මෙලොව එළිය දුටු කිරි දරුවාගේ සිට බාල, තරුණ, මහලු කොයි කාගෙත් සියලු බලාපොරොත්තු ඉටුකර දීමේ වගකීම බාර කෙරෙන කෙනකු වෙයි නම් ඒ කතරගම දෙවියන්ය. ලෙඩට – දුකට පිහිටක් ඉල්ල ගන්නත්, සැපට, සුවයට අවැසි දෙයක් තමන් සතුකර ගන්නත්, සොරසතුරු කරදරයකින් බේරෙන්නත් මෙකී නොකී බොහෝ කාරණා සඳහාත් පිහිටක් ආරක්‍ෂාවක්, සහනයක් ඉල්ලාගෙන කවුරුත් යන්නේ කතරගම දෙවියන් ළඟටය.
ලංකාවේ කොහේ කොතැනක උන්නද සිටිනා තැන හිඳ පඬුරක් ගැටගසා ඉල්ලන ඉල්ලීම් කරන ප්‍රාර්ථනා සියල්ල සඵලකර දෙන්නට කතරගම දෙවියන් අමතක නොකරන බව කාගෙත් විශ්වාසයයි. එලෙස පැතුම් ඉටුකරගත් සියල්ලන් නියමිත දිනයට, නියමිත වෙලාවට දෙවියන්ට පුද පඬුරු තබා බාර හාර ඔප්පු කරන්නේත් එනිසාමය. එසේ සිය බලාපොරොත්තු මුදුන්පමුණුවා ගත් බැතිමතුන් දහස් ගණනකින් දිනපතා රුහුණු මහා කතරගම දේවාල පුදබිම පිරී යන්නේ එනිසාය.
එලෙස දේවාල පුදබිමට පැමිණෙන්නාවූ බොහෝමයක් දෙනා කතරගම දෙවිඳුන් හදවතින් අදහමින්, මනසින් දකිමින් දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරන්නේය.
මැණික් ගංදිය පිස එන මඳ සුළඟ අනේකවිධ මල් සුවඳත්, මිහිරි පලතුරු සුගන්ධයත් කැන්දාගෙන සිලි සිලි හඬනඟන ගහකොළ, අතුපතර දැවටී පරිසරය සිසිල් කරමින් හඹා යන්නේ දෙවියන් කෙරේ අප්‍රමාණ භක්තියෙන් පසුවන සුවහසක් සැදැහැවතුන්ගේ දාහය නිවා ගතසිත සුවපහසු කරවනු පිණිසමය. තමන් බලන්නට, තමන් වඳින්නට, තමන් පුදන්නට පැමිණි සියල්ලන් දෙස කතරගම දෙවියන් බලා සිටින බවටද බොහෝ දෙනකු විශ්වාස කරයි. එහෙම බලා සිටින දෙවියන්ව හැබැහින් දකින්නට කෙනකුට අවස්ථාව ලැබුණා යැයි පැවසුවොත් තවකෙකු එය විශ්වාස නොකරන්නටද ඉඩ ඇත. එහෙත් පසුගිය කාලයේ එවැනි දුර්ලභ අවස්ථාවන් ලද කිහිප දෙනකු ගැනම අසන්නට, දකින්නට ලැබුණේය.
ඒ අත්දැකීම් අතර සුවිශේෂී ලෙස සඳහන් කළ හැක්කේ බළන්ගොඩ මහ නාහිමියන් ලද අත්දැකීමයි. උන් වහන්සේ කලකට පෙර ඒ සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රකාශය කර තිබුණෙ මෙලෙසිනි.
ඔය සිද්ධිය වුණේ මා බළන්ගොඩ පිරිවෙන කරන කාලෙ. ඒ කාලේ තිස්සමහාරාමෙන් එහාට වාහන යන්න බැහැ. එතැන ඉඳලා ගොඩක් මිනිස්සු පයින් තමයි ගියේ. හැතැප්ම අටක්, දහයක් විතර යන්න තිබුණා. අපි නම් බර කරත්තයකින් තමයි එතැන ඉඳලා ගියේ.
කතරගමට ගිහින් ගඟෙන් එගොඩවෙලා යන්න ඕනෑ. මොකද ඔය කියන කාලෙ පාලම හදලා තිබුණේ නැහැ. අපි කලින් දැනුම් දීලා ගිය නිසා අපට නතර වෙන්න කූඩාරම් සූදානම්කර තිබුණා. ඔය කියන දවස්වල කතරගම පෙරහැරත් තිබුණා.
දේවාලෙ ඉස්සරහ ගිනි වළ හදලා තිබුණේ. ගිනි වළට බඹ හයක්, හතක් එහායින් අපට හිඳගන්න ආසන පනවලා තිබුණා. ගිනි වළේ විශාල දර ගොඩක් ඇවිළෙනවා. ගිනි දලු බුර බුරා ඉහළ නැඟෙනවා. බඹ ගානක් දුරින් සිටියත් රස්නය දැනෙනවා. එතකොට වෙලාව පාන්දර පහට විතර ඇති. මෙන්න හිටිහැටියේම යුරෝපාකාරයෙක් වගේ සුදු හීන්දෑරි, උස, මුහුණ දිගැටි බොහෝම ලස්සන කෙනෙක් ගිනි මැළය අද්දර පෙනී සිටියා. හිස මුඩු කරලා ගුරු පාට රෙද්දක් ඇඳලා. ඒ වගේම ගුරුපාට රෙද්දක් ඒකාංශ කර පොරවාගෙන හිටියෙ. හරියට තරුණ තාපසයෙක් වගෙයි.
ඔහු අර බුර බුරා නඟින ගිනි දලු මැද්දෙන් දේවාලෙ පැත්තේ කෙළවරේ සිට ගිනි වළට බැහැලා පියවර මනින්නා වගේ හෙමින් සීරුවේ ගමන් කළා. පසුව ගේට්ටුව පැත්තෙ කෙළවරෙන් වළෙන් ගොඩට ඇවිත් අතුරුදන් වුණා. මේ සිද්ධිය මා ළඟ හිටපු නාරද ස්ථවිරයන්ටත් පෙන්නුවා. මානම් විශ්වාස කරන්නේ ඒ කතරගම දෙවියෝම තමයි.
ඊට පැයකට විතර පස්සේ ගිනිදැල් නිවිලා අඟුරු බැස්සාට පසුව කපුරාල ගේට්ටුව පැත්තෙන් ගිනි වළට බැහැලා ගිනි පාගාගෙන දේවාලයට ආවා. ඊට පස්සේ තව අයත් ගිනි පෑගුවා.
ගිනි පෑගිල්ලෙන් පස්සෙ මා ප්‍රධාන කපු මහත්තයා මුණගැහිලා අප දුටු සිද්ධිය කිව්වා. උන්නැහේ කිව්වා හාමුදුරුවනෙ හැමදාම ගිනි පාගන වෙලාවට ඔය විදියට දෙවියො වඩිනවා වෙනදට මට විතරයි පෙනෙන්නෙ කියලා. දෙවියන් ගිනි මැළය උඩින් ගමන් කළාම ගිනි සිසිල් වෙන බවත්, හැමදාම ගිනි පාගන දවසට ඔය දර්ශනය එනකල් තමන් බලා සිටින බවත්, එසේ නොපෙනුනොත් තමන් ගිනි වළට නොබසින බවත් ඔහු පැවසුවා.
ගිහි පුද්ගලයකු මෙවැනි අත්දැකීම් විඳි අවස්ථා රැසක් අපට අසන්නට ලැබුණා. නුවර ප්‍රදේශයේ සිට කතරගම පෙරහැර මංගල්‍ය නරඹන්නට ගිය අයකු අප සමඟ පැවසුවේ තමන්ද කතරගම පුදබිමේදී තරමක් වෙනස් ප්‍රියමනාප පුද්ගලයකු දුටු බවකි. ඔහුගේ තිබූ විශේෂත්වය නිසාම තමන් ඔහු පසුපසින් ඇවිද ගිය බවත්, දේවාලයට ආසන්න වෙත්ම අමුත්තා අතුරුදන් වීම නිසාම තමන් දුටුවේ සාමාන්‍ය කෙනකු නොවන බව තේරුම් ගත් බවත් ඔහු පැවැසීය.
එවැනි අත්දැකීමක් විඳි තවත් අයකු පසුගියදා අප සමඟ පැවැසුවේ මෙවැන්නකි.
‘මං අපේ ගමේ පිරිසක් සමඟ කතරගම පෙරහැර බලන්න ගියා. දැනට අවුරුදු කිහිපයකට කලින් එදා අපේ පිරිසත් සමඟ මං දේවාල භූමියේ වාඩිවෙලා දේවාලය දිහා බලාගෙන ඉද්දි එක්වරම සාමාන්‍ය කෙනකුට වඩා වෙනස් රුවක් මං දැක්කා. පින්වන්ත, ප්‍රියමනාප පෙනුමක් තිබුණු ඒ ඇත්තා දේවාලය දෙසට ඇවිදගෙන යනවා වගෙයි මං දැක්කේ. ඔහුගෙ තිබුණු අමුත්ත නිසාම මගේ ළඟ සිටි කෙනාට පෙන්වන්න සිතාගෙන මං ඒ පැත්ත බලලා යළිත් බලද්දි අර අමුත්තා සිටියෙ නැහැ. ඒ වේලාවේ මට හිතුණෙ නැහැ මං දුටුවේ කතරගම දෙවියන් කියලා. ඒත් පසුව මේ ගැන මා දන්න කිහිප දෙනකුටම කිව්වාම ඔවුන් තමයි මට පැහැදිලි කරදුන්නේ මා දැක තිබෙන්නේ කතරගම දෙවියන්ව කියලා.’
කලකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ සිට කතරගම පෙරහැර බලන්නට ගිය පුද්ගලයකු ඔය කතාව අප සමඟ පැවැසුවේ දැඩි භක්තියකිනි. ඔහු පවසන අන්දමට මෙම අහඹු දසුන දැක ඇත්තේ ගිනි පෑගීමේ මංගල්‍යයට මොහොතකට පෙරය. ඔහුගේ අත්දැකීමට සමානම සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ දෙනෙක් එම අත්දැකීම විඳ ඇත්තේ ගිනි පෑගීමේ මංගල්‍ය යෙදී ඇති දිනයන්හිදීය. එසේ නම් කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටීමත්, ගිනි පෑගීමත් අතර සම්බන්ධයක් නැතැයි කියා තර්ක කරන්නට බැරිය.
දේවාලයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට කතරගම දෙවියන් ප්‍රථමයෙන්ම ඉදිරිපත් වන බවටද අතීතයේ සිටම ජනයා තුළ විශ්වාසයක් පවතින අතර, එදිනට කතරගම දෙවියන් ජීවමානව පෙනී සිට සත්‍ය පෙන්වමින් ලක්පොළොවත්, ගුණවත්, සිල්වත් මිනිසාත් සුරකින බවටද බොහෝ දෙනෙක් අදද විශ්වාස කරති.
කුමාර රත්නායක











