මේ සතිය අවසන් වෙන්නෙ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයකට ඔබව සහ අපිව ඉතාම කිට්ටු කරමින්.
“සජිත් දිනයිද?”
“ගෝඨාභය දිනයිද?”
“අනුර වෙනසක් කරයිද?” මෙන්න මේ ප්‍රශ්න තමයි ඔබට තියෙන්නෙ.
“සීලරතන හාමුදුරුවො දිනයිද?”
“එම්.කේ.ශිවාජිලිංගම් දිනයිද?”
“හිස්බුල්ලා දිනයිද?”
මේ ප්‍රශ්නෙත් කාටවත් තියෙනව ද?
දන්නෙ නෑ. හැබැයි මේ හැම ප්‍රශ්නයකට උත්තරේ ඉතාම ළඟදි හම්බවෙනවා. කවුද දිනන්නෙ කියන එක හොය හොයා මහන්සි වෙන්න දෙයක් නෑ. ඒත් අපි මේ වතාවෙ බෙලිඅත්තට ගියා. මොකක් වෙයිද කියලා බලන්න.
ඒකට හේතුව වෙන්නෙ බෙලිඅත්ත මහින්ද රාජපක්ෂ මහත්තයගෙ බලප්‍රදේශය නිසා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයටත් මේ ප්‍රදේශය අදාළයි. මෙදා මේ දෙන්නම එන්නෙ හම්බන්තොටින්. ඒ නිසා හම්බන්තොටට වෙනදේ බොහෝම වැදගත්.

අපි මේ ගැන හොයන්න පටන් ගත්තෙම වෙලක් අද්දර තියෙන කොළකැඳ කඬේක මුදලාලි කෙනෙක්ගෙන්. එයා අපිට අපූරු කතාවක් කිව්වා.
“මේ ඡන්දෙ කවුරු දිනයිද මං දන්නෙ නෑ. හැබැයි කවුරු දිනුවත් වැඩක් වෙන්නෙත් නෑ. මොකද ඔය දෙගොල්ලොම මේක කරලා තියෙනවා. නායකයා මාරු වෙනවා. කට්ටිය ඒ කට්ටියම තමයි. එහෙමනං ඇයි මේ රට හදන්න මේ තරං පරක්කු වෙන්නෙ. දැං ඔය කට්ටියටම කල් හම්බුණානෙ.
මම නං දෙන්නෙ අනුරට. මම ඔය කාටවත් දෙන්නෙ නෑ. හැබැයි එකක් මම දන්නවා. අපි මෙතැන කොළ කැඳ විකුණනවා. ගුණ දේවල් හදලා තියන්න පුළුවන්. එහෙමයි කියලා මිනිසුන්ට පොවන්න බෑනෙ. වගේ තමයි අපිට මිනිසුන්ට මොළේ දෙන්න බෑනෙ.
මේවා කියලා වැඩක් නෑ. අනුර පරදිනවා. අපිට තියෙන්නෙ ඡන්ද ලක්ෂ හතයි. ඕන නං ඒක දාහතරක් වෙයි. ඒත් මම දෙන්නෙ නෑ එකෙක්ටවත් ඡන්දෙ…”
මේ කතාවෙන් පටන් ගත්තට තවත් කතා ගොඩක් මුණගැහුණා. පිළිවෙල අපිළිවෙල ඒ වෙතත් මේ ඔක්කොම ඔබට උවමනා වෙයි. ඒ නිසා පරිස්සමට අරං තියාගත්තා. ඔබ ළඟදි ලිහාගන්න. පාරෙ ඉඳලා අත දාපු කොල්ලො දෙන්නෙක් කාර් එකට ගොඩ කරගත්තා. බැලූ බැල්මටම පෙනුණෙ උන්ගෙ මැරෑටිකමක්. ඒත් කමක් නෑ කියලා උන්ව ගොඩ කරෝ ගත්තා.
“බෙලිඅත්තෙනෙ……!!!” කියලා. උන්ගෙ එක්ක කයියක් ගැහුවෙ නිකමට.
“කාටද ඡන්දෙ දෙන්නෙ?”
මං පිටිපස්ස නොබලම ඇහුවා. උන් උත්තර දුන්නෙ නෑ. හරියට උන්ගෙ උත්තරේ බලලා රටේ ජනාධිපති පත්කරනවා වගේ. උන්ගෙන් උත්තරයක් ගන්න මට පිටිපස්ස බලන්නම වුණා.
“අම්මලා දෙන්නෙ මහින්දට…” උන් ඇත්තටම එහෙම කිව්වා.
“මහින්ද ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ…” මං කිව්වා.
“නෑ එයාලා කැමති මහින්දට..” උන් ආයෙමත් කිව්වා.
“කවුද එයාලා…” මං ඇහුවා.
“අම්මලා මුගෙයි මගෙයි…”
කොල්ලෙක් අනිත් එවුං පෙන්නුවා. එතකොට තාත්තලා.
“සජිත්ට…” ඒක ඇත්තටම කියපු කතාවක් ද නැත්තං,
“මුං මොක්කුද කවුද දන්නෙ…”
කියලා අපි ගැන හිතුණ සැකේට කියපු කතාවක් ද කියලා මට තවම විශ්වාස නෑ.
“ඔයාලා…?”
මං ඇහුවා ආයෙමත්.
“අපි මහින්දට…!!!”
උන්ගෙ උත්තරේ,
“ඇයි ඒ…?”
මං ඇහුවා. වැදගත්ම දේ තිබුණේ ඒ කතාවෙ. උන් මට උත්තර දුන්නෙ නෑ. ඒ කියන්නෙ උන් හේතුවක් නැතිව මහින්දට ආදරේ කරනවා.
“මහින්ද මහත්තයව දැකලා තියෙනවද?”
කියලා මම ඇහුවෙ මුං මේ ගංකාරයො හින්දා, දන්නවා අඳුනනවා වත්ද කියලා.
“ටී.වී. එකේ විතරයි…”
කියලා උන් බැහැලා ගියා. කතාව කොට වුණේ දුර එතනින් ඉවර නිසා. ඒ දෙන්නට ඡන්දෙ නෑ තවම. හැබැයි තව අවුරුදු දෙකකින් තුනකින් උන්ට ඡන්දෙ තියෙයි. ඒ ඡන්දෙ මහින්දගෙ නමක් ගමක් ගෑවුණ කෙනෙක්ට හම්බවෙන එක නවත්තන්න නං එජාපෙට සෑහෙන්න වැඩ කරන්න වෙයි.
හැබැයි එකක්, මාතරින් හම්බන්තොට යන පාරෙ සජිත්ගේ කාර්යාල තියෙනවා ඕන තරම්. බෙලිඅත්තට හැරෙන තැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ලොකු පින්තූරයක් තියෙනවා. එතැනින් ටිකක් දුර යනකොට ආයෙ සජිත් ප්‍රේමදාසගෙ කාර්යාල. කාර්යාල සෙල්ලමේදි දෙන්නම එක්කෙනෙක්ට පරාද වෙන්නෙ නෑ. ගණන් කළා නම් එකක් දෙකක් අඩු වැඩි වෙයි. මොකද කඩ සාප්පු ටකරන් මඩු තාවකාලික හට් අරව මේවාවල දිග වැඩි පළල අඩු ඩිජිටල් ප්‍රින්ට් දෙකක් දෙපැත්තෙ තියලා, දිග වැඩි පළල අඩු එකක් ඒවට උඩින් හරහට තියලා කාර්යාල හදලා. හුඟක් ඒවයෙ බලු බල්ලෙක් නෑ. මිනිසුන්ට ඇත්තටම මේ කාලෙ හැටියට දේශපාලකයන්ට කඬේ යන්න බැරුව ඇති.
“සජිත් මහත්තයා මේ පාර දිනන්නෙ උඩින්…”
කියලා බය නැතිව කියන කෙනෙක් අපිට හම්බුණේ බෙලිඅත්ත ටවුමට කිලෝමීටරයක් වත් නැති තැනකදි. ඒ මනුස්සයා එහෙම කියන්නෙ අඩියක් ගහලා නෙමේ. සාමාන්‍ය හොඳ සිහියෙන්ම හයියෙන් කියලා ඔහු අපිත් එක්ක හෙමීට කිව්වා,
“එක පවුලකට, එක වලව්වකට බලේ දෙන්න මේ රටේ මිනිසුන්ට පිස්සු නෑ. උගත් මිනිස්සු ක්‍රමේට කැමති නෑ. මොකද අයියා වැරැදි කළාම මල්ලි කෑ ගහයිද? මල්ලි වැරැදි පාරක ගියොත් අයියා පෙන්නයිද?
මෙන්න මේ දැං තියෙන ක්‍රමේ තමයි හරියටම හරි. අගමැති වැරැදි පාරක ගියොත් ජනාධිපති ගේම ඉල්ලනවා. ජනාධිපති එහෙම ගියොත් අගමැති ගේම ඉල්ලනවා. මේ අරයවයි, අරයා මෙයාවයි බේරන්නෙ නෑ කියලා දෙන්නම දන්නවා. එහෙමයි වෙන්න ඕන. අයියට, මල්ලිට, පුතාට එහෙම නෙ දැං…”
කියලා ඔහු අන්තිමටම කිව්වා.
“ඕවා කතා කරලා වැඩක් නෑ…”
කියලා. අපි ඒක පත්තරේට ලියනවා කියලා දන්නවා නං ඔහු එක වචනයක් කතා කරන්නෙ නෑ. මොකද අපි එහෙම කරපු හුඟාක් උත්සාහයන් සාර්ථක වුණේ නෑ. හුඟක් අය කතා කළේ නෑ.
“දන්නෑ නේද?”
“අනේ මන්දා මොකක් වෙයිද කියලා…” කියලා සමහරු හිනා වෙලා ගියා.
“මේවා යූ.ඇන්.පී. ආසන එක කාලෙක. පස්සෙ ඔය මහින්ද මහත්තයලා ආවෙ. එයාලයි මේ පාරවල්, ඇළ වේලි ඔක්කොම හැදුවෙ. ඒවයෙ ගිහිල්ලා එයින් පිට ඡන්දෙ දෙන්න තරං දකුණෙ ගුණමකු නෑ…”
කිව්වෙ වික්‍රමසිංහ කියලා මහත්තයෙක්. එයා නම කිව්වට පින්තූරයක් පළ කරනවට කැමති වුණේ නෑ.
“මෙහෙ දේශපාලනෙ අන්තිම නරකයි. ඔය උපාසක මහත්තුරු ටයර් සෑයවල් පුරුදු අය. ඒ නිසා ඔයාලා යන්ඩ…”
කියලා එයා කිව්වා. දේශපාලනේ මොකක් වුණත්, 17 වැනිදට පරදින එකාගෙ බෙල්ල කපන්න බලා ඉන්නවා නං, අන්න ඒ මහත්තුරුන්ගෙ මූණු බලාගන්න කියලා අපි කියන්නෙ මතක් වුණ වෙලාවෙ. මොකද ඔය කොයි කවුරුවත් ඡන්දෙන් පස්සෙ අත පිහදාගෙන ගෙදර යන්නෙ නෑ. ආයෙ එනවා. අන්න එදාට අපි පෙන්නමු අපේ බලේ. ඒකට දකුණද, උතුරද, බටහිරද, සබරගමුවද, මධ්‍යමද කියන එක අදාළ නෑ. හැබැයි කොහොම නමුත්,
“මේ ගංවලට රාජපක්ෂලා කළා. හොඳටම කළා. රස්සාවල් දුන්නා. මේ පාරවල් හැදුවෙ, පාලම් හැදුවෙ, මේ ගමේ මිනිස්සු රාජපක්ෂලට ණය ගැතියි…”
ඒ කතාවෙ අවසන් කොටස ඒක. පහුගිය ජනාධිපතිවරණයේ මහින්ද මහත්තයා ගෙදර යනකොටත් බෙලිඅත්ත දිනන්නෙ රාජපක්ෂලා. හැබැයි බෙලිඅත්ත කියන්නෙ පරාජය කරන්න බැරිව තිබුණ තැනක් නෙමෙයි. අවස්ථා කීපයකදීම සජිත් මහින්දට වඩා මනාප ගන්නවා. මේ වතාවේ මහින්ද බෙලිඅත්තෙන් කුරුණෑගලට ආවට පස්සෙ නාමල් බෙලිඅත්තෙන් මුලට ආවා. එහෙමනම් බලාඉමු, මොනවද වෙන්නෙ කියලා.
මොකද මේ එන්නෙ ඉතාම තීරණාත්මක ඡන්දයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අඩුම ඡන්ද තියෙන්නෙ බෙලිඅත්තෙ. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණය සඳහා ඒ ප්‍රමාණය 79,782ක් වෙලා තියෙනවා. හැබැයි හම්බන්තොටට දිගින් වත් හරහින්වත් නැති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් 2015 මනාප විසිදහකට වඩා ගන්නවා. ඒ නිසා එජාපය මැද කොළඹින් ගන්නවා වගේ මහා ජයක් ගන්න බෙලිඅත්තෙන් බෑ. කොහොම කළත් මෙදා උනත් සීයට හැත්තෑවක ජයක් ගන්න කාටවත්ම බෑ කියලයි අපි අවසාන වශයෙන් කියන්නෙ.
ජීවන පහන් තිලිණ











