සජිත්ගේ කට වහපු ආණ්ඩුවේ මෙහෙයුම!
ප්‍රසන්න රණතුංගගෙන් ජගත්ට තගක්!
මහින්දගේ ඇනිවසරි එකට ගෝඨා තනිවම එයි!
ජවිපෙ ආණ්ඩුව එක්ක ලොකු ඩීල් එකකද?
මුලින් කියපු කතා බොරු වෙයි! දේශීය ණයටත් අත තියයි!
පසුගිය සතියේ රටේ සමස්ත දේශපාලනයම කේන්ද්‍ර වී තිබුණේ ප්‍රධාන මාතෘකා දෙකක් මතය. ඉන් එකක් වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. දෙවැන්න වූයේ ‘අස්වැසුම’ සුබසාධන වැඩපිළිවෙළය. මෙම මාතෘකා දෙකම පසුගිය සතිය වන විට රට ඇතුළේ විශාල ආන්දෝලනයකට තුඩුදීමට හේතු වී තිබුණේ විරුද්ධ පක්ෂයේ සියලු දෙනාත්, සාමාන්‍ය ජනතාවත් මෙම වැඩපිළිවෙළට එරෙහිව අවි ඔසවා තිබීමය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ආණ්ඩු පක්ෂය, විපක්ෂය පමණක් නොව මුළු රටම සිටියේ කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ හෝ සිදුවන්නට යන්නේ කුමක්ද පිළිබඳ හෝ නොදන්නා අඳුරේ අතපත ගානා තැනකය. මුලින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම හරහා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට නොයන බවට රටට පොරොන්දුවක් දී තිබිණ. ජනාධිපතිවරයාත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් අවස්ථා කිහිපයකදීම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුනොකරන බව රටට පැහැදිලිවම කියා සිටියහ. නමුත් ප්‍රශ්නය පැනනැගුණේ දැනට සති දෙක තුනක් තබා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ යුතු බවට ආණ්ඩුව පැත්තෙන් විවිධ අවස්ථාවලදී අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමත් සමගය. මෙහිද ආණ්ඩුවේ යම් යම් පාර්ශ්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවන්ට අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පමණක් නොව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්ද සිදුකළ යුතු බව කියා සිටියහ. Latest News in Sri Lanka
ලියුම සභාගත කරයි!
ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට දමා අත පිසදා ගැනීමට උත්සාහ කළද එය එසේ නොවන බව තහවුරු වන ආකාරයේ ලිපියක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කිරීමට මීට සති දෙකකට ඉහතදී ආචාර්ය හර්ෂ ද සිල්වා කටයුතු කොට තිබිණි. එම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත යොමුකොට තිබුණේ වෙන කවුරුවත් නොව, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එම ලිපිය මගින් ජනාධිපතිවරයා අවධාරණය කොට තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමටද ශ්‍රී ලංකාව සූදානම් බවකි. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාව ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නේ නෑ!
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳ වරින් වර අදහස් පළවුවද එය සිදුකරන්නේ කෙසේද, එය සිදුකරන ක්‍රමවේදය කුමක්ද, එහි බලපෑම කුමක්ද ආදී කිසිදු තොරතුරක් ආණ්ඩුව පැත්තෙන් එළියට ආවේ නැත. මේ නිසාම පසුගිය සතිය ආරම්භ වන විට රටේ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාම සිටියේ කුමක් සිදුවන්නට යන්නේදැයි සිතාගත නොහැකිවය. විවිධ අවස්ථාවලදී විපක්ෂය පැත්තෙන් මෙරට බැංකු පද්ධතියට සහ ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. වැනි ජනතා අරමුදල්වලට හානියක් සිදුවිය හැකි බව පමණක් ප්‍රකාශ කර තිබීම නිසා ජනතාවද බලා සිටියේ කුමක් වන්නේදැයි සිතාගත නොහැකිවය.
බැංකු වහලා ප්‍රශ්නයක්!
තත්ත්වය තවත් උග්‍ර වූයේ ආණ්ඩුව හදිසියේම සිකුරාදා (30) දිනයද බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමගය. බ්‍රහස්පතින්දා හජ්ජි දිනය නිසා එදිනද බැංකු නිවාඩු දිනයක් වූ අතර, සෙනසුරාදා සහ ඉරිදා කොහොමත් බැංකු නිවාඩු දින වීමත්, සඳුදා දින පොහෝ දිනයක් වීම නිසාත්, සිකුරාදා දිනයද නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමග එක දිගට දින 05ක් බැංකු නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කිරීම මෙහිදී දැකගැනීමට ලැබුණු විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් වශයෙන් දින 03කට වඩා එක දිගට බැංකුවලට නිවාඩු ලබාදෙන්නේ නැත. ඒ, රටේ මූල්‍ය පද්ධතියට එය හානිකර වන බැවිනි. නමුත් එක දිගට දින 05ක් බැංකු නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී බැංකුවලට බලපාන අයුරින් සහ බැංකුවල ඇති ජනතා ඉතුරුම්වලට බලපාන අයුරින් කුමක් හෝ තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවට වූ සැකය සියලු දෙනා අතරම මතුවන්නට විය. එය තවත් උග්‍ර වූයේ සිකුරාදා දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළද වසා දැමීමට තීන්දු වීමත් සමගය.
මුලින්ම කිව්වේ ප්‍රංශයට!
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පාර්ලිමේන්තුව කැඳවා දේශීය ණය ප්‍රතිව්‍යුහත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට සැලසුම් කර ඇතැයි කියය. ඉකුත් සතියේ අප කළ මෙම හෙළිදරව්ව ජනාධිපතිවරයා පළමු වරට තහවුරු කළේ ප්‍රංශයේ සිට ප්‍රංශ 24 නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම හරහාය. එහිදී ජනාධිපතිවරයා පළමු වරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම පිළිබඳ හෙළිකරමින් කියා සිටියේ ලංකාවේ විදෙස් ණය ලෙස ඇති ඩොලර් බිලියන 41.5න් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බවත්, දේශීය ණය මුදල්ද ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බවත්ය. එමෙන්ම එය පාර්ලිමේන්තු මුදල් කමිටුවට ඉදිරිපත් කර පසුව පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී අනාවරණ කර සිටියේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාද දින ගම්පහ පැවති විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින්ද මේ බව රටට කියා සිටීමට පියවර ගත්තේය.
පොදු විපක්ෂය විරුද්ධයි!
ඒ අනුව පසුගිය සතිය ආරම්භයේදීම විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන විධායක කමිටුව මේ සම්බන්ධව මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. මෙහිදීද විපක්ෂ නියෝජිතයන් සියලු දෙනාම පාහේ පෙන්වා දී තිබුණේ ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා බැංකු පද්ධතියට හෝ ජනතා අරමුදල්වලට අත තැබීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි කියාය.
සජබයත් රැස්වෙයි!
මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමද පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා දින රැස්වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට හර්ෂ ද සිල්වා මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව ආරම්භ වීමෙන් පසු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා දිගින් දිගටම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හර්ෂගෙන් ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය.
කව්ද වගකීම ගන්නේ! හර්ෂට ප්‍රශ්න වැලක්!
‘ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මොකක්ද කරන්න හදන්නේ? බැංකුවල තැන්පතු කපන්න යනවද? ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. සල්ලි කපන්න යනවද? පොලිය කපන්න යනවද? රටේ මිනිස්සුත් මේ ගැන මොනවත් දන්නෙ නැතුව බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. නිකන් හරි ආණ්ඩුව මේ ගන්න තීන්දුවෙන් බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිවෙලා බැංකු පද්ධතිය අර්බුදයට ගියොත් ඒකේ වගකීම ගන්නේ කවුද?’ යනාදී වශයෙන් හර්ෂගෙන් ප්‍රශ්න කරද්දී හර්ෂ ද කියා සිටියේ තමන්ද මේ සම්බන්ධයෙන් වැඩි දැනුවත්භාවයක් නොමැති බවකි.
මමත් හරියට දන්නේ නෑ! හර්ෂගෙන් වැට උඩ උත්තරයක්!
‘මමත් හරියටම දන්නෙ නෑ. ආරංචි විදියට නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. හැබැයි මටත් ඒ ගැන සහතිකයක් දෙන්න බෑ’ යනුවෙන් පවසමින් හර්ෂ හීන්සීරුවේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ගත හැකි ආකාරයෙන් අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී සජබ මන්ත්‍රීවරුන් ඍජුවම හර්ෂගෙන් ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුවේ මෙම යෝජනාවට සහාය ලබාදී රටට යම් අහිතකර තත්ත්වයක් මතුවුවහොත් එහි වගකීම කවුරුන් විසින් ගන්නේදැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා ගන්නා දේශපාලන තීන්දු තීරණවලට අනුව සජබය කටයුතු කළ යුතු නැති බවත්, ජනාධිපතිවරයාට අනුව කටයුතු කිරීමට නම් සජබයක් අවශ්‍ය නැති බවත් මෙහිදී මන්ත්‍රීවරු සජිත්ට පෙන්වා දීමට පියවර ගත්හ. ඒ අනුව අවසානයේදී සජබය තීන්දු කළේ ආණ්ඩුව විසින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි සෑම වගන්තියක්ම හොඳින් සොයා බලා ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමටය. එමෙන්ම බැංකු පද්ධතියට හෝ සේවක අරමුදල්වලට හානියක් වන්නේ නම් ඊට එරෙහිව ඡන්දය ලබා දිය යුතු බවටද එහිදී තීන්දු විය.
පක්ෂ නායක රැස්වීමත් කල් දමයි!
මේ අතරවාරයේ සති අන්තයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණද, අවසාන මොහොතේ එය සිකුරාදා දින දක්වා කල්දැමීමට තීන්දු කිරීමත් සමග ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ තවත් බරපතළ සැක සංකා මතුවීම වැළැක්විය නොහැකි තැනට පත්ව තිබිණි.
සාකච්ඡා! සාකච්ඡා! සාකච්ඡා!
මේ අතරවාරයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බදාදා දින ආණ්ඩුව පැත්තෙන් මෙන්ම විපක්ෂය පැත්තෙන්ද විශේෂ සාකච්ඡා වට ගණනාවක් සංවිධාන කොට තිබිණි. ආණ්ඩුව පැත්තෙන් එදින සවස 4ට කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, 5ට ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබිණි. මීට අමතරව පස්වරු 6ට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින් ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ ජෙට්වින්ග් හෝටලයේ සංවිධාන කොට තිබිණි. ඊට සුමන්තිරන් විසින් ජනාධිපතිවරයාටත්, විපක්ෂ නායකවරයාටත්, මහබැංකු අධිපතිවරයාටත්, විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ටත් ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.
කැබිනට් එකට නන්දලාල්ගෙන් ප්‍රසන්ටේෂන් එකක්!
මෙහිදී පළමුවෙන්ම පැවැත්වුණේ කැබිනට් මණ්ඩල රැස්වීමය. එම රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් ඇමැතිවරුන් දැනුවත් කිරීම සඳහා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ. ඒ අනුව නන්දලාල් තාක්ෂණික කරුණුවලින් සමන්විත දීර්ඝ පැහැදිලි කිරීමක් ඇමැතිවරුන් හමුවේ සිදු කළේය. එම පැහැදිලි කිරීමෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට කිසිදු විරෝධයක් නොදක්වාම දෑත් එසවීමට ඇමැතිවරු කටයුතු කළහ.
මන්ත්‍රී කණ්ඩායමටත් නන්දලාල් එයි!
කැබිනට් රැස්වීම නිමවූ වහා ජනාධිපතිවරයා සහභාගි වූයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටය. ජනාධිපතිවරයා රැස්වීමට සහභාගි වන විටත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එම රැස්වීමට එක්ව සිටි ආකාරය දැකගත හැකි විය.
ලොකුගේ ප්‍රශ්නය අහයි!
මෙහිදී රැස්වීම ආරම්භ වීමෙන් පසු මුලින්ම ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට විය හැකි හානිය පිළිබඳ මෙහිදී ලොකුගේ ප්‍රශ්න කරද්දී ඊට පිළිතුරු දීම ආරම්භ කළේ මහබැංකු අධිපතිවරයාය. හෙතෙම කැබිනට් මණ්ඩලයේ කළ පැහැදිලි කිරීමම මෙහිදීද කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. තාක්ෂණික වශයෙන් කරුණු පැහැදිලි කරමින් ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය පිළිබඳ යම් විග්‍රහයක් කළ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ බැංකු පද්ධතියට මෙහිදී අත තැබීමක් සිදු නොවන බවත්, අර්ථසාධක අරමුදල මගින් 9%ක පොලියක් මහජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බවත්ය. බොහෝ තාක්ෂණික කරුණු මහබැංකු අධිපතිවරයාගේ කතාවේ ගැබ්ව තිබීම නිසාදෝ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න අසන ආකාරයක් දැකගන්නට නොලැබිණි.
දැන් හරිනේ! ඇදගෙන යන්නෙ නැතිව සම්මත කරන්න!
මේ ආකාරයට මහබැංකු අධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් පසු කතාව ආරම්භ කළේ ජනාධිපතිවරයාය. ඉතා සැහැල්ලුවෙන් යුතුව ජනාධිපතිවරයා කියා සිටියේ, ‘දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. බැංකුවලට ප්‍රශ්නයක් වෙනවා කිව්වා, ඊ.පී.එෆ්. එකට ඊ.ටී.එෆ්. එකට ප්‍රශ්නයක් වෙනවා කිව්වා. මහබැංකු අධිපතිතුමා කිව්වනේ ඒ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා. ඒ නිසා මේක සෙනසුරාදා දිනයේදීම පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඉවරයක් කරලා දාන්න.’ යැයි කියාය. එවිට මන්ත්‍රීවරයකු විමසා සිටියේ සිකුරාදා පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී කුමක් කළ යුතුදැයි කියාය. එවිට ජනාධිපතිවරයා ඊටද පිළිතුරු දෙමින් කියා සිටියේ මහබැංකු අධිපතිවරයා කී කරුණු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ටත් දැනුම් දෙන ලෙසත්, විවාදය ඉරිදා දින දක්වා ඇදගෙන නොගොස් සෙනසුරාදා දිනයේදීම අවසන් කිරීමට සාකච්ඡා කරන ලෙසත්ය.
අස්වැසුමෙන් ඇවිලෙයි! අපිට ගමට යන්න බෑ!
කෙසේවෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාබහෙන් පසු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වූයේ මේ දිනවල ආන්දෝලයට තුඩුදී ඇති අස්වැසුම ප්‍රශ්නය මුල් කරගනිමිනි. පොහොට්ටුවේ විවිධ පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්කෙනකුගෙන් පසු තවත් කෙනකු අදහස් දක්වන ආකාරයට අස්වැසුම හේතුකොටගෙන තම තම දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට පටන් ගැනීමත් සමග රැස්වීම උණුසුම් වන ආකාරයක් දැකගත හැකි විය.
සේමසිංහ උත්තර දෙයි!
මුලින්ම මේ පිළිබඳ ප්‍රශ්නය මතු කළේ සමන්ප්‍රිය හේරත්ය. සමන්ප්‍රිය පෙන්වා දුන්නේ මේ අර්බුදය නිසා යළිත් තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.
ඊට පිළිතුරු දීම ආරම්භ කළේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහය. සේමසිංහ කියා සිටියේ මෙම නාමලේඛනය අවසන් ලේඛනය නොවන බවත්, ජනතාවගේ අභියාචනා භාරගැනීම සඳහා දින 10කින් කාලය දීර්ඝ කර ඇති බවත්ය. එම අභියාචනා අන්තර්ජාලය ඔස්සේ පමණක් නොව, අතින් ගෙනැවිත් භාරදිය හැකි බවද සේමසිංහ කියා සිටියේය.
ජගත් කුමාර ප්‍රශ්න තදටම කියයි!
අනතුරුව කතා කළේ ජගත් කුමර සුමිත්‍රාරච්චිය. ජගත් සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධිලාභීන් සමග සමීපව කටයුතු කරන නිසා අස්වැසුමේ ඇති අවුල්සහගත තැන් හොඳ හැටි දැන සිටියේය.
‘ඔබතුමාලට මේක තේරෙන්නේ නෑ ඇමැතිතුමා. මිනිස්සු රස්තියාදු වෙනවා. සමහර තැන්වල අභියාචනා භාරගන්නේ නෑ. සමහර තැන්වල මම කතා කරලයි භාරදුන්නේ. මේ මිනිස්සුන්ට ඔන්ලයින් තේරෙන්නේ නෑ. ඇප් එක තේරෙන්නෙත් නෑ. සමහරුන්ට අකුරු ලියන්නත් බෑ. අනෙක මේ මිනිස්සු තෝරාගත් නිර්ණායක ගැනත් ප්‍රශ්න තියෙනවා. ගෙදර වහලක් තියෙනවා නම්, සාලය ටයිල් කරලා නම්, වැසිකිළියක් තියෙනවා නම්, ගඩොල්වලින් බිත්ති බැඳලා නම්, ටැප් වතුර තියෙනවා නම් අස්වැසුමෙන් අයින් කරලා. මේක ලොකු වැරැද්දක්. මේ මිනිස්සු අසරණයි. දැන් මිනිස්සු පාරට බැහැලා ඉන්නේ. මේක විපක්ෂය අතට ගියොත් ලේසි වෙන්නේ නෑ. මතකනෙ හිටපු ජනාධිපතිතුමා කාබනික පොහොර ගෙනල්ලා වෙච්ච දේ? ඒක හොඳ හිතින් කරන්න ගියත් අන්තිමේ ලොකු විනාශයක් වුණා. ආණ්ඩුවත් නැතිවුණා. ඒ නිසා මේ ගැන හිතලා අස්වැසුම නවත්වන්න…’ යනුවෙන් ජගත් කුමාර කියද්දී සේමසිංහ ජගත්ටද ටිකක් තදින් පිළිතුරු දීමට පියවර ගත්තේය.
‘නෑ නෑ. ඕවා බොරු කතා. ඔය කියන තරම් ප්‍රශ්නයක් අස්වැසුමේ නෑ. ඔබතුමා කොහොමද කියන්නේ සමීක්ෂණයක්වත් කරලා නැතුව මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා? මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ ඔබතුමා…’ යනුවෙන් සේමසිංහ කියද්දී ජගත් ඊට උත්තර දීමට ඉදිරිපත් විය.
සේමසිංහගෙන් ජගත්ට දොස්!
‘මම උද්ඝෝෂණ මෙහෙයවන්න ගියේ නෑ. මම කතා කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ගන්න තොරතුරුත් එක්ක. ඔබතුමාලත් මේක කරන්නේ සමීක්ෂණයක් කරලා නෙවෙයිනේ…’ යනුවෙන් කියමින් ජගත්ද ප්‍රශ්නය පෙන්වා දෙද්දී ජනාධිපතිවරයා වාදයට මැදිහත්ව එය අවසන් කිරීමට පියවර ගත්තේ අස්වැසුම කිසිසේත්ම නොනවත්වන බව දැනුම් දෙමිනි. එමෙන්ම රැස්වීම අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුට උපන්දින සුබ පතුම් එක් කරමින් මන්ත්‍රී කණ්ඩායමට උපන්දින කේක් එකක් ගෙන්වීමටද කටයුතු කළේය.
රනිල් කේක් අරන් එයි!
‘නෑ නෑ. අපි අස්වැසුම නවත්වන්නේ නෑ. ඒක දිගටම කරගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කෝ මේ ශෂීන්ද්‍ර මන්ත්‍රීතුමා? අද එතුමාගේ උපන්දිනේ. කෝ ඔය කේක් එක ගේන්න. අපි එතුමට සුබ පතලා කේක් කපමු. කෝ ඩයනා ඇමැතිතුමිය? ඔබතුමී ‘හැපි බර්ත්ඩේ ’ කියලා ශෂීන්ද්‍රට විෂ් කරන්න….’ යැයි කියමින් ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශෂීන්ද්‍රට සුබ පතමින් කේක් කපන ලෙස ශෂීන්ද්‍රට ආරාධනා කළේය.
ජගත්ට ප්‍රසන්නගෙන් තගක්!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කේක් කපන අතරවාරයේද ෂෙහාන් සේමසිංහ හා ජගත් කුමාර මන්ත්‍රීවරයා අස්වැසුම මුල්කරගෙන උණුසුම් වචන හුවමාරුවක නිරත වීමය. මෙහිදී ෂෙහාන් හා ජගත් එකිනෙකාට චෝදනා එල්ල කරගනිද්දී එතැනට ආ ප්‍රසන්න රණතුංග සැරපරුෂ භාෂාවක් යොදාගනිමින් ජගත්ට බැණවැදීම විශේෂ සිදුවීමක් විය. ප්‍රසන්න කියා සිටියේ සමෘද්ධි නිලධාරීන් අවුස්සන්නේ ජගත් යැයි කියාය.
ඉස්සර දාපු සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා!
‘ඔයගොල්ලො තමයි මේවා පිටිපස්සේ ඉඳගෙන මේක අවුස්සන්නේ. ඒවා තියාගන්න ලෑස්ති වෙන්න එපා. ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි බලාගමු…’ යැයි කියමින් ප්‍රසන්න ජගත්ට යම් තර්ජනාත්මක ස්වරූපයෙන් ඇඟිල්ලද දිගුකර කියනු දැකගත හැකි විය. මේ අවස්ථාවේදී සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සිද්ධිය දෙස බලා සිටියද කිසිවකුත් ජගත්ගේ සහායට නොපැමිණීමද විශේෂ සිදුවීමක් විය.
කට්ටියම ජෙට්වින්ග් සුමන්තිරන්ගේ රැස්වීමට!
මේ ආකාරයට අවසන් වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා කෙළින්ම ගියේ කොළඹ ජෙට්වින්ග් හෝටලයටය. ඒ, සුමන්තිරන් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමට සංවිධාන කොට තිබූ සාකච්ඡාවට සහභාගි වීම සඳහාය. ඒ වන විටත් මහබැංකු අධිපතිවරයා එම සාකච්ඡාවට පැමිණ කැබිනට් මණ්ඩලය හමුවේ සිදුකළ ඉදිරිපත් කිරීම (ප්‍රසන්ටේෂන් එක) පක්ෂ නායකයන්ටද සිදුකර තිබිණි. එහිදීද මහබැංකු අධිපතිවරයා කියා සිටියේ බැංකු ක්ෂේත්‍රයට මේ හරහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, සේවක අර්ථසාධක අරමුදල පමණක් මේ යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්වන බවත්ය.
විපක්ෂය විරුද්ධ වෙයි!
නමුත් මෙහිදී පක්ෂ නායකයන් ඊට එකඟතාව පළකළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන් සුමන්තිරන්, රවුෆ් හකීම් පමණක් නොව ආර්ථික විශේෂඥයකු වශයෙන් සාකච්ඡාවට එක්ව සිටි වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රධානියකු වන ආචාර්ය නිෂාන් ඩි මෙල් මහතාද මේ පිළිබඳ මහබැංකු අධිපතිවරයාගෙන් දැඩිව ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය. ඔවුන්ගේ තර්කය වී තිබුණේ රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉතා ඉහළ පොලියක් යටතේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ ධනපතීන්ට ලබාදෙන පොලිය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකොට ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට අත තියන්නේ කුමන පදනමකින්ද කියාය.
හර්ෂ නන්දලාල්ගේ ස්ථාවරයේ!
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජබ ආර්ථික විශේෂඥයකු මෙන්ම පාර්ලිමේන්තු මුදල් කමිටුවේද සභාපතිවරයා වන හර්ෂ ද සිල්වා මහතා සියල්ලන්ම පුදුමයට පත්කරමින් මහබැංකු අධිපතිවරයා කී කතාවම පක්ෂ නායකයන්ට කියා සිටීමය. හර්ෂ එහිදී කියා සිටියේ මේ සඳහා විකල්පයක් නොමැති බවත්, මෙය අනිවාර්යයෙන්ම කිරීමට සිදුව ඇති බවත්ය. හර්ෂගේ මේ කතාවත් සමග දැඩිව කෝපයට පත් සුමන්තිරන්, රවුෆ් හකීම් පමණක් නොව ආචාර්ය නිෂාන් ඩි මෙල් පවා හර්ෂට එරෙහිව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. එසේ මේ තුන්දෙනා හර්ෂට එරෙහිව අදහස් දක්වද්දී කිසිවකුත් හර්ෂ වෙනුවෙන් ඉදිරිපත් නෙවීමද විශේෂ සිදුවීමක් විය.
හර්ෂ ගැන සැකයක්!
මෙම සිදුවීමෙන් පසු හර්ෂ සම්බන්ධයෙන් සජබයේ බොහෝ දෙනාට විශාල සැකයක් මතුව තිබුණු අතර සජිත්ට කතා කළ විශාල පිරිසක් කියා තිබුණේ හර්ෂ මුල්කරගෙන සජබය විනාශ කරන කොන්ත්‍රාත්තුවක් තිරය පිටුපස දියත් වෙමින් පවතිනවා යැයි කියාය. ඒ සඳහා සජබ මන්ත්‍රීවරුන්ද හවුල් කරගැනීමේ සැලසුමක් දියත් කරමින් පවතින බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අත ඔසවා තමන්ට ගමට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් මේ මන්ත්‍රීවරු සජිත්ට දැනුම්දී සිටියහ. එමෙන්ම බ්‍රහස්පතින්දා පෙරවරුවේ විවිධ කණ්ඩායම් සමග සජිත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදීද බොහෝ දෙනකු හර්ෂට එරෙහිව සජිත්ට කරුණු කී ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
හර්ෂ දීපු ප්‍රකාශයකින් සජබය ඇවිලෙයි!
මේ අතරවාරයේ හර්ෂ ප්‍රකට ඉංග්‍රීසි වෙබ් අඩවියක් වූ economynext වෙත ලබාදී තිබූ ප්‍රකාශයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා උදෑසන වන විට තවත් ගින්නක් පත්තු වී තිබිණි. එහිදී හර්ෂ දුරකතනය හරහා ැජදබදපහබැංඑගජදප සමග සම්බන්ධ වෙමින් කියා තිබුණේ තමන් සජිත් සහ සජබය සමග සාකච්ඡා කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට පක්ෂ ස්ථාවරයකට ගැනීමට කටයුතු කළා යැයි කියාය. මේ පුවත වාර්තා වීමත් සමග සජිත් දැඩි කෝපයට පත්වූයේ පක්ෂය විසින් තවමත් එවැනි තීන්දුවක් ගෙන නොතිබියදී හර්ෂ මෙවැනි ප්‍රකාශයක් වෙබ් අඩවියකට ලබාදුන්නේ කෙසේද කියයා. ඒ අනුව වහාම එය නිවැරැදි කරන ලෙසට සජිත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට දැනුම් දීමක් කළ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සජබය තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යයට දැනුම් දී සිටියේ ඒ අනුවය.
අපි කලින්ම කිව්වා!
බ්‍රහස්පතින්දා පස්වරුවේ හර්ෂගේ සහභාගිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ මෙවැනි පසුබිමක් මධ්‍යයේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට හානියක් වීම හේතුකොටගෙන සහ හර්ෂ විසින් මෙම සිදුවීමේදී පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කිරීම යන හේතු මත සජිත්ද කල්තියාම තීන්දු කොට තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේදීම මුදල් කමිටු රැස්වීමට සහභාගි වී මේ පිළිබඳ දැඩිව ප්‍රශ්න කිරීමටය. මේ බව අප කල් තියා www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ මේ බව අනාවරණ කිරීමත් සමග ආණ්ඩුවද මුදල් කමිටුවේදී සජිත්ගේ කට වහන්නට හර්ෂද අල්ලාගෙන ගේමක් ගසන්නට සැලසුම් සකස් කළේය.
ආණ්ඩුවෙන් සජිත්ගේ කට වහයි!
ඒ අනුව බ්‍රහස්පතින්දා සවස් වරුවේ මුදල් කමිටු රැස්වීම ආරම්භ කිරීමත් සමග විපක්ෂ නායකවරයා වශයෙන් සජිත්ද ඊට සහභාගි වීමට පියවර ගත්තේය. එහිදී කලින් සැලසුම් කළ පරිදිම ආණ්ඩුව වෙනුවෙන් කතා කිරීම ආරම්භ කළ මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, සුරේන් රාඝවන් වැන්නවුන් පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා මුදල් කමිටුවේ සාමාජිකයකු නොවන බැවින් ඔහුට මෙම රැස්වීමේ අසුන්ගත නොහැකි යැයි කියාය. නමුත් ඊට විපක්ෂය නියේජනය කළ මන්ත්‍රීවරුන් විරෝධය පළකරමින් කියා සිටියේ විපක්ෂ නායකවරයාට නිල බලයෙන් පාර්ලිමේන්තුවේ ඕනෑම කමිටුවකට සහභාගි වී තමන්ගේ අදහස් පළකිරීමේ අයිතිය ඇතැයි කියාය. එවිට මහින්දානන්දත්, ලන්සාත් කියා සිටියේ එසේ නම් විපක්ෂ නායකවරයාට මුදල් කමිටුවේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදිය නොහැකි යැයි කියාය. ඊටද විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකරද්දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සභාපතිවරයා වශයෙන් හර්ෂට මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්න යැයි කියාය. ඒ අනුව හර්ෂ කියා සිටියේ මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් ඡන්ද විමසීමක් හරහා මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගනිමු යැයි කියාය. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට ඡන්ද 10ක්ද, විපක්ෂයට ඡන්ද 6ක්ද හිමිවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම තීරණයට අනුව විපක්ෂ නායකවරයාට නිරීක්ෂකවරයකු ලෙස පමණක් මුදල් කමිටු රැස්වීමට සහභාගි වීමටත්, කමිටු නියෝජිතයකු හරහා යම් ප්‍රශ්නයක් ඇත්නම් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබාදී තිබිණි. එම තීන්දුවට අනුව යමින් සජිත් නිරීක්ෂකයකු ලෙස මුදල් කමිටු රැස්වීම අවසන් වන තෙක්ම හර්ෂ ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ගේ හැසිරීම හා අදහස් දැක්වීම දෙස හොඳින් බලා සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙය මුදල් කමිටුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව දැනුම් දී සිටියද එදිනද එය කමිටුවට ඉදිරිපත් නොකිරීමය.
හංගන්න යන දේ මොකද්ද! සුජීවට-හිරුණිකාට-මුජිබර්ට ආරාධනා!
ඒ අනුව සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ට බ්‍රහස්පතින්දා සවස් වරුව වන විට ආණ්ඩුව බරපතළ කරුණක් රටෙන් සැඟවීමට උත්සාහ කරන බවක් වැටහී ගොස් තිබිණි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂය ගත යුතු තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට සජිත් පියවර ගත්තේය. එමෙන්ම ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන මුජිබර් රහුමාන්, සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අයට ආරාධනා කිරීමටත්, ආර්ථික විශේෂඥයකු වූ නිෂාන් ඩි මෙල් මහතාට ආරාධනා කිරීමටත් පියවර ගෙන තිබිණි.
සජිත් මුලින්ම මතය කියයි!
රැස්වීම ආරම්භයේදීම සජිත් කතාව ආරම්භ කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැහැදිලි කිරීමට පියවර ගත්තේය. මීට අමතරව මතුව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමටද සජිත් කටයුතු කළේය.
මලික්ගේ නම තුන්පාරක් කියයි!
‘ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු පද්ධතියට, සේවක අර්ථසාධක අරමුදලට අත තියන්නේ නෑ කියලා මුලින් ප්‍රකාශයක් කළා. හැබැයි දැන් හොඳටම පැහැදිලියි සේවක අර්ථසාධක අරමුදලට මේකෙන් ලොකු හානියක් වෙනවා කියන එක. ඒ හින්දා මගේ පෞද්ගලික මතය නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගේන මේ යෝජනාවට විරුද්ධ විය යුතුයි කියන එකයි.
ඒ විතරක් නෙවෙයි දැන් මේ කට්ටියක් අලුත්ම කතාවක් යවනවා රනිල් ජනපති, සජිත් අගමැති කියලා. මේ කතාව පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මලික් සමරවික්‍රම. රනිල් -රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න මට කිසිම උවමනාවක් නෑ. ඒ හින්දා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මාවයි පක්ෂයයි අරන් ගිහිල්ලා රනිල් ගාව හිටවන්න, ඒක දවල් හීනයක් විතරයි. ඒවා මලික්ලා දකින දවල් හීන. මගේ ජීවිතේට මම රනිල් ගාවට ගිහිල්ලා තනතුරු ගන්න ලෑස්ති නෑ. රනිල්ලගෙයි මහින්දලගෙයි දෑත් ශක්තිමත් කරන්න මලික්ලා ගහන ගේම්වලට මම අහුවෙන්නේ නෑ.’ යනුවෙන් කියමින් සජිත් ආණ්ඩුවේ වැඩපිළිවෙළටත්, මලික් සමරවික්‍රම මහතාටත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. සජිත්ගෙන් පසු අදහස් දැක්වීම ආරම්භ කළේ සුජීව සේනසිංහය. මෙහිදී සුජීව, රනිල්ගේ ඉතිහාසය ගෙනහැර පාමින් රනිල්ව දැඩිව විවේචනය කිරීමට කටයුතු කළේය.
සුජීවගෙන් රනිල්ට දැඩි ප්‍රහාරයක්!
‘දැන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ආණ්ඩුව ගෙනල්ලා තියෙන එක තාම කවුරුවත් දැකලවත් නෑ. මොනවද වෙන්නේ කියලා දන්නෙත් නෑ. ඒ කියන දේවල් මන්ත්‍රීවරුන්ට තේරෙන්නෙත් නෑ. රනිල් කවදාවත් සාමාන්‍ය මිනිස්සු ගැන හිතලා දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. එයා හැමදාම කොළඹ හතේ මිනිස්සු ගැන හිතලා දේශපාලනය කරපු කෙනෙක්. අපිත් එතුමා එක්ක කාලයක් දේශපාලනය කළානේ. එතුමට පොඩි මිනිස්සු වැඩක් නෑ. ඒ නිසා අපි දේශපාලනය කරන්න ඕනේ, අපි තීන්දු තීරණ ගන්න ඕනේ මේ රටේ පොඩි මිනිස්සු ගැන හිතලා. ආණ්ඩුව ගන්න තීන්දුවලින් පොඩි මිනිස්සුන්ට හානියක් වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ’ යනුවෙන් සුජීව පැහැදිලි කර සිටියේය.
මරික්කාර් කතාව පටන් ගනී!
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ මරික්කාර්ය.
‘මෙතැන අපේ පෞද්ගලික මතය නෙවෙයි පක්ෂයක් විදියට තීන්දුවක් ගන්න ඕනේ. ගිය සඳුදා තිබ්බ කණ්ඩායම් රැස්වීමේදී අපි කරුණු තුනක් මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ වෙන්න තීන්දු කළා. එතැන තිබ්බ එක තීන්දුවක් තමයි සේවක අර්ථසාධක අරමුදලට අත තියනවා නම් අපි විරුද්ධයි කියන එක. දැන් ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තියනවා කියලා පැහැදිලියි. අනෙක මෙතැනදී ආණ්ඩුව කෝටිපතියන්ට එක විදියකට සලකලා, සාමාන්‍ය මිනිස්සුන්ට තව විදියකට සලකලා තියෙනවා. පහුගිය කාලේ ලොකු පොලියකට බැඳුම්කරවල ආයෝජනය කරපු කෝටිපතියන්ගේ මුදල්වලට ආණ්ඩුව අත තියලා නෑ. සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලිවලට තමයි අත තියලා තියෙන්නේ. ඒ නිසා අපි මේකට විරුද්ධව ඡන්දෙ දෙන්න ඕනේ’ යන්න මරික්කාර් කී කතාව විය.
සජබ තීන්දුව මෙන්න!
මරික්කාර්ගෙන් පසු අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන්, කිංස් නෙල්සන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හර්ෂණ රාජකරුණා ආදී මන්ත්‍රීවරුන් රැසක්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද සිටියේ දැඩි ස්ථාවරයකය. ඒ අනුව අවසානයේදී සජබ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමටය.
ජවිපෙ හැසිරීම සැකයි!
කෙසේවෙතත් මෙම රැස්වීමෙන් පසු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පැමිණ සජිත් සමග පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ කිසියම් කතාබහක නිරත වූහ. මෙහිදී බොහෝ දෙනා කතා කළේ ජවිපෙ හැසිරීම පිළිබඳවය. මේ වන විට රට ඇතුළේ බරපතළ කරුණු ගණනාවක් මතුව තිබියදී ජවිපෙ ආණ්ඩුවට එරෙහිව වචනයක් හෝ කතා නොකිරීම සජබ මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතුවී තිබිණි.
‘ජවිපෙ ආණ්ඩුවත් එක්ක ලොකු ඩීල් එකක ඉන්නවා වගේ තමයි පේන්නේ. ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩෙන් ජනතාවගේ අර්ථසාධක අරමුදලට බරපතළ ප්‍රශ්නයක් මතු වුණත්, ජේ.වී.පී. එක ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. අනුර දැන් ඉන්නේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න්වල. විජිත හේරත් හොයාගන්නවත් නෑ. හරිනි අමරසූරියත් මේවා ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. එයා පහුගිය දවසක කතා කරලා තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. මුළු පක්ෂෙම ඉන්නේ සද්ද වහලා. යන්තම් ඇපෙන් බේරෙන්න අර වෘත්තීය සමිති භාරව ඉන්න වසන්ත සමරසිංහව දාලා මොනව හරි දෙයක් කියවනවා. අපි ජේ.වී.පී. එක ගහන මේ ඩබල් ගේම් ගැනයි, ආණ්ඩුවත් එක්ක තියෙන ඩීල් ගැනයි මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ….’ යනුවෙන් මන්ත්‍රීවරුන් සජිත්ට පෙන්වා දෙද්දී සජිත්ද හිස සලමින් එය අනුමත කළ බවක් දැකගන්නට ලැබිණි.
මහින්දට ඇනිවසරි!
මේ සියලු දේශපාලන හැලහැප්පිලි මැද කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසෙහි උත්සවයක් සංවිධාන කොට තිබිණි. ඒ, මහින්දගේත් ශිරන්තිගේත් විවාහ සංවත්සරය නිමිතිකොට ගෙනය. ඒ හේතුවෙන් කලකට පසු රාජපක්ෂ පවුලේ සියලු දෙනාට ඊට ආරාධනා කිරීමට මහින්දගේ පැත්තෙන් කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් අප මෙම තීරයෙන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබුණු කරුණක් වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු සිදුවූ යම් යම් සිදුවීම් මුල්කරගෙන රාජපක්ෂ පවුල ඇතුළේ යම් යම් බෙදීම්, හිත් නොහොඳකම් මතුව තිබූ බවය. විශේෂයෙන් ගෝඨා ජනාධිපති ධුරය අතහැර පලායෑමෙන් පසු ඇතිවූ සිදුවීම් මුල්කරගෙන මේ තත්ත්වය තව තවත් ඔඩුදුවා තිබිණි. එය කෙතරම් උග්‍ර අතට පත්වුවද කියනවා නම් කිසිදු අවස්ථාවක රාජපක්ෂ පවුලේ සියලු දෙනා එකට එක්වූ අවස්ථාවක් වාර්තා නොවන තරමට අර්බුදය උග්‍ර වී තිබිණි. ඇතැම් උත්සවවලට ගෝඨාට ආරාධනා නොකළ අවස්ථාද වාර්තා වී තිබිණි. පසුගිය කාලයේදී විදෙස්ගතව සිටින රාජපක්ෂ පවුලේ නැගනියක ලංකාවට පැමිණීමෙන් පසු සාදයක් සංවිධාන වුවද ඒ අවස්ථාවට මහින්ද හැර අන් අය සහභාගි වී සිටිනු දැකගත හැකි විය. ඒ හැරුණු විට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ලංකාවට පැමිණි අවස්ථාවේදී මහින්ද හා හමුවක් සංවිධාන කෙරුණු අතර ඊට ගෝඨා පමණක් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
ගෝඨා තනියම එයි! ඇවිත් ටක්ගාලා යයි!
කෙසේ වෙතත් මහින්ද – ශිරන්ති විවාහ සංවත්සරයට සියලු දෙනාටම ආරාධනා කෙරුණද බැසිල්ගේ මුහුණ එදින දැකගන්නට ලැබුණේ නැත. ගෝඨාද පැමිණ සිටියේ අනෝමා නොමැතිව තනිවමය. ගෝඨා මෙසේ මහින්දගේ ගෙදරට පැමිණියේද සෑහෙන කාලෙකින් පසු වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමකි. ගෝඨා පැමිණියද ඔහුට වෙනදා මෙන් ඉහළ සැලකිලි හිමිවන ආකාරයක් කිසිවකුටත් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ දෙනකු ගෝඨාට මුහුණ නොදී මගහැර සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මේ බව වැටහුණු නිසාදෝ ඉක්මනින්ම රාත්‍රී ආහාරය ගෙන ගෝඨා විජේරාමෙන් පිටව යෑමට පියවර ගෙන තිබිණි.
වන්දනා ගමනක් යනවාද? ට්‍රිප් එකක් යනවාද?
මේ අතර පසුගිය සතියේ ගෝඨා පිළිබඳ තවත් අලුත් ආරංචියක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. ඒ, ගෝඨා තායිලන්තයේ සහ ලාඕසයේ සංචාරය කිරීමට සැලසුම් කොට ඇති බවය. එය විනෝද චාරිකාවක් ලෙසද, වන්දනා ගමනක් ලෙසද කියන්නට දන්නේ නැත.






