එකෝමත් එක දවසක හැන්දෑව කළුවරත් අරගෙන හෙමින් සැරේ කොණ්ඩදෙණියෙ පන්සල වටේ බඩ වැටියට රිංගා ගත්තේය. පන්සලේ පිටිපස්සෙ වූ කළුගල් යායට ඉහළින් අහස රත්තරන් පාට ගා තිබුණේය. රාස්සිගේ අව්වෙන් තඹ පාට ගැහුණ පොල් අගිසි ඈතට පෙනුණේ සිත්තමක් වගේය. අඳුර හෙමින් හෙමින් බර අඩි තියමින් විත් පන්සල් මිදුලටම ගොඩ වුණේය. ඉර නිවී යද්දී ගමේ තැන තැන වූ පැල් කොටවල පහන් දැල්ලුණේය.
“චුට්ටේ…”
ලොකු හාමුදුරුවො චුට්ටේව ඇමතුවේය.
“මං මොකක්දෝ එකක් කර කර උන්නේ. හැබැයි ලොකු හාමුදුරුවො මෙහෙම කතා කරන්නෙ මොකක්ම හරි වැදගත් දේකට. ඉතින් මං දුවගෙන ගියා…”
චුට්ටේ ඒ කතාව කියන්නේ එහෙමය.
“චුට්ටෙ…”
හාමුදුරුවො කිව්වා.
මං “හ්ම්…” කිව්වා.”
ඔහු කතාව පටන් ගන්නේම එහෙමය.
“මොකෝ කරන්නෙ චුට්ටෙ? කියලා හාමුදුරුවො ඇහුවා…”
“මං මොකොවත් නෑ, හාමුදුරුවනේ කිව්වා…”
ලොකු හාංදුරුවෝ චුට්ටේව කැඳවා තිබ්බේ වැදගත් වැඩකටය. අදත් මනුස්සකම ඩිංගකින් එකතු පහදු වූ තැන්වල සත්තු සීපාවෝ නිදහසේ හුස්ම ගනිති. වෙහෙර විහාරස්ථානවලට ඒ අතරින් හම්බවෙන්නේම මුල් තැනකි. ඔය වගේ කොණ්ඩදෙණිය පන්සලේද ඕන හැටියේ සත්තු සීපාවෝ දවසරිමින් උන්නෝය. සමහරු බලු පැට්ටෝය. සමහරු පූස් නට්ටෝ ය.
“ඈ චුට්ටො, සත්තුන්ට කන්ඩ දෙයක් නෑ නේද?” කියලා හාමුදුරුවො ඇහුවා…”
“මටත් ඕක කල්පනාවට ආවෙ නෑ. වෙනදා නම් දවල් දානෙං මොනවා හරි ඉතිරි කරලා හවස දෙනවා. ඒත් එදා වෑංජන මොන මොනවා හරි තිබ්බට බත් තිබුණෙ නෑ.”
“මම කිව්වා ලොකු හාමුදුරුවනේ,
බත් නම් නෑ කියලා…”
“එහෙනම් චුට්ටො බත් ඩිංගක් උයලා ගමු.”
ලොකු හාමුදුරුවන් එහෙම කිව් වග චුට්ටේට අදත් එහෙම්ම මතකය. හැබැයි චුට්ටා ඉවිල්ලක් දැන උන්නේ නැත. උයන්නට උවමනා අඩුම කුඩුම දැන උන්නේද නැත. නමුත් චුට්ටේට කොණ්ඩදෙණියේ ලොකු හාමුදුරුවන්ට බෑ කියන්නට පුළුවන් කමක් කොහොමටවත්ම නැත.
“ඉතිං මං හා කිව්වා. හැබැයි උයන්ඩ දර ටිකක් තිබ්බෙත් නෑ. හාල් තිබුණා. වතුර දාලා මල්මුට්ටියකට හාල් හෝදලා ළිපේ තියන්න විතරක් පුළුවන්…”
හැබෑවටම ඔය කියනා යුගයේ අද වගේ එළියට පහළියට බැහිල්ලක් තිබ්බේ නැත. දර වතුර දෙක ගෙට අරගන්නේ හැන්දෑ කළුවරට පෙරාතුවය. රෑ කළුවරේ හුළු අත්ත මිස වෙන උදව්වක් පදව්වක් ගන්නට දෙයක් නැත.
“මං කෝකටත් කියලා හාල් ටික හෝදලා මුට්ටියට දැම්මා. වතුරත් තිබ්බා. ඔක්කෝම ටික කරලා ඉවර වෙලා මුට්ටිය ළිපේ තිබ්බා. තියලා කල්පනා කළේ දර ටිකක් හොයා ගන්න…”
“ඒ පාර ලොකු හාමුදුරුවො කතා කළා”
“චුට්ටො, ඕක ළිපේ තියලා එන්ඩකෝ…, කිව්වා…”
කොණ්ඩදෙණියේ හාමුදුරුවො දෙයක් කියන්නෙ දෙකට දෙවාරමේ නොවනා බව චුට්ටේගෙ පුංචි හිත වුව ඒ වෙද්දී තේරුං බේරුං කරගෙන තිබ්බේය.
“මං ඉතිං අර මුට්ටිය, ළිපේ තිබ්බා. තියලා ගියා හාමුදුරුවො ළඟට…”
“ඈ චුට්ටො, මොකක්ද වුණේ, කියලා හාමුදුරුවො මගෙන් අහනවා…”
“මං කිව්වා, දරත් නෑ ගින්දරත් නෑ කියලා. දර නැති නිසා මුට්ටිය ළිපේ තියලා ආවා කියලා…”
“හාමුදුරුවො හිනා වුණා. අප්පච්චියෝ ඒකත් එහෙමද ඇහුවා…”
බත්මුට්ටිය ළිප තිබ්බාය කියලා බත් තැම්බෙන්නේ නැත. ගේ දොරවල අම්මලා අත්තම්මලා කුස්සි කෑල්ල අස්සේ ගිනි පිඹින්නේ ඒකය. බත තැම්බෙනවාට ආවඩා තැම්බෙන්නේ අම්මලා අත්තම්මලාය. පස්සෙං පහු පන්සල් ආශ්‍රයට වැටුණද ගේ දොරවල මේ සංගෙඩි ගැන චුට්ටා දනී. ඒ නිසා දර ගින්දර හොයා එන්නට ළැහැබට රිංගා ගත යුතුමය. නමුත් ඔය කියන වංගිය ළැහැබ් මේ කාලයට වඩා හොඳ සාර සොබාවය. ගේදොර වෙනුවෙන් එළිවූ ගම්මැද්දවල් ඩිංගිත්ත එහෙං මෙහෙං අල්ලවල් වාගේ මතුවුණා වුව වැඩියෙන් තිබ්බේ වනාන්තරය. ඒවා එකිනෙක ඈඳී තිබ්බේය. සත්තු සීපාවෝ අද වගේ නොව කොයියම් ඉසව්වකින් මතුවේදැයි කියන්නට බැරිය. වලහා කොටියා වුව නැතැයිම කිව නොහැක. ළැහැබ් ඕවිටි බඩවැටි ඒ තරම් සාරය. සරුප විමානෙන් බැස ආ නයි පොළොංගුන් ඕන හැටිය. සමහර මරු නැකැතක මරු නිලයකට ටක්කෙටම දෂ්ට කළොත් එහෙම කොයි ජගතාටවත් කළහැකි කෙංගෙඩියක් නැත. වැඬේ කම්බස්ය.
දර ගින්දර වතුර ළංකොට තබා නොගැනීම කුස්සිය බාර ඇත්තන්නේ රාජකාරියකි. දර ළංකර නොගැනීම ගේ දොරේ නං මෙහෙව් වෙලාවට රණ්ඩුසරුවාල දිග් ගැහෙනා එකකි. සමහර වෙලාවට දීගතුලා හෙම කම්බස්ය. චුට්ටේටත් හිතුණේ තමා මහ වරදක් කර ඇති බවය.
“බණ්ඩයියා පන්සලේ හිටියට ඔය වගේ ඒවා කළේ නෑ. හාමුදුරුවො එක්ක මොනවම හරි වැදගත් දේකට උන්නාන්සෙගෙ කුටියට වෙලා උන්නා මිසක්.
ඒ නිසා මේ වෙලාවෙ උයන්න විදියක් වුණේ නැත්නම් ඒක මගේනෙ වරද.”
“ඒත් හාමුදුරුවො කිව්වා චුට්ටො,
බත් එක ළිපේ තියලා එන්ඩකො පොඩි වැඩක් කියන්ඩ කියලා…”
“මං හිතුවා උන්නාන්සෙ බණ්ඩයියටවත් කියලා ගින්දර දායි කියලා…”
“ඕන්න ටික වෙලාවකින් ආයෙමත් මට කතා කරනවා…”
“චුට්ටෝ ආ අර බත් එක බාලා, ඔය වෑංජන ටිකක් කලවං කරලා කුක්කොන්ට දීලා දාන්ඩකො කියලා”
“මං ගිහිල්ලා බැලුවම බත ගොජ ගොජ ගාලා ඉදෙනවා, හැබැයි ළිපේ ගින්දර නෑ. මං බැලුවා මේ මොකද කියලා. හැබැයි අහන්ට ගියේ නෑ. කොහොමත් ඔහොම ඒවා වුණාය කියලා අහන සිරිතක් අපේ නෑ.
මං බත් එක එහෙම්ම කලවම් කරලා සත්තුන්ට දුන්නා.
හැබැයි එදා බත් එක ඉදුණෙ දර ගින්දර නැතුව. මක් වුණාද කියන එක අදටවත් දන්නෙ නෑ. මොකක් නමුත් දෙයක් හාමුදුරුවො කළාය කියලා නං විස්වාසයි…”
චුට්ටේ කතාව අහවර කළේය. මෙතුවක් කළක් “කොණ්ඩදෙණියේ හාමුදුරුවො” අහවල් හපන්කම කළේ යැයි පතින් පොතින් අසා ඇතිමුත් මෙහෙම සාක්කිකාරයෙක් මුණගැහුණේ නැත. හැමෝම කියන්නේ ‘ලු’ යන්නක් සහිත කතාවකි.
“අරක කළාලු”
“මේක කළාලු”
කීවා මිස මං, මට වුණාය කියනා කෙනෙක් හම්බවුණේම නැත. නමුත් චුට්ටේ කියන්නේ චුට්ටේගේම කතාවකි. එහි කටේගාවේ එක චරිතයක් ඔහුය. විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. නමුත් චුට්ටේ, කොණ්ඩදෙණියෙ උන්නාන්සෙගෙ “දර නැතිව වත් උයපු හැටි” අපිට කීවේ එහෙමය. ඔහු තද කතා ඕනෑ තරම් කීවේය. ඒවා එකින් එක එකකට වඩා අපූරුය. රසවත්ය.
ජීවන පහන් තිළිණ











