දෙකකට වූ බැවිනි. එම සැලසුම අසාර්ථක වන්නේ රොහා මරන්නට බන්ධනාගාරය තුළට යැවූ සයනයිඞ් කුප්පියත්, සිරිංජරයත්, එන්නත් කටුත් බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයට ලද තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගන්නා බැවිනි. එම සයනයිඞ් කුප්පි සහ සිරිංජර බන්ධනාගරය තුළට රැගෙන ගොස් තිබුණේ බන්ධනාගාරයේම දූෂිත නිලධාරියෙකි. ඒ ලොකු ගාණක් සාක්කුවට දමාගෙනය. රොහාට එම සයනයිඞ් එන්නත් කර මරා දැමීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටියේ මැගසින් බන්ධනගාරයේම රදවා සිටි සමන් පුෂ්පකුමාර නොහොත් මරාල සුරංගය.
රොහාගේ ජීවිතයේ වටිනාකම අංජු විසින් රුපියල් කෝටි 04 දක්වා ඉහළ නැන්වෙන්නේ ඒත් එක්කමය. රොහාව මරා දැමීමේ අංජුගේ සැලසුම අසාර්ථක වන විට රොහා සැලසුම් කරන්නේ ඩුබායි සිටි අංජුට දැනෙන්නට සංජුට වැඩක් දෙන්නටය. ඇතුළේ ඉදන් ඔහු ගෝලයින් මෙහෙයවමින් සංජුට වැඩක් දෙන්නට උත්සහ ගත්තද රත්මලානේදී සංජු සිය දිවි ගලවා ගන්නේ වෙඩි ප්‍රහාර මැද පළා යමිනි. වෙඩිකන්ද පාරේදී ආමි චතූ විසින් මහේෂ්ට පිහියෙන් ඇන මරා දමන්නේ එකට එක කිරීමක් ලෙසිනි.
නූලෙන් බේරුණු අත්තිඩියේ කරු
අංජු එතැනින් නතර වුණේ නැත. සිය සහෝරයා මරා දැමීමට ගිනි අවිය දුන් අත්තිඩියේ කරූටද වැඩක් දෙන්නට සැලසුම් කළේය. ඒ කටයුත්තත් පවරන්නේ ආමි චතූටය. ඒ සදහා ආමි චතූට හොඳම අවස්ථාව උදා විය. සිය ගෝලබාලයින් සමග මෝටර් රථයක නැගී අත්තිඩියේ කරූව ඉලක්කරමින් ආමි චතූ යන්නේ අත්තිඩිය ගොවිපොළ වත්තටය. ඒ වන විට කරූ සිටින්නේ සැලුන් එකක් ඇතුළේය. ඒ සිය හිස කෙස් පාට කරගන්නට ගොසිනි. ආමි චතූ ගෝල බාලයින් රැගෙන යන්නේ කරූ එහි සිටින බවට ඔත්තුකරුවෙකුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුවය. මහා දවාලයේ ටී 56 අවි දෙකක් සහ කඩු දෙකක් අමෝරාගත් චතූ ඇතුළු සිව් දෙනෙක් සැලුන් එකට කඩා පනින විට කරූ සිටින්නේ කොණ්ඩයේ ඩයි ගල්වාගෙනය. එහෙත් ඔහුට තවත් කාලයක් ජීවත්වීමේ වාසනාව උදාවන්නේ ඔහුගේ හිසේ ගැල්වූ ඩයි වේලෙන තුරු කරණෑමි තරුණයා සැලුන් එකේ දොරගුළු වසා දහවල් ආහාරය ගන්නට වූ බැවිනි. ආමි චතූ ඇතුළු පිරිස දකින්නේ සැලුන් එකේ ඉදිරිපස වීදුරුවේ දමා ඇති “වසා ඇත” බෝඞ් ලෑල්ලය. එය දුටු ඔවුන් ඊට රැවටී හැරී යන්නේ තවත් ඉලක්කයක් වෙතය. ඒ රොහාගේ තවත් ගෝලයෙක් වන මායියා වෙතටය. එම ඉලක්කයත් එදා ඔවුන්ට වරදින්නේ අංජුගේ ගෝලයින් කරූව සොයා පැමිණි බව මායියාගේ කන වැකීමත් සමග ඔහු උන්හිටිතැන්වලින් අතුරුදන් වන බැවිනි. එසේ නොවන්නට එදා අත්තිඩියෙන් වාර්තාවන්නේ පාතාලයේ ද්විත්ව ඝාතනයකි.
එයාර්ෆෝස් සම්පත්
ඊට දින තුනකට පසු ආමි චතූ සිය ගෝලබාලයින් සමග කඩා වදින්නේ රත්මලාන තෙලවල පිහිටි තට්ටු නිවාස සංකීර්ණයකටය. ඒ ගොස් ඔවුන් සොයන්නේ එයාෆෝස් සම්පත්වය. ගුවන් හමුදාවෙන් ඉවත්ව සිටින සෙබළෙක් වන එයාෆෝස් සම්පත්ද රොහාගේ කල්ලියේම කෙනෙකි. ඊට පෙර අවස්ථා තුනකදීම එයාෆොස් සම්පත්, අංජුගේ ගෝලයින්ගේ ඉලක්කය බවට පත්වූවත් ඔහු ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ දිවි ගැලවී තිබුණේ වාසනාවකටය. එදාත් වාසනාව කැරකැවුණේ ඔහුගේ පැත්තටය.
එයාර්ෆෝස් සම්පත් සමග අංජුට ගැටුමක් ඇත්තේ ඔහු රොහාගේ ගෝලයෙක් නිසාම පමණක් නොව, සිය වැඩිමහල් සහෝදරයා වූ ලන්සියාව කඩවත පිහිටි මහර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී 2016 වසරේ ජුනි 23 වෙනිදා මෝටර් රථයක් තුළදී වෙඩි තබා මරා දැමීමට ඔහුගේද සම්බන්ධයක් තිබුණු බැවිනි. මත්කුඩු නඩුවකට පෙනී සිටීමට අධිකරණයට ගොස් සිටියදී එම ප්‍රහාරය එල්ලකරන්නේ රොහාය. ඒ ඔහුගේ විශ්වාසවන්තම වෙඩික්කරුවා වූ බයිසිකල් බේබි නැමැති විශේෂ බළකායෙන් පළාවිත් සිටි සෙබළා සමග එක්වය. එම ප්‍රහාරයෙන් පසු රොහාත් බයිසිකල් බේබිත් පළා යන්නේ මෝටර් රථයකිනි. එම රථය පදවන්නේ එයාර්ෆෝස් සම්පත්ය.
ලන්සියා මරා දමයි
එදා එසේ ලන්සියාව මරා දැමූ රොහා ඒත් එක්කම ඉලක්ක කරන්නේ ලන්සියාගේ සහෝදරයා වූ අංජුවය. ඒ වන විට පාතාලයට කිසිදු සම්බන්ධකමක් නොමැතිව සිටි අංජු සිය ජීවිතාරක්ෂාව පතා පැන ගන්නේ මලයාසියාවටය. සිය සහෝදරයාව මරා දමා තමාවත් මරා දමන්නට හැදූ රොහාගෙන් පලිගන්නට අංජු සංවිධානගතවන්නේ මලයාසියාවේ රැඳෙමිනි. ඒ සිය සහෝදරයාගේ මග යමිනි. ඒ වන විටත් ලන්සියාගේ ගෝලබාලයින් සිටින්නේ සීසීකඩ විසිරී ගොසිනි. අංජු ඒ සියලුදෙනාම තමා වටා රැස්කර ගන්නේ දුරකතන ඔස්සේය. ලන්සියා නතර කළ තැනින් මත්කුඩු ජාවාරමද අංජු සියතට ගත්තේ රොහාට අභියෝගයක් එල්ල කරමිනි.
රොහාට පොලිසියේ ලොකු මහත්වරු රැසක් සමගින් තිබුණේ ඉතා කිට්ටු සම්බන්ධයකි. දේශපාලනඥයින්ද රැසක් ඔහුගේ සමීප මිතුරන් විය. ඒ අය අතර දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙක්ද සිටියේය. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී රොහා සිටියේ මාතර පැත්තේය. 2015 මහා මැතිවරණ සමයේදී ඔහු සිය ගෝලබාලයින් සමග රැඳී සිටියේ බදුල්ල පැත්තේය. හැම පැත්තකම දේශපාලනඥයන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් රොහාට ගොඩ නැගී තිබුණේය. ඒ නිසාම රොහාට දේශපාලන රැකවරණයද නොතිබුණා නොවේ. එහෙත් ඔහු ලන්සියාගේ ඝාතනයෙන් පසු පොලිසියට කට්ටි පනිමින් සැගවුණු ජීවිතයක් ගතකරන්නට ගත්තේ ලන්සියාගේ සහෝදරයා වූ අංජු ගැන ඔහුට එතරම් විශ්වාසයක් නොවූ බැවිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, ලන්සියාගේ ඝාතනයෙන් හරියටම මාසයක් ඉක්ම යන්නට මත්තෙන් ඔහු රොහාගේ පවුලේ ළඟම ඥාතියෙක් බිල්ලට ගත් බැවිනි. රොහාගේ පුංචි අම්මාගේ පුතා වූ ඔහු ප්‍රභාත්ය. පිළියන්දල ජයමාවතේදී ඔහුට වෙඩි තබා මරා දමන්නේ රොහාට දැනෙන්නටය.
රොහා කොටුවෙයි
ඒත් එක්ක කාලයක් තිස්සේ පොලිස් ඇස් වලටද වැලි ගසමින් සැඟව සිටි රොහා එළියට එන්නේ 2016 වසරේ නොවැම්බර් 15 වෙනිදාය. එදා ඔහු සිය සගයා වූ බයිසිකල් බේබි සමග කුරුණෑගලට එන්නේ හිතවත් පොලිස් ලොක්කෙක්වද හමුවන්නටත් එක්කමය. ඒ පැමිණි ඔවුන් දෙදෙනා නවාතැන් ගන්නේ කුරුණෑගල නගරයේ පිහිටි නවාතැන් පොළකය. ඔවුන් පැමිණියේ සුඛෝපභෝගී මෝටර් රථයකිනි. එම මෝටර් රථය මොරටුව ලුනාවේ විහාරස්ථානයක හිමිනමකට අයත්ය. එම රථය උන් වහන්සේ මොරටුවේ වාහන කුලී ආයතනයකට ලබාදී තිබුණේ එක්ලක්ෂ විසි දහසක මාසික කුලියකටය. වාහන කුලී ආයතනයෙන් එම වාහනය කුලියට ගන්නා කළුතර පැත්තේ අමීන් නැමැති ව්‍යාපාරික වෙස්ගත් පුද්ගලයෙක් එකලස් කරන ලද වාහනයක් බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා එම වාහනය රුපියල් ලක්ෂ 14කට අලෙවි කරන්නේ රොහාගේ මිතුරෙකුටය. ඔහු ජානකය. ඔහු එම මෝටර් රථය මිලදී ගන්නේ එකලස් කරන ලද වාහනයක් ලෙස සිතාගෙන මිස චංචා සහගතව අත්පත් කරගත්තක් බව නොදැනය. රොහාට එම වාහනය පරිහරණය කරන්නට දෙන්නේ ඒ නිසාය.
මෙම මෝටර් රථයේ ජී.පී.එස්. උපකරණයක් සවිකර ඇතැයි ඒ කිසිවෙක් දැන නොසිටියේය. එම උපකරණය සවි කරන්නේ වාහන කුලී ආයතනයෙනි. මෝටර් රථය යන එන තැන් ගැන අවධානයෙන් සිටි කුලී ආයතනය එදා එම රථය කුරුණෑගල නවාතැන් පොළක නතරකර ඇතැයි පෙනී ගිය බැවින් ඒ ගැන දැනුම් දෙන්නේ 119 හදිසි ඇමතුම් අංශයට ය. ඒ අනුව එම නවාතැන් පොළට වාහනය ගැන සොයා බලන්නට එන්නේ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක රත්න බණ්ඩාර දසනායක සහ සැරයන් බණ්ඩාරය.
උසාවියට ආ පිස්තෝලය
එදා එම නිලධාරීන් දෙදෙනාට වාහනය පරීක්ෂා කරන්නටත් මත්තෙන් එල්ල වන්නේ වෙඩි වර්ෂාවකි. උප පොලිස් පරීක්ෂක දසනායක එම වෙඩි ප්‍රහාරය හමුවේ මරුමුවට පත්වන විට පොලිස් සැරයන් බණ්ඩාර තුවාල ලැබුවේය. එදා රොහාව පොලිසියට කොටුවන්නේ මගී බස් රථයක නැගී පළායමින් සිටියදීය. රොහාගේ ගෝලයා බයිසිකල් බේබිව කොටුවන්නේ ඊට මාස පහකට පමණ පසුවය. ඒ 2017 වසරේ අප්‍රේල් 27 වෙනිදාය. හම්බන්තොට මීගහඡදුරේ හේන් වාඩියක සැඟවී සිටි බයිසිකල් බේබිගේ අවසානයද එය විය. ඔහු පොලිස් වෙඩි පහරකින් එදා මරුවැළද ගත්තේය.
රොහාගේ හොඳම වෙඩික්කරුවා එසේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වන විට අංජු අවස්ථා කිහිපයක්ම රොහාට වැඩක් දෙන්නට උත්සහගෙන තිබුණි. ඒ සෑම අවස්ථාවක්ම ගිලිහී යන්නේ රොහාට ජීවත්වීමේ වාසනාව තවදුරටත් පැවැති බැවිනි. ඒ අතරින් රටේම අවධානයට යොමුවූයේ ගල්කිස්ස අධිකරණයේදී රොහාව ඝාතනය කිරීමට කළ සැලසුමය. එම සැලසුම ව්‍යර්ථ වන්නේ රොහාට වෙඩි තැබීමට රැගෙන විත් තිබුණු පිස්තෝලයත් රිවෝල්වරයත් උසාවි ශාලාවේ බිම වැටීම නිසාය. එදා 2017 වසරේ මාර්තු 01 වෙනිදාය. උසාවි ශාලාවේ ඒ වන විටත් විශාල පිරිසක් බංකුවල අසුන් ගෙන සිටි බැවින් වෙඩික්කරුවාට වැටුණු ගිනිඅවි පාර්සලය අහුලා ගන්නට ඉඩක් නොවීය. අවසානයේදී එම පාර්සලය හමුවන්නේ පොලීසියටය. ඒ නිසාම රොහාගේ දිවි බේරී තිබුණි. එසේ නොවන්නට රොහාව එදා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම්කර තිබුණේ අධිකරණයේ ස්ථාන තුනකදීය.
හොදම මිතුරන් තරහ වූ හැටි
ගල්කිස්සේත් රත්මලානේත් පාතාලයේ භීෂණය රජ කරවන අංජුගේත් රොහාගේත් මේ ගැටුමට මුල රොහාගේ අතින් අංජුගේ සහෝදරයා ඝාතනය වීමය. අංජුගේ සහෝදරයා වන ලන්සියාත් රොහානුත් කාලයක් ගජ මිතුරන්ය. ඒ කතාව 80 දසකයේ මුල් භාගය දක්වාම දිව යන්නෙකි. එකල රත්මලාන හොල්ලගෙන සිටියේ ලන්සියාගේත් අංජුගේත් බාප්පලාය. එකල මුළු රත්මලානම හෙල්ලී ගියේ අංජුගේත් ලංසියාගේත් ලොකු බාප්පාගේ නමටය. ඔහු රාජාය. රත්මලානේ රාජා යැයි කී විට එකල නොදන්නා කෙනෙක් නැති තරම්ය. රත්මලානම හොල්ලාගෙන සිටි රාජා 88 – 89 භීෂණයේ ගොදුරක් බවට පත්වන අතර තවත් බාප්පාවරු කිහිප දෙනෙක් මිය යන්නේ අකාලයේය.
ලන්සියාත්, රොහාත්, අංජුත්, අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකිනි. රොහාන්, ලන්සියාත් එක පන්තියේ මිතුරන්ය. අංජු එකල පොඩි කොල්ලෙකි. මේ තිදෙනාම සාමාන්‍ය පෙළෙන් ඉහළට අධ්‍යාපනයක් ලබා ඇති බවක් දැන ගන්නට නැත. ලන්සියාටත් රොහාටත් එකල පැවැති එකම ආශාව වූයේ ඇඟ පත පුම්බා ගන්නටය. ඔවුන් කායවර්ධන ක්‍රීඩාවට යොමුවන්නේ ඒ අනුවය. ලන්සියාගේ බාප්පලා ගමේ චණ්ඩීන් වූවත් ඔවුන් ලන්සියාට ඒ චණ්ඩිකම් ඇඟට ගන්නට ඉඩ දුන්නේ නැත. ගමේ සාමාන්‍ය පවුලක දරුවෙක් වූ රොහාටත් ඒ නිසා ලන්සියා සමග එක්ව කිසිවෙකුටත් වැඩ පෙන්නන්නට ඉඩක් නොවීය. ලන්සියාත් රොහාත් අතර පැවැති මිතුදම කොතරම්දැයි සඳහන් කළහොත් එකල ඔවුන් කෑවේ බිව්වේ එකටය. ඇදුම් පවා ඇන්දේ එකම විදිහටය.
පෙමක් කළ හබයක්
ඒ බැඳීමට කණකොකා හැඬලෙන්නේ ලන්සියාගේ ඥාති දියණියකට රොහාගේ මිතුරෙක් පෙම් කරන්නට ගොසිනි. ඒ බව දැනගත් රංජි නැමැති ලන්සියාගේ බාප්පා එම මිතුරාවත් රොහාවත් නිවසට කැඳවා අතපය දිගහැර සලකන්නේ බඩකට පුරාය. එම පාවාදීම පිටුපස සිටියේ ලන්සියාය. ඒ බව දැනගත් රොහා ලන්සියාගෙන් ඈත් විය. තෙලවල පැත්තේ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කම්හලක ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස සේවයට ගියේ පවුලේ වැඩි මහල් දරුවූ වූ බැවින් පවුලේ බර කරට ගන්නටය. එම රැකියාවෙන් ලැබෙන සොච්චම් පවුලේ බර කෙසේ වෙතත් ඔහුටද ජීවත්වන්නට ප්‍රමාණවත් නොවීය. ඔහු අලුත් තැනක රක්ෂාවකට ගියේය. ඒ මොරටුවේ අවන්හලක වේටර්වරයෙක් ලෙසිනි. රොහාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ එහිදීය. ඒ එකල මොරටුව හොල්ලාගෙන සිටි මොරටු සමන්ව දැන හදුනා ගන්නට ලැබීමෙනි. මොරටු සමන් එම හෝටලයට නිතර ආ ගිය අයෙකි. එහිදී මොරටු සමන් දැනහඳුනා ගන්නා රොහාන් පාතාලයට අතපොත් තබන්නේ ද මොරටු සමන්ගේ ආශිර්වාදයෙනි. ඒ ලන්සියාගේ බාප්පාගෙන් පළිගන්නටය.
ඇතුළට ගිය රොහා එළියට එයි
ඒ බව ලන්සියාගේ බාප්පාගේ කන වැකීමත් සමග රොහාට සිදුවන්නේ අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ගල්කිස්ස පොලිසියේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවන්නටය. ඒ පිටුපස සිටියේ පොලිසිය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැති ලන්සියාගේ තවත් බාප්පෙකි. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුව බොහෝ දෙනා හදුන්වනු ලැබුවේ පොඩි මහත්තයා යැයි කියාය.
නොකළ වරදකට බන්ධනාගාරගත වන රොහා මාස ගණනාවකට පසු එළියට එන්නේ අපරාධ ලෝකයේ වැඩකරුවන් රැසක් සමග සම්බන්ධකම් ඇතිකර ගනිමිනි. විශේෂ කාර්ය බළකායෙන් පළාවිත් සිටි සෙබළෙක් වන බයිසිකල් බේබි පවා රොහා දැන හඳුනා ගන්නේ බන්ධනාගාරයේදීය. අපරාධ ලෝකයේ පරිණතයෙක් ලෙස බන්ධනාගාරයෙන් එළියට එන්නේ එදා ඔහුගේ කනට ගැසූ ලන්සියාගේ බාප්පාට බන්ධනාගාරයේදී දැන හදුනාගත් වෙඩික්කරුවෙක් යොදා පානදුරේදී වෙඩි තබා මරා දමමිනි. ලන්සියාගේ බාප්පාවරුන්ගේ හිරිහැරවලට ලක්වුණු තරුණයින් රොත්තක්ම රොහා වටා එක්වන්නේ ඒත් එක්කමය. ඒ අය අතර බොරුපන සංජීව, පිංවත්තේ කළු, මහේෂ්, වාසනා ඇතුළු පිරිසක්ම සිටියහ.
පළමු ඝාතනය සිද්ධ වෙයි
බන්ධනාගාරයෙන් එළියට පැමිණි රොහා සිය නාමය ඉදිරියේ පළමු මිනිස් ඝාතනය පොලිස් පොත්වල ලියවා ගන්නේ පොලිසිය සමග එක්ව බෝම්බයක් අතින් දම්මවා තමාව හිරගත කළ පොඩි මහත්තයාටය. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වූ පොඩි මහත්තයාට එදා රොහා වෙඩි තබා මරා දමන්නේ මහා නගර සභාව තුළදීමය. මොරටු සමන්ද වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ මේ අතරතුරදීය. මොරටු සමන්ගේ හිඩැසට නිතරගයෙන් පත්වන්නේ රොහාය. ඒ වන විට රොහා රටේ නමගිය මංකොල්ලකරුවෙක් බවටද පත්ව සිටියේය. රන් භාණ්ඩ අලෙවි සැල් ඔහුට පෙන්නන්න බැරිය. රට වටේම කරක් ගසමින් ඔහු රන් භාණ්ඩ අලෙවි සැල් කොල්ලකෑවේ පොලිසියට පවා හිසරදයක් බවට පත්වෙමිනි. එම හිසරදයෙන් පොලිසිය ගැලවෙන්නේ බෝම්බයක් සමග රොහා ඇතුළු ඔහුගේ කල්ලියේ හය දෙනෙක්ම හිරේට යවමිනි.
සමාදානයට යෝජනාවක්
වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින රොහා සිය ගෝලබාලයින් සමග ඇප මත එළියට එන්නේ 2006 වසරේදීය. ඒ වන විට ලන්සියා සිටින්නේ සිය බාප්පාවරු මරා දැමුවාට රොහාගෙන් පළි ගන්නට සූදානමිනි. පිරිස් බලයෙන් මෙන්ම ආයුධ අතින්ද ලන්සියා සිටියේ රොහාට වඩා බලවත්වය. ලන්සියා මත්කුඩු ජාවාරමටද අත තබා තිබුණේ ගල්කිස්සේ සිට පානදුර දක්වාම බලය අල්ලමිනි. රොහාද සටන අතහැරියේ නැත. ඔහුත් මත්කුඩු ජාවාරමට අත තැබුවේය. ඒ ලන්සියාගේ බලය හීන කරන්නටය. ලන්සියා මත්කුඩු බෙදූ තැන්වලටම රොහාද බෙදන්නට ගත්තේය. ලන්සියාත් රොහාත් අතර පාතාලයේ ගැටුම් ඇතිවන්නේ ඒත් එක්කමය. මේ ගැටුම පාලනය කිරීමට බැරිම තැන පොලිසිය කරන්නේ බෝම්බයක් සමග අල්ලා රොහාව නැවතත් ඇතුළට දැමීමය. ඒ යැයි කියා දෙපැත්තේ ගැටුමට නිමක් නොවීය. රොහා බන්ධනාගාරය ඇතුළේ සිට සිය ගෝලබාලයින් ලන්සියාට එරෙහිව මෙහෙයවන්නට ගත්තේය. දෙපැත්තේම තරුණයින් එකිනෙකා මරා ගන්නා විට මේ කල්ලි දෙක සමාදාන කරන්නට ඉදිරිපත් වන්නේ මොරටුවේ එකල සිටි ආණ්ඩුවේ දේශපාලන බලවතාය. එම දේශපාලන බලවතා ඊට මැදිහත් වන්නේ “බලන්න සර්, මුං එකට හැදිච්ච කොල්ලො, දැන් මරා ගන්නවා. දවස ගානේ එක එකා මැරෙනවා. සර්වත් මුංට ටිකක් කථාකරල මේ මරා ගැනිල්ල නවත්තල දෙන්න“ යැයි ලන්සියාගේ මවගෙන් ලද ඉල්ලීමකටය.
දෙපැත්තම සාම ගිවිසුමක් ගහයි
ඒ වන විට රොහා සිටින්නේ බන්ධනාගරයේය. රොහා වෙනුවෙන් එම සාම සාකච්ඡාවට එක්වන්නේ රොහාගේ ගෝලබාලයින්ය. ලන්සියාත් ඔහුගේ ගෝලයින් සමග එම සාකච්ඡාවට එක්ව සිටියහ. දේශපාලන බලවතා ඉදිරියේ දෙපැත්ත සාම ගිවිසුමකට එළඹෙන්නේ එකිනෙකා වැළඳ ගෙන නැවතත් මරා නොගන්නා බවට ප්‍රතිඥා දෙමිනි. ගොනාකෝවිලේ පොදුජය මාවතේ පිහිටි රොහාගේ ලෑලි නිවස දෙමහල් සුවිසල් මන්දිරයක් ලෙස ගොඩ නැගෙන්නේද මේ කාලයේදීය. ගෙට ගෙවදීමේ උත්සවය සමරන්නේ මහ ඉහළිනි. ඒ වන විටත් රොහා සිටින්නේ බන්ධනාගාරයේය. ප්‍රාදේශීය දේශපාලනඥයන්ටත් පොලිසියටත් ආරාධනා ලැබ තිබුණු එම උත්සවයට ලන්සියාට මෙන්ම ඔහුගේ ගෝලබාලයින්ටත් ආරාධනා ලැබී තිබුණේය. ඒ දෙපැත්ත දැන් සාමදාන බව තවදුරටත් තහවුරු කරමිනි.
කේලම්වලින් වෙච්චි දෙයක්
ලන්සියාගේත් රොහාගේත් මේ එක්වීම කේලම්වලින් යැපුණු දෙපැත්තේම කිහිප දෙනෙකුට දැඩිව බලපෑවේය. ඔවුන් දෙපැත්තට කේලම් කියමින් හැම විටම උත්සහ ගත්තේ ගැටුමක් අවුලුවන්නටය. ලන්සියා කෙසේ වෙතත් එම කේලම්වලින් රොහා ඇවිස්සෙන්නට ගියේ නැත. ඒ නිසාම 2013 වසරේ රොහා ඇපමත එළියට එන තුරුම දෙපැත්තම සාමකාමී විය. රොහා එළියට ආවත් වැඩිපුර ගමේ රැඳී සිටියේ නැත. ඔහු ගත කරන්නට වූයේ සැඟවුණු ජීවිතයකි. ඒ වන විට කොළඹ හොල්ලාගෙන සිටි පාතාලයේ වැඩකරුවන් රැසක් සමගින්ද රොහාට ලොකු සම්බන්ධකම් ගොඩ නැගී තිබුණේය. දකුණු පළාත් සභා මැතිවරණය පැවැති සමයේදී ඔහු දකුණේ දේශපාලනඥයෙකුට වැඩ කරන්නට යන්නේ ඒ හිතවත්කම් මත ඇතිවුණු සම්බන්ධකමක් ඔස්සේය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එම දේශපාලනඥයා දකුණු පළාත් සභාවේ ඇමති ධුරයක්ද දැරුවේය. මහියංගනය පැත්තේද දේශපාලනඥයෙකුගේ මැතිවරණ කටයුතුවලට රොහා සම්බන්ධව සිටියේය. ඒ සිය ගෝලයින් රොත්තක්ද සමගිනි. එම දේශපාලනඥයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඒ වන විට රොහාගේ හොඳම මිතුරා බවට පත්ව සිටින්නේ දිනේෂ්ය. රත්මලාන පැත්තේ ඔහුට කියන්නේ පොලී දිනේෂ් යැයි කියාය. රොහාගේත් ලන්සියාගේ ගැටුම්වලට නැවතීමේ තිත තැබීමෙන් පසු කේලම්වලින් යැපුණු රොහාගේ දෙදෙනෙක් කරන්නේ දිනේෂ් සහ රොහා අතර ගැටුමක් ඇතිකරවන්නට උත්සහ ගැනීමය. ඒ ලන්සියා සමග දිනේෂ් එක්ව රොහාව මරා දැමීමට සැලසුම් කරන බව රොහාට කියමිනි. රොහාගේ මත්කුඩු ජාලයේ වැඩි කොටසක් මෙහෙයවනු ලැබුවේ දිනේෂ්ය. ඒ වන විට රොහාගේ මත්කුඩු අලෙවියද පහත බැස තිබුණේය. කේලම්කාරයින් දෙදෙනා ඒත්තු ගන්වන්නේ ලන්සියාගේ උවමනාවට දිනේෂ් විසින් රොහාගේ මත්කුඩු නිසි පරිදි බෙදා නොහරින බවය. රොහා ඒ ලණුව කෑවේය. සිය මිතුරාව මරා දැමීමට තීරණය කළේය. වෙඩික්කරුවන් යොදා තෙලවල පිහිටි සැලුන් එකකදී දිනේෂ්ට වෙඩි තැබූවත් ඒ වෙඩිල්ල වදින්නේ වෙනත් අයෙකුටය. ඒ 2014 වසරේදීය. වෙඩික්කරුවා බයිසිකල් බේබිය. අනතුරුව කල්දෙමුල්ලේදී බන්දු නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තබා මරා දමන්නේ තමාගෙන් එතෙක් කලක් මත් කුඩු ලබාගෙන බෙදා හරිමින් සිටි ඔහු ලන්සියාට හේත්තු වීමේ වරදටය.
මේ අතර දිනක් රොහාගේ බිරිදගේ සහෝදරයා ත්‍රී රෝද රථයකින් එන්නේ සිය නැගණිය මුණ ගැසෙන්නටය. ඔහු බන්ධනාගාර නිලධාරියෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරතව සිටින ලන්සියාගේ ඥාතියෙක් මෝටර් රථයකින් රොහාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරන්නට යෙදෙන්නේ ඔය අතරතුරදීය. රොහාගේ මස්සිනාගේ ත්‍රීරෝද රථයෙන් ඒ වන විටත් මාර්ගය තිබෙන්නේ අවහිර වීය. ඒ ගැන රොහාගේ මස්සිනා සහ ලන්සියාගේ ඥාතියා අතර ඇතිවන්නේ බහින්බස් වීමකි. එහිදී රොහාගේ මස්සිනාගෙන් පහරක් වදින්නේ ලන්සියාගේ ඥාතියාටය. එය කන වැකුණු ලන්සියා එදා රොහාගේ නිවසට කඩා වදින්නේ ගෝලබාලයින් රොත්තක් සමගිනි. ඒ වන විට නිවසේ සිටින්නේ බිරිදගේ පියා පමණි. ඔහුගේ කටට පිස්තෝලය දමා කරකවා යන්නේ “වැඩිය දගලන්න හැදුවොත් තොපි ඔක්කොම බාවනවා“ යැයි කියමිනි.
සාම ගිවිසුම බිද වැටෙයි
රොහාගේත් ලන්සියාගේත් සාම ගිවිසුම බිඳ වැටෙන්නේ ඒත් එක්කමය. දෙපැත්ත මරා ගන්නා විට රොහා ඩුබායි පනින්නේ සුදු වෑන් රථ ඔහුව හඹා එන්නට වූ බැවිනි. ලන්සියාද සුදු වෑන් රථවලට බියෙන් සැඟවෙන්නේ ජා – ඇල පැත්තේ කුලියට ගත් නිවසකය. රොහා ඩුබායි රැඳී සිටියේ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ලා සමගිනි. මේ සියලුදෙනාම මෙරටට එන්නේ ඉකුත් මහා මැතිවරණ සමයේදීය. මහනුවර පැත්තේ දේශපාලනඥයෙකුට එවර රොහා හේත්තු විය. මේ අතර ලන්සියාද කලඑළි බසින්නට ගත්තේය. මේ අතර රොහාගේ කේලම්කාර ගෝලබාලයින් කිහිප දෙනෙක්ම සිටියේ ලන්සියාට හේත්තුවීය. ඒ හයිය ඇඟට ගත් ලන්සියා සැලසුම් කරන්නේ රොහාව මරා දමන්නටය. ඒ බව කල්තියාම එම කේලම්කාරයන්ගෙන්ම රොහාගේ කන වැකී තිබුණේය. ලන්සියාගේ කථාව මහර බන්ධනාගාරය ඉදිරිපිටදී 2016 වසරේ ජුනි 23 වෙනිදා රොහාගෙන් අවසන් වන්නේ ඒත් එක්කමය.
අංජු නැමැති පාතාලයේ අපරාධකරු බිහි වන්නේ ඒත් එක්කමය. ඒ සිය සහෝදරයා මරා දැමූ රොහාගෙන් පළිගන්නටය. ඒ වන විටත් අවස්ථා හය හතක්ම අංජුට, රොහා ඉව අල්ලා තිබුණි. පාසල් ශිෂ්‍යයෙක්ව සිටියදීත් වරක් අංජුට කොකා ගස්සා තිබුණේය. එම වෙඩිල්ලට බිලි වන්නේ අංජුගේ හොඳම මිතුරාය. අංජුගේ හිතේ සිය මිතුරාගේ මරණයද තදින්ම කා වැදී තිබුණි. ඔහු ආයුධය අතට ගන්නේ ඒ සියල්ලකගෙන්ම පළි ගන්නට සිතාගෙනය. පිළියන්දලදී රොහාගේ සමීපතමයෙක් වූ ප්‍රභාත්ට වෙඩි තබා මරා දමන්නේ පළමු වෙඩි මුරය රොහාට එරෙහිව පත්තුකරමිනි. අනතුරුව ඝාතනය වන්නේ රොහාගේ බාප්පාවය. කැලණිතිස්ස විදුලි බලාගාරයේ සේවකයෙක් වූ ඔහුව මරා දමන්නේ වාද්දූවේදීය. අනතුරුව දිගට හරහාට රොහාගේ ගෝලබාලයින් රැසක්ම අංජුගේ ඉලක්ක බවට පත්වන්නේ ඩුබායි සිට ගෝලබාලයින්ට ලබාදෙන නියෝගවලට අනුවය. රොහාගේ මත්කුඩු ජාලය පවා මේ වන විට අංජු බිඳහෙලා හමාරය. ඩුබායි සිට ඔහු දැන් සිටින්නේ බලය අල්ලමිනි. රොහාට එළියට එන්නට ඇපකරුවන් වන අයටද අංජුගෙන් කිසිදු සමාවක් නැති තරමිය. අත්තිඩියේ සැලුන් එකකට අංජුගේ ගෝලයින් සොයා එන අත්තිඩියේ කරූද කුරුණෑගල පොලිස් නිලධාරියාගේ ඝාතනයට තවමත් හිරේ සිටින රොහාට ඇප දුන්නෙකි.
අංජුගේ සටන රොහාව මරා දමන තුරු හමාර වන බවක් දක්කට නැති තරම්ය. රොහාගේ ගෝලයින්ට ඔහු පන්න පන්නා වෙඩි තබමින් මරා දමන්නේ සිය ගෝල බාලයින්ද ආරක්ෂා කරගනිමිනි. දැනටත් ඔහුගේ ගෝලයින් හය හත් දෙනෙක්ම සිටින්නේ ඩුබායිහීය. රොහාද බොහෝ කලක් ඇප ලැබුණද බන්ධනාගාරයෙනක් එළියට එන්නේ නැතිව සිටියේ අංජුට බයේය. ඒත් ඔහු මෙම වසරේ මුල බන්ධනාගාරෙයෙන් එළියට යන්නේ බන්ධනාගාර බස් රථයකින්ම ගොස් අතර මගින් බැස ගනිමිනි. දැන් ඔහු සිටින්නේ කොහේදැයි කවුරුත් දන්නේ නැත. ඔහු සිය ගෝලයින්ට දුරකථන ඇමතුමක් ගත්තද එය ගන්නේ ඔහු රැඳී සිටින ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශයකට ගොසිනි. ඒ තරමට ඔහු තමාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ය. රොහා හීන් නූල් වැඩකරුවෙකි. වැඩ දෙන්නේ නිහඬව සිටය. ඔහු ඉව අල්ලන්නේ අංජුගේ බලය බිඳින්නටය. ඒ කල්යල් බලා අංජුට දැනෙන ඉලක්කයක් ගනිමිනි.
ගෝඨාභය පාතාල මර්දනයට අත තියයි
එහෙත් ඊට ඔහුට ඉඩක් ලැබේදැයි කියන්නට බැරිය. ඒ නැවතත් පාතාල අපරාධ මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායමක් බිහිවී ඇති බැවිනි. ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අණින් එම විශේෂ පොලිස් කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ බස්නාහාර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධික්ෂණයෙන් ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නායකත්වයෙනි. වරුණ ජයසුන්දර වැඩි කාලයක් සේවයේ නිරතව සිටියේ විශේෂ කාර්ය බළකායේය. කාලයක් විශේෂ කාර්ය බළකාය පාතාලය මර්දනය කළේ ඔහුගේ නායකත්වයෙනි. අද නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා ඔහු විශේෂ කාර්ය බළකායේ නොමැති වූවත් ඉකුත් සතියේ ඔහුගේ ගෝලබාලයින් විශේෂ රාජකාරි පදනමින් ඔහු යටතට අනුයුක්ත කරනුයේ සමාජ වසංගතයක්ව පවතින මත්කුඩු ජාවාරම සහ පාතාලය හොඳින් හෝ නරකින් අවසන් කරන්නට බව මේ අනුව පැහැදිලිය.
රුවන් වෙඩිවර්ධන