සුගතදාසයෙයි බදුල්ලෙයි හැංගුණු දේවල්…
පසුගිය සතියේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් කළඑළි බැස්සාහ. පළමුව කළඑළි බැස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාය. ඒ පසුගිය ඉරිදා (11දා) දිනයේදීය. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ කාලයක් තිස්සේ තිබුණු බරපතළ අර්බුදය නිමා කරමින් එදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් සිය බාල සොහොයුරා වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශ කර සිටියේය. ඒ, එදින සුගතදාසයට පැමිණි දහස් සංඛ්‍යාත පොහොට්ටුවේ මහජන නියෝජිතයන්ගේ දැඩි අත්පොළසන් හා ප්‍රීතිඝෝෂා මැද්දේය.
ඉන් අනතුරුව සඳුදා (12දා) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකයා කළ යුතු බව කියමින් බදුල්ල විල්ස්පාර්ක් ක්‍රීඩාංගණයේ තවත් රැස්වීමක් පැවැත්විණ. එජාප මහජන නියෝජිතයන් සහ පාක්ෂිකයන් පිරිසක් ඉදිරියේ මෙසේ සජිත්ව ජනපති අපේක්ෂකයා කළ යුතු බවට අවධාරණය කෙරුණද තවම නිල වශයෙන් එජාපය සිය ජනපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රකාශයට පත්කර නැත. ඒ කෙසේ වෙතත් දින දෙකක් තුළ පොහොට්ටුව පැත්තෙනුත්, එජාපය පැත්තෙනුත් විශාල රැස්වීම් දෙකක් පැවැත්වුණු බව මුළු රටම දුටු සිදුවීම විය.
මේ ආකාරයට ජනපති අපේක්ෂකයන් නම් කරනු මුළු රටම දුටුවද, මුළු රටම ඇසුවද, මුළු රටම කතා කළද ඒ පසුපස තිරය පිටුපස තිබූ කිසිදු කරුණක් ඊට ඔල්වරසන් දුන් කිසිවකුත් දැක තිබුණේ නැත. එමෙන්ම මෙම රැස්වීම් දෙකම මහත් උජාරුවෙන් වාර්තා කළ කිසිදු නාළිකාවක් හෝ පුවත්පතක් ඇහැට පේන්නට තිබුණු මෙම කරුණු වාර්තා කළා මිස ඒ පිටුපස තිබුණු කිසිදු කරුණක් වාර්තා කිරීමට කටයුතු කළේ නැත. අඩුම තරමින් ඒ පිළිබඳව උනන්දුවක්වත් දැක්වූයේ නැත. මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප රටට කියන්නට යන්නේ මෙම රැස්වීම් දෙකේම කිසිවෙකුත් නොදුටු තිරය පිටුපස කතාන්දරයය.
ටෙප්ලිට්ස් මහින්දට කියපු දේ…
මෙහි එක් සිදුවීමක් සිදුවූයේ ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කිරීමට සති තුනකට පෙරාතුවය. එනම් හරියටම ඉකුත් ජූලි 23 වැනි දිනය. එහිදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය හදිසියේම මහින්දගේ විජේරාමයේ පිහිටි නිල නිවෙසට පැමිණියේ මහින්ද සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීම සඳහාය. මෙම හමුව විනාඩි 20ක පමණ කාලයක් පැවැති අතර, ඊට ජී.එල්. පීරිස් මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල සහභාගිව සිටිනු දැකගත හැකි විය. මෙම සාකච්ඡාව පිළිබඳ ඡායාරූප ආදිය මධ්‍යවල පළවීම නිසා එය නිල හමුවක් ලෙස පෙනුණු අතර ඒ නිසාම කිසිවකුත් එම සාකච්ඡාවේ සිදුවූ දෑ පිළිබඳව හාරා අවුස්සා සොයාබලන්නට ගියේ නැත.
නමුත් හරියටම ගෝඨාව පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කිරීමට පැය කිහිපයක් තබා හදිසියේම ඇමෙරිකානු තානාපති ටෙප්ලිට්ස් මහත්මිය තවත් විශේෂ නියෝජිතයකුද කැටුව මහින්දගේ නිල නිවෙසට පැමිණීමට කටයුතු කළාය. ටෙප්ලිට්ස් එවර පැමිණ සිටියේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් වෙල්ස් සමගය. ඉකුත් වතාවේ සාකච්ඡාවට ජී.එල්. හා කෙහෙළිය එක්ව සිටියද මෙවර සාකච්ඡාවට ඒ කිසිවකු සහභාගි නොවුණු අතර එයට එක්ව සිටියේ මහින්ද පමණක් වීම විශේෂත්වයක් විය. මේ නිසාම ඉකුත් වතාවේ හමුවට වඩා මෙම හමුව අතිශය රහසිගත හා ඉතා තීරණාත්මක එකක් වී තිබිණ.
එසේ නම් ගෝඨාභයව පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට පැය කිහිපයක් තබා මෙසේ ප්‍රබල ඇමෙරිකානු නිලධාරිනියන් දෙදෙනකු මහින්දව මුණගැසුණේ ඇයි? එහි සාකච්ඡා වූ කරුණු මොනවාද? මහින්ද එහිදී කිසියම් පැහැදිලි කිරීමක් ඇමෙරිකානු නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වූවාද? මේ ඇලිස් වෙල්ස් යනු කවුරුන්ද?
කව්ද මේ ඇලිස්…
මෙවර අපි රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිදරව් කරන්නට යන්නේ මෙම ප්‍රශ්නවලට අදාළ පිළිතුරුය.
ගෝඨාව පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ප්‍රථම ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් ලබාගැනීමට මහින්දට කලක සිටම වුවමනාවක් තිබිණ. ඒ අනුව ඔහු ඒ බව මුලින්ම විමසා සිටියේ ඇමෙරිකානු තානාපතිවරියගෙන්ය. ඒ පසුගිය ජූලි 26 වැනිදා පැවැති සාකච්ඡාවේදීය. නමුත් එහිදී මහින්ද ඇසූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීමට ඇමෙරිකානු තානාපතිවරියට හැකියාවක් නොතිබිණ. ඒ අදාළ කාරණාව පිළිබඳව අවසන් තීන්දුව ඇමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ගතයුතු වීම නිසාය. ඒ බව ඇමෙරිකානු තානාපතිවරිය, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසු ඒ පිළිබඳව මහින්දව දැනුවත් කිරීම සඳහා ඇමෙරිකාවෙන් එවනු ලැබූ බලවත්ම ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය වන්නේ මේ කියන ඇලිස් වෙල්ස්ය.
එසේ නම් කවුද මේ ඇලිස් වෙල්ස්?
ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරියක වන ඇලිස් සිය රාජකාරිය ජීවිතය ආරම්භ කරන්නේ බැරැක් ඔබාමා පාලන සමයේදීය. ලෙබනනයේ බීරුට්හි උපත ලද ඇලිස් සිය මූලික උපාධිය සම්පූර්ණ කරන්නේ ස්ටැන්ෆෝඞ් සරසවියෙන්ය. ඉන් අනතුරුව සිය පශ්චාත් උපාධිය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට ඇය සමත්වූවාය. මුලින්ම ඇය දේශපාලන නිලධාරිනියක ලෙස රාජකාරි ආරම්භ කරන්නේ සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන ආරක්ෂක නිලධාරිනිය ලෙසය. මීට අමතරව ඇය ටජිකිස්ථානයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරිනිය ලෙසද කටයුතු කළාය. අනතුරුව 2003 සිට 2005 දක්වා කාලය තුළ ඇය ඊජිප්තු සහ උතුරු ඇමෙරිකානු කටයුතු පිළිබඳව වැඩ බලන අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළාය. පසුව 2006 සිට 2009 දක්වා මොස්කව්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙසද කටයුතු කළ වෙල්ස්, 2011-2012 කාලයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ගේ සහකාර විධායක තනතුරද හෙබවූවාය. පසුව ඇය ජෝර්දානයේ තානාපතිවරිය ලෙස වැඩ භාරගන්නේ 2014දීය. පසුව ඩොනලර්ඞ් ට්‍රම්ප් රජය 2016දී ඇයව එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර ඉන් අනතුරුව ඇය දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර ලේකම්වරිය ලෙස මේ දක්වාම කටයුතු කරනු ලබන්නීය. ඒ අනුව ඇය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් අතර විශේෂ චරිතයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික කේෂ්ත්‍රයේ ප්‍රකටය.
එවැනි තනතුරක් දරන්නියක ආවාට ගියාට ලංකාව වැනි රටකට පැමිණ විපක්ෂ නායක මහින්ද මුණගැසී නැවත ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ නැත. අපට ඇති තොරතුරුවලට අනුව ඇය ආවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ පණිවුඩයක්ද රැගෙනය. විශේෂයෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආගමන, විගමන අංශයද ඇලිස් වෙල්ස් යටතේ පැවැතීම නිසා මෙම පණිවුඩයේ ඇති බරපතළකම හා ප්‍රබල බව වටහා ගැනීමට ඕනෑම කෙනකුට පුළුවන. නමුත් එම පණිවුඩය අදටත් එළියට නොආ රහසක් බවද කිවයුතුමය.
විමල්ලා පොහොට්ටුව වර්ජනයක…
පසුගිය කාලය පුරාම මහින්ද යටතේ සිටින උදය ගම්මන්පිල, විමල් වීරවංශ කොළඹ සිට විශාල යුද්ධයක් කළේ ඇමෙරිකානු හමුදා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හැකි පරිදි රට පාවාදෙන ගිවිසුමක් ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. ලංකාව ඇමෙරිකාවට පාවාදී ඇමෙරිකානු කොළණියක් බවට පත්කරන බවද ඔවුහු කියා සිටියහ. එමෙන්ම ඇමෙරිකාව හා අස්සන් කිරීමට නියමිතව තිබූ සෝෆා හා ඇක්සා ගිවිසුම් වහාම තහනම් කළ යුතු බවත්, යම්හෙයකින් රටේ විරෝධය නොතකා එම ගිවිසුම් අස්සන් කළහොත් සිය රජයක් යටතේ එම ගිවිසුම් අවලංගු කිරීමට පියවර ගන්නා බවටත් ඔවුහු කෑමොර දුන්හ. අන්තිමේදී ,භධ ඹී්, යනුවෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමටද ඔවුහු කටයුතු කළෝය. නමුත් අන්තිමේදී ඇමෙරිකාව සමඟ මෙම ගිවිසුම මුලින්ම අස්සන් කර ඇත්තේ ගෝඨාභය බව හෙළිදරව් වුවද විමල්ලාගේ එම විරෝධයේ අඩුවක් දැකගන්නට තිබුණේ නැත. එසේ නම් ඇමෙරිකාවට එරෙහිව පොහොට්ටුව සමඟ සිටින විමල්ලා, ගම්මන්පිලලා මෙසේ යුද ප්‍රකාශ කරද්දී ප්‍රබල ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් මහින්දව මුණගැසී සාකච්ඡා කරන්නේ මොනවාද? එහිදී ඇය ආණ්ඩුවේ වෙනත් කිසිවකු හෝ මුණනොගැසී මහින්දව පමණක්ම මුණගැසුණේ ඇයි? ඒ සාකච්ඡා කළ තොරතුරු මාධ්‍යවල පළනොවුණේ ඇයි?
අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම හමුවේදී ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ මාතෘකාව පමණක් නොව තවත් විශේෂ කරුණු කිහිපයක්ම මෙහිදී සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ.
මේ අප කිව්වේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් කිරීමට පළමුව තිරය පිටුපස මෙතෙක් හෙළිදරව් නොවූ එක් කරුණක්ය. මේ කියන්නට යන්නේ ගෝඨාභය නම් කළ දින තිරය පිටුපස සිදුවූ මාධ්‍යයෙන් හෙළි නොකළ තවත් රසවත් සිදුවීම්ය. මෙහි පළමු සිදුවීම වූයේ විමල් මුල්කරගෙනය. කාලයක් තිස්සේ විමල් හා පොහොට්ටුවේ නිර්මාතෘ මෙන්ම, මහමොළකරු වූ බැසිල් අතර කිසියම් දේශපාලන විරසකයක් ඇති බව රහසක් නොවේ. මේ නිසාම පොහොට්ටුව සමඟ මුල් වටයේදී පක්ෂ 10ක් සන්ධානගතවීමේ උත්සවය පවා වර්ජනය කිරීමට විමල්, ගම්මන්පිල ඇතුළු අනෙකුත් සුළු පක්ෂ කටයුතු කළේ ඒ සඳහා සහභාගි වන ලෙසට ඔවුන්ට ආරාධනා කර තිබියදීය. එහිදී විමල්ලාගේ තර්කය වී තිබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමඟ සන්ධානගතවීමෙන් පසුව මෙම සුළු පක්ෂ සමඟ සන්ධානගත විය යුතු යැයි කියාය. එය එසේ නොවූ නිසි විමල්ලා ඊට විරෝධය පළ කළේ අදාළ උත්සවය වර්ජනය කිරීමෙන්ය.
විමල්ගෙන් බැසිල්ට ඩිස්කෝ ඩාන්සර්…
කෙසේ වෙතත් පසුගිය ඉරිදා පැවැති ගෝඨාභය අපේක්ෂකයා වශයෙන් එළිදක්වන උළෙල ඉතා ගරු ගාම්භීර අයුරින් සංවිධානය කිරීමට එහි ප්‍රධානියා වූ බැසිල් පියවර ගෙන තිබිණි. දේශීයත්වයට මුල්තැන දෙමින් ප්‍රධාන තේමාවක් ඔස්සේ සියල්ල නූලට, තිතට සංවිධාන කළ බැසිල් සුගතදාස ක්‍රීඩාංගණයේ පහළ මාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පක්ෂ නායකයන්ට සහ මහා සංඝරත්නයට වෙන් කිරීමට වගබලා ගත්තේය. ඉහළ මාලය සම්පූර්ණයෙන්ම පළාත් පාලන සහ පළාත් සභා නියෝජිතයන්ට වෙන් කිරීමට වගබලාගත් බැසිල්, ඒ සියලු දෙනාටම ලිපි යවමින් දැනුම් දී සිටියේ පැමිණෙන සියලුම දෙනා එක්කෝ ජාතික ඇඳුමින් හෝ සිය මන්ත්‍රි ඇඳුමින් හෝ යුරෝපීය ඇඳුමින් උත්සවයට සහභාගි විය යුතු බවකි. ඒ හරහා බැසිල්ට අවශ්‍යව තිබුණේ උත්සවයේ ගරු ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරීමටය. බැසිල්ගේ මෙම උපදෙස් පිළිපදිමින් උත්සවයට සහභාගි වූ සියලුදෙනා ජාතික ඇඳුමින් හෝ සභාවට අඳින මන්ත්‍රි ඇඳුමින් හෝ යුරෝපා ඇඳුමින් සැරසී උත්සවයට සහභාගි වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ. නමුත් එක් අයකු පමණක් බැසිල්ගේ මේ උපදෙස් තුට්ටුවකට මායිම් නොකර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව පසුගිය කාලය පුරාම බැසිල් සමඟ දේශපාලන ආරෝවකින් සිටින විමල් වීරවංශය. සාමාන්‍යයෙන් විමල් යනු ඕනෑම උත්සවයකට කැපී පෙනෙන ආකාරයකට, පිළිවෙළකට හැඳ පැළඳගෙන යන පුද්ගලයකු වුවද එදින විමල් ගෝඨා ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන මෙම උත්සවයට පැමිණ සිටියේ හරියට ඩිස්කෝ ඩාන්සර් නැටුමකට සහභාගි වන නැට්ටුවකු ආකාරයටය. එසේත් නැත්නම් පරණ ඩෙනිම් කලිසමකට අත්කොට නිල් පැහැ ඩෙනිම් කමිසයක් හැඳගෙනය. මුල්පෙළේ ආසනයකම මෙම ඇඳුම හැඳ විමල් සිටීම නිසා අන් අයගෙන් කැපී පෙනෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් අනෙක් සියලුම දෙනාම සුදුසු ඇඳුමකින් සැරසී සිටියදී විමල් මෙසේ ඩෙනිමක් හැඳ පැමිණ නොකියා කීවේ තමන් පොහොට්ටුවේ බැසිල්ගේ තීන්දු පිළිගැනීමට සූදානම් නැති බවකි. එසේම සජීවී විකාශය අතරදී විමල්ගේ මුහුණින්ද පළවූයේ බොහෝම අස්වාභාවික කේන්තියෙන් පිරී තිබුණු ඉරියව්ය.
ගෝඨාට විමල්‌ගෙන් මන්ත්‍රී කිට් එක…
ගෝඨාභය එළිබසින ප්‍රධාන උළෙලේදීම විමල් මෙසේ ඇඳගෙන පැමිණ සිටීමෙන් බැසිල්ට අනියමින් විරෝධය පළකළ ආකාරය හොඳින්ම දැකගන්නට ලැබුණේ ඊට පැය කිහිපයකට පසු පැවැති අනෙකුත් උත්සවයේදීය. එනම් අපේක්ෂකත්වය ලැබීමෙන් පසු ගෝඨාභය සහභාගි වූ පළමු ආශීර්වාද ලබාගැනීමේ නිල උත්සවයේදීය. එය කැලණි රජමහා විහාරයේ සංවිධාන කර තිබූ අතර පෞද්ගලිකවම විමල්ට ආරාධනාවක් කළ ගෝඨාභය ඊටද සහභාගි වන ලෙස දැනුම් දී සිටියේය. මුල් උත්සවයට පරණ ඩෙනිමක් හැඳ පැමිණි විමල් මෙම උත්සවයට ආවේ තමන්ට සුපුරුදු පාර්ලිමේන්තු මන්ත්‍රි ඇඳුම හැඳ කොණ්ඩය පීරා ඉතා පිළිවෙළටය. ඒ හරහා විමල් නොකියා කියා සිටියේ තමන් වැඩ කරන්නේ ගෝඨාගේ උපදෙස්වලට අනුව බවත්, බැසිල්ගේ උපදෙස්වලට අනුව නොවන බවත්ය.
මීට අමතරව පොහොට්ටුව සමඟ සන්ධානගතවීමට අස්සන් තැබීම ප්‍රතික්ෂේප කළ විමල්, උදය, වාසු, දිනේෂ්, ඩිව්, තිස්ස ඇතුළු කණ්ඩායම මේ වන විට තවත් අලුත් තීන්දුවක්ද ගෙන තිබේ. ඒ, පොහොට්ටුව සමඟ ඉදිරියට කිසිදු ගිවිසුමක් අස්සන් නොකිරීමටය. පසුගිය දින කිහිපය තිස්සේම තැන් තැන්වල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ මෙම කණ්ඩායම අවසානයේදී ගෝඨාභය සමගද ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්හ. ඒ අනුව මෙම සාකච්ඡාවලදී ඔවුන් තීන්දු කර ඇත්තේ ගෝඨාභය ආශිර්වාද ලබාගැනීම සඳහා රට පුරා ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ගෝඨාභය “ජාතික අපේක්ෂකයා” බවට නම්කොට ඔහුත් සමග ඍජුව ගිවිසුම් අස්සන් කිරීමටය. ඒ හරහා විමල්ලාගේ අරමුණ වී ඇත්තේ පොහොට්ටුව සහ එහි ව්‍යවස්ථාව මඟහැර වෙනම කණ්ඩායමක් සේ ක්‍රියා කිරීමටය. අනෙක් අතට පොහොට්ටුවේ සාමාජිකත්වය නොගෙන සිටීමය. අවසන් වරට ගෝඨාභය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන් ගෝඨාභයට දැනුම්දී ඇත්තේ ඔහුටද පොහොට්ටුවේ සාමාජිකයකු ලෙස පෙනී නොසිට ජාතික අපේක්ෂකයකු ලෙස පෙනී සිටින ලෙසටය. එවිට ඔවුන්ටද ජාතික අපේක්ෂකයා ලෙස ගෝඨාභය සමඟ වෙන වෙනම ගිවිසුම් අස්සන් කිරීම පහසුවක් බව එම පිරිස ගෝඨාභයට දැනුම්දී තිබේ. ඔවුන්ගේ මෙම ඉල්ලීම ගෝඨාභය පිළිගත්තාද නැද්ද යන්න කීමට තොරතුරු නැතත් තවමත් ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් බවක් නම් දැනගන්නට නැත.
චමල් අතුරුදන් වෙයි…
කෙසේ වෙතත් අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු ගෝඨාභය සිදුකළ පළමු කතාව සම්බන්ධයෙන්ද මේ වන විට දේශපාලන කේෂ්ත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුවී තිබේ. බොහෝදෙනා එම කතාවේදී අඩුම වශයෙන් ගෝඨාභයට දේශපාලනයට පැමිණීමට පොහොට්ටුව නිර්මාණය කර වේදිකාව සකස් කර දුන් එහි මහමොළකරුවා වූ බැසිල්ට වචනයකින් හෝ ස්තුති කිරීමට ගෝඨාභය කටයුතු නොකිරීම පිළිබඳව කිසියම් විවාදාත්මක අදහස් පළකළ ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම මෙම උත්සවයේදී පොහොට්ටුව නිර්මාණය කිරීම සඳහා බැසිල් ගත් වෙහෙස මහන්සිය සහ කළ කැපකිරීම සම්බන්ධයෙන් වාර්තාමය වැඩසටහනක් විකාශය කර තිබියදීත් ඊට ගෝඨාගෙන් කිසිදු ස්තුතියක් පළ නොවීමද මහත් ආන්දෝලනයට තුඩුදී ඇති කරුණක් බවට පත්ව තිබේ. එය විමල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව කීමට තොරතුරු නැතත් මේ වන විට විමල්ලා හදන්නේ ගෝඨාභය හා පොහොට්ටුව අතර ගැටුමක් ඇතිකොට ගෝඨාභය සිය කණ්ඩායමට නතුකර ගැනීමටද යන්න සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇත.
දෙරණෙන් රතිඤ්ඤා නියෝගයක්…
මීට අමතරව ගෝඨාභය අපේක්ෂකයා බවට නම්කිරීමෙන් පසුව පැවැති බොහෝ උත්සවවලට චමල් රාජපක්ෂ මහතා සහභාගි නොවීම සම්බන්ධයෙන්ද මේ වන විට පොහොට්ටුව ඇතුළේ විශාල කසුකුසුවක් මතුව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. ගෝඨා අපේක්ෂක කරන ලෙසට බොහෝ දෙනා මහින්දට කියා සිටියද දිනේෂ්, වාසු වැන්නවුන් කෙළින්ම මහින්දට කියා සිටියේ අපේක්ෂකත්වයට නියම සුදුස්සා ගෝඨාභය නොව චමල් යැයි කියාය. චමල් නම්කළහොත් සියලුදෙනා එක පිලකට ගත හැකි බවද දිනේෂ්, විසු මහින්දට පෙන්වා දී තිබිණ. නමුත් අවසානයේදී චමල් කපා අපේක්ෂකත්වය ගෝඨාභයට ලබාදීමට මහින්ද පියවර ගත්තේය. ඒ අනුව සුගතදාස ක්‍රීඩාංගණයෙන් පසුව චමල් නැවත දැකගැනීමට හැකි වූයේ ඊට දින කිහිපයකට පසුව කතරගමදීය. චමල්ට අමතරව නාමල්, යෝශිත, රෝහිතද ගෝඨාගේ පසු උත්සවවලට සහභාගි නොවුණු අතර බැසිල්ද කැලණියේ පැවැති පළමු ආශීර්වාද උත්සවයට සහභාගි වී සිටියේ නැත. නමුත් බැසිල් නුවර පැවැති උත්සවයට සහභාගි වී සිටි ආකාරයක් පසුව දැකගන්නට ලැබිණ. ඒ කොයිහැටි වෙතත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකුගේම මුහුණු ගෝඨාගේ පිළිගැනීමේ උත්සවවලදී දැකගන්නට නොතිබීම මේ වන විට පොහොට්ටුව ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.
මීට අමතරව උත්සවය පැවැති දිනයේ කිසිවකුටත් නොතේරුණු තවත් සිදුවීමක් සිදුවිය. ඒ ගෝඨාගේ නම ප්‍රකාශයට පත්කරන විටම රතිඤ්ඤා පත්තු කරන ලෙසට කර තිබූ නියෝගයක් පිළිබඳවය. මෙවැන්නක් සිදුකරනවා නම් නිල වශයෙන් ඊට නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයෙන් උපදෙස් නිකුත්විය යුතු වුවත් එවැන්නක් කරන ලෙසට පොහොට්ටුවෙන් සිය පක්ෂ නියෝජිතයන්ට කිසිදු අවස්ථාවක නියෝගයක් හෝ උපදෙසක් නිකුත් කර නොතිබිණ. නමුත් එසේ තිබියදීත් දිලිත් ජයවීරගේ දෙරණ නාලිකාව සමුළුවට දින දෙකක් තියා ප්‍රවෘත්තියක් විකාශය කරමින් කියා සිටියේ සමුළුවේදී ගෝඨාභය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම්කරනු ඇති බවත්, ඒ අනුව ගෝඨාභයගේ නම ප්‍රකාශ වන විටම සියලු නගරවල අලුත් අවුරුදු දිනවලදී මෙන් රතිඤ්ඤා පත්තුකොට කිරිබත් කා ප්‍රීතිඝෝෂා නැඟිය යුතු බවත්ය. නමුත් පක්ෂ කාර්යාලයෙන් නිල වශයෙන් එවැනි උපදෙසක් නිකුත් වී නොතිබීම නිසා දෙරණ නාලිකාවේ උපදෙස් මත තැන් කීපයක පමණක් එසේ රතිඤ්ඤා පත්තු වුවද රටේ බොහොමයක් තැන්වල එසේ රතිඤ්ඤා පත්තුවීමක් සිදුවූයේ නැත. ඒ සම්බන්ධයෙන් පසුව ගෝඨාභයගේ කණ්ඩායම සොයා බලද්දී ඔවුන්ටද දැනගන්නට ලැබුණේ දෙරණින් පමණක් එවැනි නිවේදනයක් නිකුත් කර ඇති බවත්, පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් එවැනි නිවේදනයක් නිකුත් වී නැති බවත්ය.
එමෙන්ම ඉරිදා පැවැති මෙම සමුළුවට සහභාගි වූ පොහොට්ටුවේ නියෝජිතයන් බොහෝදෙනකුම බලාපොරොත්තු වූයේ සිය ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය කිසියම් ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකරනු ඇති බවකි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වූ නිල ලියවිල්ලක් සමුළුවට ඉදිරිපත් කරනු ඇති බවක්ද ඔවුහු බලාපොරොත්තු වූහ. නමුත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොවීම පිළිබඳවද මේ වන විට පාක්ෂිකයන් තුළ ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. එම ප්‍රශ්නාර්ථය වඩාත් දෙගුණ තෙගුණ වූයේ ගෝඨාට අපේක්ෂකත්වය ලබාදී දින තුනක් යෑමටත් මත්තෙන් ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම් දැක්වෙන 2019 වසරේ දෙවැනි කාර්තුවට අදාළ ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රාර් ලේඛනයේද ගෝඨාගේ නම ඇතුළත්ව නොතිබීම නිසාය. මාස තුනකට වරක් මෙම නාමලේඛනය ඇමෙරිකානු රජය මඟින් නිකුත් කරන අතර බොහෝදෙනා බලාපොරොත්තු වූයේ ගෝඨාගේ නම මෙවර හෝ ලැයිස්තුවේ ඇතුළත් වනු ඇතැයි කියාය. ඒ අනුව අදාළ ලේඛනයේ නම නොමැති වීම හරහා ගෝඨාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පැනනඟින නමුත් ගෝඨාගේ පාර්ශ්වය කියා සිටින්නේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ සියලුම ලේඛන මේ වන විට ගෝඨාභයගේ අතට ලැබී ඇති බවකි. එම කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු නැතත් දෙස් විදෙස් මාධ්‍යවේදීන් නම් මේ වන විට සූදානමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමටය. ඒ අනුව අපේක්ෂකත්වය ලබගැනීමෙන් පසු ගෝඨා විසින් පවත්වනු ලබන පළමු මාධ්‍ය සාකච්ඡාව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව මෙහිදී නොකියාම බැරිය.
සජිත් සන්ධානය කඩාකප්පල් කරයි…
මේ සියලු කරුණු කාරණා හෙළිදරව් කරමින් අප කියා සිටියේ ගෝඨාභයගේ රැස්වීමේ සිදුවුණු දෑය. නමුත් දැන් කියන්නට යන්නේ ගෝඨාභයගේ රැස්වීමෙන් පසු දින එනම් සඳුදා දින (12දා) බදුල්ලේ විල්ස්පාක් ක්‍රීඩාංගණයේ පැවැති සජිත්ගේ රැස්වීම පිළිබඳවය. මේ රැස්වීම පැවැත්වීම සඳහා මූලිකත්වය ලබාදුන්නේ බදුල්ලේ එජාප ප්‍රබලයා වන හරීන් ප්‍රනාන්දුය. ඒ අනුව සජිත්ගේ පාර්ශ්වය රට පුරාම පෝස්ටර් ගසමින් මෙම රැස්වීම පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාදීමටද කල්තියාම පියවර ගෙන තිබිණ.
පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අවසන් වතාවට රනිල් සහ සජිත් අතර පැවැති සාකච්ඡාවේදී සන්ධානය ගොඩනැඟීම පිළිබඳව කිසියම් එකඟතාවයකට පැමිණි ආකාරය අනාවරණය කර සිටියේය. සාකච්ඡාවෙන් අනතුරුව රනිල්ද මේ බව සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයන් වෙත දැනුම්දුන් අතර සජිත්ද තමාට හිතවත් කණ්ඩායමට දැනුම් දී සිටියේ සන්ධානය ගොඩනැඟීම සම්බන්ධයෙන් දෙදෙනා අතර එකඟතාවක් ඇතිවූවා කියාය. යම් හෙයකින් සන්ධානය ගොඩනැඟීම බිඳවැටුණහොත් එය කඩාකප්පල් කිරීමේ චෝදනාව තම කර පිට පැටවෙනු ඇති බවද මෙහිදී සජිත් පිරිසට කියා සිටියේය.
නමුත් සිකුරාදා (09දා) වන විට සජිත්ට විවිධ පාර්ශ්වයන්ගෙන් විශාල බලපෑමක් එල්ලවන්නට පටන්ගත් අතර ඉන් කියැවුණේ මෙසේ සන්ධානයට සජිත්ව එකඟ කරවා ගැනීම රනිල්ගේ තවත් එක් දේශපාලන ගුණ්ඩුවක් බවත්, වහාම ඊට තමන් එකඟ නැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසත්ය. සන්ධානය බිහිකරලීමට ප්‍රථම එජාප අපේක්ෂකයා නම් කළ යුතු බව ප්‍රකාශ කරන ලෙසටද එහිදී වැඩිදුරටත් කියැවිණ. නමුත් සජිත් ඊට අදිමදි කරමින් කියා සිටියේ තමන් සාකච්ඡාවලදී ඊට එකඟතාවය පළකොට එළියට පැමිණ මාධ්‍යවලට වෙනත් කතාවක් කීමට නොහැකි යැයි කියාය. එවිට තමන් සන්ධානය කඩාකප්පල් කළ බවට වූ චෝදනාවට හසුවන බවද සජිත් සිය පිරිසට කියා සිටියේය. නමුත් සජිත් මේ වන විට කිසියම් සීමිත පිරිසකගේ සිරකරුවකු බවට පත්ව සිටින්නේද යන සැකය මතුවන්නේ ඉන් අනතුරුව සජිත් කටයුතු කළ ආකාරය දෙස බලන විටය. නොඑසේ නම් සජිත්ට සිදුවූයේ එම පිරිසගෙන් එල්ල වූ දැඩි පීඩනය ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකොට සන්ධානය ගොඩනැඟීම සම්බන්ධයෙන් ලිඛිත නිවේදනයක් නිකුත් කිරීමටය. එහිදී සජිත් කියා සිටියේ සන්ධානයක් පිහිටුවීමට තමන් 100%ක් පමණ නොව සියයට ලක්ෂ වාරයක් එකඟ නමුත් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව යැයි කියාය.
බදුල්ලේ පොඩිම ග්‍රවුන්ඩ් එක…
සජිත්ගේ මේ නිවේදනයත් සමඟ බිහිකරලීමට තිබූ සන්ධානය නැවත වතාවක් අතරමග කඩාවැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ හරහා රනිල් පරාජය කළ බවට වූ මතය රටට පෙන්වමින් සඳුදා දින බදුල්ලේ පැවැත්වීමට තිබූ සජිත්ගේ රැස්වීමට යම් ශක්තියක් ලබාගැනීමේ අරමුණක් කාට හෝ තිබුණු බවක්ද එහිදී දැකගන්නට ලැබිණ.
සඳුදා සජිත්ගේ බදුල්ලේ රැස්වීම පැවැතියේ මෙවැනි පසුබිමක් යටතේය. ගෝඨාභයගේ රැස්වීමේදී මෙන්ම මෙහිදීද කැපී පෙනන සිදුවීම් කිහිපයක්ම සිදුවූ බව නොකියාම බැරිය.
මෙම රැස්වීම පැවැති විල්ස් පාක් ක්‍රීඩාංගණය බදුල්ලේ ඇති අනෙකුත් ක්‍රීඩාංගණ හා ගත් කල ඉතාම කුඩා එකකි. බදුල්ලේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණ තුනක් ඇති අතර එම ක්‍රීඩාංගණ තුනම විල්ස්පාක් ක්‍රීඩාංගණයට වඩා අති විශාල ඒවාය. හරියටම කියනවා නම් විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ ඇත්තේ පර්චස් 148කි. එනම් එම ප්‍රමාණය අක්කරයකටත් වඩා අඩුය. ඒ අනුව සජිත්ගේ රැස්වීම සඳහා බදුල්ලේ මෙම කුඩාම ක්‍රීඩාංගණය තේරාගත් හරීන් එහි දැවැන්ත වේදිකා තුනක් ඉදිකිරීමටද පියවර ගත්තේය. ඉන් එකක් සජිත් ඇතුළු විශේෂ පුද්ගලයන්ටය. අනෙක ප්‍රභූ පුද්ගලයන්ටය. ඊළඟ එක මහ සඟරුවනටය. තැනින් තැන ඉදිකර තිබූ මේ වේදිකා තුන මුල්කරගෙනද ඉතා විශෘල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයෙන් අහිමි වී ගොස් තිබිණ. ඉතිරි කොටසේ උපරිමය දැම්මද අපට ඇති තොරතුරුවලට අනුව එහි දැමිය හැක්කේ පන්දහසකට ආසන්න පිරිසකි. එම පන්දහස ගෙන්වීමට හරීන් ඇතුළු කණ්ඩායම බදුල්ල හා අවට දිස්ත්‍රික්කවලින්ද, පිට පළාත්වලින්ද බස් රථ විශාල ප්‍රමාණයකින් පාක්ෂිකයන් රැගෙන ඒමට කටයුතු කර තිබෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම පුත්තලම, කෑගල්ල, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවලින් පවා බස් රථ පැමිණ තිබූ අතර වැඩිම ප්‍රමාණයක් ගෙන්වා තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. අඩුම බස් රථ ප්‍රමාණය වාර්තා වූයේ ඊට අල්ලපු දිස්ත්‍රික්කය වූ මොනරාගලිනි.
ගැහුවේ සුජීව විතරයි…
මෙහිදී සඟරුවන වෙනුවෙන් ඉදිකර තිබූ වේදකාවේ ස්වාමීන් වහන්සේලා 28 නමක් අසුන්ගෙන සිටියහ. ගල උඩ පන්සලේ හිමිනමක විසින් පිරිස පංචශීලයේ පිහිටවනු ලැබීය. කෙසේ වෙතත් උත්සවයට පැමිණ තිබූ එක්තරා හිමිනමක සම්බන්ධයෙන් මෙහිදී විශාල ආන්දෝලනයක් මතුව තිබූ අතර බොහෝ දෙනා කියා සිටියේ මෙම හිමිනමට එරෙහිව නඩු 18ක් අධිකරණය හමුවේ පවතින බවත්, ඇතැම් චෝදනාවලට වැරැදිකරු බවට පත්කරමින් අධිකරණ තීන්දු පවා ලැබී ඇති බවත්ය.
කෙසේ වෙතත් එජාපයේ අතිබහුතරයක් මන්ත්‍රිවරුන් සජිත්ගේ මේ කළඑළි බසින බදුල්ලේ මංගල රැලියට සහභාගි වන බව කියා සිටියද ඇත්තටම ඊට සහභාගි වී තිබුණේ අනූවකට ආසන්න එජාප මන්ත්‍රිවරුන්ගෙන් 18 දෙනකු පමණක් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එසේ පැමිණ සිටි 18 දෙනා වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර, රන්ජිත් අළුවිහාරේ, වසන්ත අළුවිහාරේ, වසන්ත සේනානායක, අශෝක් අබේසිංහ, එරාන් වික්‍රමරත්න, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, රවී සමරවීර, වඩිවේල් ෂුරේෂ්, ආනන්ද කුමාරසිරි, අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, මනුෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, දිලිප් වෙදආරච්චි යනාදීන්ය. පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමෙන් පසුව ආගමික ස්ථානවලට යෑමේදී ගෝඨාට විශාල ජනතා ප්‍රතිචාරයක් හිමිව තිබූ අවස්ථාවක සජිත් වෙනුවෙන් පැවැත්වූ මෙම රැස්වීමේ ප්‍රධාන කථිකයක් බවට පත්ව සිටියේ රන්ජිත් මද්දුමබණ්ඩාරත්, රවී සමරවීර, හරීන් ප්‍රනාන්දු හා සුජීව සේනසිංහත්ය. නමුත් රන්ජිත්, රවී හා හරීන් යන තිදෙනාගේම කතාවලට එතරම් ජනතා ප්‍රතිචාරයක් හිමි නොවීම විශේෂ සිදුවීමක් විය. වරෙක හරීන්ගේ කතාව අතරතුරදී තමන්ට අත්පුඩියක් ගසන්න යැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටීමට තරම් පහළ මට්ටමක එම කතා පැවතුණි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබුණේ ගෝඨාභයව පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම්කර තිබියදී පවා ගෝඨාට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට පාක්ෂිකයන් සිතා සිටියත්, රන්ජිත් හෝ රවී හෝ හරීන් පමණක් නොව සජිත්ගේ කතාවේදී පවා ගෝඨාට එවැනි ප්‍රහාරයක් එල්ල නොවීමය. නමුත් මේ හතරදෙනාටම වඩා විශාල ප්‍රතිචාරයක් නැතහොත් දැවැන්ත අත්පොළසන් නාදයක් හිමිවූ කථිකයෙක්ද මේ වේදිකාවේ සිටියේය. ඒ වෙන කවරුවත් නොව සුජීව සේනසිංහය. ප්‍රධාන කථිකයකු වුවද පසුගිය සමයේ සුජීව තරමක් නිහඬව සිටියේ ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට ඇලෝසියස්ගේ හිතවතකු ලෙස ඔහුගේ නමද ගෑවී තිබුණු නිසාය. මේ නිසාම සමහරුන් කීවේ සුජීවට යළිත් කොළඹින් දිනන්න පවා නොහැකි වනු ඇතැයි කියාය. පසුගිය කාලේ සුජීවද සිටියේ එම කීම පිළිගත්තා හා සමානවය. නමුත් එදින සජිත්ගේ වේදිකාවේ සුජීව කළ කතාවට පාක්ෂිකයන්ගෙන් හිමිවූයේ සිතා ගැනීමටවත් නොහැකි තරමේ අති දැවැන්ත අත්පොලසන් නාදයකි. ඊට හේතු වූයේ අනෙක් සියලු දෙනාම ගෝඨාභය මඟහැර කතා කරද්දී සුජීව පමණක් එජාපයේ ලොකුම ප්‍රතිවාදියා බවට මේ වන විට පත්ව සිටින ගෝඨාභයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමය. අනෙක් අය ගෝඨාට ඇති බයට හෝ ගෝඨාත් සමග ඇති හිතවත්කම නිසා නිහඬව සිටියද සුජීව ඒ කිසිවක් මායිම් නොකොට ගෝඨාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ පාක්ෂිකයන්ගේ දැවැන්ත අත්පොලසන් හඬ මැද්දේය.
සජිත්ගේ සින්දුවට මද්දුමබණ්ඩාරගෙන් බාල්දියක්…
පසුගිය කාලසීමාවේදී හරීන්ද සිටියේ සුජීව හා සමානවම පාක්ෂිකයන්ගේ අප්‍රසාදයට ලක්වය. හරීන් මෙසේ අප්‍රසාදයට ලක්වූයේ මහින්දව වර්ණනා කරන්නට ගොස්ය. එහිදී හරීන් කියා සිටියේ පසුගිය කාලයේ ක්‍රීඩාවට ප්‍රේමදාසගෙන් පසුව වැඩිම මෙහෙයක් කළේ මහින්ද යැයි කියාය. නමුත් එහිදී හරීන් ක්‍රීඩාවට වැඩිම මෙහෙයක් කළ ගාමිණී දිසානායකගේ නම වුවමනාවෙන්ම අමතක කිරීම පිළිබඳව පාක්ෂිකයන්ගෙන් එල්ල වී තිබුණේ විශාල විරෝධයකි. අනෙක් පැත්තෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති තිලංග සුමතිපාල සමඟ මෑතක සිට හරීන් ඇතිකරගෙන ඇති ඇයිහොඳයියද පාක්ෂිකයන්ගේ විරෝධයට විශාල හේතුවක්ව තිබේ. මේ නිසා හරීන්ටද එදින පාක්ෂිකයන්ගෙන් යහපත් ප්‍රතිචාර එල්ල නොවීම විශේෂ සිදුවීමකි.
අප රාජ්‍ය රහස් තීරය ආරම්භයේදී ගෝඨාගේ රැලියේ කිසිවකුත් නොදුටු අඩුපාඩු පෙන්වූවා සේ බදුල්ලේ සජිත්ගේ රැලියේදීද සිදුවූ එවැනි අඩුපාඩුකම් පෙන්වාදීමට සූදානම්ය. එහිදී දැකගන්නට ලැබුණු ප්‍රධානම දේ වූයේ ගෝඨාගේ සුගතදාසයේ රැලිය සහ සජිත්ගේ බදුල්ලේ රැලිය දෙස බලන විට ඒ දෙක සංවිධානය කර තිබූ ආකාරයය. ගෝඨාගේ සුගතදාසයේ රැලිය උගත්, බුද්ධිමත්, වියත් ආකාරය විදහා දැක්වෙන අයුරින් සංවිධානය කර තිබුණද සජිත්ගේ බදුල්ලේ රැලිය කිසිම සැලැසුමක් නැතිව, ගැලරිය පිනවන ආකාරයේ පපරබෑන්ඞ් සංදර්ශනයක් බවට පත්ව තිබිණ. එහි කිසිදු ජාතික සහ වැදගත් පෙනුමක් දැකගන්නට නොලැබුණු අතර සාමාන්‍ය සංගීත සංදර්ශනයක් පවත්වන ආකාරයට වේදිකාව සකස් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
හරීන් මෙය සංවිධානය කරද්දී සෙන්ටිග්‍රේට්ස් වාදක මණ්ඩලය ගෙන්වීමට සැලැසුම් කර තිබුණද සජිත් කියා සිටියේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම රැගෙන එන ලෙසටය. ඊට හේතුවූයේ රැස්වීමෙන් පසු පාක්ෂිකයන් ඉදිරියේ සින්දු කීමට සජිත්ගේ තිබූ ආශාවය. සාමාන්‍යයෙන් ඕනෑම රැස්වීමකදී වාදක මණ්ඩලයක් වේදිකාවේ සිටින්නේ නම් තැන නොතැන බලා ගීත කිහිපයක් ගායනා කිරීම සජිත්ගේ සිරිතය. මේ නිසාම බදුලු වේදිකාවේදීද සජිත්ව අවශ්‍යව තිබුණේ ෆ්ලෑෂ්බැක් සමඟ මධ්‍යම රාත්‍රිය වන තෙක් ගීත ගායනා කිරීමටය. රැස්වීමෙන් පසු සජිත් ඒ සඳහා සූදානම් වෙද්දී ඊට දැඩි විරෝධය පළ කළේ රන්ජිත් බද්දුමබණ්ඩාරය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස රන්ජිත් කියා සිටියේ එය කිසිසේත්ම සිදු නොකරන ලෙසත්, එවැන්නක් කළහොත් සජිත් විහිළුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්ය. ඊට පසු දින විපක්ෂයෙන් එජාපයේ ජනපති අපේක්ෂකයා වේදිකාවේ සින්දු කියන්නකු බවට මඩ ගසනු ඇති බවද රන්ජිත් කියා සිටියේය. නමුත් රන්ජිත්ගේ මේ කතාව ප්‍රතිකේෂ්ප කර සජිත් ගීත ගායනා කිරීමට සූදානම් වුවද එය වැළකී ගියේ නැවතත් රන්ජිත් දැඩි තර්ජනාත්මක ලෙසට කළ ප්‍රකාශයත් සමඟය. එහිදී රන්ජිත් කියා සිටියේ එවැන්නක් කළහොත් තමන් වේදිකාවෙන් බැස පිටව යනවා යැයි කියාය. දැන්වත් සජිත් පරිණත, ජ්‍යෙෂ්ඨ ජාතික මට්ටමේ නායකයකු ලෙස කල්පනා කිරීමට, වැඩ කිරීමට සහ කතා කිරීමට පටන්ගත යුතු බවද රන්ජිත් එහිදී දැඩිව කියා සිටියේය. ඒ අනුව අවසානයේදී සජිත්ට සිදුවූයේ අකැමැත්තෙන් හෝ ගීත ගායනා නොකිරීමටය.
කළු ඇන්දේ අසුබ නිමිත්තකටද?
මීට අමතරව සියල්ලන්ගේම ඇස් නළලේ රැන්දූ සිද්ධියක් සහ සියලුම දෙනාගේ කතාබහට ලක්වූ කාරණාවක් වූයේ සජිත් මේ රැස්වීමට ඇඳගෙන ආ ඇඳුමය. සාමාන්‍ය සිංහල සංස්කෘතියේ සහ සිංහල ජන සමාජයේ පවතින විශ්වාසයක් වන්නේ කිසියම් සුබ කටයුත්තකදී කළු පැහැයට හුරු ඇඳුම් පැලඳුම් නොඇඳ සිටීමය. නැතිනම් සිංහල සංස්කෘතිය තුළ කළු පැහැය සාමාන්‍යයෙන් සැලකෙන්නේ අසුබ පැහැයක් ලෙසටය. කතෝලික සංස්කෘතිය තුළ කළු පැහැ ඇඳුම් අඳින්නේ අවමංගල උත්සවයකදීය. මේ නිසාමදෝ සජිත් බදුලු රැස්වීම් භූමියට සිය රථයෙන් පැමිණ එළියට බසිද්දී සියල්ලන්ගේම ඇස් උඩ ගියේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා වශයෙන් නම්කරවා ගැනීමේ පළමු රැලිය පැවැත්වෙන උත්සවයට සජිත් කළු ටීෂර්ටයක් සහ සාමාන්‍ය දිග කලිසමක් හැඳ සෙරෙප්පු දෙකක් දමාගෙන පැමිණ තිබීමෙන්ය. වේදිකාව තුළ සිටි සියල්ලන්ම වැදගත් ලෙස හැඳ පැළඳගෙන සිටියදී උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ සජිත් මෙසේ කළු පාට හැඳගෙන පැමිණ සිටීම නිසා සියල්ලන්ගේම මුහුණුවලින් දැකගන්නට ලැබුණේ වචනයෙන් නොකියවුණු දැඩි අප්‍රසාදයකි. ඇතැමුන් වේදිකාවේදීම කියා සිටියේ සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා කුමන උත්සවයකට සහභාගි වුවද ඉතා වැදගත් ලෙස ජාතික ඇඳුම හැඳ කොණ්ඩය නියම ආකාරයෙන් පීරා පැමිණෙන්නකු බවත්, සජිත් මේ ආකාරයෙන් හැසිරීම පියාගේ ප්‍රතිරූපයට පවා හානියක් බවත්ය.
සජිත්ගේ මේ කළු ටීෂර්ටයක් ඇඳීමේ ප්‍රශ්නය තවත් බරපතළ වූයේ එදිනම සවස හෝමාගම රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට සජිත් සහභාගි වුවත් එහිදී සාමාන්‍යයෙන් වෙනදා අඳින පරිදි සිය මන්ත්‍රි ඇඳුම හැ ඳ සජිත් සහභාගි වී සිටීම නිසාය. රනිල් පැමිණි හෝමාගම රැස්වීමේ එසේ සිට ඊට පැය කිහිපයකට පසුව බදුල්ලේ පැවැති රැස්වීමට සජිත් මෙසේ කළු හැඳගෙන පැමිණීම මහා අසුබ නිමිත්තක් බවත්, කිසිවකුගේ හෝ කීම අසා සජිත් එසේ කළාද යන්න පිළිබඳවත් මේ වන විට සජිත් පිලේ බොහෝදෙනා ප්‍රශ්න කරන කාරණයක් බවට පත්ව තිබෙන්නකි.
ඉන්න තැනම නාගනී…
මීට අමතරව සජිත් වේදකාවේ සිටියදී සජිත් කළ ක්‍රියාවක්ද මේ වන විට සජිත් පිලේ බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ. ඒ ජනතාවගේ කර මතින් ඔවුන්ගේ අත් අල්ලාගෙන වේදිකාවට පැමිණි සජිත් වේදිකාවේ අසුන්ගත් තැන සිටම සිය ආරක්ෂක නිලධාරියකු ලවා වතුර බෝතලයක් ගෙන්වාගෙන දෑත් සේදීමට කටයුතු කිරීම පිළිබඳවය. වේදිකාවේ දමා තිබූ බුමුතුරුණුද තෙමීයන පරිද්දෙන් සිය දෙපා ළඟටම වතුර වැටෙන පරිදි එසේ සජිත් දෑත් සේදීම පිළිබඳව ඔහු ආසන්නයේම සිටි සුජීවගේ මුහුණේ තිබුණේද එතරම් ප්‍රියමනාප ගතියක් නම් නොවේ.
කෙසේ වෙතත් සජිත්ගේ මේ මුළු රැස්වීමේදීම එජාපයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගෝඨාට ප්‍රහාර එල්ල කළේ සුජීව පමණක් නිසා දැන් පාක්ෂිකයන් කියන්නේ මෙවැනි ආකාරයට ගෝඨාට පහරනොදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන්නේ කෙසේද යන්න කියාය.
ජරමර අස්සේ රනිල් සජිත් එකට…
කෙසේ වෙතත් බදුල්ලේ රැස්වීමට ප්‍රථම හෝමාගම පැවැති සජිත් – රනිල් එක්වූ රැස්වීම පසුපසද විශේෂ කතාන්දරයක් තිබේ. සජිත්ගේ නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීම සම්බන්ධයෙන් පැවැති මෙම හෝමාගම උත්සවයට පැමිණෙන ලෙසට සජිත් රනිල්ගෙන් දින වෙන්කරවා ගත්තේ මීට මාසයකට පමණ ඉහතදී සිටමය. නමුත් ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සහ සන්ධානය බිහිකිරීම පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම සජිත් හා රනිල් අතර පැවති කඹ ඇදීම් නිසාත්, බදුල්ලේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම නිසාත් සජිත් සිතා සිටියේ එකත් එකටම රනිල් හෝමාගම රැස්වීමට නොපැමිණෙනු ඇතැයි කියාය. ඒ බව තහවුරු කරගැනීම සඳහා සෙනසුරාදා උදේම සජිත් රනිල්ට දුරකතන ඇමැතුමක් ගෙන “හෝමාගම රැස්වීමට ඔබතුමා එන්නෙ නෑ නේද?” යන්න විමසා සිටිද්දී රනිල් කියා සිටියේ ‘නෑ නෑ මම ඒකට දිනය වෙන්කරලයි තියෙන්නෙ. අද මම ඒකට එනවා” යන්න කියාය. නැවත වතාවක් සජිත් ‘නෑ වෙන මොනව හරි වැඩක් තියෙනව නම් කමක් නෑ…’ යනුවෙන් කීවත් රනිල් කියා සිටියේ තමන් ඊට පැමිණෙනවා යැයි කියාය. සජිත් කතා කළ හf`ඞ් ස්වරූපය අනුව තමන් නාවට කමක් නැති බව කියැවුණද දේශපාලනයේ තෙම්පරාදු වී සිටින්නකු වන රනිල් ඒ කිසිවක් ගණන් නොගෙන උත්සවයට පැමිණෙන බව කීවේ ඒ හරහා දෙදෙනා එකට සිටින බව රටට පෙන්වීම සඳහාය.
කෙසේ වෙතත් රනිල් උත්සවයට සහභාගි වන බව ස්ථිර කිරීමත් සමඟ සජිත් බියට පත්වූ ආකාරයක් දැකගන්නට තිබිණ. ඊට හේතු වූයේ බදුල්ලේ රැලිය පවත්වන තෙක් රනිල් මුණනොගැසී ඔහුගෙන් ඈත්ව සිටින ලෙසට සජිත් පිලේ සියලු දෙනාම කර තිබූ දැනුම්දීමය. ඒ අනුව වහාම සිය හිතවතුන්ට කතා කළ සජිත් කියා සිටියේ කලින් යොදාගත් කාලසටහනකට අනුව එදින රනිල් සමඟ නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ කටයුත්තකට සහභාගි වීමට තමන්ට සිදුව ඇතැයි කියාය. රනිල්ද සිය හිතවතුන්ට කතාකොට කියා සිටියේ එම උත්සවයට තමන් එන්නේ නෑ නේදැයි සජිත් තමන්ගෙන් විමසා සිටි බවත්, තමන් ඊට සිනාසෙමින්ම පැමිණෙන බවට පිළිතුරු ලබාදුන් බවත්ය.
ඒ අනුව ඉරිදා දිනයේ සියලුම වෙබ් අඩවි රනිල් – සජිත් එකට සිටින ඡායාරූප පලකිරීමට පියවර ගෙන තිබුණා පමණක් නොව ‘සජිත් රට පුරා ගෙවල් හදනවා’ යැයි කියමින් සජිත්ව අගය කර රනිල් කළ කතාවට වැඩි ඉඩක් ලබාදීමටද කටයුතු කර තිබිණ.
මංගලයි රනිලුයි ගැහිල්ල අරඹයි…
පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමට මහින්ද පියවර ගැනීමත් සමඟ එජාපයේ බොහෝ දෙනකු බියට පත්ව ඔළු හංගා ගනිද්දී ගෝඨාභයට එරෙහිව නොබියව පළමු ප්‍රහාරය එල්ල කළේ එජාප නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහත්, මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීරත්ය. මෙහිදී රනිල් ගෝඨාභය කම්මුතුකරන්නකු ලෙස හඳුන්වා දුන්නේ ඊට පෙර බැසිල් රාජපක්ෂ “අපි ජනාධිපති ඡන්දෙට දාන්නෙ ටර්මිනේටර්වරයෙක්” යැයි කී කතාව උපුටා දක්වමින්ය. රනිල් එහිදී කියා සිටියේ ගෝඨාභය යනු ජනතාවගේ නිදහස කම්මුතු කරන්නකු ලෙසටය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කම්මුතුකරන්නකු ලෙසටය. රටේ ආර්ථිකය කම්මුතුකරන්නකු ලෙසටය. ජී.එස්.පී. ප්ලස් සහනය කම්මුතුකරන්නකු ලෙසටය.
මීට අමතරව රනිල් මෙහිදී රාජපක්ෂලාගේ දේශපාලනය සමාන කළේ කොබෙයියෙකුටය. එහිදී රනිල් කියා සිටියේ තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා යැයි කියාය.
රනිල් හා සමානවම යමින් මංගලද ගෝඨාභයට එරෙහිව පසුගිය සතියේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. මුලින්ම ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ගෝඨාභයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළ මංගල පසුව නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රහාරය දෙගුණ තෙගුණ කිරීමට පියවර ගත්තේය. එහිදී මංගල කියා සිටියේ නඩු විශාල ප්‍රමාණයක් ඇති නමගිය අපරාධකාරයකු ජනාධිපති අපේක්ෂකයකු බවට පත්කිරීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වනවා යැයි කියාය. මංගල මෙසේ ගෝඨාභයට එරෙහිව නිවේදනයක් නිකුත් කළ බවක් හෝ මේ රටේ මාධ්‍ය සඳහන් නොකිරීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය.
සජිත් චම්පිකගේ ගෙදර…
බදුල්ලේ රැස්වීමෙන් කළඑළි බැසීමෙන් පසු සජිත් ඊළඟට කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ලෙස සිටින පුද්ගලයන්ගේ ගෙවල් ගාණේ යෑමය. එසේ සජිත් මුලින්ම ගියේ චම්පිකගේ ගෙදරටය. එසේ ගිය සජිත් චම්පිකට කියා සිටියේ තමන්ට පාක්ෂිකයන්ගෙන් මෙන්ම මන්ත්‍රිවරුන්ගෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට විශාල ඉල්ලුමක් මතුවී ඇතැයි කියාය.
“මට අපේ පාක්ෂිකයන්ගෙනුයි, මන්ත්‍රිවරුන්ගෙනුයි ලොකු ඉල්ලුමක් ඇවිත් තියෙනවා ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා. හැබැයි මම දන්නවා සන්ධානයක් නැතුව අපිට දිනන්න බෑ කියලා. ඒ නිසා සන්ධානයක් හදලා අපි ඔක්කොම එකට එකතු වෙලා කැම්පේන් එක කරමු” යනුවෙන් සජිත් කියද්දී චම්පික ගණන් හිලව් සහිතව පෙන්වා දුන්නේ සන්ධානයක් නැතුව ගියහොත් එජාපයට සිද්ධවන දේ ගැනය. එහිදී නියත වශයෙන් පරාජය වන බව පෙන්වා දුන් චම්පික එසේ නොවන්නට නම් නියත වශයෙන්ම සන්ධානය ඇතිකළ යුතු බවද කියා සිටියේය. එහිදී සියල්ලන්ම එකතු විය යුතු බවත්, එසේ නොමැතිව එක් එක්කෙනා සිය පෞද්ගලික න්‍යායපත්‍ර අනුව යමින් වැඩකළහොත් බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් චම්පික එහිදී සජිත්ට පෙන්වා දුන්නේය. නමුත් මෙහිදී සජිත් කියා සිටියේ වෙනම කතාවකි.
“මෙතැන තියෙන්නෙ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩදෙනෙක්ට ප්‍රශ්නෙ තියෙන්නෙ රනිල් එක්ක. ඒ අය කියන්නෙ රනිල් ඒකාධිපතියෙක් කියලයි. අනෙක් අයට උඩට එන්න දෙන්නෙ නෑ කියලයි. ඉතින් ඒ අයට ඕනෙ රනිල් ඉවත් කරන සටනක් දියත් කරන්න. හැබැයි මගේ නම් පෞද්ගලික මතය රනිල්ට ගාම්භීර විදිහට දේශපාලනයෙන් සමුගන්න අවස්ථාවක් ලබාදිය යුතුයි කියලයි. මොකද මගේ තාත්තට දෝෂාභියෝගය ඉදිරිපත් වෙච්ච වෙලාවෙ රනිල් තාත්තව බේරගන්න වැඩ කළා විතරක් නෙමෙයි. පක්ෂය බේරගන්නත් වැඩ කළා. අපේ අනෙක් අයට තමයි රනිල්ව අයින් කරගන්න වුවමනා වෙලා තියෙන්නෙ.” යනුවෙන් සජිත් කියද්දී චම්පික කියා සිටියේ එය තමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියාය.
“ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕගොල්ලො විසඳගන්න. හැබැයි දැන් ඇවිත් තියෙන්නෙ ජනාධිපතිවරණයක්. එතැනදි අපිට ගහල අවලාද නඟල අපිව පාගගෙන බලහත්කරයෙන් යන්න හදව නම් ඒකට ඉඩ තියන්න අපි සූදානම් නෑ. අපි සැලැසුම් කළේ 5 වැනිදා සන්ධානය හදලා ගෝඨාභයට එරෙහිව දැවැන්ත කම්පේන් එකකට යන්න. හැබැයි ඕගොල්ලො කරපු වැඩෙන් සන්ධානය නැවතුණා. ඒකෙන් දැන් මිනිස්සු වෙන පැතිවලට යන්න අරගෙන. සමහරු ගෝඨාභයත් එක්ක කතා කරන්න පටන් අරන්. ඒකෙන් අපේ මිනිස්සුන්ගෙ මොරාල් එකයි වැටුණෙ. දැන් ආයිමත් මේ තත්ත්වය නැති කරන්න නම් අනිවාර්යෙන්ම විශාල සන්ධානයක් හදලා ඔක්කොම දේශපාලන පක්ෂ එක වේදිකාවට ගන්න ඕනෙ” යනුවෙන් චම්පික සිය ස්ථාවරය කියද්දී චම්පික සමග ගනුදෙනුව බේරා ගැනීම ලෙහෙසි පහසු නොවන බව සජිත්ට වැටහිණ. ඒ අනුව සජිත් කතාව අවසන් කිරීමට කටයුතු කළේ පොඩිපහේ තර්ජනයක්ද සමගිනි.
“මට පක්ෂයෙන් අපේක්ෂකත්වය දෙන්නෙ නැති වුණොත් වෙන පැත්තකින් හරි මට ඡන්දය ඉල්ලන්න සිද්ධ වෙනවා” යනුවෙන් සජිත් කියද්දී චම්පික ඊට උත්තර දුන්නේ තරමක උපහාසය මුසු සිනහවකින්ය.
මේ ආකාරයට චම්පිකගේ ගෙදර යෑමෙන් පසු සජිත් ඊළඟට නැවතුනේ රාජිතගේ ගෙදරය. ඉරිදා දිනයේදී පැවැත්වුණු මෙම හමුව පිළිබඳව කල්තියාම රාජිත රනිල්වත්, සන්ධානයේ සෙසු නායකයන්වත් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති මෙම රැස්වීමේදී සජිත් චම්පිකට කී දේම රාජිතටද කියා සිටියේය. නමුත් රාජිත කියා සිටියේ සජිත් පසුපස සිටින පුද්ගලයන් නිසා බොහෝදෙනකු ඔහුට විරුද්ධ බවකි.
“ඔයාටත් වඩා කට්ටිය විරුද්ධ ඔයාගෙ පිටුපස්සෙ ඉන්න කට්ටියට. මොකද හැමෝම දන්නවා ඔයාගෙ පිටිපස්සෙ ඉන්නෙ කිලී මහරාජයි, ටිරාන් අලසුයි කියල. ඒ දෙන්න ඔයාව හැන්ඞ්ල් කරනව කියලත් හැමෝම දන්නවා.’ යනුවෙන් රාජිත කියද්දී සජිත් කියා සිටියේ තමන් කිලී සහ ටිරාන් කියන දේ කරන්නේ නැති බවකි.
“නෑ ඒගොල්ලෙ කියන දේවල් කරන්න මගේ අදහසක් නෑ. මමත් මේ වැඬේට එච්චර කැමැති නැහැ. මේක දුරදිග යන්න යන්න පක්ෂයට සිද්ධවෙන බලපෑම වැඩියි. අනෙක මේක අපිට දිනන්න පුළුවන් වෙලාවක්. මෙහෙම අපි දෙපැත්තට ඇද්දොත් පක්ෂය කැඩෙන එක වළක්වන්න බෑ. මට බිම් මට්ටමේ ඉන්න අයගෙනුයි, අපේ මන්ත්‍රිවරුන්ගෙනුයි ලොකු ප්‍රෙෂර් එකක් එනව මේකට ඉදිරිපත් වෙන්න කියල.” යනුවෙන් සජිත් කියද්දී රාජිත අවසානයේදී කියා සිටියේ එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත හැකි යැයි කියාය. සජිත්ට සන්ධානයේ නායකයන් කැමැති නම් තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව එහිදී සජිත්ට කියා සිටීමටද රාජිත පියවර ගත්තේය.
ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අරලියගහ මන්දිරයේ ආරම්භ වුණු අතර ඊට රනිල්, හකීම්, කබීර්, සජිත්, දිගම්බරම්, මනෝ, රවී, අකිල, රාජිත, චම්පික සහභාගි වී සිටියහ. මෙහිදී දිගින් දිගටම සාකච්ඡාව ඇදී යද්දී සජිත් පිරිසගේ අවධානයට එක් කාරණාවක් මතු කළේය. ඒ ලබන 20 වැනි දිනට ප්‍රථම මේ ප්‍රශ්නය නිමා කළ යුතු බවත්, එකම දිනකදී සන්ධානය ගොඩනැංවීම සහ අපේක්ෂකයා නම් කිරීම සිදුකළ යුතු බවත්ය. එමෙන්ම අපේක්ෂකයා තේරීම පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව තීරණය කළ යුතු බවද එහිදී කියැවිණ. නමුත් ඒ කිසිදු යෝජනාවකට අවසන් එකඟතාවක් පළවන ආකාරයක් දැකගන්නට නොලැබිණ. කෙසේ වෙතත් මෙහිදී දැකගන්ට ලැබුණු විශේෂ සිදුවීම වූයේ සජිතුත්, කබීරුත් පුන පුනාම 20 වැනි දිනට ප්‍රථම මෙම ප්‍රශ්නය නිමාකරගත යුතු බවට කියා සිටීමය.
ඒ අනුව මොකක්ද මේ 20 වැනි දින ඇති රහස? සජිත් සහ කබීර් 20ට කලින් මේ සියල්ල අවසන් කළ යුතු බව කීවේ ඇයි? එය නැකැත් ප්‍රශ්නයක්ද? එසේත් නැත්නම් එදින විශේෂ දවසක්ද?
රාජ්‍ය රහස් තීරයද පසුගිය සතියේදී මේ 20 වැනි දින ඇති වැදගත්කම ගැන සොයා බැලීමක නිරත විය. එහිදී අපට දැනගන්නට ලැබුණු ආකාරයට මේ 20 වැනි දින ලබාදී ඇත්තේ එජාපයේ නායකයන් විසින් නොව ශ්‍රීලනිපයේ නායකයා විසින් බවය. එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බවය. ඒ හරහා අපට පෙනීගිය කාරණයක් වූයේ මේ වන විට මෛත්‍රි එජාප අර්බුදය තුළට බරපතළ ලෙස මැදිහත් වී ඇති බවත්, එම මැදිහත් වීමෙන් ඔබ්බට ගොස් ඒ පිළිබඳ උපදෙස් ලබාදීමට තරම් කටයුතු දුරදිග ගොස් ඇති බවත්ය. අප මෙය එසේ කියන්නේ ආවාට ගියට නොව ඒ සඳහා සාක්ෂි අතේ තබාගෙනය.
සිය කාම්බෝජ සංචාරයට ප්‍රථම මෛත්‍රි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ තෝරාගත් පිරිසක් කැඳවා දැනුම් දී සිටියේ අලුත් සන්ධානයක් හැදීම පිළිබඳව මහින්ද සමඟ කළ සාකච්ඡා සාර්ථක යැයි කියාය. ඒ සම්බන්ධයෙන් ගිවිසුම් ගැසීම පිළිබඳව සිය කාම්බෝජ සාකච්ඡාවෙන් අනතුරුව නායක මට්ටමේ සාකච්ඡාවකින් පසුව කළ හැකි බවද මෛත්‍රි එහිදී කියා සිටියේය. එසේ සිය මන්ත්‍රි කණ්ඩායමට කී මෛත්‍රි පසුව කාම්බෝජයේ ගොස් සිදුකළේ මීට හාත්පසින්ම වෙනස් කටයුත්තකි. එනම් එහි සිට මෛත්‍රි මුලින්ම කළේ කාලයක් රනිල් සමඟ හිතවත්ව සිට දැන් ඔහුත් සමඟ විරසක වී සජිත්ගේ සමීපතමයකු සේ කටයුතු කරන හිටපු පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සමඟ සාකච්ඡා කිරීමය. මලික්ද ඒ වන විට සිටියේ විදෙස්ගතවය. විදෙස්ගතවීමට ප්‍රථම රනිල්ව මුණගැසුණු මලික් තමන් විදේශගත වන බවත්, ලබන 19 වැනි දින ලංකාවට යළි පැමිණෙන බවත් දැනුම්දීමෙන් අනතුරුව පක්ෂය තුළ දැනට මතුව ඇති අර්බුදය පිළිබඳවද කෙටි කතාබහක නිරතවීමට කටයුතු කළේය. එහිදී මලික් කියා සිටියේ ප්‍රශ්නය නිමා කිරීමට අවශ්‍ය නම් සන්ධාන ව්‍යවස්ථාවට කබීර් විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරන ලෙසටය. එසේ කී මලික් විදෙස්ගත වූ අතර මෛත්‍රිද ඒ වන විට සිටියේ කාම්බෝජයේය. මලිකුත් මෛත්‍රිත් 20 වැනි දිනය තීරණය කරන ගේමට අත තිබ්බේ එසේ විදෙස්ගතව සිටිද්දීය.
ඒ අනුව අවස්ථා තුනකදී පමණ මලික්ට කතා කළ මෛත්‍රි එජාපයේ ප්‍රශ්නය විසඳාගත යුතු ආකාරය පිළිබඳව උපදෙස් රැසක් ලබාදීමට කටයුතු කළේය. එපමණක් නොව අවසන් දුරකතන ඇමැතුමේදී මෛත්‍රි මලික්ට කියා සිටියේ 22ට ප්‍රථම මේ පිළිබඳව අවසන් තීන්දුවත් ගතයුතු බවත්, නැතහොත් තමන්ටද විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇති බවත්ය. පක්ෂයේ විශාල පිරිසක් ගෝඨාභයට සහාය දැක්වීම සඳහා දැනටමත් සූදානමින් සිටින බව මෙහිදී මලික්ට කී මෛත්‍රි 20ට කලින් ප්‍රශ්නය විසඳාගතහොත් තමන්ට එය තීන්දුවක් ගැනීමට විශාල පහසුවක් බවද පෙන්වා දුන්නේය. අවසානයේදී මලික්ද කියා සිටියේ කිසිදු කරුණක් මත මෙම වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැති බවත්, සජිත්ට එම ස්ථාවරයේ සිටීමට දිගටම බලපෑම් එල්ල කරන ලෙසත්ය.
මෛත්‍රිගේ මේ කතාවෙන් පැහැදිලි වන්නේ සජිත් ජනපති වුවහොත් මෛත්‍රිට වැඩි වාසි සැලසෙන බවත්, ශ්‍රීලනිපය සතුව ඡන්ද ලක්ෂ 15ක් 20ක් ඇති බව සජිත්ට පෙන්වා සජිත්ගේ ජනාධිපති ධුරය යටතේ තමන්ට අගමැතිකම ලබාගැනීමේ සූදානමක් පවතින බවත්ය. මේ 20 වැනි දින කරළියට ආවේ ඒ අනුවය.
මේ ආකාරයට කාම්බෝජයේ සිට දේශපාලන ගනුදෙනු කිහිපයකම නිරත වූ මෛත්‍රි නැවැත ලංකාවට පැමිණියේ ගෝඨාභයව අපේක්ෂකත්වයට නම් කළ පසුගිය ඉරිදා දිනයේදීමය. කටුනායක ගුවන්තොටුපොළින් බැස අතිවිශේෂ පුද්ගලයන්ගේ පර්යන්තයෙන් පිටතට පැමිණෙන විට මෛත්‍රි දුටුවේ එහි ක්‍රියාත්මක කොට තිබූ රූපවාහිනීවල සජීවීව ගෝඨාභයගේ කළඑළි බැසීම විකාශය කරන ආකාරයය. ඒ අනුව එහි අසුන්ගෙන අවසානය තෙක් උත්සවය නැරැඹූ මෛත්‍රිගේ මුහුණු තිබුණේ කිසියම් මලානික ස්වරූපයකි. විශේෂයෙන්ම මහින්ද තමන්ව විවේචනය කරද්දීත්, 2015දී ශ්‍රිලනිප ආණ්ඩුව වට්ටා පක්ෂය එජාපයට පාවා දුන් බව කියද්දීත් මෛත්‍රිගේ මුහුණ මැලවී යන ආකාරයක් අවට සිටි සියල්ලන්ටම දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් ඒ මොහොතේම මෛත්‍රි සිය දුරකතනය රැගෙන ඇමැතුමක් දුන් ආකාරයක් දැකගන්නට ලැබිණ. එම ඇමැතුම කාට ගත්තද විනාඩි 3ක් පමණ වේලාවක් හීන්සීරුවේ සිදුකළ කතාබහෙන් එය ඉතා වැදගත් ඇමැතුමක් බව අවට සිටි පිරිසටද පෙනෙන්නට තිබිණ.
මේ අතර ගෝඨාභය ජනපති අපේක්ෂකත්වයට පොහොට්ටුව විසින් නම් කිරීමෙන් පසු ශ්‍රීලනිපය තුළද මතුව ඇත්තේද බරපතළ අර්බුදයකි. විශේෂයෙන් ශ්‍රීලනිප මහලේකම්වරයා වශයෙන් දයාසිරි එම රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගන්නවා යැයි කියද්දී සන්ධාන මහලේකම්වරයා වශයෙන් අමරවීර කියා සිටියේ පොහොට්ටුව සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවකි. ඒ අනුව මෛත්‍රි පැමිණි වහාම ඔහු හමුවීමට ගිය අමරවීර ‘දැන් අපි මොකද කරන්නේ? ගෝඨට සහාය දෙනවද’ යනුවෙන් මෛත්‍රිගෙන් විමසද්දී මෛත්‍රි ඊට දුන්නේ ඉතා දැඩි පිළිතුරකි. ඒ, තමන් යළි කෙදිනකවත් රාජපක්ෂවරුන්ට සහයෝගය ලබාදෙන්නේ නැතැයි කියාය. මෛත්‍රිගේ මේ දැඩි පිළිතුරෙන් අමරවීරද තිගැස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ‘එතකොට අපි සහාය දෙන්නෙ සජිත්ටද’ යනුවෙන් නැවත අමරවීර ප්‍රශ්න කරද්දී මෛත්‍රි කියා සිටියේ ‘නෑ මම එකටත් දැන් උපදෙස් වගයක් දීල තියෙන්නෙ. අපි ඒකත් බලමු. අපිට වාසි එන්නෙ එතැනින් නම් අපි ඒක ගමු. එතකන් පොහොට්ටුවත් එක්ක සාකච්ඡාව තව ටිකක් ඇදගෙන යමු” යැයි කියාය.
ජනාධිපතිවරණය පිළිබද ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් මේ වන විට තම අපේක්ෂකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ එක් පාර්ශ්වයක් පමණි. මෙම තත්වය තුළ පසුගිය සතියේ පැවැති එජාපයේ නිල මාධ්‍ය සාකච්ජා කිහිපයකදීම කියැවුණේ තම පක්ෂයේ සම්ප්‍රදායට අනුව මෙතරම් කලින් අපේක්ෂකයා නම්කිරීම සිදු නොවන බවත්, නිසි අවස්ථාවට සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති බවත්ය.
නමුත් ජනපති අපේක්ෂකත්වය පිළිබඳව යම් අර්බුදයක් ලියලා එන ලකුණු පහළ වී ඇති බැවින්, එයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් බොහෝ පාර්ශ්වයන් ගෙවුණු සතියේ සොයාගෙන ආවේ කතානායක කරු ජයසුරිය මහතාවය.
මේ අතරට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නායකකාරකාදින්, මෙන්ම පක්ෂයට හිතවත් භික්ෂුන් වහන්සේලාද වූහ. එමෙන්ම වර්තමාන එජාපය තුළ තිරය ඉදිරිපිට කාර්යභාරයක් ඉටු කරන පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක චරිත කිහිපයක්ද ඒ අතර වූහ. සිවිල් සංවිධාන, මාධ්‍ය නියෝජිතයන් හා සුළු පක්ෂ නියෝජිතයෝද මෙලෙස පැමිණි අය අතර වූහ.
මෙලෙස විටින් විට පැමිණි පිරිස කොතරම්ද යත් සෑම දිනෙකම පැය කිහිපයක ඉඩකඩ එම පිරිස සඳහා වෙන් කිරිමට කතානායකවරයාට සිදු විය.
“කවුරුත් ඔබතුමාගේ හඬට සවන් දෙනවා, දින 52ක් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඔබතුමා කළ කැපවීම නැත්නම් අද ආණ්ඩුවකුත් නෑ, එහෙනම් එක්සත් ජාතික පක්ෂයටත් ඡන්ද කරන්න වෙන්නේ විපක්ෂයේ ඉඳගෙනයි. 2013දීත් නායකත්ව මණ්ඩලය හදලා එහි සභාපති හැටියට බෙදිලා තිබුණු පක්ෂය ජය මාවතට ගෙන ගියේ ඔබතුමා. මේ වේලාවේ මේකට මැදහත් වෙන්න. මැදිහත් වුණොත් හැමෝටම සාධාරණය ඉටු කරන්න ඔබ තුමාට පුළුවන්” ආදී වශයෙන් ලැබුණු ඉල්ලිම්වල නිමක් නොවීය. මෙහිදී කතානායකවරයා දැක්වූ ප්‍රතිචාරයෙන්ද ඔහු තුළ පවතින තත්ත්වය පිළිබඳ මනා වැටහිමක් ඇති බවද පෙණිනි.
“මම විශ්වාස කරනවා සෑම පුද්ගලයකුටම වටිනාකමක් කාර්යභාරයක් තිබෙනවා කියලා. කිසිම කෙනෙක් ඉවත් කරලා පක්ෂයට ගමනක් යන්න බැහැ, ඒ නිසා පක්ෂයේ කවුරුත් පිල් බෙදිලා එකිනෙකා විවේචනය කළ යුතු නැහැ කිසිම කෙනකුට තනි ගමනක් යන්න බැහැ, හැමෝගෙම ගෞරවය ආරක්ෂා කළ යුතුයි, මේ තත්ත්වය තේරුම් නොගැනීම ගැන මට විශාල කනගාටුවක් තිබෙනවා. නමුත්, මේ දැවැන්ත එක්සත් ජාතික පක්ෂ පවුල සමඟි කරන්න ඕනෑම කැපවීමක් කරන්න මම ලැස්තියි. ඔබතුමාලා අදාළ පාර්ශ්ව එක්ක මූලිකව කතාකරන්න මම අවශ්‍ය මැදහත්වීම කරන්නම්” යනුවෙන් පැවැසූ කතානායකවරයා සමගියෙන් ජයග්‍රහණය හඹා යා හැකි බව විශ්වාස කරමින් තමා හමුවට පැමිණීම ගැනද සියලු දෙනාටම කෘතඥතාව පළ කළේය.
ගෝඨාභය අපේක්ෂකයා ලෙස නම් කළ පොහොට්ටු සමුළුවෙන් පසුව මේ වන විට පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති නමුත් පසුගිය සතියේදී මහින්දව මුණගැසුණු සන්ධානයේ නායකයන් කිහිප දෙනකුම ඔහුට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහි මූලිකත්වය ගත්තේ වාසුදේවය. ඒ අනුව මහින්ද හමුවූ වාසුදේව කියා සිටියේ දැනටමත් ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරය පාර්ශ්ව කිහිපයක් විසින් තම තමන්ට හිතූ හිතූ ආකාරයට සිදුකරමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව ගෝඨාගේ ‘එළිය’ සංවිධානය එක් පැත්තකටත්, ‘වියත් මඟ’ සංවිධානය තවත් පැත්තකටත් යන බව කී වාසු, මේ තත්ත්වය මත පාක්ෂිකයන් මෙන්ම මහජන නියෝජිතයන්ද සම්බන්ධ වන්නේ කුමන ප්‍රචාරක ව්‍යාපාරයටද යන්න සිතාගත නොහැකිව අන්දමන්දව සිටින බව මහින්දට පෙන්වා දුන්නේය. එහිදී ඇතැම් කාරණා මහින්ද පවා නොදැන සිටි අතර මහින්දද ඒවා දැනගත්තේ වාසු කළ එම අනාවරණයත් සමඟය. ඒ අනුව මහින්ද වාසුට කියා සිටියේ වහාම බැසිල් සමඟ පමණක් නොව ගෝඨාභය සමඟද මේ පිළිබඳ සාකච්ඡා කර ඉක්මන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරනවා යැයි කියාය.
සර්වෝදය ව්‍යාපාරය යනු 1958 තරම් ඈත අතීතයේදී ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා විසින් නිර්මාණය කරන ලද සුබසාධන ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය පසුකාලයකදී කොපමණ ජනප්‍රියතාවට පත්වූවාද කියනවා නම් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විහිදී ගිය විශාල ජාලයකට හිමිකම් කීමට සර්වෝදය ව්‍යාපාරයට හැකියාව ලැබිණි. මේ හරහා ඒ.ටී. ආරියරත්න මහතාටද විශාල ප්‍රසිද්ධියක් සහ ජනතා ප්‍රසාදයක් හිමිවූ අතර බොහෝ දෙනා කියා සිටියේ ආරියරත්න මහතා පසු කාලයකදී ජනාධිපතිවරණයකට පවා ඉදිරිපත් වනු ඇතැයි කියාය. එමෙන්ම 1988 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ආරියරත්න මහතා තරග කරනු ඇති බව බොහෝ දෙනකු සිතා සිටියද අවසන් මොහොතේ එය වැළකී ගියේ ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ මැතිනිය ඊට අකැමැත්ත ප්‍රකාශ කිරීම නිසාය. යම් හෙයකින් ඒ අවස්ථාවේදී ආරියරත්න මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා නම් ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු පොදු අපේක්ෂකයා වීමේ අවස්ථාව හිමි වන්නට තිබුණේ ඔහුටය. කෙසේ වෙතත් මේ වන විට ආරියරත්න මහතාගේ පුත්‍රයා වන වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාද සර්වෝදය ව්‍යාපාරයට සම්බන්ධව සිය පියාත් සමඟ කරට කර සිටිමින් වැඩ කරන ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් 2019 ජනාධිපතිවරණය පිළිබඳ කනින් කොනින් කටකතා යද්දී ඒ.ටී. ආරියරත්න මහතා ප්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයන් එක් රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පසුගිය කාලයේදී පියවර ගෙන තිබිණි. එහිදී බොහෝ සිවිල් සංවිධාන නියෝජිතයන් කියා තිබුණේ වත්මන් ජනාධිපතිවරයාට හෝ එජාපය නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිතව සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ පොහොට්ටුව නියෝජනය කරමින් තරගවැදීමට නියමිතව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ සහාය නොදක්වා ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. ඒ සඳහා සියලු බලවේග පෙළගැස්විය යුතු බවත් එම සාකච්ඡාවලදී කියැවිණි.
ඒ අනුව මෙම සාකච්ඡාවලදී ගත් අවසන් තීන්දුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම සඳහා පසුගිය සතියේදී ඒ.ටී. ආරියරත්න මහතා අරලියගහ මන්දිරයට ගියේය. එම සාකච්ඡාවේදී කෙළින්ම රනිල්ට කරුණු ඉදිරිපත් කළ ආරියරත්න මහතා කියා සිටියේ එජාපයෙන් රනිල් හෝ සජිත් ඉදිරිපත් වන්නේ නම් තම සංවිධානය සහ තමා සමඟ සිටින සියලු සිවිල් සංවිධාන වෙනත් පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි කියාය. දැනට දේශපාලනයේ සිටින කිසිදු ක්‍රියාකාරී නායකයකු සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මෙහිදී කියා සිටි ආරියරත්න මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින සියලු දෙනා සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකොට එම අපේක්ෂකයන්ට එරෙහිව විශාල ජනමතයක් රට තුළ නිර්මාණය කරන බවද දැනුම්දී සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී එක් පුද්ගලයකු පිළිබඳ පමණක් ආරියරත්න මහතා කිසියම් පැහැදීමකින් යුතුව අදහස් දක්වනු දැකගන්නට ලැබිණි. ඒ අන් කිසිවකු නොව කතානායක කරු ජයසූරිය මහතාය. ආරියරත්න මහතා රනිල්ට කියා සිටියේ නිර්පාක්ෂික පුද්ගලයකු ලෙස මෙන්ම නීතිගරුක, විනයගරුක පුද්ගලයකු ලෙස ජයසූරිය මහතා පිළිබඳ සමස්ත රටවැසියන් තුළ විශාල ජනප්‍රසාදයක් පවතින බවත්, යම් හෙයකින් ජයසූරිය මහතා ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට එජාපය කටයුතු කරන්නේ නම් ඔහුට සහාය දැක්වීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත්ය.
ඒ අනුව පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී රනිල් මේ බව සියලුම නියෝජිතයන්ට දැනුම් දීමටද කටයුතු කළේය. මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මහතා එජාපයට එවා තිබූ පණිවුඩයක්ද මෙහිදී සන්ධාන නායකයන් වෙත ඉදිරිපත් කරනු ලැබිණි. එම පණිවුඩයෙන්ද සුමන්තිරන් දැනුම්දී තිබුණේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පමණක් තම සංවිධානයේ සහාය ලබාදීමට මේ වන විට තීන්දු කර ඇති බවකි.
මේ පසුබිම මධ්‍යයේ පසුගිය සතියේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කරු ජයසූරිය මහතා මුණගැසීමට ඔහුගේ නිල නිවෙසට ගියේය. මනෝ ගනේෂන් යනු පසුගිය මාස කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනීසිටි අයෙකි. මනෝ පැහැදිලිවම කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයේ ජනප්‍රියම නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු යැයි කියාය. එවැනි ස්ථාවරයක සිටි මනෝ පසුගිය සතියේදී කරු ජයසූරිය මහතා මුණගැසී පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කළ අතර එහිදී ඔහු කියා සිටියේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට එජාපය තුළ මතුව ඇති බරපතළ අර්බුදය විසඳාලීම සඳහා හැකියාව ඇති එකම සුදුස්සා කරු ජයසූරිය මහතා යැයි කියාය. එම නිසා 2015 සෝභිත හිමියන් සමඟ පටන්ගත් එම ජනතා ව්‍යාපාරය යළිත් ශක්තිමත් කිරීමට මැදිහත් වන ලෙසද මනෝ කරුගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව යම් හෙයකින් රට තුළ ඉදිරියේදී මිලිටරි ආණ්ඩුවක්, ආඥාදායකත්වයක් සහිත පුද්ගලයකු බිහිවීමේ අනතුරක් ඇති බව කියා සිටි මනෝ එය නවතාලීමට හැකි එකම පුද්ගලයා කරු බවද දැනුම්දී සිටියේය. තමන් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම හකීම්, රිෂාඞ්, දිගම්බරන් වැනි සුළු ජාතික පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව කී මනෝ, ඔවුන්ගේ ස්ථාවරය වන්නේද මෙයම බව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව එදින සවස් වරුවේ මනෝ විශේෂ නිවේදනයක්ද මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කළේය. එම නිවේදනය මඟින්ද මනෝ පෙන්වා දුන්නේ මතුව ඇති තත්ත්වය විසඳාගැනීම සඳහා සියලු දෙනාම එකට එක්ව කටයුතු කළයුතු යැයි කියාය. ඒ අනුව දැන් කරු ජයසූරියගේ නම එජාපය අපේක්ෂකයා ලෙසට කලඑළි බසිමින් තිබේ. අප මෙම තත්ත්වය මුල් අවස්ථාවේ සිටම රටට කී අතර දැන් ඒ කාලයටත් වඩා කරුගේ නම කියමින් බොහෝ දෙනකු එළියට එමින් සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ.
2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදී ප්‍රධාන කාර්යභාරයක් කළ චරිතයක් වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ගැනීමට තිරය පිටුපස විශාල මෙහෙයක් කළේද චන්ද්‍රිකාය. නමුත් මෛත්‍රිගේ පසුකාලීන හැසිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි චන්ද්‍රිකා ඉකුත් කාලසීමාව පුරාම කිසිදු ප්‍රකාශයක් සිදු නොකර නිහඬව සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මෙසේ නිහඬව සිටි චන්ද්‍රිකා පසුගිය සතියේදී හදිසියේම දකුණේ තල්පේ පිහිටි සුපිරි හෝටලයකින් මතුවිය. ඒ තවත් විශේෂ පුද්ගලයන් කිහිප දෙනකුද සමඟය. මෙහිදී නිල නොවන ආරංචිවලට අනුව අපට දැනගන්නට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක අදහස් කිහිපයක් මෙහිදී හුවමාරු වී ඇති බවකි. මීට සම්බන්ධ වුණු සියලුම පුද්ගලයන්ගේ නම් ගම් අප සතුව ඇතත් ඒවා තහවුරු කරගත් විගස ඉදිරි සතියකදී රටට හෙළිකිරීමට අප සූදානම්ය.
මෙම හමුවෙන් පසුව චන්ද්‍රිකා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අනාරාධිතවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයට ගියාය. පසුගිය කාලය පුරාම ඇයව ශ්‍රීලනිපයේ නිල කටයුතුවලින් ඉවත් කර තිබූ අතර කිසිදු රැස්වීමක් සඳහා හෝ ඇය සම්බන්ධ කරගැනීමට පක්ෂය කටයුතු කර නොතිබිණි. නමුත් ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී පක්ෂ මූලස්ථානයේ පැවැති ශ්‍රීලනිප කළමනාකරුවන්ගේ රැස්වීමකට සහභාගි වූ ඇය එහිදී පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති බවක්ද දැනගන්නට ඇත.
මීට අමතරව පසුගිය සතියේදී චන්ද්‍රිකා තවත් දේශපාලන ගේමකට අතගැසුවාය. ඒ, යළිත් වතාවක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමටය. ඒ අනුව චන්ද්‍රිකා මේ වන විට සූදානම්ව සිටින්නේ සාලින්ද දිසානායකගෙන් හිස් වූ අසුනට පත්වීම සඳහා ශාන්ත බණ්ඩාරගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව හරහා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමටය. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූවා සේ ඉදිරි කාලයේදී අපට හිටපු ජනාධිපතිවරියක වන චන්ද්‍රිකාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් නුදුරේදීම දැකගත හැකි වනු ඇත.