නමුත් වර්තමානයේ ඇතිවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. කොරෝනා හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය බොහෝ දෙනකු තුළ මරණ බියක් දක්වාම වර්ධනය වී ඇත. ඉහත සිද්ධීන් මෙන් නොව කොරෝනා හේතුවෙන් ඇති වී තිබෙන බියට සීමා මායිම් නොමැත. වර්ග භේද, ජාති භේද කිසිවක් එයට අදාළ නැත.
ලෝකයේ අනෙක් රටවල් සමඟ සන්සන්දනය කර බැලීමේදී ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති ආකාරය ඉතාම සතුටුදායකය. ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ හතක් පමණක් වීම එයට ඇති හොඳම උදාහරණය ලෙස සැලකිය හැක. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි නාවුක හමුදා නිලධාරීන් පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඞ් 19 ආසාදිතයන් ගණන පසුගිය සතියේදී ඉතාම වේගයෙන් වර්ධනය විය. කොරෝනා පාලනය කර ඇතැයි ජනතාව තුළ ඇති වෙමින් තිබූ සැහැල්ලුව එක මොහොතකින් විනාශ කර දැමීමට එම සිදුවීමට හැකි විය.

ඒ අතරතුරේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වූ එක්තරා ලිපියක් ජනතාව තුළ ඇතිව තිබූ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත් විය. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් රට පුරා ව්‍යාප්ත වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අස්සනින් යුතුව යොමු කරන ලද ලිපියකි. එම ලිපිය යොමු කර තිබුණේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙතය :ෂක්‍ඍක්*. එහි අධිකරණ වෛද්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කරන ලද එම ලිපියේ අඩංගුව තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මෘත දේහ බහාලන කවර 1000ක් ලබා දෙන ලෙස කරන ඉල්ලීමකි.
එම ලිපිය දුටු බොහෝ දෙනකු දැඩි කලබලයට සහ වික්ෂිප්තභාවයට පත් වූවා යැයි කිවහොත් එය නිවැරැදිය. රට තුළ කොරෝනා අසාදිතයන් වේගයෙන් ඉහළ යන පසුබිමක එවැනි ලිපියක් දකින ඕනෑම කෙනකු කලබලයට පත් වීම පිළිබඳ පුදුම විය යුතුද නැත. එයට එක් හේතුවක් වන්නේ මෘත දේහ බහාලුම් කවර සහ එවැනි කවර තුළ දමා මෘත දේහ ආදාහනය අපේ රටට අලුත් අත්දැකීමක් වීමය. එම අත්දැකීම අපේ රටේ ජනතාව අත්වින්දේ කොරෝනා වසංගතයත් සමඟය. එබැවින් මෘත දේහ බහාලුම් දහසක් ඉල්ලා යොමු කළ ලිපිය දුටු බොහෝ දෙනකු එය තේරුම් ගත්තේ තම තමන්ගේ සිතුවිලි අනුවය. නමුත් ඒ සියලු දෙනාගේ පොදු අදහස වූයේ රජය විශාල ව්‍යසනයකට සූදානම් වන බවය. එම ලිපිය ප්‍රචාරය වීම රට තුළ විශාල කැලඹීමක් ඇති කිරීමට හේතු වූයේ ඒ අනුවය.

කොරෝනා අසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් පමණක් නොව වෙනත් හේතූන් මත මිය යන සැක කටයුතු පුද්ගලයන්ගේ සිරුරුද මේ වන විට බහාලුම් තුළ දමා ආදාහනය කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කරන බවද මේ අතර අනාවරණය විය. කොරෝනා ආසාදනය නොවූවද, දිනකදී රට පුරා සැක කටයුතු මරණ රාශියක් සිදු වන බැවින් මෘත දේහ බහාලුම් විශාල ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය වී ඇත. රතු කුරුස කමිටුවෙන් මෘත දේහ බහාලුම් ඉල්ලා ඇත්තේ ඒ සඳහා බවද ඇතැමුන්ගේ මතය විය.
කෙසේ වෙතත් රතු කුරුස කමිටුව වෙත යොමු කළ රහසිගත ලිපිය සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට එම ලිපිය යොමු කළ සුනිල් ද අල්විස් මහතා කටයුතු කර ඇත. එහිදී ඒ මහතා ඉල්ලා ඇත්තේ එම රහසිගත ලිපිය සමාජ මාධ්‍ය වෙත නිකුත් වූයේ කොයි ආකාරයෙන් දැයි පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
මේ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ මාධ්‍ය තොරතුරු නිලධාරිනියගෙන් අදහස් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ ඕනෑම කාර්යයක රහසිගත බව සුරැකීම තම ආයතනයේ ප්‍රතිපත්තිය බැවින් එවැනි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බවය.
“සාමාන්‍යයෙන් අපේ ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක ගොඩක් අවස්ථාවලදී සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒත් ඒ හැම අවස්ථාවකම රහසිගත බව සුරකින්න අපි බැඳිලා ඉන්නවා. ඒ කිසිම දෙයක් ගැන තොරතුරු අපි කාටවත් දෙන්නේ නැහැ. ඒක අපේ ආයතනයේ ප්‍රතිපත්තියක්.” ඇය අදහස් පළ කළේ ඒ ආකාරයෙනි.

මෘත දේහ බහාලුම් සම්බන්ධයෙන් රට පුරා දැඩි ආන්දෝලනයක් ඇති වද්දී, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණි. එහිදී ඒ මහතා සඳහන් කර තිබුණේ මෘත දේහ බහාලුම් යනු කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ සඳහා පමණක් යොදා ගන්නා දෙයක් නොවන බවය.
“ඇත්ත වශයෙන් මේ බොඩි බෑග් කියලා කියන්නේ කොවිඞ් 19 සඳහාම අලුතින් නිර්මාණය වුණු දෙයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර වශයෙන් එදා ඉඳලම තිබුණු දෙයක්. උදාහරණයක් හැටියට ආපදා අවස්ථාවල මේ බොඩි බෑග් භාවිතා කරනවා. අපේ රටේ සිදුවූ කනගාටුදායක පාස්කු ප්‍රහාරයේදීත් මේ බොඩි බෑග් භාවිතා කළා. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව සෑම දෙයකම ගබඩා මට්ටම් පවත්වා ගත යුතුයි. මම දන්න විදියට ඒ සඳහා ෂක්‍ඍක් එකෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම තමයි ඔය සිදු වෙලා තියෙන්නේ. අපි රෝගය පාලනය කරන්න අවශ්‍ය හැමදේම කරලා තියෙනවා. අපේ රටෙන් තාම මරණ 07යි වාර්තා වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කිසිසේත්ම ඔය වගේ මරණ ගණන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ කියන කතා පිළිගන්න බැහැ.” ඒ අනිල් ජාසිංහ මහතාගේ අදහස්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෘත දේහ බහාලුම් ඉල්ලුම් කළේ කුමන කරුණක් සඳහා වුවද, ඒ පිළිබඳ අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැත. මේ මොහොතේ ජනතාවගේ ප්‍රධාන වගකීම විය යුත්තේ මෘත දේහ බහාලුම් අවශ්‍ය නොවන තැනට සෞඛ්‍ය බලධාරීන් පත් කිරීමය. එනම් කොරෝනා වෛරසයේ ආසාදිතයකු බවට පත් නොවී සිටීමට හැකි තරම් උත්සාහ කිරීමය.
චන්දන පොන්නම්පෙරුම











