මේ කතාව ගිය අවුරුද්දට කී පාරක් ඇහුවද? එන අවුරුද්දට කී පාරක් අහන්න වෙයිද? ඇත්තටම ලංකාවෙ දුම්රිය සේවය අයිති කාටද? දුම්රිය සේවකයො හිතාගෙන ඉන්නෙ දුම්රිය අයිති ඒ අයට කියලා. කෝච්චි ගේදොරවලින් ගෙනැල්ලා කියලා. දුම්රිය නැවැතුම්පොළවල් හදලා තියෙන්නේ උන්ගෙ අම්මලෑ අප්පලෑ ඉඩකඩම්වල කියලා. ඒ නිසාම ඒ අය හිතුණ හිතුණ විදිහට වැඩ කරනවා.
සමහර දවසක දවාලෙ දුවපු කෝච්චි හැන්දෑවෙ නතර කළා. ඒ කාලේ ගෙවල්වල හිටපු මිනිස්සු කොළඹට ගෙනැල්ල දාලා. විශේෂයෙන්ම ඒකට මේ අය තෝරගන්නෙ සිකුරාදා. මොකද දුම්රිය මගීන් වැඩි ගානක් ගෙවල්වල යන්නෙ එදාට කියලා ඒ අය දන්නවා.
මේ මිනිස්සු පසුගිය කාලෙ සතියක් විතර එක දිගට වැඩ නතර කළා. මිනිස්සු යන එන මං නැතුව අසරණ වුණා. ඒ අතර අකුරට වැඩ කරනවාය කියලා නාඩගමක් නැටුවා. විදුලි සංඥා පුවරු කැඩුවා. ඒවා කැඩුවෙ කවුද කියලා ඇහුවම දුම්රියෙ උන්දැලා කියන්නෙ “අනේ දන්නෑ” කියලා. හැබැයි ඉතින් කෝච්චි පාරෙ ලයිට් කඩන්න පිටින් එනකල් පඩි ගන්න දුම්රිය ආරක්ෂක සේවය අරක මේක බම්බු ගහනවද කියලයි අපිට අහන්න වෙන්නෙ. කොහොමහරි පසුගිය රජයත් එක්ක සාකච්ඡා කරලා,
“හා… එහෙනම්”
කියලා ඇවිල්ලා එළියෙදි,
“බෑ අපි වැඩවර්ජනය කරනවා”
කියපු මේ මිනිසුන්ට වුවමනා වෙලා තිබුණෙ මොකක්ද කියලා දන්න අය දන්නවා දැන් ඕවා කතා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වුණා.
“දැන් කෝච්චිය දුවනවනෙ” කියලා හිත හදාගන්න බෑ. මොකද තවමත් ලංකාවෙ දුම්රිය ගාස්තු වැඩිවෙලා මාස ගානක් ගිහිල්ලත් හරි ගාන මුද්‍රණය කරපු ටිකට් එකක් ගහන්න බෑ
ඒත් අපි කටපියාගෙන උන්නා. හැබැයි මේ වතාවෙ කටඅරින්න වුණේ අපිට කලින් දුම්රිය සේවයෙ ඉන්න අයමත් ෆේස්බුක් එකේ කට ඇරලා තිබුණ නිසා.
කෙනාගෙ නම ගම වැඩක් නෑ. දුම්රිය සේවයේ ඉන්න කෙනෙක්ම ෆේස්බුක් එකේ සටහනක් තියලා තිබුණා. දුම්රිය ටිකට් වෙන් කිරීම ගැන.
“පාන්දර හතරෙ ඉඳලා පෝලිම්වල දුක් විඳපු මිනිස්සු කෝච්චි බුකින් කරගන්න බැරිව අපිටත් එක්ක බැනලා යනවා. ඒ වෙනකොටත් ඔක්කොම බුක් කරලා බුකින් කරන්න බෑ.”
කියලා. ඒක සටහන තවත් සවිස්තරාත්මකයි. හැබැයි ඒකෙ තියෙන සාමාන්‍ය අදහස ඕක. දැන් අපිට අහන්න තියෙන්නෙ මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
“එතකොට මේ බුක් කරන්නෙ අපිද?”
“ඒ කියන්නෙ සාමාන්‍ය ජනතාවද?”
“නැත්නම් දෙයියොද? ඍද්ධි බලෙන් බුකින් දාලා සිරිපාදෙ යනවද?”
දුම්රිය ලොක්කො නම් වඩාත් කැමැති වෙයි අන්තිම කතාවට. අර දෙයියො ගැන කියන එකට මොකද යක්කුන්ට, මළ පෙරේතයන්ට දෙයියො වෙන්න හම්බවෙන නිසා. හැබැයි අපි දන්නවා සෙල්ලම මොකක්ද කියලා. ඇත්තටම මේ පාසල් නිවාඩු කාලයෙ දුම්රිය වෙන් කරගන්නවා වැඩියි. මේක කාල නැත්නම් ඔය වගේම වෙන් වෙනවා අප්‍රේල් කාලෙත්. සාමාන්‍යයෙන් දුම්රිය වෙන් කරන්න පුළුවන් මාසෙකට කලින්.
උදාහරණයක් මෙහෙමයි. දෙසැම්බර් තිස් වැනිදා දිනය වෙන්කරන්න පුළුවන් වෙන්නෙ නොවැම්බර් තිහෙන් පස්සෙ. ඒ නිසා මේක ඒ දිනයට ඇවිල්ලා වෙන් කරනවා. ඒකට සකස් කරපු සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. පෝලිමේ ඉඳලා කටුකාලා මිනිස්සු කෝච්චි වෙන්කර ගන්නවා. හැබැයි දැන් ඉඳලා පාන්දරම අදෘශ්‍යමාන බලවේගයකින් බුකින් ඉවර වෙනවා. කරපු කෙනෙක් නෑ.
හැබැයි සෙල්ලම පටන් ගන්නෙ ඊට පස්සෙ. ටිකට් එක ගාන ඩබල්, ත්‍රිබල් වෙලා හොර පාරෙන් විකිණෙනවා. ටුවරිසම්වලින් හම්බකරන් කන රටේ එහෙම ගේමක් ගැන එවුන්ට පාඩුවෙන්න නෑ. වැඬේ නැඟලම යනවා. සාමාන්‍ය මිනිසුන්ට වැඬේ කරන්න බෑ. කරනවා නම් ඒත් හොර පාරෙන් අත යටින් තමයි. හැබැයි දුම්රිය සේවයට එකෙන් ලැබෙන්නෙ අපවාදයක් විතරයි. විශේෂයෙන්ම ලංකාවට එන යන විදෙස් සංචාරකයො දැන් දන්නවා මෙහෙ ඉන්න එවුන් අනාදියො කියලා. ඒ නිසා මේ බුකින් සෙල්ලම වැඩි දවසක් කරන්න බෑ. ඒ වගේම මිනිසුන්ට මේ වෙලාවෙ බුකින් නැත්නම් ඉදිරියටත් වැඩක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ජනවාරි මාසෙන් පස්සෙ බුකින් නෙමෙයි ගමන් බිමනුත් ඉවරයි. ඒක තමයි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම සංචාරයෙ විදිය. ඒ නිසා මේ වෙලාවෙ යට ගේම් ගහලා තම තමන්ම හම්බකරගන්නයි ඕන. මොකද මේ අයට ජීවත් වෙන්න ඇතිවෙන්න වැටුපකුත් ලැබෙනවා.
කොහොම නමුත් අපි මේ ගැන දිගින් දිගටම හෙව්වා. ඒ වගේම ඊට අදාළ ප්‍රධානීන්ගෙන් ඇහුවා. අපි දන්න විදිහට සාමාන්‍යයෙන් මේ බුකින් එකකට ජාතික හැඳුනුම්පත් අංක යොදන්න ඕන. එහෙම එක දිගටම වැරැදි විදියට දුම්රිය පෙට්ටි වෙන් කරලා තියෙනවා නම් ඒකත් ඒ කවුද කින්ද මන්ද කියන එකත් පෙන්නන්න බැරි නෑ. මොකද ඔය දුම්රිය සේවකයො කෝච්චි පෙට්ටිවලින් නුවරඑළි, බදුලු, බණ්ඩාරවෙල, යාපනෙ ගිහිල්ලා පෙයාස්, මිදි, ලූනු එහෙම ගේන්නෙ නෑනෙ නේද?
බලමු මේ සෙල්ලම ඉස්සරහටත් වෙනවද කියලා. මහත්තුරුනි, අපි ඉන්නෙ ඇහැරිලා.
දුම්රිය දෙපාර්තමේන්තුව කියපු දේ…
ශ්‍රී ලංකා දුම්රිය සේවය මඟින් ක්‍රියාත්මක වන ශීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන්කර ගැනීම මාසයකට පෙර සිදුකළ යුතු අතර එසේ ආසන වෙන්කර ගැනීමේදී ඇතැම් සේවක මාෆියාවක් මඟින් ආසන වෙන්කර විදේශිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ඇතැයි මගීහු පවසති.
මෙසේ ආසන වෙන්කර ගැනීමේදී අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකයද ලබාදිය යුතු නමුදු එම හැඳුනුම්පත් අංකයට නියමිත දිනයේ ටිකට්පත රැගෙන දුම්රිය ආසනවල වාඩිවී සිටින්නේ විදේශිකයන් මෙන්ම හැඳුනුම්පත් අංකයට අදාළ පුද්ගලයන් නොවන බවද හෙළිවී තිබේ.
බදුල්ල, මඩකළපුව, යාපනය දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන්කර ගැනීම සඳහා සෑම මාසයකම අන්තිම දිනයේ දුම්රිය මගීන් අලුයම සිට අදාළ දුම්රිය ස්ථානවල පෝලිම් ගැසෙන නමුදු ඔවුන්ගෙන් අඩකටවත් දුම්රිය ආසන වෙන්කර ගැනීමට නොහැකිව ආපසු යෑමට සිදුවී ඇති බව දුම්රිය මගීහු පවසති.
කොළඹ කොටුව ඇතුළු දුම්රිය ස්ථාන 40කින් පමණ ශීඝ්‍රගාමී දුම්රිය සහ මාසයකට පෙර ආසන වෙන්කිරීම සිදුවන අතර දුරකතන සේවා කීපයක් මගින්ද ආසන වෙන්කරවා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි රංජිත් පද්මලාල් මහතා පැවැසීය.
ඊළඟ මාසයේ දුම්රිය ගමන සඳහා කලින් මාසයේ අවසන් දිනට පෙර දිනයේ ආසන වෙන්කිරීම කාලයක් තිස්සේ පවතින ක්‍රමයක් නිසා එම ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ආසන වෙන්කර ගැනීමේ සිදුවෙතැයි කියන අක්‍රමිකතා මැඬපැවැත්වීම සඳහා තවත් පියවර කීපයක් ඉදිරි දිනවලදී ගන්නා බව ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න -ජීවන පහන් තිලිණ