ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු නැවත වතාවක් එම අරමුදල සමග ගිවිසුම්ගත නොවීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව 2027 මාර්තු මාසයේදී එම ගිවිසුමේ නිල කාලය අවසන් වීමත් සමග ඉන් ඉවත් වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටියදී ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ජනතාවට සහන සැලසීම, සහනාධාර ලබාදීම, බදු ප්‍රතිශතයන් අඩුකිරීම ආදිය සිදුකිරීමට නොහැකි වීම මේ සඳහා හේතු වී ඇති බව පැවසේ.
2027 මැද භාගයෙන් පසු ජාතික මට්ටමේ මැතිවරණයන් පැවැත්වීමේ කාලවකවානුවල ආරම්භය සිදුවීමට නියමිතව ඇති බැවින් මැතිවරණ ඉලක්ක කොටගෙන ජනතාවට විශාල වශයෙන් සහන සැලසීමේ සැලසුමක ආණ්ඩුව සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව තවදුරටත් මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටියහොත් භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනින් මුදල් ඉතිරිව තිබුණද මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ජනතාවට සහනාධාර ලබාදිය නොහැකි නිසා මෙසේ එම අරමුදල සමග නව ගිවිසුමකට නොයෑමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් දැනගන්නට තිබේ.










