චිත්‍රාල් සෝමපාල කියන චරිතය ජනප්‍රිය වෙලා තියෙන්නේ ගායන ශිල්පියෙක් විදියට වුණත්, එක එක කාලවලදී සිදු කරන විවිධ ප්‍රකාශ හින්දත් මේ චරිතය කතා බහට ලක් වෙනවා. මීට කාලෙකට කලින් ජාතික කොඩියේ ඉන්න සිංහයා සම්බන්ධයෙන් චිත්‍රාල් සිදු කරපු ප්‍රකාශයක් රට ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කෙරුවා. පසුගිය සතියේ චිත්‍රාල් සෝමපාල සම්බන්ධයෙන් පැතිර ගිය ආරංචියත් මේ වගේම එකක්. “පාටි එකකදී චිත්‍රාල් ගෝඨාභයට බැනලා. එතැන හිටපු අය චිත්‍රාල්ව එළියට දාලා.” එහෙම තමයි ඒ ආරංචිය සමාජ ජාලා ඔස්සේ පැතිරිලා ගියේ.
ඊට අදාළ වීඩියෝ දර්ශනත් ඒ එක්කම ප්‍රචාරය වෙන්න ගත්තා. “මාව අල්ලන්න එපා. මට යන්න දෙන්න.” බොහොම ආවේගයෙන් චිත්‍රාල් තමන් වටේ ඉන්න පිරිසට කෑ ගහනවා. චිත්‍රාල්ව අල්ලගෙන ඉන්න අය එක එක දේ කියනවා. තත්පර කිහිපයක වීඩියෝ පටයේ පේන්න තිබුණේ එච්චරයි. කොහොම වුණත් මේ පැතිර ගිය ආරංචිය ගැන එක එක අය එක එක දේ කියන්න ගත්තා. සමහර අය කිව්වේ එහෙම වුණු එක හොඳයි කියලා. ඒක අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියි නැති කිරීමක් කියලා තවත් අය කිව්වා.
මේ සිද්ධිය වෙලා තිබුණේ පෞද්ගලික බැංකුවක රාත්‍රී සාදයක් අතරතුරේදී. කොහොම වුණත් සමාජ මාධ්‍යය ඔස්සේ පළ වුණු විදියට චිත්‍රාල් සෝමපාල ජනාධිපතිවරයාට බැන වදින ආකාරයක් වීඩියෝ පටවල සටහන් වෙලා තිබුණේ නැහැ. ඇත්තටම එදා වුණේ මොකක්ද? එදා සිද්ධිය ඒ වෙලාවේ ඒ සාදයේ සංගීතය මෙහෙයවපු සංගීත කණ්ඩායමේ නායකයා වෙන හෙක්ටර් ඩයස් මේ විදියට විස්තර කළා.
“ඇත්තටම මේක එච්චර දුර යන්න ඕනේ දෙයක් නෙවෙයි. චිත්‍රාල් අයියා ප්‍රසංගයට ආවා. ඇවිත් සින්දු කියන වෙලාවේ නරඹන්නන්ගෙන් කෙනෙක් මෙයාට අපහාස වෙන විදියට හැසිරුණා. ඉතින් ඒකට වචනයක් චිත්‍රාල් අයියගේ කටින් පිටවුණා. එච්චරයි එතැන වුණේ. එහෙම නැතිව දේශපාලනයට සම්බන්ධ කිසි දෙයක්වත්, වෙන දේකට සම්බන්ධ දෙයක්වත් එතැන වුණේ නැහැ. මේකත් මම කියන්න ඕනේ. ඒ වෙලාවේ එතැන හිටිය නිවේදකයා තමයි ඒක අනවශ්‍ය විදියට ප්‍රචාරය කළේ. ඊළඟ දවසේ එයා ඒක නිවැරැදි කරලා තිබුණා. ඒත් ඒ වෙද්දී ඒක හැමතැනටම ප්‍රචාරය වෙලා ඉවරයි.” හෙක්ටර් ඩයස් ඒ ගැන අදහස් දැක්වූයේ එහෙමයි. වේදිකාව ඉදිරියේ වෙන්නේ මොකක්ද කියන එක හරියටම පේන්නේ වේදිකාවේ ඉන්න සංගීත කණ්ඩායමට. ඒ හින්දා ඒ සිදුවීම හරියටම දැක්ක පුද්ගලයෙක් විදියට හෙක්ටර්ගේ ප්‍රකාශය ඉතාම වැදගත්.
මේ සිද්ධිය ඉතා වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙද්දී එදා මොකක්ද වුණේ කියන එක ගැන චිත්‍රාල් සෝමපාල මහත්මයත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූවා. ඒ මෙන්න මේ විදියට.
“එතැන ඔය කියන කිසිම දෙයක් වුණේ නැහැ. මම සාමාන්‍යයෙන් සින්දු කියද්දී නරඹන්නන් එක්ක සම්බන්ධ වෙනවා. ඒ මගේ හැටි. මගේ සංගීතයේ හැටි. මං එහෙම සින්දු කියද්දී එක්කෙනෙක් ඇවිත් මගේ පිටි පස්ස මිරිකුවා. තව කෙනෙක් මැද ඇඟිල්ල දික් කරලා අසභ්‍ය සංකේතයක් පෙන්නුවා. මං ඒ වෙලාවේ වහාම සින්දු කියන එක නැවැත්තුවා. නවත්තලා මම කිව්වා මේක වැදගත් රටක්. අපි වැදගත් විදියට ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම මට පොඞ්ඩක් තරහත් ගියා. ඒ වගේ දේවල්වලට ගැළපෙන කෙනෙක් හොයා ගන්න කියලා මම සුද්ද සිංහලෙන් ඒ තැනැත්තන්ට කිව්වා. ඒක තමයි වුණේ.”
එම සිදුවීමෙන් පස්සේ තමන්ට තව දුරටත් ගීත ගායනා කිරීමේ පසුබිමක් නොතිබුණු බව කියන චිත්‍රාල් ඒ ගැන වැඩි දුරටත් විස්තර කළේ මෙහෙමයි.
“මට ඒ වෙලාවේ තව දුරටත් සින්දු කියන මූඞ් එකක් තිබුණේ නැහැ. ඒ ගොල්ලෝ මගේ මූඞ් එක කෑවා. මට සල්ලි ඕනෙත් නැහැ. මට යන්න දෙන්න කියලා මම කිව්වා. මොකද මම කැමැති නැහැ කවුරුත් මාව අල්ලනවට. මාව අතඅරින්න කියලා මම කෑ ගැහුවේ ඒකයි. ඒ දර්ශණය තමයි ප්‍රසිද්ධියත් පත් වුණු වීඩියෝ එකේ තියෙන්නේ.” චිත්‍රාල් කියන්නේ එහෙමයි.
කොහොම වුණත් චිත්‍රාල් කියන විදියට ඒක ඒ අවස්ථාවට සහභාගි වුණු කිහිප දෙනෙක් සැලසුම් කරලා කරපු දෙයක්. ඒක සමාජ මාධ්‍ය ඔස්සේ වැරැදි විදියට ප්‍රචාරය වෙන්නෙත් ඒකයි. තමන් ඒ අවස්ථාවේ කිසිම දේශපාලනික කාරණාවක් කතා නොකරපු බව පවසන චිත්‍රාල් හැකිනම් ඒක ඔප්පු කර පෙන්වන ලෙසටත් අභියෝග කරනවා.
“සාමාන්‍යයෙන් මම වමේ ඉන්න මිනිහෙක්. ජාතිවාදය, ආගම්වාදයට මම ප්‍රසිද්ධියේ පහර දෙනවා. මේ දේවල් දරා ගන්න බැරි කිහිප දෙනෙක් මේ වැඬේ සැලසුම් කරන්න ඇති. හැබැයි ඒ වෙලාවේ දේශපාලනය සම්බන්ධ කිසි දෙයක් මම කතා කළේ නැහැ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා. මම මොකටද ජනාධිපතිවරයාට බනින්නේ. එතුමා මට මොනවා කරලද? ඒ හින්දා මම අභියෝග කරනවා. එදා එතැන කැමරා රාශියක් තිබුණා. පුළුවන් නම් කෑලි කෑලි දාන්නෙ නැතුව මම එහෙම කියන ප්‍රකාශයම දාන්න. එහෙම දාන්න කාටවත් බැහැ. මේක සමාජ මාධ්‍යයන්ට දැම්ම පුද්ගලයාම පස්සේ ඒ ගැන සමාව ඉල්ලලා තිබුණා. ඒත් වැරැද්දක් කරලා සමාව ඉල්ලලා වැඩක් නැහැ. අනෙක් එක මාව ඒ අයට හරියන්නේ නැතිනම් විශාල මුදලක් දීල මාව ගෙන්නන්න ඕනේ නැහැ. එහෙම ගෙන්වලා මෙහෙම කරන එක වැරැදියි. ඒ හින්දා මේ වගේ කුහක වැඩ කරන්න එපා. මට කරපු වැඬේ මේ රටේ වෙන ගායන ශිල්පියකුට කරන්න එපා කියලි මම ඉල්ලන්නේ.” චිත්‍රාල් කියන්නේ එහෙමයි.
කොහොම වුණත් මේ සිදුවීමෙන් පස්සේ චිත්‍රාල් සෝමපාල සහභාගි වීමට නියමිතව තිබූ ප්‍රසංග කිහිපයක් අවලංගු කරන්නත් සංවිධාකයන් කටයුතු කරලා තියෙනවා. ප්‍රසංගය අතරතුර සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වගකීම ගන්න බැරි හින්දා එහෙම කළ බව තමයි සංවිධායකයන් චිත්‍රාල්ට කියලා තියෙන්නේ. රටක කලාකරුවකුට ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන එක කලාවට ආදරය කරන කිසි කෙනෙක් අනුමත කරන දෙයක් නෙවෙයි. ඒ වගේම සුළු සිදුවීමකට දේශපාලනය පටලවා ගෙන ඒක ලොකු දෙයක් බවට පත් කරන්න හදන එකත් අනුමත කරන්න බැහැ. මෙහෙම දේවල් දිගින් දිගට වෙනව නම් ඒක කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි.
මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ සම්පත් බැංකු නිලධාරීන් සහභාගි වුණු සාදයකදී. ඒ හින්දා මේ ගැන ඒ ආයතනය මඟින් කියන දේ ගැන දැන ගන්න අපි කිහිප වරක්ම උත්සාහ කළත්, ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.
චන්දන පොන්නම්පෙරුම