රාජිතගේ ගෙදර තිබ්බ සාකච්ජාව
ඉකුත් සති දෙක පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි එජාප අපේක්ෂකයා මුල් කරගෙන පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳ සත්‍ය තත්ත්වය පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. අප එසේ කළේ අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නම්කර තිබියදීත් තවමත් එජාපය සිය නිල අපේක්ෂකයා නම්කිරීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණදී සිටීම නිසාය. විශේෂයෙන්ම එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බවට අවධාරණය කරමින් රට වටා පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කර තිබීමත්, දිස්ත්‍රික් මට්ටමින් යමින් රැස්වීම් පැවැත්වීමත් නිසා එජාප අභ්‍යන්තර අර්බුදය පසුගිය සතිය වනවිට වඩාත් තීව්‍ර කිරීමට සමත්ව තිබිණි.
පසුගිය සතියේදී මෙම එජාප අභ්‍යන්තර අර්බුදය තවත් ඉදිරියට යමින් සෙනසුරාදා (17) දිනයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවෙසේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. ඊට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වූ පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් මෙන්ම අර්ජුන රණතුංගද, සජිත්ගේ කැරැලිකාර පිල නියෝජනය කරමින් මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම වැන්නවුන්ද, රනිල්ගේ පිල නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රවි කරුණානායක වැන්නවුන්ද සහභාගි වී සිටියහ.
මුල් අදියරේදී මෙම සාකච්ඡාව සාමකාමීව පැවැත්වුණු අතර දෙපාර්ශ්වයම තම තමන් දරන ස්ථාවරයන් ඉතා පැහැදිලිව සාකච්ඡා මේසයේදී විවෘතව ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහිදී පළමුවෙන්ම සාකච්ඡා වූයේ සන්ධානය ගොඩනඟන ආකාරය පිළිබඳවය. එහි ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යුතු සංශෝධන පිළිබඳවය. සජිත්ගේ කැරැලිකාර පාර්ශ්වය කියන ආකාරයට පක්ෂයේ අපේක්ෂකයා පළමුවෙන් නම්කොට සන්ධානය ගොඩනඟනවාද යන්න පිළිබඳවය.
එහිදී සන්ධානය ගොඩනැඟිය යුතු බවට වූ ස්ථාවරයේ සිටින නියෝජිතයන් කිහිප දෙනකු කියා සිටියේ පළමුව සන්ධානය ගොඩනැඟිය යුතු යැයි කියාය. පෙළක් පුද්ගලයන් එහිදී කියා සිටියේ දැනටමත් සන්ධානය ගොඩනැඟීම ප්‍රමාද වීම හේතුවෙන් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය බිඳවැටීමකට ලක්ව ඇතැයි කියාය. මෙහිදී සජිත්ගේ කැරැලිකාර පිල නියෝජනය කරන මංගල, අපේක්ෂකයා පළමුව නම්කොට දෙවනුව සන්ධානය ගොඩනැඟිය යුතුය යන ස්ථාවරයේ මුලින් සිටියද, මෙවර ඔහුද සන්ධානය ගොඩනැංවිය යුතු බව පිළිගැනීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම එහි ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන සිදුකළ බවද මංගල කියා සිටියේය.
එසේ වුවත් සජිත්ගේ කැරැලිකාර පිලේ තවත් නියෝජිතයකු වන කබීර්ගේ අදහස වූයේ වෙනත් දෙයකි. කබීර් කතා කළේ සන්ධානය පිළිබඳව නොව සජිත් පිළිබඳවය.
“සජිත් තමයි මේ වෙලාවෙ පක්ෂයේ ඉන්න ජනප්‍රියම කෙනා. සජිත්ව රටම ඉල්ලනවා. ඒ හින්දා අපි සජිත්ව නම්කරලා, ඊට පස්සෙ තමයි සන්ධානය හදන්න ඕනෙ” යනුවෙන් කබීර් කියද්දී මෙතෙක් වේලා සාමකාමී ලෙස ඇදී ගිය සාකච්ඡාව තරමක් උණුසුම් විය. ඒ උණුසුම ඇති වූයේ චම්පික ඊට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ලකිරීමත් සමගය.
“ඕගොල්ලො මුල ඉඳන්ම කළේ සන්ධානය කඩාකප්පල් කරල අපට පහරගහපු එක. අපට ගරහපු එක. අපට අපහාස කරපු එක. යූ.එන්.පී. එකට ඉන්නෙ මන්ත්‍රීවරු 77යි. මෙච්චර කල් ආණ්ඩුව ඇදගෙන ආවේ මේ සන්ධානයෙ ඉන්න සුළු පක්ෂවල නායකයන්ගෙ හයියෙන්. මන්ත්‍රීවරු 77ක් තියාගෙන ආණ්ඩුවක් කරගෙන යන්න බෑ. ඒකට ශක්තිය දුන්නෙ මෙතැන ඉන්න සන්ධානෙ නායකයො.
චම්පිකයි අර්ජුනයි එකම ස්ථාවරයක
ඉතින් අපෙත් ඉවසීමෙ සීමාව දැන් පැනල ඉවරයි” යනුවෙන් චම්පික කියද්දී එය තවදුරටත් තහවුරු කරමින් කතා කළේ අර්ජුනය.
“මමත් මෙච්චර කල් නිහඬව මේක බලාගෙන හිටියා. හැබැයි මෙතැනින් එහාට මම නිහඬව ඉන්නෙ නෑ. අද පුදුම කනගාටුදායක තත්ත්වයකට මේ සජිත්ගෙ කණ්ඩායම වැටිල ඉවරයි. මේ අය හොඳටම දන්නවා යූ.එන්.පී. එකට තනියම ගිහිල්ලා දිනන්න බෑ කියල. ඕගොල්ලො ඔහොම නම් කතා කරන්නෙ අපි සන්ධාන ගහන එක නවත්තමු. අනික එක එක අපේක්ෂකයො මෙතැනට බලහත්කාරයෙන් ඔබ්බන්න එන්න එපා. ඒව පිළිගන්න අපි ලෑස්ති නෑ. මගේ ස්ථාවරය නම් විශාල ප්‍රතිපත්තියක් එක්ක, දැක්මක් තියෙන, ඔක්කොම එකතු කරගන්න පුළුවන් නායකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕනෙ කියලයි. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ එහෙම දෙයක් මිසක් මේ කයිවාරු ගහන මිනිස්සුන්ව නෙවෙයි” යනුවෙන් අර්ජුන දැඩිව සිය ස්ථාවරය පහදද්දී රවුෆ් හකීම්ද අදහස් දක්වන්නට විය.
හකීම්-මනෝලටත් සන්ධානය ඹ්නෑ
“මමත් පිළිගන්නවා සන්ධානය හදන්න ඕනෙ කියලා. සජිත් ජනප්‍රියයි කියලත් මම පිළිගන්නවා. හැබැයි ඉතින් යූ.එන්.පී. එක තමයි අපේක්ෂකයා තීන්දු කරන්න ඕනේ. ඒ තෝරන අපේක්ෂකයට අපි සහාය දෙන්න සූදානම්” යනුවෙන් හකීම් කියද්දී මනෝ ගනේෂන්ද සිටියේ එම ස්ථාවරයේය. ඒ අනුව සියලු දෙනාගේම ස්ථාවරය වූයේ බහුතර පක්ෂය එජාපය වන බැවින් අපේක්ෂකයා තේරීමේ බලය එජාපයට ලබාදීමටය. නමුත් චම්පික මීට කිසියම් ඌණපූර්ණයක් එක්කිරීමට කටයුතු කළේය.
“අපි සූදානම් එජාපයේ අපේක්ෂකයා පිළිගන්න. හැබැයි එතැනදී සන්ධාන ව්‍යවස්ථාවට එක වගන්තියක් එකතුවෙන්න ඕනෙ ප්‍රධාන පක්ෂය තෝරන අපේක්ෂකයා සන්ධානයේ නායකත්ව මණ්ඩලයටත් ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. එතැනදී යම් පක්ෂයකට ඒ අපේක්ෂකයා ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අපේක්ෂකයාගෙ දැක්ම ගැන වැඩපිළිවෙළ ගැන හෝ ඒ අපේක්ෂකයට කැමැති නැත්නම් ඒ පක්ෂවලට ඉවත් වෙලා යන්න නිදහස තියෙන්න ඕනෙ” යනුවෙන් චම්පික කියද්දී අර්ජුනද කියා සිටියේ තමන්ද සිටින්නේ එම ස්ථාවරයේ යැයි කියාය.
“මමත් ඉන්නේ ඒ ස්ථාවරයේ. මොකද කවුරුහරි අපේක්ෂකයෙක්ව බලෙන් ඔබ්බන්න යනව නම් අපට එතැන ඉන්න බෑ. එජාප අපේක්ෂකයා ප්‍රතික්ෂේප කරන්න අපට බලය තියෙන්න ඕනෙ” යනුවෙන් අර්ජුන කියද්දී සියල්ලෝම ඊට එකඟතාව පළ කළහ. ඒ අනුව ඊටද අනුමැතිය ලැබිණි.
සංශෝධනවලට එකගතාව
එහිදී මංගල, කබීර් වැන්නවුන් සන්ධාන නායකයන්ගේ මෙම ස්ථාවරය සජිත් පිලේ ජයග්‍රහණයක් ලෙස සලකනු දැකගත හැකි විය. ඔවුන් එහිදී අදහස් දැක්වූයේද මෙම ස්ථාවරය සජිත් පිල ලබාගත් ජයග්‍රහණයක් ලෙසටය. නමුත් චම්පික ඔවුන්ගේ මෙම වෙනස දැක කීවේ වෙනත් කතාවකි.
“තමුන්නාන්සේලා ඔය විදියට මෙතැන සාමකාමීව කතා කරල හිනාවෙලා එකඟතාව පළ කළාට අනෙක් පැත්තෙන් එළියට ගිහිල්ලා තැන් තැන්වලයි, හන්දි ගානෙයි අපේක්ෂකයො නම් කර කර රැස්වීම් තියනවා. එතකොට සාර්ථක වැඩපිළිවෙළක් හැදෙයි කියලා හිතනවද? ඒකෙන් වෙන්නෙ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් වෙන එක විතරයි. ඒ ගැන ඔබතුමාලා පොඞ්ඩක් හිතන්න” යනුවෙන් චම්පික මංගලගෙන් විමසද්දී මංගල ඊට නිහඬව සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඊළඟට ආවේ සන්ධාන ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධන පිළිබඳවය. සන්ධානය ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡා වූ අවස්ථා ගණනාවකදීම මේ පිරිස එය කඩාකප්පල් කර තිබුණේ එහි ව්‍යවස්ථාවේ ඇති කරුණු මුල් කරගෙනය. ඒ අනුව රනිල් ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යුතු සංශෝධන ඉදිරිපත් කිරීම කබීර්ට භාරදී තිබිණි. ඒ අනුව කබීර් සන්ධානයේ මහලේකම් ධුරය එජාපයට හිමිවිය යුතු බවට සංශෝධන ඉදිරිපත් කරද්දී සියලු දෙනාම කිසිදු පැකිලීමකින් තොරව ඊට එකඟතාව පළකිරීමට කටයුතු කළහ. නමුත් ඊටද කිසියම් වගන්තියක් එක් කිරීමට සන්ධාන නායකයෝ කටයුතු කළහ. ඒ, සන්ධාන මහලේකම් ධුරය එජාපයට ලබාදෙන්නේ නම් සන්ධානයේ නායකත්ව මණ්ඩලයට ඇති බලතල වැඩි කළයුතු යැයි කියාය. ඊට එකඟතාව පළවීමෙන් අනතුරුව සන්ධාන මහලේකම් ධුරයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසියම් සංවාදයක් ඇතිවිය. ඊට කිසිවකුගේත් නම් ඉදිරිපත් නොවූ පසුබිමක මංගල කියා සිටියේ එය ගැටලුවක් කරගත යුතු නැති බවත්, අලුතෙන් ඊට පුද්ගලයන් පත්කරනවාට වඩා දැනට එජාපයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන අකිලම ඊට තාවකාලිකව හෝ පත්කිරීම සුදුසු යැයි කියාය. ඊටද පිරිස එකඟතාව පළ කළහ.
රැස්වීම එකගතාවකින් ෙතොරව අවසන්
ඉන් අනතුරුව සන්ධානයේ මූලස්ථානය පිළිබඳ සාකච්ඡා විය. එහිදී රාජිත පෙන්වා දුන්නේ ‘සිරිකොතේ නම් මේ වැඬේ කරන්න බෑ’ කියාය.
“මේක පුළුල් සන්ධානයක්. හැම පක්ෂයකම නියෝජිතයො මෙතැන ඉන්නවා. ඒ නිසා ඒ අය කැමැති නෑ එජාප පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා සාකච්ඡා තියන්න. ඒ නිසා සිරිකොතේ ඇඩ්‍රස් එක මේකට දාන්න බෑ. මේ සන්ධානයේ මූලස්ථානය, ඇඩ්‍රස් එක, පාට, සලකුණ ඔක්කොටම පිළිගන්න පුළුවන් විදියට වෙනස් වෙන්න ඕනෙ” යනුවෙන් රාජිත කියද්දී සජිත්ගේ කැරැලිකාර කණ්ඩායමෙන් ඊට විරෝධයක් පළ නොවිණි. ඒ අනුව ඊටද සියල්ලෝම එකඟතාව පළ කළහ.
මේ ආකාරයට යම් යම් අර්බුද විසඳාගෙන සාමකාමීව සාකච්ඡාව ඉදිරියට යද්දී නැවතත් බෝම්බයක් පත්තු කළේ සජිත්ගේ කැරැලිකාර පිලේ කබීර්ය. කබීර් කියා සිටියේ සන්ධානය අස්සන් තබන මොහොතේ එහි අපේක්ෂකයා වශයෙන් සජිත්ගේ නම ප්‍රකාශයට පත්කළ යුතු යැයි කියාය. ඒත් සමඟම කබීර්ගේ මේ හැසිරීමට එරෙහිව පිරිසගෙන් විශාල විරෝධතාවක් මතුවිය. එජාප අපේක්ෂකයා තේරීම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදුකරනු ඇති බවටත්, බලෙන් අපේක්ෂකයන් සන්ධානයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන ලෙසටත්, කිසිවකුගේ හෝ කොන්ත්‍රාත්තු ඉටුකිරීමට මෙම ස්ථානය යොදා නොගන්නා ලෙසටත් කියමින් පිරිස එහිදී කබීර්ට එරෙහිව විශාල විරෝධයක් මතුකරනු දැකගන්නට හැකි විය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ සජිත් පිළිබඳව අවසන් එකඟතාවක් නොමැති මෙවැනි උණුසුමක් මධ්‍යයේය.
වෙබ් අඩවිවලට බොරු නිව්ස්
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව තීරණයකින් තොරව මෙසේ අවසන් වුවද එසැණින් වෙබ් අඩවිවල හා සමාජ මාධ්‍ය ජාලාවල පළ වූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. නොඑසේ නම් සජිත්ගේ කැරැලිකාර පාර්ශ්වය තම තමන්ට හිතැති වෙබ් අඩවිවලට කතාකොට දැනුම්දී තිබුණේ සන්ධාන සාකච්ඡාවේදී සජිත්ගේ නම එජාප අපේක්ෂකයා ලෙස ස්ථිර වූවා යැයි කියාය. ඊට සන්ධානයේ එකඟතාව පළවූවා යැයි කියාය. එපමණක් නොව මනෝ, හකීම්, දිගම්බරන්, චම්පික, රාජිත යන සියලු දෙනාම ඊට එකඟතාව පළකළා යැයි කියාය.
මේ ආකාරයට අසත්‍ය පුවතක් වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඉරිදා වන විට යළිත් සන්ධාන සාකච්ඡා දෙදරා යන තත්ත්වයකට පත්විය. එහිදී සියලු දෙනාගේම ස්ථාවරය වූයේ මෙම සාකච්ඡා කඩාකප්පල් කිරීම වෙනුවෙන් සජිත්ගේ කැරැලිකාර කණ්ඩායම මෙවැනි පුවත් වෙබ් අඩවිවල පළකිරීමට පියවර ගෙන ඇතැයි කියාය.
ඊට අමතරව පසුගිය සතිය ආරම්භ වන විට සජිත්ගේ කැරැලිකාර කණ්ඩායම සජිත්ව පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉහළට ගෙන ඒම සඳහා තවත් පියවර කිහිපයක්ම තබනු දක්නට හැකි විය. ඉන් එකක් වූයේ සජිත්ව පක්ෂයේ අපේක්ෂකයා කළ යුතු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලිපියකට අස්සන් තැබීමය. එහිදී මතුවූ ප්‍රශ්නයක් වූයේ ලිපියේ මාතෘකාව වශයෙන් ‘සජිත්ට එජාප අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධවයි’ යනුවෙන් නම් කරනවාද නැද්ද කියාය. ඊට හේතු වූයේ මීට පෙර අවස්ථාවකදීද මෙවැනිම ආකාරයේ ලිපියකට අස්සන් තැබීමට ගොස් සජිත්ට පක්ෂව මන්ත්‍රීවරුන් 26ක් පමණක් අස්සන් තැබීම නිසාය.
ඒ අනුව ආරම්භයේදීම එම වැඩපිළිවෙළ අසාර්ථක වීම නිසා මෙවර පිරිස තීන්දු කළේ එම මාතෘකාව නොයොදා එජාප අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකවර කැඳවිය යුතු බවට මන්ත්‍රීවරුන්ගෙන් ලිපියකට අස්සන් ගැනීමය. ඒ හරහා විශාල පිරිසක් එකතු කරගත හැකි බව සජිත්ගේ කැරැලිකාර මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය විය. ඒ අනුව අවසානයේදී ඔවුන්ට මන්ත්‍රී අස්සන් 55ක් එම ලිපියට එක්කර ගැනීමට හැකි විය.
කබීර් කැත වැඩක් කරලා
පසුව මෙයද සජිත්ගේ කැරැලිකාර කණ්ඩායම විශාල ජයග්‍රහණයක් ලැබූ බවට මාධ්‍ය හරහා පෙන්වීමට උත්සාහ දැරීය. දැනටමත් මන්ත්‍රීවරුන් 55 දෙනකු සජිත්ට සිටින බව කියමින් ඔව්හු රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලියේ, වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ජාලාවල විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් රැගෙන යෑමට පිරිස කටයුතු කළහ. නමුත් පැය දෙක තුනක් යන විට මෙම ප්‍රචාරක ව්‍යාපාරයද සජිත්ට නරකට සිටිනු දැකගන්නට ලැබිණි. ඒ, අදාළ ලිපියට අස්සන් තැබූ මන්ත්‍රීවරුන් පවා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් තමන් අස්සන් කළේ සජිත්ට පක්ෂව නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට කැඳවීමට යැයි කියාය. සමහරුන් කියා සිටියේ පරණ අස්සන් යෙදූ ලිපියකට උඩින් තමන් අස්සන් තැබුවා යැයි කියාය. ඇතැමුන් අස්සන් ගැනීමට මුල් වූ පුද්ගලයන්ට පවා කතාකොට දොස් තබනු දැකගත හැකි විය. එහිදී කබීර්ට කතා කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු කියා සිටියේ මෙය ඉතා කැත වැඩක් බවත්, මින් ඉදිරියට කබීර් ගෙනෙන කිසිදු ලිපියකට අස්සන් නොතබන බවත්ය. එහිදී වැරැද්ද පිළිගත් කබීර් කියා සිටියේ තමන් මාධ්‍යයට එවැනි ප්‍රකාශයක් නොකළ නමුත් සජිත් සමඟ සිටින ඇතැමුන් එවැනි වැරැදි ප්‍රවෘත්තියක් මාධ්‍යයට ලබාදී ඇතැයි කියාය. එසේ නම් එය නිවැරැදි කර වහාම නිවේදනයක් නිකුත් කරන ලෙසට එම ජ්‍යෙෂ්ඨයා කියද්දී කබීර්ද කියා සිටියේ තමන් එවැනි නිවේදනයක් නිකුත් කරන බවකි. කබීර් එම ජ්‍යෙෂ්ඨයාට එසේ කීවද ඒ හරහා සජිත්ට විශාල අපකීර්තියක් සහ අවාසියක් සිදුවන බැවින් එවැනි නිවේදනයක් නිකුත් කිරීමට හෙතෙම කටයුතු කළේ නැත.
මරික්කාර් සජිත්ට මන්ත්‍රීවරුන් එකතු කරයි
ඒ අනුව මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම පක්ෂ නායක රනිල්ටත්, පක්ෂ මහලේකම් අකිලටත් මෙම අවනඩුව පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. කබීර් කර ඇත්තේ විශාල වංචාවක් බවත්, එයට විරෝධය පළ කරමින් පක්ෂය නිල ප්‍රකාශයක් කළ යුතු බවත්, එසේ නොවුණහොත් තමන් ප්‍රසිද්ධියේම කබීර්ට සහ සජිත්ට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරන බවත් ඔවුහු රනිල්ටත්, අකිලටත් දැනුම්දී සිටියහ. එහිදී අකිල කියා සිටියේ මීට එරෙහිව තමන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. මේ අනුව පසුගිය සතිය ආරම්භයේදී සජිත්ව ඉස්සීමට ඔහුගේ කැරැලිකාර කණ්ඩායම ගැසූ පළමු ගේම අසාර්ථක වන ආකාරයක් දැකගන්නට ලැබිණි.
සජිත්ව ඉස්සීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කිරීමට ඔවුන් පියවර ගත්තේ ඒ අනුවය. එහිදී ඔවුන් සැලසුම් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය තමන්ට ඇති බව පෙන්වන සැලසුම ලත් තැනම ලොප් වූ නිසා සියලුම පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා සජිත්ට එම මන්ත්‍රීවරුන්ගේ ශක්තිය ඇති බව පක්ෂයටත්, රටටත් පෙන්වීමටය. එම කාර්යය සැලසුම් කිරීමේ වගකීම කරට ගත්තේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඒ අනුව සියලුම පළාත් සභාවල එජාප හිටපු මන්ත්‍රීවරුන්ට ලිපි යැවූ මරික්කාර් විශාල වියදමක් දරා ඒ වෙනුවෙන් තලවතුගොඩ පිහිටි ‘මොනාක්’ උත්සව ශාලාව වෙන්කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම ඒ සඳහා සහභාගි වන ලෙසට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ ආරාධනාවක් කිරීමටද මරික්කාර් පියවර ගත්තේය. ඒ අනුව ඔවුන්ගේ ගණන් හැදීමට අනුව දැනට එජාපයට පළාත් සභා මන්ත්‍රීවරුන් 123ක් සිටින නිසා ඔවුන් සියලු දෙනාම මෙම රැස්වීමට ගෙන්වා ගැනීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ගෙන්වා සජිත්ට විශාල ශක්තියක් ඇති බව පෙන්වීමටත් ඔවුහු සැලසුම් සකස් කළහ.
ආවේ 123න් 45යි
කෙසේ වෙතත් මේ බව මොහොතක් යෑමට මත්තෙන් රනිල්ට දැන්වීමට රනිල්ට හිතවත් පළාත් සභා මන්ත්‍රීවරු කටයුතු කළහ. ඒ අනුව මෙහි සිදුවන දෑ දැනගැනීම සඳහා එම රැස්වීමට යන ලෙස රනිල් ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය. කෙසේ වෙතත් ඇතැමුන්ට රනිල් කියා සිටියේ එම රැස්වීමට කිසිසේත් සහභාගි නොවන ලෙසටය. ඒ අනුව රැස්වීමට රනිල්ගේ අනුමැතිය යටතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සහභාගි වී සිටියහ. ඒ අනුව රැස්වීමේ ඇත්ත තත්ත්වය එළියට ආවේ එම කණ්ඩායම හරහාය.
ඒ අනුව රැස්වීමට සියලු මන්ත්‍රීවරුන්ට එන ලෙස දැනුම්දී තිබුණද ඊට සහභාගි වී සිටියේ සජිත් ප්‍රේමදාස, අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර, තලතා අතුකෝරල, හේෂා විතානගේ හා මරික්කාර් පමණක් වීම විශේෂත්වයක් විය. පැමිණි පිරිස අස්සන් තැබූ ලැයිස්තුවේ 80ක් ලෙස සඳහන් වී තිබුණද එම 80න් 20කට ආසන්න ප්‍රමාණයක් කොළඹ හා අවට ප්‍රදේශවල ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු වූහ. තවත් 10-15ක් පමණ එම මන්ත්‍රීවරුන් සමඟ පැමිණි හිතවත්තු වූහ. ඒ කිසිවකුත් පළාත් සභා මන්ත්‍රීවරුන් නොවූ නිසා ඇත්තටම එතැන සිටි පළාත් සභා මන්ත්‍රීවරුන් ගණන වූයේ 45ත් 48ත් අතර ප්‍රමාණයකි. ඉනුත් 10ක් පමණ සජිත් විරෝධී මැති ඇමැතිවරුන් එවන ලද පළාත් සභා මන්ත්‍රීවරු වූහ. මරික්කාර්ගේ ‘මොනාක්’ සංදර්ශනයේ ඇත්ත කතාව එයය.
නමුත් රැස්වීමෙන් පසු මේ පිරිස මාධ්‍යයට කීවේ සජිත්ගේ මේ සාකච්ඡාවට එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 94 දෙනකු පැිණ සිටි බවත්, ඔවුන්ගේ සම්පූර්ණ සහාය සජිත්ට හිමිව ඇති බවත්ය. නමුත් අප වගකීමෙන් යුතුව කියා සිටින්නේ එවැනි කිසිවක් එහි සිදු නොවූ බවකි. හැකිනම් එවැන්නක් සිදුවූ බවට හෝ සජිත්ට පක්ෂව යෝජනාවක් සම්මත වූ බවට හෝ එම පාර්ශ්වයෙන් ප්‍රකාශයක් නිකුත් කළ හැකි නම් හෝ පැමිණි පිරිසේ ලැයිස්තුව එළියට දැමීමට හැකි නම් අපේ කතාව බොරු බව පිළිගැනීමට අප සූදානම්ය.
සජිත්ට අගමැතිකම ගන්න ගේමක් ගහයි
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සජිත් කරපු කතාවෙන් එක්තරා රහසක් එළියට පැන්නේය. එහිදී පළමුව සජිත් සුපුරුදු පරිදි තමන් ජනාධිපති වුවහොත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට කාර් පර්මිට් ලබා දෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් ඔවුන්ටද ලබාදෙන බවත්, විශාල වරප්‍රසාද ලබාදෙන බවත් කියා සිටියේය. එමෙන්ම පිරිසට විශ්වාසය ඇතිකරලීම සඳහා සජිත් රහසක් එළිකරන්නාක් මෙන් කියා සිටියේ මේ මොහොතේ වුවද තමන්ට අගමැතිකම ලබාගැනීම සඳහා අවශ්‍ය බහුතරය පවතිනවා යැයි කියාය. මීට පෙරද 61ක් වතාවක් ජනාධිපතිවරයා තමන්ට අගමැතිකම ලබාගන්නා ලෙස දැනුම් දන් බවද සජිත් එහිදී කියා සිටියේය.
“මට ඕනෙ නම් මේ දැන් ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා අගමැතිකම ලබාගන්නත් පුළුවන්. ඒකට ඕනෙ කරන මන්ත්‍රී බහුතරය දැන් මට තියෙනවා. මීට ඉස්සෙල්ලා 61ක් වතාවක් ජනාධිපතිතුමා මට කතාකරල කිව්වා අගමැතිකම ගන්න කියලා. මේ මොහොතෙත් මට ඒ ආරාධනාව තියෙනවා. හැබැයි මම ඒක කරන්නෙ නෑ. මොකද පස්සෙ දොරෙන් ගිහිල්ලා මට අගමැතිකම ලබාගන්න ඕනෙ නෑ. මම ඒක කරන්නෙ ඉස්සරහ දොරෙන් ගිහිල්ලා” යනුවෙන් සජිත් කී අතර ඒ හරහා තවත් විශාල ගනුදෙනු කිහිපයකම තොරතුරු එළියට එන ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ සම්බන්ධයෙන් සජිත් හා මෛත්‍රි අතර තීරණාත්මක රහස් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී තිබුණු අතර සජිත්ගේ කැරැලිකාර මන්ත්‍රී කණ්ඩායම අතරද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී තිබිණි.
මෛත්‍රිත් සජිත්ගේ සහායට එයි
මෙහිදී අප ඉතා වගකීමෙන් යුතුව සඳහන් කර සිටින්නේ ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින ව්‍යවස්ථා විරෝධීව සහ කුමන්ත්‍රණකාරී ලෙස හොර රහසේ රනිල්ව අගමැතිකමින් ඉවත් කොට මහින්ද අගමැති ලෙසට පත් කළා සේම මෙවරද රනිල්ව ඉවත් කොට සජිත්ව අගමැති කිරීමට විශාල කුමන්ත්‍රණයක් දියත් වූ බවය. මේ කුමන්ත්‍රණය සඳහා සජිත්ගේ කැරැලිකාර කණ්ඩායම ඉතා විශාල උනන්දුවකින් සහ කැමැත්තකින් පසුවූ අතර ඔවුන් සජිත්ටද බලපෑම් කරමින් කියා සිටියේ ඊට කැමැති වන ලෙසටය. ඒ අනුව සජිත් හා මෛත්‍රි අතර රාත්‍රී කිහිපයකදී ජනාධිපති නිල නිවෙසේ සහ කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේදී රහස් සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. ඒ සඳහා පැය ගණන්ද වෙන් විය. නමුත් මෙහිදී මතුව තිබූ විශාලම ගැටලුව වූයේ එසේ හොර පාරෙන් ගොස් අගමැතිකම ගෙන මහින්ද රට ඇතුළේ මෙන්ම ජාත්‍යන්තරය තුළද විශාල අපකීර්තියකට සහ අප්‍රසාදයකට මුහුණ දුන් නිසා සජිත්ටද එවැනි අප්‍රසාදයක් මතුවනු ඇතැයි කියාය. ඒ හරහා එදා රනිල් එජාප පාක්ෂිකයන් අතර වීරයා වූවා සේ මෙදාද රනිල් එජාප පාක්ෂිකයන් අතරේ වීරයකු වනු ඇතැයි කියාය. එවැන්නක් නොවී සජිත්ව උස්සන ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව මෛත්‍රි පාර්ශ්වයෙන් යෝජනාවක් පැමිණි අතර ඉන් කියැවුණේ කෙසේ හෝ එක්සත් ජාතික පෙරමුණ තුළින්ම සජිත්ට 113ක මන්ත්‍රී සහාය ලබාගන්නා ලෙසත්, එසේ කිරීමට නොහැකි වුවහොත් පමණක් ශ්‍රීලනිප මෛත්‍රි කණ්ඩායමේ සිටින මන්ත්‍රීරු 20 දෙනාගේ සහාය සජිත්ට ලබාදී බහුතරය සාදාගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවත්ය. එවිට එජාප ආණ්ඩුවක් ලෙස නොව සජිත් අගමැති කොට නැවත වතාවක් ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යා හැකි බවද එහිදී මෛත්‍රි පෙන්වා දී තිබිණි. ඒ සම්බන්ධයෙන් මෛත්‍රි ශ්‍රීලනිප මහලේකම් දයාසිරි සමඟද සන්ධාන මහලේකම් අමරවීර සමඟද සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීමටද පියවර ගෙන තිබිණි.
නමුත් මෙම යෝජනාවට සජිත්ගේ පිලෙන් එතරම් කැමැත්තක් නොදැක්වුණු අතර ඔවුන් කියා සිටියේ මෛත්‍රි සමඟ ගොස් අගමැතිකම ගැනීමට කටයුතු කළහොත් මෛත්‍රි දැනටමත් එජාප පාක්ෂිකයන් අතරේ දැඩි අප්‍රසාදයකට පත්ව ඇති නිසා සජිත්ටද විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කියාය. සජිත්ගේ ඉදිරි දේශපාලනයද සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇතැයි කියාය. ඒ නිසා ඔවුන් පෙන්වා දී තිබුණේ කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය තුළින්ම බහුතරය ලබාගෙන අගමැතිකම ලබා පසුව ශ්‍රීලනිපයේ සහාය ලබාගත යුතු බවකි.
113 ගන්න සුජීව ගානේ ඩිනර් එකක්
අනෙක් පැත්තෙන් මෛත්‍රිගෙන් අගමැතිකම ලබාගතහොත් විශාල නීතිමය ප්‍රශ්නයකට සජිත්ට මුහුණ දීමට සිදුවන බවද ඔවුන්ගේ අදහස වී තිබිණි. නියත වශයෙන්ම සජිත්ව පක්ෂයෙන් නෙරපනු ඇති බවත්, විනය පරීක්ෂණවලට සහ නීතිමය ගැටලු ගණනාවකට සජිත්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව ඉතා සූක්ෂ්මව එජාප මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීම සඳහා සජිත්ගේ කැරැලිකාර මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කිහිපයක්ම සකස් කිරීමට පියවර ගත්හ. එහි එක් සැලසුමක් වූයේ සුජීව සේනසිංහ විසින් එජාපයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහ පක්ෂය සමඟ සිටින සුළු ජාතික පක්ෂ නායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කිරීමය. පසුගිය අඟහරුවාදා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීමට තින්දු වූ අතර කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි නිවෙසක එය පැවැත්වෙන බවද ප්‍රචාරය කෙරිණි. එය සුජීවට අයත් නිවෙසක් බවද කියැවිණි. කොටින්ම කියනවා නම් සජිත්ට 113ක මන්ත්‍රී බහුතරයක් සිටින බව මාධ්‍යයටත්, රටටත් පෙන්වීම ඔවුන්ගේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ යටි අරමුණ විය. එය ඒ මොහොතේම සජීවීව මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමටද ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර තිබිණි. ඒ සඳහා සුජීවගේ නිවෙසේ ගේට්ටුව අසලට සියලුම මාධ්‍ය කැඳවීමටද ඔවුන් පියවර ගෙන තිබිණි.
ආවේ 43යි: වැඩේ බකල් වෙයි
කෙසේ වෙතත් ඔවුන්ගේ මේ වෑයමද අවසන් වූයේ තවත් විශාල අර්බුද රැසක් සජිත් පිලට රැගෙන එමින් අන්තිම අසාර්ථක ලෙසටය. එහි පළමු කඩාවැටීම පෙනෙන්නට වූයේ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණයෙන්ය. හරියටම ඊට සහභාගි වී තිබුණේ මන්ත්‍රීවරු 43කි. එජාප රජය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින සහ සජිත් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සුළු පක්ෂ නායකයන් වූ රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් පවා එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබිණි. අනෙක් පැත්තෙන් ශ්‍රීලනිපයෙන් එජාපයට එක්වූ මන්ත්‍රීවරුන් වන ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා වැන්නවුන්ට පවා ඊට ආරාධනා කර තිබුණද ඔවුන්ද එය ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ අනුව වැඬේ බකල් වූයේ සිතූ පරිදි කිසිවකුත් ඊට නොපැමිණීම නිසාය. නමුත් පක්ෂ නායකයකු ලෙස රිෂාඞ් බදුර්දීන් රනිල්ටද දැනුම් දී ඔහුගේද අනුමැතිය ඇතිව සාදයට පැමිණියද සුජීවගේ නිවෙසේ ගේට්ටුව අසලදී දුටු දෙයින් රිෂාඞ්ට යකා නැග්ගේය. ඒ, ගේට්ටුව අසල රූපවාහිනී මාධ්‍ය නාලිකා සියල්ලම කැමරා අටවාගෙන සිටි නිසාය. රිෂාඞ් පැමිණෙද්දීම මාධ්‍ය ඔහුව වට කරගත්තද දැඩි කේන්තියෙන් යුතුව ඔවුන්ව මඟ හරිමින් සුජීවගේ නිවෙසට ගිය රිෂාඞ්ව පිළිගැනීමට මංගල පැමිණෙද්දී රිෂාඞ් ඔහුගෙන් අසා සිටියේ, “මොකක්ද ඇමැතිතුමා මේක ඩිනර් එකක්ද නැත්නම් වෙන එකක්ද? මම මෙතෙන්ට ආවේ ඩිනර් එකකට එන්න කියල ආරාධනා කරලා තිබුණ නිසා. හැබැයි ගේට්ටුව ළඟ මීඩියා හැම එක්කෙනාම ඇවිල්ලා ඉන්නවා. මම යොදාගෙන හිටපු වෙන වැඩකුත් කැන්සල් කරලයි මෙතෙන්ට ආවෙ. මම යනව යන්න” කියාය. මංගල වහාම රිෂාඞ්ව අස්වසමින් කතා කරද්දී සුජීවද එතැනට පැමිණියේය.
මීඩියා දැකපු රිෂාඩ්ට යකා නගී
“මොකක්ද ඇමැතිතුමා මේ කරපු කැත වැඬේ? මේක ඩිනර් එකක්ද, නැත්නම් දේශපාලන සාකච්ඡාවක්ද? මම යනව යන්න” යැයි සුජීවට කී රිෂාඞ් විනාඩි 03ක් ඇතුළත සුජීවගේ නිවෙසින් පිටව යෑමට කටයුතු කළේය. එපමණක් නොව සිය රථයට නැඟි වහාම රනිල්ට දුරකතන ඇමතුමක් ගත් රිෂාඞ්, “සර්… මෙතැන යන්නෙ වෙන ගේමක්” යැයි කියමින් එහි සියලු තොරතුරු රනිල්ට දැනුම්දීමටද වගබලා ගත්තේය.
එමෙන්ම හකීම්, මනෝ සහ දිගම්බරන් මෙම හමුව වර්ජනය කිරීමට ගත් තීන්දුව පසුපසද විශාල කතාවක් තිබේ. එම තීන්දුව ගැනීමට බලපෑ තිරය පිටුපස බලවේගය පිළිබඳ අප හට තොරතුරු ඇතත් ඒ කිසිවක් මේ අවස්ථාවේදී හෙළිකිරීමට අප සූදානම් නැත. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය හරහා වෙනත් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, ඊට සහභාගි වීම අවදානම් බවත් යන පණිවුඩය පමණක් පැය කිහිපයකට පෙරාතුව කිසියම් පාර්ශ්වයක් විසින් ඔවුන්ට ලබාදීමට පියවර ගෙන තිබිණි.
තෙවරප්පෙරුමත් සුජීවලාට ගහයි
ඊළඟ ප්‍රශ්නය මතු වූයේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී පාලිත තෙවරප්පෙරුම ඇතුළු තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම විශාල විරෝධතාවක් දැක්වීම හරහාය. ඔවුන්ගේ විරෝධයටද හේතුවී තිබුණේ ‘කන්න එන්න’ යැයි කියා එය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ටද සජිත්ගේ පාර්ශ්වය ආරාධනා කර තිබීමය. තෙවරප්පෙරුම මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම විරෝධය පළ කරමින් එහිදී මාධ්‍යයට අදහස් දැක්වීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සුජීවගේ නිවෙසේ පැවැති සාකච්ඡාව අන්තිමේදී අවසන් වූයේ වැදගත් දේශපාලන සාකච්ඡාවකටත් වඩා තැන් තැන්වල අහුමුලුවල පැවැති කසුකුසුවලට සීමා වෙමිනි.
සුජීව ඩිනර් එක දුන්නු ගේ කාගෙද?
මීට අමතරව මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී පැමිණ සිටි සියලු දෙනාටම මතුවූ අනෙකුත් බරපතළම ප්‍රශ්නය වූයේ මෙය සුජීවගේ නිවෙස යැයි කීවද එහි තවත් යුවලක් වාසය කිරීම නිසාය. එම යුවලගේ මුහුණුද හුරුපුරුදු බවක් දිස්වූ නිසා පැමිණ සිටි බොහෝ දෙනා තැන් තැන්වල කසුකුසු ගාන්නට පටන් ගත්තේ මෙම නිවෙස ඇත්තටම කාගේදැයි කියාය. ඒ අනුව පළමු වරට අප මෙම නිවෙස පිළිබඳ මතුවූ කසුකුසුව පිළිබඳවද මාධ්‍ය මගින් රටට හෙළි කිරීමට සූදානම්ය. මේ නිවෙස වෙන කාගේවත් නොව ජනාධිපතිවරයාට ඉතා හිතවත් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාගේය. මෙම වෛද්‍යවරයා ඉතා තරුණ වෛද්‍යවරයකු වන අතර පසුගිය කාලයේදී ජනාධිපතිවරයා ගිය සෑම තැනකදීම ඔහුගේ සෙවණැල්ල සේ මෙම වෛද්‍යවරයා සිටිනු දැකගත හැකි විය. සෑම විදෙස් සංචාරයකදීම පවා මෙම වෛද්‍යවරයා දැකගත හැකි වූ අතර ජනාධිපතිවරයාට බලපෑම් කළ හැකි පුද්ගලයකු ලෙසද මොහු හැඳින්විය හැකිය. නමුත් කිසිදු අවස්ථාවක එළියට පහළියට නොඑන මෙම වෛද්‍යවරයා තිරය පිටුපස ජනාධිපතිවරයාගේ අති සමීපතමයකු ලෙසද හඳුන්වා දිය හැකිය. ඒ අනුව සුජීව රාත්‍රී භෝජන සංග්‍රහය ලබාදුන් මෙම නිවෙස අයත් වන්නේ ජනාධිපතිවරයාගේ මෙම පෞද්ගලික වෛද්‍යවරයාටය.
කෙසේ වෙතත් සජිත්ට සහාය ලබාගැනීමට මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුවද එය අන්තිම අසාර්ථක එකක් වූ බව මොහොතක් යෑමට මත්තෙන් සජිත්ටත්, මංගලටත් වැටහිණි. ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබුණේ සුළු පිරිසක් පමණක් ඊට සහභාගි වී සිටීමත්, සන්ධානයේ පක්ෂ නායකයන් කිසිවකුත් ඊට එක් නොවීමත්ය. ඒ අනුව අවසානයේදී සජිත්, කබීර්, මංගල යන තිදෙනාම සාකච්ඡා කොට තීන්දු කළේ අපේක්ෂකයා නම්කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රබල ලෙස රනිල්ට බලපෑම එල්ල කිරීමටය.
සජිත්ගේ මුහුණ කළු වෙලා
රාත්‍රී භෝජන සංග්‍රහයේ අසාර්ථකත්වය ප්‍රසිද්ධියේම එළියට පැන්නේ අවසානයේදී මන්ත්‍රීවරුන් එළියට එද්දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීම් හමුවේදීය. ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍යයට මුහුණ නොදී සිය රථවලට නැඟගත් අතර තෙවරප්පෙරුම කෙළින්ම සිය විරෝධය පළ කරමින් මාධ්‍යයට අදහස් දැක්වීය. එසේම කළුව තිබූ සජිත්ගේ මුහුණ දුටු මාධ්‍යවේදීන්, “ඇයි ඇමැතිතුමා මේ මූණ කළුවෙලා” යනුවෙන් විමසද්දී සජිත් විමසා සිටියේ, “ඔබතුමාට එහෙම පේනවද” යනුවෙනි. මාධ්‍යවේදීන් ඊට “ඔව්” යැයි කියද්දී සජිත් කේන්තියෙන් කියා සිටියේ “එහෙනම් ඒක ඔබතුමාගෙ ඇස්වල ප්‍රශ්නයක්” යැයි කියාය. එමෙන්ම මංගල කෙළින්ම වාහනයට නැග්ගේ මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නොකරය. වාහනයට නැඟීමෙන් අනතුරුව මාධ්‍ය ඔහුගෙන් ගෝඨා ගැන අහද්දී මංගල කියා සිටියේ ‘අපි ගෝඨාභයව සත පහකට ගණන් ගන්නේ නැහැ’ යැයි කියාය. නමුත් එම ප්‍රශ්නයටම එහි සිටි හර්ෂ ද සිල්වා දුන්නේ මංගල දුන් උත්තරයට හාත්පසින් වෙනස් උත්තරයකි. එනම් හර්ෂ කීවෙ ගෝඨාභය අවතක්සේරු නොකළ යුතු බවත්, ඔහු ඉතා ප්‍රබල අපේක්ෂකයකු බවත්ය. ඒ අනුව ගෝඨාභය සම්බන්ධයෙන් එජාපයේ කැරැලිකාර පාර්ශ්වය තුළ පැහැදිලි එකඟතාවක් නොමැති බවද මෙහිදී දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මෙම අසාර්ථක සාකච්ඡාවෙන් අනතුරුව සජිත් කෙළින්ම ගියේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසටය. එහිදී පැය කිහිපයක සාකච්ඡාවක් පැවැති නමුත් එහිදී සාකච්ඡාවට ලක්වූ කිසිවක් මෙතෙක් මාධ්‍යයට හෙළිව නොමැත. කෙසේ වෙතත් නියත වශයෙන්ම සජිත් තමන්ට අගමැති ධුරය ලබාගැනීම සඳහා එජාපයේ මන්ත්‍රීවරුන් 113ක් සොයාගැනීමට ඇති අපහසුතාව මෛත්‍රිට දැනුම්දුන් බවට සැකයක් නැත.
වසන්තට මෛත්‍රිගේ ගමේදී විරෝධයක්
කෙසේ වෙතත් සජිත්ගේ මේ කඩාවැටීම වළක්වා ඔහුව තවදුරටත් එජාපය ඇතුළේ ඔසවා අගමැති ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මෛත්‍රි ඊට පසු දිනම කටයුතු කළේ පොළොන්නරුවේ පැවැති සජිත්ගේ ගම්උදා රැස්වීමේදීය. සජිත්ගේ මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෛත්‍රි සහභාගි වී සිටි අතර, මෛත්‍රිටත් සජිත්ටත් බොහෝ හිතවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකද ඊට සහභාගි වී තිබිණි. මෙම රැස්වීමේදී මෛත්‍රි සජිත්ව විශාල වශයෙන් ඔසවා තබමින්, ආණ්ඩුවේ සිටින අවංක, ඉතා දක්ෂ, හොරකම් නොකරන නායකයකු ලෙස සජිත්ව වර්ණනා කළේය. ඒ, සජිත්ව කෙසේ හෝ අගමැතිකමට ගෙන ඒම සඳහාය. ඊටත් ඉදිරියට යමින් වසන්ත සේනානායක රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළේය. නමුත් මෙහිදී කිසිවකුත් නොසිතූ ලෙස සභාවේ සිටි එජාප පාක්ෂිකයන්ගෙන් වසන්තට එල්ල වූයේ දැඩි විරෝධයකි. එහිදී ඔවුන් කියා සිටියේ පක්ෂයේ නායකයා තවමත් රනිල් වන බැවින් ඔහුට පහර ගසමින් කතා කිරීමෙන් වැළකී සිටින්න යැයි කියාය.
මෛත්‍රි වමට සිග්නල් දමා දකුණට හරවයි
කෙසේ වෙතත් සජිත්ව මේ ආකාරයට අගමැති කිරීමේ තිරය පිටුපස කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටියද මෛත්‍රි සුපුරුදු පරිදි සියලු දෙනාම සමඟ ගනුදෙනු කරමින් සිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. ඒ අනුව මෛත්‍රි සජිත් සමඟ පමණක් නොව, මහින්දටද පණිවුඩ යවන්නට පටන් ගත්තේය. ඊට අමතරව ගෝඨාභය සමඟ සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. අමරවීර ගෙන්වා ඔහුටද එකක් කීමට කටයුතු කළේය. අනෙක් පැත්තෙන් දයාසිරිව ගෙන්වා ඔහුට තවත් එකක් කීමටද කටයුතු කළේය. දයාසිරිත් අමරවීරත් පසුගිය සතිය ආරම්භයේදී පොහොට්ටුවටත්, ගෝඨාභයටත් ප්‍රහාර එල්ල කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කළේ මෛත්‍රි ඔවුන්ට කියා සිටි එම ප්‍රකාශවලට අනුවය. නමුත් සජිත් අගමැති කරන වැඬේ බකල් වන ලකුණු පහළ වීමත් සමඟ මෛත්‍රි ගෝඨාභයටත්, පොහොට්ටුව සමඟ සන්ධානගත වන වැඩපිළිවෙළටත් කොළ එළි දැල්වීමට පියවර ගත්තේය. පසුගිය බදාදා රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ගෝඨාභය විසින් දෙනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වන ලෙසට මෛත්‍රි සිය ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට අනුමැතිය දුන්නේ ඒ අනුව යමින්ය. මෙහිදී දයාසිරි හා අමරවීර ගෝඨාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ගොස් තිබුණත් දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ ඇතුළු කිහිප දෙනකු ඊට සහභාගි නොවී සිටීම විශේෂ සිදුවීමක් විය.
මහින්දයි මෛත්‍රියි ගහන ගේම
මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා සන්ධානයට සහාය දක්වන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වුණේ මෙවැනි පසුබිමකදීය. පළමු වරට සන්ධානයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂද ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී පුළුල් සන්ධානයක් බිහිකරලීම සම්බන්ධයෙනුත්, ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙනුත් පිරිස අතර දීර්ඝ සාකච්ඡාවක් ඇතිවිය. මෙහිදී පළමු වරට ගෝඨා දැනට සකස් කොට ඇති සැලසුම පිළිබඳ සන්ධානයේ පක්ෂ නායකයන්ට කෙටි හැඳින්වීමක් කළේය. තමන්ට ජනාධිපතිවරයා මේ වන විටත් පණිවුඩ එවමින් සිටින බවත්, ජනාධිපතිවරයා සමඟ තමන් දැනටමත් සාකච්ඡා වටයක් පැවැත්වූ බවත් මෙහිදී ගෝඨා පිරිස දැනුවත් කරමින් කියා සිටියේය. එහිදී සන්ධාන නායකයන් ගෝඨාගෙන් සහ මහින්දගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා පොළොන්නරුවට ගොස් සජිත්ට චරිත සහතික දෙද්දී තවදුරටත් ජනාධිපතිවරයා සමඟ සන්ධාන සාකච්ඡා කිරීම විහිළුවක් නොවේදැයි කියාය. නමුත් ඊට ගෝඨාට පෙර සිනාසෙමින් උත්තර දුන්නේ මහින්දය.
“ඕක පිටිපස්සෙ තව ලොකු ලොකු දේවල් තියෙනවා. ඕගොල්ලො මම කියන එක විතරක් අහන්නකො. මෛත්‍රි ඔය කරන්නෙ අපට වාසිවෙන වැඩක්. මම ඒක දන්නවා. එයා ඔය කරන වැඩෙන් යූ.එන්.පී. එක දෙකට තුනට කැඩෙනවා. ඒ වැඬේ මෛත්‍රි හොඳට කරනවා. අපි මෛත්‍රිත් එක්ක කරන සාකච්ඡා හෙමින් සැරේ කරගෙන යමු. ඒ හින්දා එයා ඔය කරන වැඬේට අපි ඉඩ දෙමු. මම ඒ ගැන කලබල වෙන්නෙ නෑ” යනුවෙන් මහින්ද කියද්දී ගෝඨාද එය අනුමත කරමින් කියා සිටියේ, “ඔව් කිසිම දේකට බයවෙන්න එපා. අපි එතුමත් එක්ක කරන අපේ සාකච්ඡා කරගෙන යමු” යැයි කියාය. ඒ අනුව මෛත්‍රිට එරෙහිව සන්ධාන නායකයන් තුළ තිබූ විරෝධයද යටපත් වන ආකාරයක් දැකගන්නට තිබිණි.
ගෝඨාගේ කටවුට් රට වටෙන්ම ගැලවෙයි
ඉන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත්, මැතිවරණයේ සටන් පාඨ පිළිබඳවත් සාකච්ඡා විය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී පාවෙන ඡන්ද ඉතා දැඩි බලපෑමක් සිදුකරනු ඇති බව සියල්ලන්ගේම ස්ථාවරය විය. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ක් පමණ වනු ඇති බවත්, සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි පසුබිමක් යටතේ එම පාවෙන ඡන්ද ප්‍රමාණයෙන් බහුතරයක් ගෝඨාට ලබාගැනීම සමබන්ධයෙනුත් මෙහිදී දීර්ඝ සාකච්ඡාවක් ඇතිවිය. ඒ සඳහා බලපෑම් කළ හැකි ආකර්ෂණීය ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ යුතු බවද පිරිසේ අදහස විය. දැනටමත් රට පුරාම ඔසවා ඇති සජිත්ගේ දැවැන්ත කටවුට්, බැනර් සහ පෝස්ටර්වලට ජනතාවගේ විශාල විරෝධයක් සහ අප්‍රසාදයක් මතුව ඇති නිසා ගෝඨාගේ එවැනි බැනර් සහ කටවුට් ඉවත් කරලීමටද එහිදී තීන්දු විය. පසුගිය සතියේදී එවැනි ගෝඨාගේ දැවැන්ත කටවුට් සහ බැනර් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීම ආරම්භ වූයේ පාවෙන ඡන්දවල සහ රටේ ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමෙ පියවරක් ලෙසටය. එමෙන්ම ගෝඨාභය සුගතදාස ක්‍රීඩාංගණයේදී සිදුකළ සිය පළමු කතාවේදී පරිසර හිතකාමී ලෙස පෝස්ටර් කටවුට් නොමැතිව ඡන්ද ව්‍යාපාරය සිදුකරන බවට දුන් පොරොන්දුව ඉටුකරලීමද මෙහි තවත් අරමුණක් විය.
චම්පික-මනෝ-හකීම්-දිගම්බරම් කරුගේ ගෙදර යයි
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් බරපතළ මත ගැටුම් පක්ෂය ඇතුළේ මේ ආකාරයට මතුවෙද්දී එය විසඳිය හැකි විකල්පයක්ද පසුගිය සතියේදී පළමු වතාවට එජාපය ඇතුළේ ප්‍රසිද්ධියේම සාකච්ඡාවට ලක්විය. එහිදී පසු ගිය සතියේ පැවැති අභ්‍යන්තර සාකච්ඡාවලදී පළමු වතාවට මෙම අර්බුදය විසඳීමට සමත් එකම සහ හොඳම විකල්පය ලෙස සාකච්ඡා මේසයට ආවේ කතානායක කරු ජයසූරිය මහතාගේ නමය. එම නම ආවේද නිකම්ම නොව පසුගිය සති කිහිපය පුරාම සන්ධානයේ සුළු පක්ෂ නායකයන් වන චම්පික, රවුෆ්, මනෝ, දිගම්බරන් වෙන් වෙන්ව කරුගේ නිල නිවෙසට ගොස් පැවැත්වූ රහසිගත සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය. එහිදී මේ සියලු දෙනාම කරුගෙන් ඉල්ලා සිටියේ සියලු පක්ෂ සහ කණ්ඩායම් එකතු කළ හැකි සිංහල බෞද්ධ ජනතාව පිළිගන්නා නායකයකු ලෙස කරු ප්‍රසිද්ධව ඇති නිසා ජනාධිපති සටනට ඉදිරිපත් වන ලෙසටය. කරු මෙහිදී සියල්ලන්ටම කියා සිටියේ තමන් කිසිසේත්ම එජාපය කඩාබිඳ දැමීමට කිසිවකුට ඉඩ නොතබන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තමන්ට විශාල වගකීමක් පවතින බවත්, මීට අමතරව මාදුළුවාවේ සෝභිත හිමියන් පිහිටුවූ සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරය දුන් පොරොන්දු ඉටුකරලීමට තමන්ට වගකීමක් ඇති බවත්ය. ඒ නිසා ඕනෑම වගකීමක් පිළිගැනීමට තමන් සූදානම් බව මෙහිදී කී කරු, එසේ වුවත් පක්ෂය ඒකමතිකව කියන්නේ නම් පමණක් එම යෝජනාව භාරගැනීමට තමන් සූදානම් බවද පිරිසට දැනුම්දී සිටියේය.
පේරාදෙණි සරසවියේ මත විමසුමෙන් කරු ගෝඨාව පරද්දයි
ඒ අනුව පසුගිය සතියේදී රාජිත හා චම්පික මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රනිල්ව මුණගැසීමට කටයුතු කළහ. එහිදී දෙදෙනාම රනිල්ට අවධාරණය කර කියා සිටියේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හොඳම සුදුස්සාත්, එකම විකල්පයත් කරු පමණක් යැයි කියාය. ඊට රනිල්ගේ විරෝධයක් පළ නොවීමද මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය.
මීට අමතරව ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පසුගිය සතියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ඉතා ස්වාධීන සහ අපක්ෂපාතී සමීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලකෙන්නේ ඉතා නිවැරැදි ආකාරයට ජනමත විමසුම් පවත්වන සහ ඒවා විශ්ලේෂණය කරන අධ්‍යාපන ආයතනයක් ලෙසටය. මෙයට පෙර කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් විය යුතු අපේක්ෂයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් සිදුකර තිබූ අතර එහිදී සජිත්වත්, රනිල්වත් පරාජයට පත්කරමින් ඉදිරියෙන්ම තිබුණේ කරු ජයසූරිය මහතාගේ නමය. අප එය එවකදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමටද කටයුතු කර තිබිණි.
මෙවර අප පළමු වරට රටට හෙළිකිරීමට සුදානම් වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල මඟින් සිදුකර තිබූ මෙම අපක්ෂපාතී ජනමත විමසුමය. කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකර තිබූ ජනමත විමසුමෙන් ගෝඨාභය රාජපක්ෂත්, සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත් පරාජයට පත්කර ඉදිරියෙන්ම සිටියේ වෙන කවුරුවත් නොව මේ කියන කරු ජයසූරියය.
එහි මෙසේ සඳහන්ව තිබිණ.
මෙම මත විමසීම ඡන්දය දීමේ ප්‍රවණතාවන් හඳුනාගැනීම සඳහා කරන ලද විස්තරාත්මක නියැදි සමික්ෂණයක් නොවේ. මෙහි මූලික අරමුණ වූයේ දැනට නම්කර ඇති හෝ නම් කරනු ලබනු ඇතැයි විශ්වාස කරනු ලබන ප්‍රධාන පක්ෂ තුනට, එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම්වලට අයත් අපේක්ෂකයන් හතර දෙනකුගේ ජනප්‍රියතාව පිළිබඳ දල අදහසක් ලබාගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තවමත් අපේක්ෂකයකු ගැන පැහැදිලි තීරණයක් ගෙන නොමැති වුවද එම පක්ෂයේ වඩාත් සාකච්ඡාවට සහ විවාදයට බඳුන්වී ඇති අපේක්ෂකයන් දෙදෙනෙකු ඇත. එම නිසා ඔවුන් දෙදෙනාම මෙම සමීක්ෂණයට ඇතුළත් කිරීමට තීරණය කෙරිණි.
අපේක්ෂකයන් සහ ඔවුන්ගේ පක්ෂ නියෝජනය
- ගෝඨාභය රාජපක්ෂ
- අනුර කුමාර දිසානායක
- සජිත් ප්‍රේමදාස
- කරු ජයසූරිය
උපකල්පනයන්
මත විමසීම සඳහා පර්යේෂණ සැලැස්ම සකස් කිරිමේදී සහ තොරතුරු විශ්ලේෂණයේදී පහත උපකල්පනයන් ආධාර කරගන්නා ලදී.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර ඔවුන් නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනු ඇත.
- එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වුවද පක්ෂය කැඩී යන්නේ නැත.
- සුළු ජාතික පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත.
අධ්‍යයන ක්‍රමවේදය
සමීක්ෂණය සඳහා අරමුණු නියැදියක් යොදා ගන්නා ලදී. නියැදි ස්ථර සමාජ, ආර්ථික සහ ජනවාර්ගික වෙනස්කම් සහ ප්‍රාදේශීය මට්ටමේ වැදගත් බෙදීම් මත සිදු කරන ලදී. යොදා ගන්න ලද නියැදි ස්ථරයන් පහත අයුරු වේ.
- කොළඹ මහ නගර ප්‍රදේශය – එහි ඇති සුවිශේෂ සමාජ ආර්ථික තත්වය මෙම වෙන් කිරීම සඳහා පදනම් විය.
- කොළඹ වෘත්තිය කලාපය (මහරගම, හෝමාගම, කඩුවෙල, කෝට්ටේ යනාදි ප්‍රදේශ)
- මහනුවර, ගම්පහ සහ ගාල්ල යන අතර මැදී නාගරික ආර්ථික ප්‍රදේශ තුන
- ග්‍රාමීය සහ බෞද්ධ කලාපයෙන් (ප්‍රධාන වශයෙන් ගම්පහ, කෑගල්ල, රත්නපුර, උතුරු මැද, වයඹ සහ දකුණු යන පළාත්වල ග්‍රාමීය සහ බෞද්ධ ජනයා ජීවත් වන ප්‍රදේශ)
- මොනරාගල, හම්බන්තොට සහ වයඹ පලාත්වල අති දුෂ්කර ප්‍රදේශ
- වතුකරය
- උතුරු සහ නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනයා බහුල ප්‍රදේශ
- උතුරු සහ නැගෙනහිර පළාත්වල මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ
- රට අභ්‍යන්තරයේ මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ
- ක්‍රිස්තියානි ජනයා බහුතරයක් ඇති ප්‍රදේශ (ජා ඇල, මීගමුව මොරටුව වැනි)
මෙම සමීක්ෂණය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ තුන් කොන් සටනකදී වඩාත් පිළිගැනීමකට ලක්වී ඇති (ජයග්‍රහණය කිරීමට සම්භාවිතාවයක් ඇති) අපේක්ෂකයා වන්නේ කුමන පුද්ගලයාද? යන කරුණටයි.
නිගමන
- වැදගත්ම කරුණ වන්නේ ගෝඨාභය මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් ඒ මහතා පරාජය කිරීමට කරු ජයසූරිය මහතාට හැකි බවත්ය.
අ). කරු ජයසූරිය මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තරඟයක දී කරු ජයසූරිය මහතා කලාප 7 ඉදිරියෙන් සිටී.
ආ). සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තරඟයක දී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ කලාප 4 පමණි. ඒවායේ වුවද ඔහුට ලැබේ යැයි පෙනී යන ඡන්ද ප්‍රතිශතය කරු ජයසූරිය මහතාට ලැබේ යැයි පෙනී යන ප්‍රතිශතයට වඩා අඩුය.
ඇ). නාගරික ප්‍රදේශවල (විශේෂයෙන් කොළඹ අවට සහ වෘත්තීය කලාපයේ) ප්‍රේමදාස මහතාට අඩු ආකර්ෂණයක් දක්නට තිබීම ඔහු ගෝඨාභය මහතාට පරාජය වීමට ඇති ඉඩකඩ වැඩි වීමට හේතු ලෙස පෙනීයයි.
- පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඉතා වැදගත් වූ සිංහල බෞද්ධ කලාපයේ මෙවරදී කරු ජයසූරිය මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි තරඟයක් දීමට ඇති ඉඩකඩ වඩාත් වැඩි බව පෙනී යයි. (රනිල් වික්‍රමසිංහ මහතාට නොතිබූ සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරු ජයසූරිය මහතාට තිබීම එයට හේතුව ලෙස සැලකිය හැකිය).
- මෙහිදී තවත් වැදගත් කරුණු කිහිපයක් ද පෙනී යයි.
අ). එකක් නම් අනුර දිසානායක මහතා තරඟ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට සමානම පාඩුවක් පොදු පෙරමුණට (ගෝඨාභය රාජපක්ෂ මහතාට) විය හැකි බවය.
ආ). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු පෙරමුණට එක් වුවද එම පක්ෂයේ සියලු ඡන්ද පොදු පෙරමුණට යන බවක් නොපෙනේ.
ආ). ප්‍රේමදාස මහතා තරඟ කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා අනුර දිසානායක මහතාට වාසි විය හැකි බවය.
චම්පික කරුව එළියට අරන් එයි
මීට අමතරව පසුගිය සතියේදී කරු ජයසූරිය මහතා පළමු වතාවට දේශපාලන කටයුත්තකට සහභාගි වීමට පියවර ගෙන තිබිණි. ඒ වෙන කිසිවක් නොව පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පවත්වනු ලැබූ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයටය. ඒ අනුව කරුව පළමු වතාවට දේශපාලන කරළියට කැඳවාගෙන ආවේ චම්පික රණවක වන අතර එම අවස්ථාවට සහභාගි වන ලෙස ඔහු ශ්‍රී ලංකාවෙ චීන තානාපතිවරයාටද ආරාධනා කර තිබිණි.
කෙසේ වෙතත් කරු මේ ආකාරයට පළමු වතාවට දේශපාලන කටයුත්තකට සහභාගි වෙමින් චම්පිකගේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කොට ඇති බව මොහොතක් යෑමට මත්තෙන් සජිත්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව සජිත් කළේ වහාම චම්පිකට බලෙන්ම කතාකිරීමය. එසේ කතා කළ සජිත් තමන්ද වනජීවී ඡායාරූපවලට ප්‍රිය කරන්නකු බවත්, එම නිසා චම්පිකගේ ප්‍රදර්ශනය බැලීමට පැමිණෙන බවත්, තව මොහොතක් එහි රැඳී සිටින ලෙසත් චම්පිකගෙන් ඉල්ලා සිටියේය. නමුත් චම්පික සජිත්ට කියා සිටියේ තමන්ට යොදාගත් තවත් කටයුත්තකට යෑමට සිදුව ඇතැයි කියාය. නමුත් විනාඩි 20ක් ඉවසන ලෙසට දිගින් දිගටම චම්පිකගෙන් ඉල්ලා සිටි නිසා චම්පික යොදාගත් කාර්යය මොහොතක් පමා කිරීමට පියවර ගත්තේය. නමුත් විනාඩි 20ක් කීවද සජිත් පැමිණෙන තෙක් විනාඩි 45ක් බලාසිටීමට අවසානයේදී චම්පිකට සිදුවිය.
කෙසේ වෙතත් සජිත් තනිවම ඡායාරූප ප්‍රදර්ශනය බැලීමට පැමිණෙනු ඇතැයි චම්පික සිතා සිටියද චම්පිකවත් පුදුම කරමින් සජිත් පැමිණියේ තනිවම නොව විශාල මාධ්‍ය කණ්ඩායමක්ද සමඟිනි. එසේ පැමිණි සජිත් මාධ්‍යවේදීන් ඉදිරියේ චම්පික තමන් සමඟ සිටින බව පෙන්වමින් විවිධ ඉරියව් රඟදක්වන්නට විය. වරෙක සජිත් චම්පිකගේ ඡායාරූපයක් කැමරා කාචයට නැඟූ අතර, පසුව චම්පිකද සජිත්ගේ ඡායාරූපයක් ගැනීමට කටයුතු කළේය. ඒ ආකාරයට බලෙන්ම චම්පිකගේ ඡායාරූප ප්‍රදර්ශනයට පැමිණි සජිත් විශාල මාධ්‍ය සංදර්ශනයක් දැක්වීමට කටයුතු කළේය.
රනිල් කඩුව අතට ගනී
මේ අතරවාරයේ සුජීවගේ නිවෙසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය බකල් වීමෙන් පසු සජිත්ගේ පාර්ශ්වය තීරණය කළේ රනිල්ව මුණගැසී ජනාධිපති අපේක්ෂකත්වයට සජිත්ව නම් කරන ලෙසට රනිල්ට කරන බලපෑම තීව්‍ර කිරීමටය. ඒ අනුව ඔවුන් තීන්දු කළේ මලික්, කබීර් හා මංගල ගොස් රනිල් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේලාවක් ඉල්ලා සිටීමය. ඒ අනුව රනිල් ඒ සඳහා ඔවුන්ට ලබාදුන්නේ බදාදා රාත්‍රියය. නමුත් ඔවුන් මුණගැසීමට ප්‍රථම සවස් වරුවේදී රනිල් අකිල, රවි මෙන්ම සන්ධානයේ පක්ෂ නායකයන් ගෙන්වා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී අති බහුතරයක් දෙනා කියා සිටියේ මේ වන විට සජිත්ගේ කැරැලිකාර කණ්ඩායම සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටින බවත්, ඔවුන්ට එරෙහිව දැඩි පියවර නොගතහොත් පක්ෂයේ විනය ගිලිහී යෑම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත්ය. එමෙන්ම රනිල්ව ඉවත් කොට අගමැතිවරයා වශයෙන් සිකුරාදා (23) දිනයේදී සජිත්ව අගමැති කිරීමට මෛත්‍රි කළ කුමන්ත්‍රණය පිළිබඳවද මේ වන විට රනිල් ඇතුළු කණ්ඩායම දැනගන්නට ලැබී තිබිණි. මේ නිසා ඇමැතිවරුන් කළ ඉල්ලීමට අනුව රනිල්ද අකිලට කියා සිටියේ පක්ෂ විනයට පිටින් කටයුතු කරන පිරිස්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි කියාය. ඒ සඳහා එවැනි මැති ඇමැතිවරුන් පසුගිය කාලයේදී කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පට, පුවත්පත් වාර්තා රැස් කරන ලෙසටද රනිල් අකිලට දැනුම් දී සිටයේය. එමෙන්ම දැඩි ලෙස සීමාව ඉක්මවා යමින් කටයුතු කළ ඇමැතිවරුන් සම්බන්ධයෙන් තීන්දු කිරීමේ බලය තමන් යටතට ගත් රනිල් ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාකිරීමට තමන් පියවර ගන්නා බවද පිරිසට දැනුම්දී සිටියේය. ඒ අනුව අපට දැනගන්නට ඇත්තේ බොහෝ දුරට පසුගිය කාලයේදී තම සීමාව ඉක්මවා ගිය ඇමැතිවරුන් පස්දෙනකුගේ පමණ ඇමැති තනතුරු ඉවත් කිරීමට රනිල් මේ වන විටත් තීන්දු කර ඇති බවකි. ඒ සඳහා අලුත් ඇමැතිවරුන් පස්දෙනකු නම්කිරීමටත් රනිල් තීන්දු කර ඇති බවක්ද දැනගන්නට ඇත.
මලික්-කබීර් රනිල්ගේ ලණුව කයි
එදින රාත්‍රියේදී රනිල් කබීර්ලා මලික්ලා සමඟ සාකච්ඡාවට වාඩිවූයේ මෙම සාකච්ඡාවෙන් අනතුරුවය. කෙසේ වෙතත් මංගල ඊට සහභාගි වන බවක් කලින් දැනුම්දී තිබුණද අවසන් මොහොතේ මංගල වෙනුවට ඊට සහභාගි වී සිටියේ රංජිත් මද්දුමබණ්ඩාරය. එහිදී මේ තිදෙනාම රනිල්ට බොහෝ වේලාවක් කියා සිටියේ සජිත්ව අපේක්ෂකත්වයට නම් කිරීමේ වැදගත්කමය. තිදෙනාගේම අදහස්වලට සාවධානව සවන් දී සිටි රනිල් අවසානයේදී කියා සිටියේ, “මට ප්‍රශ්නයක් නෑ. ඔය අය කියනව නම් මම සජිත්ව අපේක්ෂකයා කරන්න ලෑස්තියි. හැබැයි පක්ෂයෙ සම්ප්‍රදායක් තියෙනවා. විනයක් තියෙනවා. ඔක්කොම මන්ත්‍රීවරු සජිත්ව ඕනෙ කියල කියනව නම් විශේෂයෙන්ම රවි, දයා ගමගේ, කිරිඇල්ල වගේ අයත් කියනව නම් මම සජිත්ට අපේක්ෂකත්වය දෙන්න ලෑස්තියි” යනුවෙන් කියමින් රනිල් කබීර්ලාට සජිත් සම්බන්ධයෙන් කිසියම් කොළ එළියක් දැල්වීමට කටයුතු කළේය. රනිල්ගේ මේ ධනාත්මක ප්‍රතිචාරය නිසා මලික්, කබීර් එහිදී සතුටින් ඉපිල යන ආකාරයක් දැකගන්නට ලැබිණි. සතුට වැඩිකමටදෝ මලික් ඊළඟට කතා කළේ රනිල්ගේ අගමැති ධුරය පිළිබඳවය.
අගමැතිකම ගැන රනිල් මලික්ලාට කියපු දේ
“ඒ එක්කම අපි ඔබතුමාගෙ අගමැතිකම ගැනත් කතාකරන්න ඕනෙ. ඒකට අපි කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ” යනුවෙන් මලික් කියද්දී රනිල් ඊට දුන්නේ කිසිවකුත් නොසිතූ උත්තරයකි.
“මගේ අගමැතිකම ගැන ඔය අය මහන්සි වෙන්න ඕනෙ නෑ. ඒක මම බලාගන්නම්. ඕගොල්ලන්ගෙ න්‍යායපත්‍රයෙ අංක එක විදියට සජිත්ව තියාගන්න. ඒකට ඔක්කොම අය එකතු කරගන්න. මගේ අගමැතිකම ගැන මම බලාගන්නම්” යනුවෙන් රනිල් ඉතා සුහදව පිරිසට දැනුම් දීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් රනිල් මෙසේ පළමු වතාවට සජිත්ට කොළ එළියක් දැල්වීමත් සමඟ මලික්ලා, කබීර්ලා කෙතරම් ප්‍රීතියට පත්වූවාද කියනවා නම් එළියට පැමිණි සැණින් ඔවුන් කළේ සජිත් ඇතුළු කැරැලිකාර කණ්ඩායමටත්, ඊටත් වඩා ඉදිරියට යමින් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත් දුරකතන ඇමතුම් ලබාදී මේ බව දැනුම්දීමට පියවර ගැනීමය. නමුත් අපට කීමට ඇත්තේ මලික්ලා, රංජිත්ලා, කබීර්ලා පක්ෂයේ කෙතරම් ජ්‍යෙෂ්ඨයන් වුවත් රනිල් සමඟ ඔවුන් කාලයක් තිස්සේ කෙතරම් සමීපව වැඩ කළත් තවමත් ඔවුන් රනිල්ගේ ශෛලිය තේරුම් ගෙන නැතැයි කියාය. රනිල් එක්ක ගනුදෙනු කරනවා නම් සියල්ලටම කලින් ඔහුගේ මේ ශෛලිය හඳුනා ගන්නා ලෙසටය. මන්ද යත් කබීර්ලා සමඟ තිබූ මෙම රැස්වීමට පැය කිහිපයකට කලින් පැවැති රැස්වීමේදී රනිල් පැහැදිලිවම කියා සිටියේ සජිත්ගේ කැරැලිකාර කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි කියාය. එමෙන්ම ඔවුන්ගේ ඇමැතිකම් ඉවත් කරන බවද රනිල් මෙහිදී සඳහන් කර තිබිණි. කනගාටුවට කරුණ වන්නේ රනිල් සමඟ කාලයක් ළඟින් සිටි මලික්ලා කබීර්ලාට පවා එය වටහා ගැනීමට නොහැකි වීමය.
එසේම තවත් අනාවරණයක් අප මෙහිදී කිරීමට සූදානම්ය. ඒ, කලක් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් සිට වර්තමානයේ පක්ෂයේ සභාපති ධුරය දරන කබීර් පවා තවමත් පක්ෂ ව්‍යවස්ථාව කියවා නොමැති බවය. ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්නේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථා වගන්ති ඔහු තවමත් හරිහැටි කියවා නැති බවකි. ඉදිරියේදී අප කබීර්ට පක්ෂ ව්‍යවස්ථාවේ එම වගන්තිද පෙන්වා දීමට සූදානම්ය.
ශිරාණිත් එළියට එයිද?
මේ අතර පසුගිය සතියේදී හිටි හැටියේම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නම යළිත් වතාවක් දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ඇය විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් තරගවදිනු ඇති බවට නම කියැවුණද ඇය ඊට ඉදිරිපත් නොවූවාය. ඉන් අනතුරුව ජනාධිපතිවරණයෙන් පසු යළිත් අගවිනිසුරු ධුරය භාරගත් ශිරාණි මහින්ද තනතුරින් පැන්නූ ආකාරයෙන් නොව, නිල වශයෙන් එම තනතුරින් ඉවත් වීමට කටයුතු කළාය. පසුගිය කාලයේ නිහඬ චරිතයක් ගත කළ ඇගේ නම යළිත් වතාවක් එළියට ආවේ ආචාර්ය. ඒ.ටී. ආරියරත්න ප්‍රමුඛ සිවිල් සංවිධාන නායකයන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇගේ නම යෝජනා කිරීමත් සමඟය.
පළමු වරට මෙම සිවිල් සංවිධාන නියෝජිතයන් නම් තුනක් ඒ සඳහා යෝජනා කළ අතර ඉන් ඉදිරියෙන්ම සිටියේ හිටපු විගණකාධිපති එස්.සී. මායාදුන්නේය. දෙවැනියට සිටියේ වත්මන් සොලිසිටර් ජෙනරාල්වරිය වන දිල්රුක්ෂ ඩයස් වික්‍රමසිංහය. ඒ බව තහවුරු කරමින් පසුගිය සතියේදී දිල්රුක්ෂි සිය ඉල්ලා අස්වීම නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ නමුත් පසුව එය ඉල්ලා අස්කර ගැනීමට ඇය කටයුතු කර තිබිණි. ඒ අනුව දැන් එළියට පැමිණ ඇත්තේ හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකගේ නමය. ඇය ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න බලාගැනීම සඳහා තව දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත.
කපිල පුුංචිමාන්නගේ