පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකාගමනය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු මහත් රාශියක් පසුගිය සතියේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබිණි. එමගින් උච්චස්ථ තීරණාත්මකතා ස්වභාවයක් රඳා තිබුණේ ඛාන් අපේ පාර්ලිමේන්තුවේදී කතාවක් කෙරෙයිද නැද්ද යන්න ගැනය.
පාකිස්ථානයත් ඉන්දියාවත් සිටින්නේ අංතට්ටු පටලවා ගනිමිනි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝධි දෙදහස් පහළොවේ (2015) ලංකාවට පැමිණි අවස්ථාවේ අපේ පාර්ලිමේන්තුවේදී කතාවක් කෙළේය. යම් හෙයකින් මෙවර ඉම්රාන් ඛාන්ට ඒ අන්දමේ කතාවක් කිරීමේ අවස්ථාව නොලද හොත් එය ගෝලීය සමස්ථ ඉස්ලාම් ප්‍රජාවගේම ආත්මගරුත්වයට (මොරාල් එකට) වැදෙන මරු පහරක්ම බවට මතයක් රට පුරාම වෙසෙන ඉස්ලාම් භක්තිකයන්ගේ ඉහමොළ පුපුරු ගසමින් තිබුණේය.
පාකිස්ථානු අගමැතිවරයාට කතාවක් පාර්ලිමේන්තුවේදී කිරීමට දෙන බවට ඒ වන විටත් ලොව පුරා පැතිර තිබූ පුවත එම ප්‍රජාවගේ සිත්වලට පවන් සලන්නාක් මෙන්ව තිබුණේය. ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තුවේදී කතාවක් කරන්නට ඉඩ සලසා දෙන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ මාසය මුලදී පක්‍ෂනායක රැස්වීමේ දී ප්‍රකාශ කර තිබීමද ඊට ප්‍රතිපාදන සලසන්නක්ව තිබුණේය.
ඉම්රාන් ඛාන් සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් යන දෙදෙනාම හමුවීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනය කර තිබුණි.
ජනාධිපති ගෝඨාභය යුදහමුදා සේවයේ සිටිය දී පාකිස්ථානයේ පුහුණුවට ගොස් ලද සම්බන්ධතාව ගැනද එහි දක්වා තිබිණි. දෙරට (පාකිස්තානය සහ ශ්‍රී ලංකාව) අතර නො සැහෙන කාලයක් තිස්සේ පවත්නා වෙළෙඳ, වාණිජ, සංස්කෘතික සහ යුද අභ්‍යාස පිළිබඳ සුහද සම්බන්ධතා ගැනද දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය සමග අවසන් සටනේදී පාකිස්තානු රජය දුන් අධිතාක්‍ෂණික ආයුධ පිළිබවද සුහදත්ව වර්ධනය පිණිස විස්තර කර තිබිණි.
පාකිස්ථානයේ විදේශ කාර්යාලීය මාධ්‍ය ප්‍රකාශක සාහිඩ් හෆීස් චෞ්ද්‍රි පෙබරවාරි මුලදී නිවේදනය කර තිබුණේ තම අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලංකාවට පැමිණෙන පළමු වැනි රජ්‍ය නායකයා බවය. මේ පැමිණීමෙන් දෙරට අතර සම්බන්ධතා දැඩිවන බවටද මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබුණේය.
එහෙත් අන්තිමට “පහු පහු“ වන විට “කොහු කොහු” වන ස්වභාවයකට සියල්ල අවතීරණව තිබිණ.
කොරෝනා සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක ශරීර සුවතාවක් තහවුරු කළ නො හැකි බැවින් ඉම්රාන් ඛාන් අගමැතිවරයාට පාර්ලිමේන්තුවේදී කතාවක් කිරීමේ අවස්ථාවකට ඉඩ දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රජයෙන් ඉල්ලනු ලැබ ඇතැයි කියන ප්‍රවෘත්තියක් ඒ අතරතුරේ විදේශ කටයුතු ලේකම් ජයන්ත කොළොඹගේ විසින් ඩේලි “එක්ස්ප්‍රස්” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේය.
කොරා්නා අවදානම නිසා ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කතා අපේක්‍ෂාව අත් හැර දැබූ බව කියන මතය පාකිස්තානයෙන්ම පැමිණියේ යැයි කියන ප්‍රවෘත්තිය ද ඒ අතර පැතිරණි.
‘පාකිස්ථානු අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කතාවක් කළහොත් එය මුසලිම් ප්‍රජාවගේ පැත්තට “උඩගෙඩි” දෙන අන්දමේ එකක් වූයේ නම් බෞද්ධ ප්‍රජාවද මොහාතකට හෝ “නවගුණවල”පැත්තකින් තබන්නට බැරි නැතැයිද ඇතැමෙක් සිතූහ. ඉම්රාන් ඛාන් ගේ පැමිණීම සම්බන්ධයෙන් රටේ පැවතුණේ ඔන්න ඔය කියන අන්දමේ තත්ත්වයකි.
කොරා්නා ආසාදිතයන් මියගිය කල්හි අවසන් කටයුත්ත ආදාහනයෙන් නිම විය යුතු බව කියන රජයේ නියමය ඉස්ලාමික බැතිමතුනට පවා පොදු විය යුතුය යන්න ලාංකික බහුතර ප්‍රජාවගේ ඒකායන මතය විය.
මළවුන් ස්වර්ගස්ත කිරීම උදෙසා (මළ) සිරුරු ආදාහනය නොව මිහිදන් කළ යුතුමය යන ඉස්ලාමික සිද්ධාන්තය නිසා රට පැහෙන උණුවතුර හැලියක් වැනි විය.
තම ප්‍රජාව ස්වර්ගයට යාමෙන් වැළැක්වෙන මේ ආඥාව ගැන නම් ඉස්ලාම් භක්තිකයන් සිටියේ දැඩි කලකිරීමකිනි.
ඒ නිසා තණ්හි තණ්හි (තැන්තැන්වල) පොඩි පොඩි උද්ඝෝෂණද ක්‍රියාත්මක විය.
ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරන්නට කවුරු කවර අන්දමේ කරුණු කාරණා කීවත් කළත් ඒ සියල්ල රබර් බෝලයක් දියයට රඳවා තබා ගැනීමකට සමාන බවම මේ අවස්ථාවේදීද ප්‍රත්‍යක්‍ෂ වෙමින් තිබිණි.
එහෙන් ඉම්රාන් ඛාන් ඔසවා ගත් ඉස්ලාම් ප්‍රජාවය. මෙහෙන් (එක් පැත්තකින්) මහා සංඝයා වන්සේලා සමග බෞද්ධයෝය. තවත් පැත්තකින් හොරැහින් බලා සිටින “මෝධි”ය. මධ්‍යස්ථ මතධාරීහු වැට උඩය.
ඉම්රාන් ඛාන් අපේ (ශ්‍රී ලංකාවේ) පාර්ලිමේන්තුවේදී කතාවක් කළහොත් දිල්ලිය ගැන හෝ දුම්දමන කාශ්මීරය ගැන හෝ මොනයම් අන්දමේ හෝ ආවුද (ආයුධ) උස්සන (කුපිතකරවන) කතාවක් කියන්නට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුට පාර්ලිමේන්තුවේදී කතාවක් කිරීමට ඉඩ සලසා දීම ගැන දෙවරක් සිතිය යුතු බව හින්දුස්ථාන් ටෛම්ස් පුවත්පත නිවේදනය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයයෙන් විමසුවද ඛාන්ට පාර්ලිමේන්තුවේ කතාවක් දෙනවාද නැද්ද තීරණය කර ඇති බව කියන්නට නොහැකි බව ඉන්දියාවේ “ද හින්දු” පත්‍රය වාර්තා කෙළේය. අපේ (ශ්‍රී ලංකාවේ) ආණ්ඩුවට “එළුවා සහ තම්පලා මිටිය” ගඟ හරහා ගෙනියන්නට සිද්ධවී තිබුණේය. අගමැති මහින්ද මහතා ඔන්න ඔය අතරේ ඉස්ලාම් ප්‍රාජව අමන්දානන්දනයට පත් කරමින් ඔවුනට කොරෝනා මළ සිරුරු භූමදානය කළ හැකිබව පාර්ලිමේන්තුවේදී කීවේය. ඒ ප්‍රකාශයත් සමග එක් පිරිසක් “තක්කු මුක්කු” වූයේ උණු අළු වැටුණු කඩි ගුලක් පරිද්දෙනි. සන්තෘෂ්ඨියට පත් අනිත් පිරිස “උඩවීසි බිමවීසි පමණක් නො ව කස්තිරම්ද” ඇල්ලුවේය. පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගේම ඉල්ලීම අනුව ඔහුගේ පාර්ලිමේන්තු කතාව අවලංගු කළ බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශ ප්‍රධානි ෂාන් විජේතුංග ඇරැබ් ප්‍රවෘත්ති සේවයට මේ අතරේ ප්‍රකාශ කර තිබුණේය.
චන්ද්‍රසේන මාරසිංහ











