නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාවවී ඇත්තේ ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් යන්නය. විශේෂ කරුණු 20ක් යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය විස්තර කර ඇත. ඒ මෙසේය.

- දරාගත හැකි මිල ගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක්.
- සැමට සෙවණ.
- සැමට විශ්වීය පෙරපාසල් අධ්‍යාපනයක්.
- විශ්වීය විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්.
- විශ්වීය සෞඛ්‍යාරක්ෂාවක්.
- වගකියන නායකත්වයක්.
- මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප්‍රතිපත්තියක්.
- ආගමික අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය නොඉවසන ප්‍රතිපත්තියක්.
- ශක්තිමත් සහ සුහුරු ජාතික ආරක්ෂක මූලෝපායක්.
- රාජ්‍ය අංශයට ගරුත්වය.
- ජනතාවගේ රජයක්.
- මූල්‍ය වෙළෙඳපොළ.
- කාන්තාවන් දිරිගැන්වීම.
- කුඩා ව්‍යවසාය බලසතු කිරීම.
- ගොවීන් බලසතු කිරීම.
- පරිසරය සහ බලශක්තිය.
- ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය දිරිගැන්වීම.
- වෙළෙඳපොළට සූදානම් තරුණ ජනගහනයක්.
- සංක්‍රමණික ශ්‍රමිකයන් ඇගයීම.
- පොදු ප්‍රවාහනය.
නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂාව, ප්‍රවාහනය සහ විදුලි සංදේශනය කාටත් දරාගත හැකි අන්දමින්, ඉහළ ගුණාත්මක පෞද්ගලික අංශයේ රැකියා ඔස්සේ ඉහළ වැටුප් ලබාදීම එහි පළමු කරුණ යටතේ විස්තර කර තිබේ. 2025 වසර වන විට නිවාස හිමි සමාජයක්, ඉඩම් බලපත්‍රලාභීන්ට ඉඩම් හිමිකම් ලබාදීම සැමට සෙවණ යටතේ විස්තර කර තිබෙන අතර නිදහස් අධ්‍යාපනය පෙරපාසල දක්වා පුළුල් කිරීම තෙවැනි කොටස යටතේ විස්තර කර තිබේ. ජනතාවට විශ්වීය සෞඛ්‍යාරක්ෂාවක් ලබාදීම යටතේ නොමිලේ ඖෂධ ලබාදීම, නිදහස් වෛද්‍ය පරීක්ෂණ සහ සත්කාර, සැඟවුණු ගාස්තු රහිතව වයස අවුරුදු 35ට වැඩි සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂාවක් සහ ගර්භණී මවුවරුන්ට තවත් සහන ලබාදීමට යෝජනා කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දණ්ඩනයට ලක්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාවක් හෝ දඬුවම් අඩුකිරීමක් සිදු නොකිරීමද විශේෂ කරුණුවලට අයත් වේ. නිවෙසේදීත්, ආගමික ස්ථානයේදීත් සැමටම බියෙන් තොර ජීවිතයක් ගතකිරීම සඳහා ජාතික ආරක්ෂාව නීතියෙන් තහවුරු කර, නිසි පුද්ගලයන් නිසි වගකීම්වලට පත්කිරීමටද යෝජනා කර තිබේ.
ජාත්‍යන්තර අත්දැකීම් ලැබීම සඳහා රජයේ සේවයට ශිෂ්‍යත්ව ලබාදීමට යෝජනා කර තිබෙන අතර රාජකාරි වගකීම් තුළදී ගත් ක්‍රියාමාර්ගවල ගැටලුවලදී නීති සහාය ලබාදීමටද යෝජනා කර තිබේ. ජනතාවගේ රජයක් වෙනුවෙන් ලේඛන, අවසරපත්‍ර සහ බලපත්‍ර අන්තර්ජාලයෙන් ලබාගැනීමේ පහසුකම වැඩිදියුණු කිරීමට යෝජනා කර තිබේ. නව ජාතික සංවර්ධන බැංකුවක් සහ වරාය නගරයට ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා තරගකාරී බදු ව්‍යුහයක් ඇතිකිරීමටද යෝජනා කර තිබේ. කාන්තාවන් දිරිගැන්වීම සඳහා කාන්තා ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවේ. පළාත් සභාවලට, පාර්ලිමේන්තවට සහ ජාතික ලැයිස්තුවටත් කාන්තාවන් වෙනුවෙන් සියයට 25ක කෝටාවක් සහ කාන්තාවන් සඳහා සුරක්ෂිත පොදු ප්‍රවාහනයක් ඇතිකිරීමට සැලසුම් කර තිබේ.
කුඩා ව්‍යවසාය බලසතු කිරීම යටතේ මාසික වෙළෙඳාම රුපියල් මිලියන හතරට අඩු සියලු ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් කරන බවද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වී තිබේ. ගොවි සමුපකාර හරහා ගොවීන්ට නොමිලේ බිත්තර වී සහ පොහොර ලබාදෙන බවද එහි සඳහන් කර තිබෙන අතර අලි – මිනිස් ගැටුමට සහ කසළ කළමනාකරණයට පාරිසරික වශයෙන් පිළිගත හැකි ප්‍රජා කේන්ද්‍රීය විසඳුම් මෙන්ම 2040 වන විට සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරුවීමටද එමඟින් සැලසුම් කර තිබේ.
බස් නවීකරණය, දුම්රිය විද්‍යුත්කරණය, සැහැල්ලු දුම්රිය පද්ධතියක් සහ සුහුරු වාහන කළමනාකරණ පද්ධතියක් සමඟ බහුවිධ පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ කරුණු පොදු ප්‍රවාහනය යටතේ විස්තර කර තිබේ.

“ඔබට රටක් – රටට හෙටක්” තේමාව යටතේ ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වාදී ඇත්තේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලෙසිනි. එහි පළමු කොටස වෙන්වී ඇත්තේ දස වැදෑරුම් ප්‍රතිපත්ති සඳහාය. ඒ දස ප්‍රතිපදා මෙසේය.
- ජාතික ආරක්ෂාවට මුල් තැන.
- මිත්‍රශීලි සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්.
- පිරිසිදු රාජ්‍ය පාලනයක්.
- ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්.
- ඵලදායී පුරවැසියෙක් – සශ්‍රීක මානව සම්පතක්.
- ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්.
- තාක්ෂණය මත පදනම් වන සමාජයක්.
- භෞතික සම්පත් සංවර්ධනය.
- තිරසාර පරිසර කළමනාකරණය.
- විනයගරුක, නීතිගරුක සහ ගුණකරුක සමාජයක්.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි කොටසෙන් විස්තර කර ඇත්තේ දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ඇතිකිරීම පිළිබඳවය. දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්, දූෂණය පරදවන රටක්, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ප්‍රතිපත්තිය සහ ජාතික සමගියට මඟ කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යන ශීර්ෂ යටතේ එම දෙවැනි කොටස තවත් විස්තර කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවැනි කොටසේ අඩංගු වී ඇත්තේ සුරක්ෂිත රටක් ඇතිකිරීම පිළිබඳ කරුණුය. පොලිස් සේවයේ සහ සිවිල් ආරක්ෂක බළකායේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම මෙන්ම ආබාධ සහිත රණවිරුවන් කොටස් දෙකක් ලෙස සලකා ක්‍රියාකිරීම හේතුවෙන් ඇතිවී තිබෙන විෂමතා ඉවත් කිරීම, පූර්ණ ආබාධ සහිත රණවිරුවන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වාත් ඉන්පසුව ඔවුන්ගේ භාර්යාවන්ට හෝ අවිවාහක නම් මවට හෝ පියාට ඔවුන්ගේ ජීවිත කාලයටත් ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන වැටුපක් ලබාදීමටද එම කොටස යටතේදී පොරොන්දුවී තිබේ.
එහි සිවුවැනි කොටසින් විස්තර කර ඇත්තේ ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කරන ආකාරයය. එහි පස්වැනි කොටස වෙන්කර ඇත්තේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇතිකිරීම පිළිබඳවය. පොදුජන ජීවන සහන ලබාදීම පිළිබඳ කරුණු අඩංගුවී ඇත්තේ එම කොටසේය. එහි සඳහන් ප්‍රධාන සහන මෙසේය. - බදු අඩුකිරීමෙන් අඩුවන අත්‍යාවශ්‍ය බඩුවල මිල අඩුවීම ස්ථාවරව පවත්වාගෙන යෑමට කටයුතු කෙරේ.
- පවතින රජය විසින් අධික මිලට විදුලි මිලදීගැනීම සඳහා අස්සන් තබා ඇති ගිවිසුම් අහෝසි කර එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙමින් විදුලි බිලට සහනයක් ලබාදෙන අතර ජල බිල පහළ දැමීමටද කටයුතු කෙරේ.
- දැනට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය වහාම අහෝසි කෙරේ.
- විශ්‍රාමික, ජ්‍යෙෂ්ඨ පුරවැසි සහ ළමා ඉතිරිකිරීමේ ගිණුම් මත පනවා ඇති රඳවාගැනීමේ බදු අහෝසි කෙරේ.
- තම තමන්ගේ ජනවාර්ගිකත්වය සහ ආගමිකභාවය මත එළඹෙන ජාතික උත්සව හිසට බරක් නැතිව සැමරීමට සිංහල- හින්දු අලුත් අවුරුද්ද, නත්තල හෝ රාමසාන් උත්සව මාසවලින් එකකදී වාරික සංඛ්‍යාව වෙනස් නොවන පරිදි බැංකු ණය අයකර නොගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
- විරැකියාව, ආදායම් මාර්ග අහිමිවීම, ලෙඩරෝග හෝ ආපදාවන්, වන ජීවීන්ගේ හානිය, නියං හා ගංවතුර පීඩන, දේශගුණික විපර්යාස, මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම, ජාතික ආපදා නිසා ජීවිත නිවාස සහ දේපොළ අහිමි වීම වැනි විවිධ හේතු නිසා පීඩා විඳින දිළිඳු ජනගහනය එයින් මුදාගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
- දිළිඳු බව තුරන්කිරීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළවල් ග්‍රාමීය හා නාගරික ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක වන විවිධ ආර්ථික කේෂ්ත්‍රයන් ශීඝ්‍රයෙන් දියුණු කිරීමේ මඟින් ජීවනෝපාය මාර්ග බහුල කෙරේ.
- අත්‍යාවශ්‍ය පාසල් සිසුන්ට ඇඳුම්, පාවහන් හා පොත් බෑග් සහන මිලට ලබාගැනීම සඳහා වවුචර් පහසුකම් ලබාදෙන අතර පෝෂ්‍යදායී ආහාර වේලක් සැපයීම මඟින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය සමබරව පවත්වා ගැනීමට කටයුතු කෙරේ.
හයවැනි කොටස යටතේ තාක්ෂණය මත පදනම් වන සමාජයක් ඇතිකිරීම පිළිබඳවත්, හත්වැනි කොටස යටතේ භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශය පිළිබඳත්, අටවැනි කොටස යටතේ තිරසාර පරිසර ප්‍රතිපත්තියක් පිළිබඳවත් කරුණු අඩංගුවී තිබෙන අතර එහ නවවැනි කොටස ගුණගරුක විනයගරුක නීතිගරුක සමාජයක් ඇතිකිරීම වෙනුවෙන් සහ දහවැනි කොටස ගම සමඟ පිළිසඳර වෙනුවෙන් වෙන් වී ඇත.

‘දේශපාළුවට නිමක් දයාන්විත රටක්’ තේමාව කරගනිමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපති ධුරයට ඉදිරිපත්වන ජාතික ජනතා පක්ෂය සකස් කර ඇති ප්‍රතිපත්ති රාමුව මාතෘකා 30ක් යටතේ විස්තර කර ඇත.
- දේශයේ සන්ධිස්ථානය.
- ප්‍රතිපත්ති රාමුවේ අභිප්‍රාය – දැක්ම, මෙහෙවර.
- සියල්ල ඇතුළත් වන ප්‍රතිපත්ති අරමුණු.
- කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග (රාජ්‍යයේ ස්වභාවය)
- පාලන ව්‍යුහය සහ රාජ්‍ය සේවය – ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය), මැතිවරණ, අධිකරණය, යුක්තිය පසිඳලීම, අල්ලස සහ දූෂණ, රජයේ විගණනය, පළාත් සභා, පළාත් පාලනය.
- ජාතික ආරක්ෂාව – ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතා, ආරක්ෂක ව්‍යුහය, කාර්ය සම්පාදනය, නීතිය හා සාමය.
- ආර්ථිකය – රජයේ ආදායම සහ බදු ක්‍රමය, රජයේ වියදම්, මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ.
- අභ්‍යන්තර කටයුතු, රාජ්‍ය පරිපාලනය සහ ස්වදේශ කටයුතු.
- කර්මාන්ත, වාණිජ, වෙළෙඳාම සහ නාවික කටයුතු.
- විද්‍යාව සහ තාක්ෂණය.
- මහජන සෞඛ්‍යය, දේශීය වෛද්‍ය විද්‍යාව සහ පෝෂණය.
- අධ්‍යාපනය – තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය, අධ්‍යාපන ක්‍රමය පරිපාලනය සහ කළමනාකරණය, පාසල්වල නායකත්වය.
- විදුලිය සහ බලශක්තිය.
- කෘෂිකර්මාන්තය, වැවිලි සහ සත්ව පාලනය.
- පරිසරය.
- ජාතික සමගිය, සංහිඳියාව, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය.
- සංස්කෘතික උරුමය සහ කලාව.
- සංචාරක කර්මාන්තය.
- විදේශ කටයුතු.
- කාන්තාවන් සහ දරුවන්.
- යටිතල පහසුකම් සහ නිවාස සංවර්ධනය.
- සමාජ සේවා.
- මාධ්‍ය.
- සන්නිවේදනය.
- තොරතුරු තාක්ෂණය.
- ශ්‍රම සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය.
- ධීවර කටයුතු, ජලජ සම්පත් සහ ධීවර කර්මාන්තය.
එකිනෙකාගේ වෙනස්කම්වලට ගරුකරන සහ අනෙකා පිළිබඳ සොයාබලන එක්සේසත් සමාජයක් සහිත සමෘද්ධිමත් රටක්. රටේ සාමය සහ තිරසර හා අන්තර්ග්‍රාහී සංවර්ධනය සඳහා දායක වන ගෝලීය වශයෙන් වගකීම්සහගත පුරවැසියන්ගෙන් සැදුම්ලත් සමාජයක් බිහිකිරීම ප්‍රතිපත්ති රාමුවේ අභිප්‍රාය සහ දැක්ම ලෙස සඳහන්ව ඇත. බාහිර ආක්‍රමණ සහ අභ්‍යන්තර ආරවුල්වලින් රට ආරක්ෂා කරගනිමින් ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂාව, බුද්ධිය සහ නීති බලාත්මක කිරීමේ හැකියා ඇති රටක් සහ ස්වභාවික සහ මිනිසා ඇතිකරන ලද ව්‍යසනවලින් පුරවැසියන්ට භෞතික ආරක්ෂාව, දේපොළ සහ සුරක්ෂිත ජීවන රටාව සඳහා ආරක්ෂාව සපයන දේශයක් නිර්මාණය කිරීම ඒ යටතේ නිර්වචනය කර තිබේ. රජයේ මැදිහත්වීම්වලින් තොර වර්ධනය සහ ස්ථාවරත්වය මත පදනම් වූ ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථිකය යන මාතෘකාව යටතේ යෝජනා කර තිබේ. අවශ්‍ය සෑම විටම දේශීය කුසලතාවලට ආරක්ෂාව සපයමින් ප්‍රාග්ධනය, කුසලතා යන අදහස් හුවමාරු කරගැනීම සඳහා ජාතික දේශ සීමා පාරගම්‍ය කිරීම, සියලුම යටිතල පහසුකම් සහ මහජන උපයෝගීතා සංවර්ධන කටයුතු විධිමත් කිරීම, රජයට හිමි ව්‍යාපාර පුනරුත්ථාපනය කිරීම යන යෝජනාද ඒ යටතේ වැඩිදුරටත් ඇතුළත් වී තිබේ.

දේශයේ අපේක්ෂාව ලෙස නම් කර ඇති ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇත්තේ පරිච්ඡේද 08ක් යටතේය. ඒ මෙසේය.
- සබුද්ධික දේශයක්
- සංතෘප්තිමත් දේශයක්.
- සුරක්ෂිත දේශයක්.
- සදාහරිත දේශයක්.
- සශ්‍රීක දේශයක්.
- නීතිගරුක දේශයක්.
- ආරක්ෂිත දේශයක්.
- එක රටක්.
සබුද්ධික දේශයක් ගොඩනැඟීම සඳහා වෙන්කර ඇති පළමු පරිච්ඡේදයේ අඩංගු වී ඇත්තේ අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනයට අදාළ කරුණුය.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි පරිච්ඡේදය වෙන්කර ඇත්තේ සංතෘප්තිමත් දේශයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම සඳහාය. සෞඛ්‍යය, නිවාස පහසුකම්, ක්‍රීඩා, කලාව සහ සංස්කෘතිය යන අංශ ඒ යටතේ සැලකිල්ලට ගෙන ඇත. සෑම නිවෙසකටම පිරිසිදු ජලය, විදුලිය සහ පිරිසිදු වාතාශ්‍රය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රමාණවත් අවකාශයක් සහ නිසි ප්‍රවේශ මාර්ග ස්ථිර නිවාසයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම මෙන්ම පාරිසරික පැවැත්මට හිතකර මනා භූමි කළමනාකරණයෙන් යුතු නිවාස වැඩපිළිවළක් සකස් කිරීම එහි ප්‍රධාන අරමුණු අතර ඇත. අවුරුදු 05ක් තුළ සෑම පවුලකටම සියලු පහසුකම් සහිත නිවාසයක් ලබාදීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සකස් කිරීම ඒ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රධාන ක්‍රියාකාරකම ලෙස දක්වා ඇත.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවැනි පරිච්ඡේදය වෙන්වී ඇත්තේ සුරක්ෂිත දේශයක් බිහිකිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණු සාකච්ඡා කිරීම සඳහාය. ගාමක බලවේගයක් සහිත ස්ත්‍රිය, දේශයේ අනාගතය සහ ළමා පරපුර, යෞවනත්වය සහ සමාජ ප්‍රගමනය, වැඩිහිටි ජනගහනය, විශේෂ අවශ්‍යතා සහිත පුද්ලයන් සහ සමරිසි ප්‍රජාව යන උප මාතෘකා යටතේ එය වඩාත් විස්තර කර ඇත.
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිවුවැනි පරිච්ඡේදය වෙන්වී ඇත්තේ සදාහරිත දේශයක් බිහිකිරීම වෙනුවෙනි. පරිසරය යන උප මාතෘකාව යටතේ එම කොටස විස්තර කර ඇත. සශ්‍රීක දේශයක් වෙනුවෙන් වෙන්කර ඇති පස්වැනි පරිච්ඡේදය යටතේ නොසැලෙන ආර්ථිකයක්, කෘෂිකර්මය, පශු සම්පත් සංවර්ධනය, ධීවර හා ජලජ සම්පත්, බලශක්තිය සහ ප්‍රවාහනය යන මාතෘකා ඔස්සේ එම කොටස විස්තර කර ඇත.
සමෘද්ධිලාභීන් දුප්පත්කමින් මුදාගැනීම සඳහා දැනට ආධාර ලබන සියලුම සමෘද්ධිලාභීන් මුහුණ දෙන සැබෑ සමාජ ආර්ථික ප්‍රශ්න සොයාබලා විසඳුම් ලබාදීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවත් පත්කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම මහා බැංකුවේ පොලී අනුපාත ඉක්මවා අය කරනු ලබන සියලු අසාධාරණ පොලී කපාහැරීම සහ මහ බැංකුවේ අනුමත පොලී අනුපාත යටතේ ගෙවිය යුතු එහෙත් ගෙවා දැමීමට නොහැකි වී ඇති ණය පොළිය රජය විසින් ගෙවා දැමීමටද යෝජනා කර ඇත.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හයවැනි පරිච්ඡේදයේ ගැබ්වී ඇත්තේ නීතිගරුක දේශයක් බිහිකරීම සඳහා වන යෝජනාවන්ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, අල්ලස සහ දූෂණය, රාජ්‍ය පරිපාලනය, පොලිස් සේවාව, බන්ධනාගාරය, මත්ද්‍රව්‍ය නිවාරණය යන මාතෘකා යටතේ එය විස්තර කර ඇත. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් සංශෝධනයට ලක්කොට ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට එහිදී යෝජනා කර ඇත. සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහජන නියෝජිතයකුගේ ඍජු වගකීම සහතික කරන, සරල බහුතර නියෝජන ක්‍රමය හා දිස්ත්‍රික්කයේ අවසාන ප්‍රතිඵලයට සමානුපාතික නියෝජන ක්‍රමයද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටද ඒ යටතේ යෝජනා කර තිබෙන අතර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සහතික කිරීම සඳහා වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට ප්‍රසාද ආසන සංඛ්‍යාවක් ලබාදීමටද යෝජනා කිරීම. ඊට අමතරව ඡන්දය දීමේ වයස අවුරුදු 16 දක්වා අඩුකිරීමටද යෝජනා කර ඇත.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හත්වැනි පරිච්ඡේදය වෙන්කර ඇත්තේ ආරක්ෂිත දේශයක් වෙනුවෙන් වන කරුණු සාකච්ඡා කිරීම සඳහාය. විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, ජනමාධ්‍ය නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ පුරවැසි වගකීම යන මාතෘකා ඔස්සේ එම පරිච්ඡේදය විස්තර කර ඇත. යුදමය ආර්ථික හා අනෙකුත් උපක්‍රමික විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව කටයුතු කරමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම, රටේ සියලුම ජාතිකත්වයන් ආගමික සහ වෙනත් විවිධත්වයන් සහිත ජනකොටස්වලට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කරගනිමින් එකිනෙකා අතර විශ්වාසය සහ අවබෝධය සහිතව ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟීම මෙන්ම ජාතික සහ මහජන ආරක්ෂාවට අදාළ සියලු රාජ්‍ය යාන්ත්‍රණයන් මහජනයාට වගකියන ආයතන බවට පරිවර්තනය කිරීම යන කරුණුද ඒ යටතේ සාකච්ඡා කර ඇත.
ජාතික ජනබලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසන් පරිච්ඡේදය නම්කර ඇත්තේ ‘එක රටක්’ යන තේමාව යටතේය. ශ්‍රී ලාංකේය ජාතියක් යන මාතෘකාව ඔස්සේ එය තවත් විස්තර කර ඇත. සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඔවුන්ට නීතිමය හෝ වෙනත් බාධාවකින් තොරව නිදහසේ සමාජගත වීම සඳහා පූර්ණ රැකවරණය සහ සහයෝගය ලබාදීම, සියලුම පළාත්වල දේශපාලන මත දැක්වීම්වලට හා ක්‍රියාකාරකම්වලටද, රැස්වීමට හා සංවිධාන වීමටද ඇති නිදහස තහවුරු කිරීම ඒ යටතේ යෝජනා කර ඇති ප්‍රධාන ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත.
චන්දන පොන්නම්පෙරුම











