විදෙස් විශේෂඥයන් ගෙන්වා හෝ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයා ගැනීමට පියවර ගත යුතු බවත්, අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට වහාම දඬුවම් දිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂනායක ජංගම සේවයේ 72 වැනි අදියරට අද (04) තිස්සමහාරාම මාගම ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂනායක ජංගම සේවය අද ආරම්භ කෙරුණේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කොට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වමින්ය.
“වගකීම්වලින් අපි පැනලා යන්න සුදානම් නැහැ. මම හිටපු ආණ්ඩුවක් තුළ ප්‍රහාරය සිදුවීම ගැන මම සමාව ගන්නවා. ත්‍රස්තවාදය ක්‍රියාත්මක හා සැලසුම් කරන අයට මරණීය දඬුවම ක්‍රියාත්මක විය යුතුයි. යළිත් කිසිදාක ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොවන්න මෙරට නීති සකස් කළ යුතුයි. ආරක්ෂක ජාලය ශක්තිමත් කළ යුතුයි. සමාව ඉල්ලන්න ලැජ්ජා වෙන්නෙ නැහැ. ආණ්ඩුවත් ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන. වෙන න්‍යාය පත්‍ර කේන්ද්‍ර කරගනිමින් සඟවන්න එපා. විදෙස් විශේඥයින් ගෙන්වන්න. ප්‍රහාරය පිටුපස ඇති අදිසි හස්ත හෙළිවන පරිදි විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන්න.”
එමෙන්ම මාගම වැලිවැටිය රකින්න පෙරමුණ ගන්නා බවත්, විෂ ආහාර රටපුරා ගොස් ඇති බවක් ඇමති දන්නේවත් නැති බවත් විපක්ෂනායකවරයා කීය.










