වලාකුල් තට්ටු ඇතිරූ හිස් අහස, තද නිල් පාට පසුබිමකි. අහල පහළක වැහි නැති මුත් සුළඟ හීන් හීතලක් අහුලාගෙන උන්නේය. පෙණ කිනිති මල් පරෙස්සමට අඩුක් කළ නැඟෙනහිර මුහුද ඈත තැනකින් හොයා ගත් රැලි රැගෙන වෙරළට ගොඩ වෙයි. ඉර ඇහැරෙන ඈත ඉසව්වේ අහසයි, මුහුදයි දෑඟිලි පටලාගෙනය. මුහුද තත්පරයක්වත් එක විදියකට ඉන්නේ නැත. අහස නිහඬය. ඇත්තටම ගැඹුරු මුහුදය. අහස ඊටත් වඩා ගැඹුරුය. හැබැයි මේ කතන්දරය අහසටවත්, මුහුදටවත් අයිති නැත. කතාව තියෙන්නේ අහසත්, මුහුදත් අතරය. ජීවිතය තියෙන්නේ එතැනය. අපි මේ හොයාගෙන යන්නේ ඒ කතාවය.
මේ කතාවේ නිමිත්ත පහුගිය දිනෙක මතුව ආ කතාවකි. ඒ අපි කොරෝනා කියන ලෝකය ‘කොවිඞ් 19’ කියන රෝගයට ඈඳුණු කතාවකි. මේ ලියනා මොහොත වෙද්දී ඒ කතන්දරවලින් ලෝකය ඉන්නේ තිගැස්සිලාය. චීනයෙන් උපන් රෝගය අග්නිදිග ආසියාවම ගිලගනිමින් සිටී. දැන් යුරෝපය සම්පූර්ණයෙන්ම තැතිගෙන අවසන්ය. ඉරානය, ඊශ්‍රායලය වගේ රටවලත් මේ තත්ත්වය පැතිර ගොස් තිබේ.
ලංකාව ඉන්නේ භයානක තැනකය. ඒත් ලංකාවේ නිලධාරීනුත්, රට වැස්සෝත් ලොකුවට මේ ගැන කලබල වෙන්නේත් නැත. නමුත් ‘අපිට එහෙම වුණොත්?’
ඒකට උත්තර හොයද්දී කියැවුණු නමකි. මේ.
‘මාන්තිව් දූපත’
මාන්තිව් දූපත මොකක්ද කියලා දැනගන්නට පෙර, මේ වෙලාවේ ඒ ගැන කතා කරන්නේ ඇයි කියා දැනගත යුතුය.
‘ලංකාවට ‘කොවිඞ් 2019’ ආවොත්, ඒ අය නතර කරන්න, මාන්තිව් දූපතේ තියෙන රෝහල සූදානම් කරන්න පුළුවන්.’
මාන්තිව් දූපත කරළියට එන්නේ ඔය විදියටය. කාලයක් තිස්සේ මාන්තිව් දූපතත්, මාන්තිව් දූපතේ රෝහලත් හැමෝටම අමතකව ගොස් තිබුණේය. නැඟෙනහිර මුහුද දිගේ කොහේ හෝ පිටරටක සිට ඉගිළ ආ කුරුලු කිරිලිගේ මාන්තිව් දූපතේ ලැගුම් ගත්තේය. ඒ කුරුලු කිරිලියන්ට මාන්තිව් දූපතේ කරදර කරන්නට කෙනෙක් උන්නේ නැත. නමුත් මාන්තිව් දූපතේ රෝහල එහෙම්මම තිබුණේය. කාලය විසින් පැරැණි කරන ලද රෝහල දිනෙන් දින දිරාපත් වෙමින් උන්නේය. දූපතේ ගහ-කොළ-වැල් ටිකෙන් ටික රෝහලට ගොඩ විය.
මුලින්ම ආවේ රෝහල් කොරිඩෝර් එකටය. සුළඟට එකින් එක කාමරවලට එබී බැලුවේය. හිතුවක්කාර කොළයක්, මලක් ජනෙල්වලින් ඇතුළට පැන්නේය. සමහර වැල් ඔළුව දැම්මේය. මේ නොදන්නා ඉසව්වේ, කාටත් රහසින් ජීවිත කිහිපයක් හුස්ම ගනිමින් උන්නේය. ඒ මාන්තිව් රෝහලට කවදාක හෝ ආ අයය. සමහරු ඒ ආ දිනය දැන උන්නේ නැත. සමහරුන්ට නෑදෑයෝ ආගිය දිනක් මතක නැත. නෑදෑයන් ගැන මවුපියන් ගැන අදහසක් නැත. මේ රෝහල ඔවුන් ජීවත් කරවයි. ලෙඞ්ඩු බලන වෙලාවට, කිසිදා කිසිදිනෙක කිසිවෙක් නොපැමිණෙන මේ රෝහල් ගේට්ටුවෙන් හදිසියේ නොකියාම නොදන්වාම ආවොත් ඒ වෙන්නේ මරණය පමණි. මරණය පැමිණ සිය හිතවතෙක් රැගෙන ගිය පසු, රෝහල යළි නිහඬ වෙයි. ඉතිරි කිහිප දෙනා, තම තමන්ගේ කොටස්වල හුදෙකලා වෙයි. දැන් ආගිය දේ කතා කර අවසන්ය. මතකයන් නිමාවෙමින් යළි අලුත් වෙන්නේ කාලය පමණි. මාන්තිව් දූපතේ, රෝහලේ කතාව ඒකය. ඒ අද කතාවය. අපි එහි ගොඩ වෙද්දී අපේ ඇස් මානේ හුස්ම ගන්නා කතාවය. නමුත් අතීතය ඊට වඩා බරය. ඒ කතාවද ඔබ දැන සිටිය යුතුමය.
අක්කර අනූඅටක භූමි භාගයක දූපත පිහිටා තිබේ. පෞද්ගලික ගේ-දොර නැත. තියෙන්නේ රජයේ ඉස්පිරිතාලයත්, හින්දු කෝවිලත් පමණි. අනෙක් ටික කාලය විසින් පරෙස්සම් කරගත් කැලෑ රොදකි. අතරින් පතර මතු වන උස ගස් දෙක තුනක කුරුලු, කිරිලියන් ස්ථිර වාසස්ථාන තනාගත්සේය.
පරණ රෝහල් ගොඩනැඟිල්ලට කතා කළ හැකි නම් කියන්නට කතා ඕනෑ තරම්ය. ඒ ඉතිහාසය ඒ තරම්ම දුරය. හැඳල ලාදුරු රෝහල තැනෙන්නේ 1708 වගේ කාලයකය. ඒත් එක්කම මේ රෝහලත් තැනෙයි. හැඳල ලාදුරු රෝහලට වඩා වයසින් බාල නමුත්, මේත් ඉපැරැණි රෝහලකි. මීට බොහෝ කලකට ඉහත ලාදුරු රෝගීන්ට සුව වෙන්නට අතක් තිබුණේ නැත. ලෝකයම මේ අපූරු රෝගය පවුකාරයන්ගේ රෝගය ලෙස නම් කරගත්තේය. රෝගීන්ගේ ශාරීරික විකෘතිතා නිසාත්, එහි ඇති අප්‍රසන්නතාව නිසාත් මුහුදෙන් එපිට තැනක් මේ රෝහල සඳහා අවශ්‍ය විය. අදද මේ රෝහලට බොහෝ දේ සැපයෙන්නේ එදිනෙදා මඩකළපු රෝහලෙනි. ඒ බෝට්ටු මඟින්ය. එදිනෙදා රෝහලට අදටත් ආහාර ගෙනියන්නේත් මඩකළපු රෝහලෙනි. වෛiවරයාද, එන්නේ මඩකළපු රෝහලේ සිටය. රෝහලට අනියුක්ත සේවයේ යෙදී ඉන්නේ කිහිප දෙනෙකි. ලිපිකරුවෙක්, හෙද-හෙදි, සාත්තු සේවක පිරිසකි. දැනගන්න තියෙන විදියට මේ සියලු දෙනා මඩකළපු රෝහලට අනියුක්ත අයය. මේ රෝහලට යන එන එක කරන්නට තියෙන එකම ක්‍රමය බෝට්ටුවය. කල්ලඩි පාලමට ටිකක් එපිටින් තියෙන බෝට්ටු ගමන් මඟ ඔබට වගේම මටත් තියෙන එකම ක්‍රමයයි. මාන්තිව් රෝහලට යන එන, ඕනෑම කෙනෙක්ට වෙන මඟක් නැත.
මෙවැනිම රෝහලක් රූමස්සලද තිබුණු බවක් කියැවෙන මුත්, ඒ ගැන වැඩි සඳහනක් නැත. මාන්තිව් දූපත් හැමතැනම වූ ගරාවැටුණු ගොඩනැඟිලි, පරණ රෝහලේ නටබුන් වන්නට ඇත. පෙර මේ බිමේ තැපැල් කන්තෝරුවක්ද තිබුණු බවට දැනගන්නට ලැබේ. එදා මේ රෝගින්ගේ ජීවිතයේ අතිශය වැදගත් තැනක් ලෙස මෙතැන හඳුනාගත හැකිය. තමන්ට යළි කිසි දිනෙක දක්නට නොලැබෙන නෑදෑයන්ගේ ආදරණීයයන්ගේ පණිවුඩ ආවේ එතැනටය. මේ අවාසනාවන්ත රෝගය විසින් වෙන් කරන ලද සබඳතා යළි තත්පරයකට, දෙකකට හෝ සිහිකර දුන්නේ ඒ අකුරුය. නමුත් අවසාන ලියමනද අයිතිකාරයාට ලබා දුන් පසු මේ තැපැල් හල අවසන් ගමන් ගොස්ය.
මාන්තිව් දූපතේ, බොහෝ මතක මිහිදන් කළ සුසාන භූමිය තවත් එවැනිම ස්ථානයකි. බොහෝ මෙහි ආ මිනිසුන් යළි මේ සයුර විසින් එගොඩ කළේ නැත. ඔවුන් රෝහලෙන් අවසර ගෙන යා හැකිව තිබූ එකම ගමන මේ සුසානයට ආ ගමනම පමණි. දැනගන්නට ඇති පරිදි මේ සුසානය විවිධ ජාතීන්ට අනුව වෙන වෙනම අවසන් කටයුතු කළ හැකි පරිදි වෙන්කර තිබුණේය. සමහර විට මේ රෝගීන් බලා උන්නේ ඒ ගමන යන්නටමය. මේ ජීවිතයෙන් නික්ම පලා යා හැකි එකම මඟ ලෙස ඔවුන් හඳුනාගෙන උන්නේ ඒ මඟය. ඇතැම් කතන්දර අතර මේ දූපතේම ඉපදී දූපතේම මියගිය ප්‍රේම කතා තිබේ. ඒත් ඒවා ගැන කියන්නට තරමේ සාක්‍ෂි නැත. නමුත් මේ දූපතට ගෙනා සමහර රෝගීන් මෙහිම වූ රෝගීන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනඟාගෙන මෙහිම ජීවත් වූ බවක් සමහරු කියති. සමහර විට මේ භයානක රෝගයේ අඳුරු හෙවණැලි අතර මේ කුරුලු දූපතේ ආදර කතා හැංගී හිඳින්නට ඇත. නමුත් අද වන විට ඒ කිසිවක් නැත. මාන්තිව් කුරුලු දූව නිසංසලය. මේ රෝගීන් පිළිබඳ තොරතුරු කිසිවක් මෙහි වාර්තා නොකරන්නට වගබලා ගනිමු. ඒ සියල්ල පෞද්ගලිකය.
මාන්තිව් රෝහල මෙතෙක් කිසිවෙක්ට මතක තිබුණේ නැත. ඒ ගැන හෙවූ බැලූ එක කෙසේ වෙතත්, ඒ ගැන කතා කළේත් මේ වෙලාවේය. ජීවිතයත්, මරණයත් අතර බොහෝ කඳුළු ගංගා ගලා ගිය මේ දූපත අපි යළි මතක් කරන්නේ ඒ වෙනුවෙනි. හෙට එවැනි කඳුළකට මෙහි ඉඩක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
නමුත් මේ විකල්පයේ වරදක් නැත. ලෝකයට භයානක විපතක් ඉදිරියේ නතර වී සිටිනා විට, අපටද ඒ වෙනුවෙන් ගන්නට පියවරක් අවශ්‍යය. කාලය බොහෝ දේ විසඳනු ඇත. නමුත් කාලයට ඉඩදී බලා සිටින්නට තරම් ඒ කාලය කෙටි නැත. කාලයට ඔහේ යන්නටදී බලා සිටිනා විට බොහෝ නොවිය යුතු දේ සිදුවිය හැකිය.
ඊළඟ කතාව අද මාන්තිව් රෝහල මේ සා සිදුවීමකට සූදානම්ද යන්නය.
ලෝකය නව රෝහල් තනනා විට, අපි නටබුන් රෝහල ඒ වෙනුවෙන් වෙන්කළ හැකිද? ප්‍රශ්නයකි. හැබෑවටම එසේ වෙන් කළ හැකිය. එහි ගැටලු බොහෝය. නමුත් ඒ බොහෝ දේට මුහුණ දෙන්නට අපි හිත හදාගනිමු. ප්‍රශ්නය එතැන නොවේ. රෝහලට රෝගීන් රැගෙන ගොස් දමා අතහැර දැමිය නොහැකිය. මේ රෝගයත් ලාදුරුත් කතා දෙකකි. එදා ලාදුරු සුවකිරීමට මඟක් තිබුණේ නැත. නමුත් මේ රෝගීන්ගේ සීයට අසූපහක (85%) පමණ සුව වීමේ සම්පභාවිතාවක් තිබේ. එය සිහි තබාගත යුතුය. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සූදානම් කළ යුතුය. රැවුලත් – කැඳත් දෙකම බේරා ගතයුතුය. ඒ නිසා දෙවරක් සිතා බැලිය යුතුය. නමුත් මාන්තිව් කුරුලු දූව ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුමය. මේ ඉතිහාසය පරෙස්සම් කළ යුතුය. අදත් මේ ඔබ කියවන දින රාත්‍රියත් නිහඬව නිසංසලව මාන්තිව් කුරුලු දූපතට පැමිණෙනු ඇත. කුරුලු ගී අතරේ රුප්පා යටට එන හීන් කළුවර දූපත පුරා ලැගුම් ගනු ඇත. මේ රෝගීන් කිහිපදෙනාගෙන් පසු සමහර විට මාන්තිව් ලාදුරු රෝහල මතකයක් පමණක් වේද? නමුත් ලාදුරු යළි හිස ඔසවා තිබේ. එය සුව කළ හැකිය. ‘කෙයිඞ්-19’ ඊට වඩා වෙනස්ය. නමුත් කාලය අද මේ දූපතට බොහෝ දේ කර ඇතිසේ හෙටද එසේ වනු ඇත.
ජීවන පහන් තිලිණ