2015 ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සටනට පිවිස පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල නිකුත් වූ සැණින් කළේ එතෙක් තමා රැඳී සිටි අරලියගහ මැදුරෙන් ඉවත්ව තංගල්ලේ තමන් ජීවත් වූ කාල්ටන් මහගෙදර පදිංචියට යෑමය. මන්දයත් ඒ වන විට මහින්දට ජීවත් වන්නට කොළඹ නිල නිවසක් හෝ නොමැති වීම ඊට ප්‍රධාන හේතුව විය. මේ නිසා මහින්ද තංගල්ලේ කාල්ටන් නිවසේ ජීවත් වූ අතර මහින්ද සමග සිටි මැති ඇමැතිවරුත්, මහින්දට ආදරය කළ රට වටේම ජනතාවත් දිනපතාම පාහේ තංගල්ලට ගොස් මහින්දගේ දුක සැප විමසන ආකාරය එකල මාධ්‍යවල සුලබ දසුනක් බවට පත්ව තිබිණ.
පරාද වී තංගල්ලේ ගිය මහින්ද යළි කොළඹ ආ හැටි
එමෙන්ම මෛත්‍රිපාලගේ ජයග්‍රහණයත් සමඟ මහින්ද සමග සිටි බොහෝ දෙනකු මෛත්‍රිපාල සමීපයට යෑම නිසා කොළඹදී මහින්ද වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිසිවකුත් නොසිටි ආකාරයක් එකල දැකගත හැකි විය. අඩුම තරමින් මහින්ද වෙනුවෙන් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්වීමට එකල තැනක් නොවීය.
මේ ආකාරයට මහින්ද තංගල්ලේ හුදකලා වෙද්දී මහින්දව යළිත් කොළඹට රැගෙන ඒමේ සටනට මූලිකත්වය ගත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විය. ඒ වෙන කවුරුවත් නොව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. මුරුත්තෙට්ටුවේ හිමියන් මහින්දව යළි කොළඹට ගෙනාවා සේම කිසිවකුත් මහින්දට තමන්ගේ පන්සල්වල, කාර්යාලවල දොරගුළු නොඅරින මොහොතක මහින්ද වෙනුවෙන් වෙනම කාර්යාලයක් පවා තමන්ගේ පන්සලේ පිහිටුවාලීමට මුරුත්තෙට්ටුවේ හිමියන් කටයුතු කළේය. ඒ අනුව මහින්ද කොළඹ සිටි දිනවල සෑම දිනකම උදේ වරුව ගත කළේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමියන් සකසා දුන් කාර්යාලයේය. මහින්ද සමඟ සිටි බොහෝ අය මෛත්‍රි සමඟ දේශපාලන ඩීල් දමාගනිද්දී මහින්ද සමඟ සිටි අතලොස්සක් පිරිස එදා දිනපතාම පාහේ මාධ්‍ය හමු පැවැත්වූයේ අභයාරාමයේ මේ කාර්යාලයේය. ඒ අනුව රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ සටනේ පළමු වෙඩිමුරය පත්තු කළේ වෙන කවුරුවත් නොව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත්, උන්වහන්සේගේ අභයාරාම පන්සලත්ය.
යහපාලනයෙන් කෙණෙහිලි
කෙසේ වෙතත් එකල යහපාලන ආණ්ඩුව මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උරණ වූවා පමණක් නොව ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යෑමට පියවර ගත්හ. නමුත් ඒ කිසිවක් මුරුත්තෙට්ටුවේ හිමියන් ඉදිරියට තැබූ පය ආපස්සට හැරවීමට සමත් වූයේ නැත. ඒ අයුරින් මුරුත්තෙට්ටුවේ හිමියන් ආරම්භ කළ සටන අවසන් කළේ හරියටම වසර පහක් ඇතුළත නැවත රාජපක්ෂ පවුලේ අයකු ජනාධිපති පුටුවේ හිඳුවා මහින්දට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදී අගමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් අනතුරුවය. රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ අභයාරාම පුරාවෘත්තය ඒ ආකාරයය.
අභයාරාමෙන් එළියට ආ අලුත්ම රාජපක්ෂ
මේ අයුරින් රාජපක්ෂවරුන් බලයට ගෙනැවිත් මේ වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු හදිසියේම වාගේ පසුගිය බ්‍රහස්පතින්දා (15දා) දිනයේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අභයාරාම පන්සලෙන් තවත් අලුත් රාජපක්ෂවරයෙක් කලඑළි බැස්සේය. මේ රාජපක්ෂ වෙන කවුරුවත් නොව රාජපක්ෂ පවුලට කිසිම සම්බන්ධයක් නැති විජේදාස රාජපක්ෂය.
විජේදාස මේ ආකාරයට අභයාරාමයෙන් කලඑළි බසින්නටද බලපෑ සිදුවීම් කිහිපයක් තිබිණ. ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබුණේ පසුගිය මාස කිහිපය පුරාම මුරුත්තෙට්ටුවේ හිමියන් ආණ්ඩුව සම්බන්ධයෙන් කළ කී යම් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ය. ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල වැඩ කොටසක් කළද පසුගිය කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් හේතුවෙන් මුරුත්තෙට්ටුවේ හිමියන් සිටියේ ආණ්ඩුව පිළිබඳව කිසියම් කලකිරීමකින්ය. ඒ බව අවස්ථාවන් කිහිපයකදීම මුරුත්තෙට්ටුවේ හිමියෝ රටට අනාවරණය කිරීමට පියවර ගත්හ. එමෙන්ම අවස්ථාවන් ගණනාවකදී මේ පිළිබඳව යම් යම් පණිවුඩද මුරුත්තෙට්ටුවේ හිමියන් ආණ්ඩුවේ නායකකාරකාදීන්ට යැවීමට පියවර ගත්තේය. ආණ්ඩුවේ නියෝජතයන්ද අභයාරාමයට පැමිණ මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කළත් ඒවාට පිළියම් ලැබෙන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත. ඒ නිසා අලුත් අවුරුදු සමය වන විට මුරුත්තෙට්ටුවේ හිමියන් තීරණය කර තිබුණේ අවුරුද්දෙන් පසු ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවීමටය.
විජයදාස අභයාරාමෙට පෝට්සිටිය අරන් එයි
මේ අතරවාරයේ පසුගිය සතියේ විජේදාසද මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවී ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෝට්සිටිය සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳවත්, එහි ඇති රටට දැඩි අහිතකර වගන්ති පිළිබඳවත් එකින් එක පෙන්වා දීමට පියවර ගත්තේය. යම් හෙයකින් මෙම පනත සම්මත වුවහොත් පෝට්සිටිය චීන කොළනියක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවත්, එහි මුදල් ඒකකය පවා ‘යුවාන්’ වනු ඇති බවත් විජේදාස මුරුත්තෙට්ටුවේ හිමියන්ට පෙන්වා දුන්නේය. මේ ආකාරයට පෝට්සිටි කෙටුම්පතේ ඇති භයානක තත්ත්වය පෙන්වා දීමෙන් පසු මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ එසේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි කියාය.
“එහෙනම් මේක ගැන බලන් ඉන්න බෑ මහත්තයො. අපි හෙටම මේ රට නිදහස් කරගන්න සටන පටන් ගන්න ඕනෙ. අපි මේ ගැන පන්සලේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ රටේ ජනතාව දැනුවත් කිරීමට පටන්ගමු. මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම ඔබතුමාට දෙනවා…” යැයි මුරුත්තෙට්ටුවේ හිමියන් සඳහන් කිරීමත් සමඟ වහාම බ්‍රහස්පතින්දා දිනයේ අභයාරාම පන්සලේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට පියවර ගැනිණ. ඊට විජේදාසට අමතරව මුරුත්තෙට්ටුවේ හිමියන්ද සහභාගි විය.
රාජපක්ෂ පවුලට දැඩි ප්‍රහාරයක්
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විජේදාස දැඩි ප්‍රහාරයක් ආණ්ඩුවටත්, රාජපක්ෂ පවුලටත් එල්ල කිරීමට පියවර ගත්තේය. එහි දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දරුවන් සම්බන්ධයෙන් පවා සඳහන් කිරීමට විජේදාස කටයුතු කිරීමය. ඔවුන් ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා එහි සුවසේ ජීවත් වන බව කී විජේදාස, රාජපක්ෂවරුන් වරින්වර ඇමෙරිකාවේ සිට පැමිණ ලංකාව විනාශ කොට යළිත් ඇමෙරිකාව බලා යන බවත් කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයා මෙහෙයවන්නේ බැසිල් විසින් බවත්, ‘මිස්ට ටුවෙන්ටි පසන්ට්’ යනුවෙන් බැසිල් හඳුන්වන බවත් එහිදී විජේදාස සඳහන් කර සිටියේය.
විජේදාසට පසු කතා කළ මුරුත්තෙට්ටුවේ හිමියන්ද මෙහිදී ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
ජී.එල්. හැරෙන තැපෑලෙන් පන්සලට දුවන් එයි
මේ ආකාරයට මුරුත්තෙට්ටුවේ හිමියනුත්, විජේදාසත් සැර මාධ්‍ය හමුවක් පවත්වා එය මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමඟ ආණ්ඩුව දැඩි අපහසුතාවයකට මුහුණදෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහාම අභයාරාමයට ආවේ ජී.එල්. පීරිස් අමාත්‍යවරයාය. ජී.එල්. අභයාරාමයට ආවාද, එසේ නැතිනම් කවුරුන් හෝ ජී.එල්. අභයාරාමයට එව්වාද කියා පැහැදිලි තොරතුරු නැතත් පන්සලට පැමිණි ජී.එල්. මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ සාකච්ඡා කරනු දැකගත හැකි විය. මෙහිදී ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ජී.එල්. කෙළින්ම මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අසා සිටියේ ‘මොකක්ද හාමුදුරුවනේ මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නය’ යැයි කියාය. එවිට යම් උපහාසාත්මක සිනාවක් මුවට නඟාගෙන මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ ‘කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපේ වැඩේ පටන් ගත්තා.’ යැයි කියාය.
ඇමැතිකමින් අයින් වෙන්න-මුරුත්තෙට්ටුවේ හිමි ජී.එල්.ගේ මූණටම කියයි
‘මොකක්ද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තියෙන කලකිරීම…’ යනුවෙන් ජී.එල්. යළි විමසද්දී මුරුත්තෙට්ටුවේ හිමි ඊට දුන්නේ තරමක් තද උත්තරයකි.
‘මගේ නෙමෙයි කලකිරීම. දැන් මුළු රටටම ආණ්ඩුව ගැන කලකිරිලයි තියෙන්නෙ. අපි මේ ආණ්ඩුව ගේන්න ලොකු කැපකිරීමක් කළා. හැබැයි මේ යන විදිහට පන්සලට මිනිස්සු ගල් ගහන දිනය වැඩි ඈතක නෑ. අපි මෙච්චර කල් විශ්වාසයෙන් හිටියේ අගමැතිතුමා හරි මේකට මොනවා හරි කරයි කියල. එතුමත් දැන් මොනවත් කරන පාටක් පේන්න නෑ…’ යනුවෙන් කියමින් මුරුත්තෙට්ටුවේ හිමියන් දිගින් දිගටම කියාගෙන යද්දී යළිත් ජී.එල්. විමසා සිටියේ ‘මොකක්ද අපේ හාමුරුවනේ අපේ පැත්තෙන් කරන්න ඕනෙ පළමු දේ…’ යැයි කියාය. ඊට මුරුත්තෙට්ටුවේ හිමි දුන්නේ ජී.එල්. සිහිනෙන්වත් නොසිතූ අපූරු පිළිතුරකි.
“කරන්න ඕන පළමුවැනි දේ තමයි ඔබතුමා ඔය අමැතිකමින් ඉල්ලා අස්වෙන එක. එහෙම කරලා මේ සටන කරගෙන යන්න අපිත් එක්ක එකතු වෙන්න….” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමි කියද්දී ජී.එල්. ඊට කිසිදු පිළිතුරක් දෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
විජයදාසට උදේම ජනපතිගෙන් ආ සැර ඇමතුම
කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව තරමක් දරුණු අතකට පෙරළී ඇති බවක් දැකගන්නට ලැබුණේ සිකුරාදා (16දා) උදෑසන විජේදාස සිය නිවසේ සිටම පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමඟය. උදෑසනම පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් විජේදාස මෙතෙක් රට නොදැන සිටි අමුතුම කතාවක් රටට හෙළි කරන්නට පියවර ගත්තේය. ඒ බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වූ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු සිකුරාදා උදෑසනම තමන්ට කතා කළ ජනාධිපතිවරයා පහත් භාෂාවෙන් තමන්ට බැනවැදුණා යැයි කියාය. වියරුවෙන්, පහත් භාෂාවකින් ජනාධිපතිවරයා මෙම බැනවැදීම සිදුකළ බවත්, තමන්ද ජනාධිපතිවරයා ඇමැතූ භාෂාවෙන්ම පෙරළා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ බවත් විජේදාස මෙහිදී කියා සිටියේය. මෙහිදී ජනාධිපතිවරයා දරුවන් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් වරදවා වටහාගෙන කතා කළ ආකාරය තමාට හැඟී ගිය බවත්, තමන් එහිදී කිසිසේත්ම ජනාධිපතිවරයාගේ දරුවන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකළ බවත් විජේදාස මෙහිදී කියා සිටියේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් නොනැවතුණු විජේදාස තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් ඇති බව කියමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීමද විශේෂ සිදුවීමක් විය.
දේශපාලන ක්ෂේත්‍රයම හෙල්ලෙයි
කෙසේ වෙතත් විජේදාසගේ මෙම අනාවරණයත් සමඟ සිකුරාදා දිනයේ මුළු දේශපාලන ක්ෂේත්‍රයම එකවර කැළඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා තමන්ට දුරකතනයෙන් පරුෂ වචනයෙන් බැනවැදුණු බවට විජේදාස කළ ප්‍රකාශය මුල්කරගෙන විවිධ පාර්ශ්ව ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීමට පියවර ගැනීමත් සමගය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් ජනපතිගෙන් ඇමතුමක්: ඇමැති වීරසේකර ආ පයින්ම යයි
මෙහිදී පළමුවෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූයේ වෙන කවුරුවත් නොව අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමියන්ය. ඊට හේතුවී ඇත්තේ උන්වහන්සේටද ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමැතුමක් ලැබී තිබීමය. එම ඇමැතුමෙන්ද ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් සමග විජේදාසට දැඩි ලෙස දොස් පැවරීමට පියවර ගෙන තිබිණ. එම ඇමැතුම මුරුත්තෙට්ටුවේ හිමියන්ට පැමිණෙන විට පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාද සිටියේ අභයාරාමයේය. මෙම සිදුවීමත් සමඟ සරත් වීරසේකර අමාත්‍යවරයාද වහාම අභයාරාමයෙන් පිටව ගොස් ඇති බවක් දැනගන්නට තිබේ.
මහින්දානන්දත් පන්සලට දුවගෙන එයි
මීට අමතරව මෙම සිදුවීමෙන් පසු වහාම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී මහින්දානන්ද උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා මුරුත්තෙට්ටුවේ හිමියන්ට කියා සිටියේ වැරැදි වැටහීමක් මුල්කරගෙන මෙම සිදුවීම සිදුව ඇති බවත්, වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා මුරුත්තෙට්ටුවේ හිමියන් විශාල කැප කිරීමක් කළ බව ජනාධිපතිවරයා පවා පිළිගන්නා බවත්ය. එමෙන්ම 2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් අනතුරුව නැවත ඒ මහතා බලයට ගෙන ඒම සඳහා දැවැන්ත සටනක් මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් දියත් කළ බව අවිවාදයෙන් පිළිගන්නා බවත් මහින්දානන්ද මෙහිදී මුරුත්තෙට්ටුවේ හිමියන්ට සඳහන් කර සිටියේය.
මහින්දානන්ද සිටිද්දීම සජිත්ගෙන් කෝල් එකක්
මේ ආකාරයට මුරුත්තෙට්ටුවේ හිමියන් හා මහින්දානන්ද කතා කරමින් සිටියදී එක්තරා විශේෂ දුරකතන ඇමැතුමක් මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ජංගම දුරකතනයට පැමිණියේය. ඒ වෙන කාගෙන්වත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි. ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන්ටත්, විජයදාස රාජපක්ෂ මහතාටත් බැනවැදී ඇති බවට වූ තොරතුරක් ඒ වන විටත් විපක්ෂ නායකවරයාට දැනගන්නට ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා සජිත් මෙසේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට ඇමැතුමක් ගෙන තිබිණ. ඒ අනුව සජිත් “ඔබ වහන්සේට කරදරයක් වුණා කියල මට ආරංචි වුණා. මොකක්ද අපේ හාමුදුරුවනේ වුණේ…” යැයි කියමින් විමසීමක් කළද මුරුත්තෙට්ටුවේ හිමියන් ඊට පිළිතුරු දෙමින් ඉතා ශාන්ත අයුරින් කියා සිටියේ “නෑ මහත්තයෝ මොනවත් වුණේ නෑ. දන්නෙ නැද්ද ඉතින්….” යැයි කියාය.
මුරුත්තෙට්ටුවේ හිමි තංගල්ලේ සිටි මහින්දට කතා කරයි
මේ ආකාරයට මහින්දානන්ද පැමිණ සාකච්ඡා කොට අභයාරාමයෙන් පිටව ගිය පසු මුරුත්තෙට්ටුවේ හිමියන් වහාම කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමැතුමක් ගැනීමය. මහින්ද ඒ වන විටත් සිටියේ තංගල්ල කාල්ටන් නිවසේ සිය අවුරුදු නිවාඩුව ගත කරමිනි. ඒ අනුව මහින්ද සම්බන්ධ කරගත් මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපතිවරයා තමන්ට බැනවැදුණු බවත්, එවැනි සිදුවීමක් සිදුවනු ඇති බවට තමන් සිහිනෙකින්වත් නොසිතූ බවත් මහින්දට දැනුම්දී සිටියේය. නමුත් එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් අස්වසාලමින් අදහස් දැක්වූ මහින්ද කියා සිටියේ කිසිදේකට කලබල නොවන ලෙසත්, තමන් සෙනසුරාදා දිනයේ කොළඹ පැමිණි වහා උන්වහන්සේ මුණගැසීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.
යළිත් අභයාරාමයේ ප්‍රවෘත්ති සාකච්ජාවක්
මහින්ද එසේ කීවද මුරුත්තෙට්ටුවේ හිමියන් නිහඬව පසෙකට වී සිටියේ නැත. ඒ අනුව වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ මුරුත්තෙට්ටුවේ හිමියන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කවුරු තර්ජන, ගර්ජන එල්ල කළද රට නිදහස් කරගන්නා සටන තමන් වහන්සේ ඇතුළු කණ්ඩායම දිගටම කරගෙන යන බව කියා සිටියේය. රටට විපතක් පැමිණි සෑම විටකදීම කුඩාපොළ හිමි, වාරියපොළ හිමි පරම්පරාව නියෝජනය කරන භික්ෂු පරපුරක් මෙරට තවමත් සිටින බවත්, යම් යම් හේතු මත වරප්‍රසාද මත ඒ මඟ නොයන භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සිටින බවත් මෙහිදී කියා සිටි මුරුත්තෙට්ටුවේ හිමියන් තමන් වහන්සේ කිසිදු විටෙකත් තර්ජන, ගර්ජනවලට බිය නොවන බවත්, නොබියව ඊට මුහුණදෙන බවත් කියා සිටියහ.
මාධ්‍ය හමු පිට මාධ්‍ය හමු
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද සිකුරාදා පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම තත්ත්වය දැඩිව විවේචනය කිරීමටත්, එය හෙළාදැකීමටත් පියවර ගත්තේය. මෙම සිදුවීම හරහා ආණ්ඩුව යෑමට සූදානම් වන මාර්ගය පැහැදිලිව පෙනෙන්නට ඇති බවද අනුර එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් දහවල් වන විට විජේදාසගේත්, මුරුත්තෙට්ටුවේ හිමියන්ගේත් ප්‍රවෘත්ති සාකච්ඡාවන්ට පිළිතුරු දීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයෙන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණ. ඊට සහභාගිව සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ ඇතුළු කිහිපදෙනෙකි. මෙහිදී මහින්දානන්ද කියා සිටියේ තමන් ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ ඇමැතිකම් දරා ඇති බවත්, යම්කිසි ගැටලුවක් ඇතිනම් ඒ සෑම ජනාධිපතිවරයකුම දුරකතනයෙන් කතාකොට ඒ පිළිබඳව විමසීම සාමාන්‍ය දෙයක් බවත්ය. එහි කිසිදු අමුත්තක් නැති බව කියා සිටි මහින්දානන්ද, ප්‍රශ්නයක් ඇත්නම් එය ආණ්ඩුව ඇතුළේ කතාකොට විසඳා ගැනීමේ හැකියාව විජේදාසට තිබූ බවද කියා සිටියේය. නමුත් කිසියම් පිරිසක් විජේදාස මන්ත්‍රිවරයා සමඟ එක්ව ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් කර ඇති බව එහිදී මහින්දානන්ද කියා සිටියේය.
පෝට් සිටිය ආණ්ඩුව පෙරළයිද?
ඒ අනුව මෙම සිදුවීමත් සමග ආණ්ඩුව ඇතුළේ විශාල කලබැගෑනියක් හටගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පෝට්සිටිය මෙම කලබැගෑනියට මුල්වී ඇති ආකාරයත්, ඒ හරහා ආණ්ඩුව ඇතුළේ විශාල බෙදීමක් හටගෙන ඇති ආකාරයත් පැහැදිලිවම දැකගන්නට ඇති කාරණයකි. එය තවත් තහවුරු වන්නේ ශ්‍රීලනිපයද මේ සම්බන්ධයෙන් සිකුරාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟය. ඒ අනුව සිකුරාදා පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැකීමෙන් පසුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ රටට ආයෝජන ගෙන ආ නමුත් රටේ නිදහස, ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් යැයි කියාය. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නීති විශාරදයන්ගේ මතය විමසා ඒ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව මේ වන විට ආණ්ඩුවේ පෝට්සිටි කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 15ක් යොමුවී ඇති අතර ඒ සියල්ල සඳුදා දිනයේදී සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. ඒ සඳහා අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමටද පියවර ගෙන ඇත.
අවුරුදු දා ජනපති මිරිහානේ: අගමැති තංගල්ලේ
පසුගිය සතිය අවුරුදු නිවාඩුව හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රයද පැවතියේ අවුරුදු සිරියෙන් පිරී ඉතිරීය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සිය නිවෙස්වල අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය මාධ්‍ය හරහා රටටම දැකගන්නට ලැබිණ. ජනාධිපතිවරයා සිය බිරිය වූ අයෝමා රාජපක්ෂ සමඟ මිරිහානේ පිහිටි සිය නිවසේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ අතර, මහින්ද සුපුරුදු පරිදි සිය මහ ගෙදර වූ කාල්ටන් නිවසේ දරු පවුල සමඟින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට පියවර ගත්තේය.
මෙහිදී අවුරුද්ද ලබද්දීම ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් මහින්දගේ දුක සැප බැලීම සඳහා තංගල්ලේ කාල්ටන් නිවසට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. පළමු වතාවට පාර්ලිමේන්තුවට පොහොට්ටුවෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් 30 දෙනාම ඊට එක්ව සිටි අතර, ඔවුන් තංගල්ලට යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේත්, සුසිල් ප්‍රේම්ජයන්තත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාත් මහින්දගේ නිවසේ සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් පසුපෙළ මන්ත්‍රිවරුන් අගමැතිවරයාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කොට සුළු වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටි අතර අගමැතිවරයා ඔවුන්ට කියා සිටියේ කොළඹ පැමිණීමෙන් පසු හැකි ඉක්මණින්ම ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් මුණගැසී සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටිනවා යැයි කියාය.
රොනීගෙන් සජිත්ට ආරාධනාවක්
හිටපු මුදල් අමාත්‍ය රොනීද මෙල් මහතාගේ 96වන ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදාය.
රොනීගේ උපන්දිනයට ඔහුගේ හිතවතුන් කිහිපදෙනක් එකතුකොට ගෙන කුඩා හමුවක් පැවැත්වීමට ඔහුගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය විය.
මේ අතර රොනී ඔහුගේ හිතවත් ලේකම්වරයකු වන උපුල් ගලප්පත්තිට විශේෂ කාරණයක් සිහිපත් කළේය.
“උපුල් මට සජිත්ව මුණගැහෙන්න ආසයි” යනුවෙන් රොනී කළ මේ ඉල්ලීම උපුල්ව පුදුම කළේය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ රොනී ද මෙල් අතර එතරම් කුළුපග සම්බධතාවයක් තිබුණේ නැත.එහෙත් රොනී සජිත්ව හමුවීමට බලාපොරොත්තුව සිටී. ඒ අනුව ඔහු වහාම විපක්ෂ නායක සජිත්ව සම්බන්ධ කරගත්තේය.
“සර්ව මුණගැහෙන්න ඕන කියලා රොනී ඇමතිතුමා කියනවා.” යනුවෙන් උපුල් සජිත්ට කියද්දී සජිත් කීවේ, “එතුමගේ උපන් දිනයට මම එතුමව බලන්න එන්නයි ඉන්නේ උපුල්” යැයි කියාය. උපුල් ඒ පිළිතුරෙන් උද්දාමයට පත්විය. සිය හිතෛෂීවන්ත නායකයාගේ ඉල්ලීම ඉටුකළ හැකිවීම ගැන ඔහු සතුටු විය.
“සර්, විපක්ෂ නායකතුමා ඔබතුමා බලන්න ඒවි” යනුවෙන් උපුල් රොනීට කීවේ ඒ අනුවය.
රොනී සජිත්ට කී අනාවැකිය
අඟහරුවාදා සජිත් පෙරවරුවේ තිබූ විශේෂ කටයුතු කිහිපයක් ඉක්මනින් අවසන් කොට රොනී හමුවීමට පිටත් විය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ රොනී සජිත් ගැන පුවත්පතකට පිටු දෙකක විශාල සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබූ අතර ඒ පිළිබඳව සජිත් තුළ විශේෂ මතකයක් තිබුණි.
සජිත් රොනීගේ නිවසට ගොඩවෙන්නට පෙරාතුව රොනී “කෝ උපුල් සජිත්. එයා එනකම් මේක සම්පූර්ණ නෑ…” යැයි හතරපස් වතාවක්ම කීවේය.
“නෑ සර්, එතුමා එනවා” යැයි උපුල් සහතික කර තිබිණ.
සජිත් එන්නට පෙරාතුව කිහිපදෙනක් පැමිණ රොනීට සුබපැතුම් එක්කොට පිටත්ව ගොස් තිබිණ. ඒ සියල්ල අතරේත් රොනී සජිත් ආවේදැයි සොයා බලන ලෙස කිහිපවිටක්ම සිය කාර්ය මණ්ඩලයට කීය. හරියටම 10.45 වන විට සජිත් රොනී ඉදිරිපිට විය.
“වෙල්කම් සජිත් වෙල්කම්” යනුවෙන් කියමින් රොනී සජිත්ගේ දෑත් උණුසුම් ලෙස අල්ලාගෙන ඔහුව පිළිගත්තේය. එය ඉතා හැඟුම්බර අවස්ථාවක් විය.
“මම ඔබව බලාපොරොත්තුවෙන් හිටියේ” රොනී කීවේය.
සාකච්ජාව පැය එකහමාරක්
එතැන් සිට දෙදෙනා අතර පැය එකහමාරකට වැඩි සාකච්ඡාවක් සිදුවිය.
“මේ යන ක්‍රමය මහා විනාශයක්. කිසිම වැඩපිළිවෙළක් නෑ. ජාතික න්‍යායපත්‍රයක් නෑ. මම එදා ඉඳලාම සජිත් ගැන කීවා. නමුත් ඒක මිනිස්සු පිළිගත්තා නම් අද රට මීට වඩා ඉහළ තැනක” යැයි රොනී කීවේය.
“හැත්තෑ හතේ විප්ලවයේ ඔබතුමා බල කණුවක්නෙ.” සජිත් සිහිපත් කළේය.
“අද පක්ෂ දේශපාලනය වෙනම තලයකට ගිහින්. මම ඔබතුමාව කාලයක් තිස්සේ නිරීක්ෂණය කළා. මේ රට ගොඩගන්න පුළුවන් එකම සුදුස්සා ඔබතුමා. ඉන් මෙහා කිසිම නායකයෙක් පේන්න නෑ.” යැයි රොනී කීවේය.
ඔබතුමා කුණු ගාගෙන නෑ
“යූ.එන්.පී. එක ගැන කතා කරලා වැඩක් නෑ. ඒක අවසන්. ආණ්ඩුව දවසින් දවස ගිලෙන නැවක්. නිදහසෙන් පස්සේ මේ තරම් නරක විදිහට අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් නෑ. ඔබතුමා සමගි එක හදපු එක හොදයි. ඒක හරි කියලා ජනතාව තීන්දු කළා. එකම බලවේගයත් සජබ කියලා ළඟදීම ජනතාව තීන්දු කරයි.” යැයි රොනී දීර්ඝ ලෙස කීවේය.
“ඔබතුමාගේ උපදෙස්, අවවාද අපිට අවශ්‍යයි. ඒවා මම ඉතාම ඕනකමින් භාර ගන්නවා” සජිත් කීවේය.
සාකච්ඡාව නිමාවී සජිත් රොනීගෙන් සමුගන්නා අවස්ථාවේ රොනී නැවතත් මෙසේ කීවේය.
“මේ දේශපාලනයේ බොහෝ දෙනා කුණු වෙලා ඉවරයි. ඔබතුමාගේ චරිතයේ කොතැනකවත් කුණු නෑ. ඒ නිසාම ඊරිසියාකාරයෝ එමට ඇති. ප්‍රවේසමෙන් ඔය වැඩපිළිවෙළ කරගෙන යන්න. ඔබ හැර විකල්පයක් රටට නෑ” යන්න රොනී අවසන් වශයෙන් සජිත්ට කී කතාව විය.
සජිත් අවුරුදු සැමරූ හැටි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර පරණ අවුරුදු දිනය යොදාගෙන තිබුණේ විශේෂ කටයුත්තකටය. ඒ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම තමන්ගේ හිතෛෂිවන්ත මිත්‍රයෙකු ද වූ රංජන් රාමනායක දැකබලා ගන්නට යාමටය.
“සර්, සමහරු කියනවා සජබ රංජන්ව ඇතුළට යනකම් බලාගෙන හිටියා කියලා” යැයි කීවේ අශෝක් අබේසිංහය.
“යූ.එන්.පී. එකේ සමහරුත් එහෙම කියලා තිබුණා.” යනුවෙන් මුජිබර් කී කතාවට උත්තර දුන්නේ මහලේකම් රංජිත්ය.
“තමන්ගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් ඇස්වල පොල්කෙඳි හොයනවා කියන්නේ ඕකට. රංජන්ට අපේක්ෂකකම්වත් නොදුන්න අවස්ථාවාදියෝ තමයි මේ මනස්ගාත කියවන්නේ” යන්න රංජිත්ගේ උත්තරය විය.
“නායකතුමා රංජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත් මොනතරම් අරගල කළාද. පක්ෂය හැටියට මොනතරම් සටන් කළාද. මේවා නොදන්න කුහකයෝ මිසක් මනසක් තියෙන කවුරුවත් ඔහොම අභූත චෝදනා කරන්නේ නෑ.” හේෂා කීවේය.
“ෆොන්සේකා මහත්තයාගේ මන්ත්‍රීකම ගලවනකොට එදා විපක්ෂ නායකයෝ මොනවාද කළේ. ඒ අය අද මැරිලා ඉපදිලා වගේ කතාව. මොන පණ්ඩිතකම් කතා කළත් තවම ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනේ පුරවගන්න ඒ අයට බැරිවුණානේ”
තරුණ කමිටුවේ රැස්වීමකට පැමිණ සිටි රෙහාන් ජයවික්‍රම එහෙම කීවේය.
රන්ජන් බලන්න අගුණකොළේට
සජිත් රංජන් බලන්නට අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගියේ පරණ අවුරුදු දා දහවල්ය.
රංජන් සිය නායකයාගේ දෑත් අල්වාගෙන මොහොතක් ගත කළේය.
“ඔයා හිතන්න එපා සේරම ඉවරයි කියලා. සටනවත්, අරගලයවත් ඉවර නෑ. අපි ඉන්නවා ඔයා එක්ක”
සජිත් රංජන්ට ශක්තිය දුන්නේය.
“එළියේ යන එක එක කතා එච්චර හිතන්න එපා. ඔබතුමා කරන කැපවීම මම හොඳින්ම දන්නවා”
“රංජන් කියන්නේ මානවවාදී නායකයෙක්.එතුමාට ශක්තියක් දෙන්න හැම වෙලාවේම මමත්, පක්ෂයත් පෙනී ඉන්නවා.” යැයි සජිත් බන්ධනාගාරයෙන් පිටතට පැමිණ කීවේය.
දිලුම් යළි කරළියට ගෙනා හිට්ලර්
ආණ්ඩුව ඇතුළේ පෝට්සිටි ප්‍රශ්නය උඩුදුවද්දී රාජ්‍ය අමාත්‍යවරයකු වූ දිලුම් අමුණුගම මහතා අවුරුදු දිනවල කළ එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් හදිසියේම වාගේ ලංකාව ජාත්‍යන්තරය තුළ පවා කතාබහට ලක්වන පසුබිමක් මතුවිය. එහිදී දිලුම් කියා සිටියේ විවිධ පාර්ශ්ව මේ වන විට ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවත්, ජනාධිපතිවරයා හිට්ලර් කෙනකු ලෙස කටයුතු නොකිරීම ඊට හේතුව බවත්ය. එම නිසා ජනාධිපතිවරයා ඉදිරියේදී හිට්ලර් කෙනකු මෙන් කටයුතු කරනු ඇති බව තමා සිතන බවද දිලුම් මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් දිලුම්ගේ මෙම ප්‍රකාශයත් සමඟ පළමුවෙන්ම ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව හිට්ලර් උපන් රට වූ ජර්මනිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන හොල්ගර් සියුබර්ට් මහතාය. වහාම සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් හොල්ගර් කියා තිබුණේ හිට්ලර් කෙනකු අවශ්‍ය බවට ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු කියනු තමන්ට ඇසුණු බවත්, මිලියන ගණනක් ජනතාවගේ මරණයට වගකිවයුතු හිට්ලර් වැන්නකු කිසිදු දේශපාලනයකු විසින් ආදර්ශයට නොගත යුතු බවත්ය. ඝාතනයට ලක්වූ එම ජනතාවගේ වේදනාවන්ට හිට්ලර් වගකිවයුතු බවද ජර්මානු තානාපතිවරයා වැඩිදුරටත් සිය පණිවුඩයේ සඳහන් කර තිබිණ.
මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දිලුම්ගේ මේ හිට්ලර් කතාවට අලුත් අවුරුදු දිනයේදී ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ මේ රටට දැන් අවශ්‍යව ඇත්තේ හිට්ලර් පන්නයේ නායකයකු නොව රට ගොඩගත හැකි දැක්මක් ඇති නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූ වැනි නායකයන් බවත්ය.
බැසිල්ට ඇතුළෙන් පහර වදිද්දී ජනපති බැසිල් එක්ක උඩුවේ හිමිගේ පන්සලේ
මේ වන විට ආණ්ඩුව ඇතුළේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විමල් ඇතුළු පක්ෂ එකොළහේ කණ්ඩායම දැඩි විරෝධයක් දැක්වීම කිසිවකුටත් රහසක් නොවේ. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව පියවර ගත් දින සිටම විමල් ඇතුළු කණ්ඩායම විසින් මෙම බැසිල් විරෝධය ආණ්ඩුව ඇතුළේ මුවහත් කරන ආකාරයක් දැකගන්නට තිබිණ. එහිදී වක්‍රව පමණක් නොව ඍජුවම මෙම පිරිස බැසිල්ට ප්‍රහාර එල්ල කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ බැසිල් විරෝධයක් මතුවෙද්දී පසුගිය සතියේ ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා එකට උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සල වූ ඇලන් මැතිනියාරාමයට පැමිණ විශේෂ ආගමික උත්සවයකට සහභාගිව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ ජනාධිපතිවරයාගේ බිරිය වූ අයෝමා රාජපක්ෂ මැතිනියත්, බැසිල්ගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මැතිනියත් එම අවස්ථාවට එක්ව සිටීමය. ඒ අනුව බැසිලුත්, ජනාධිපතිවරයාත් එකට සහභාගි වූ මෙම පින්කමේදී උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් දෙදෙනාටම ආශීර්වාද කිරීමද තවත් විශේෂ සිදුවීමක් විය.
ආණ්ඩුවේ සුළු පක්ෂ කිහිපයක් බැසිල් විරෝධයක් මතුකරද්දී ජනාධිපතිවරයා මේ ආකාරයෙන් බැසිල් සමඟ ප්‍රසිද්ධියේ උත්සවයකට සහභාගි වීම හරහා ආණ්ඩුවේ සුලු පක්ෂවලට ජනාධිපතිවරයා යම් දේශපාලන පණිවුඩයක් ලබාදුන් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණ.