වලාකුළු තිර එළපු ඈත කඳු පන්ති අස්සේ එහෙන් මෙහෙන් එබී බලන පුර හඳක්. හඳට යටින් මීදුම් සේලය. මීදුම් සේලය අස්සෙන් යන්තම් පේන තරු ඇස්පිල්ලම් ගහනවා වගේ. මීදුම් සේලයට යටින් එක යායට පිපිච්ච රොබරෝසියා මල්. සමහර තැන්වල ඩේසි මල්. ඉඳ හිට එහෙන් මෙහෙන් මතුවෙලා තියෙන ලිලී මලක් දෙකකුත් තියෙනවා. මේ ඔක්කොම අස්සෙ ඈත කඳු අතරින් මතුවෙන හීන් හීතල හුළඟ ඇඟ හිරිවට්ටනවා. කඳු අස්සෙ දඟ කරන හුළඟ රොබරෝසියා මල් එක්ක ටික වෙලාවක් කයිය ගගහා ඉඳලා ඩේසි මලකට විහිළු කරන ලිලී මලක් ළඟ නතර වෙනවා. ෆයිනස් යාය සිරි සිරි ගානකොට ඒක නැළවිලි ගීයක් වගේ. ඉදල්ගස්හින්න කෑම්පින් ඒරියා එකේ තැන් තැන්වල කූඩාරම්වල ගුළිවෙලා ඉන්න කොල්ලො කෙල්ලන්ට මේ ආදරය හරි උණුසුම්. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඉදල්ගස්හින්න සීතල හින්දා. මේ හීතලේ ජීවිතය හොයාගෙන ඈත ඉඳන් කොල්ලො කෙල්ලො ඉදල්ගස්හින්නට එනවා. සමහරු එන්නේ ලංකාවෙ එහා කොනේ ඉඳලා. සමහරු එන්නේ උතුරෙන්. සමහරු එන්නේ නැගෙනහිරෙන්. කොහෙන් ආවත් එකම ආදරයක් තමයි ඉදල්ගස්හින්නෙ ෆයිනස් ගස් යට මිනිස්සුන්ට හම්බවෙන්නේ.
මේ තරු පන්ති අස්සෙ ජීවිත ගතකරන අහිංසක කොල්ලො කෙල්ලන්ට සමහර වෙලාවට තමන් අතින් නොදැනීම වැරැදි සිද්ධ වෙනවා ඇති. ඒක ඇත්ත. සමහර වෙලාවට හිතාමතා වැරැදි කරන්න එන දඩබ්බරයොත් මේ කොල්ලෙ කෙල්ලො අතර නැතුවා නෙවෙයි. ඒත් ඉදල්ගස්හින්න වගේ ලංකාවෙ අතිශය සුන්දර සංචාරක පාරාදීසයක් අපි ආරක්ෂා කරන්න ඕනෙ. ඒකට නිවැරැදි වැඩපිළිවෙළක් යොදලා මේවා හරි නම් කරන්න ඕනෙ ලෝකෙට පෙන්නන එක. මේ තැන්වල සොඳුරු රාත්‍රියක් ගතකරලා ජීවිතේ විඳලා යන්න. ලෝකෙ කොහේ හිටියත් එන්න හිතෙන විදියට වැඩ කරන්න තියෙන කොට දැන් අපි වැඩ කරන්නෙ එන්න හිතෙන විදියට නෙවෙයි. නොඑන්න හිතෙන විදියට. ඒ මොකද මම එහෙම කියන්නේ? දවසක්දා ඉදල්ගස්හින්නෙ කෑම්පින් ඒරියා එකේ රාත්‍රිය ගතකරන්න ගිය කොල්ලො සෙට් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ පුදුම හිතෙන අත්දැකීමකට. මේවට කියන්න ඕනෙ වචන පත්තරවල ලියන්න බැරි නිසා මම ඉතා සංයමයකින් මේ ලිපිය ලියනවා. හැබැයි මේ සංයමයෙන් තොරව මේ ලිපියට අවශ්‍ය කරන අඩුමකුඩුම ටික පුරවලා, මේ වැඩේ තියෙන අතිශය නරක බව ඔබට පුළුවන් වර්ණනා කරගන්න.
වැඩේ වෙන්නේ මෙහෙමයි. ඉදල්ගස්හින්නේ රාත්‍රිය ගතකරමින් හිටපු කොල්ලො සෙට් එකකට වනජීවී එකෙන් යැයි කියාගත් පිරිසක් ඇවිල්ලා එතැනින් ඉවත් වෙන්න කියනවා. එහෙම යන්න කියන ගමන් ඒ අයගේ සියලු බඩුබාහිරාදිය එකතු කරගන්නවා. එහෙම කරලා ඔවුන්ගේ ටෙන්ට් ඇතුළු සියලු උපකරණ මේ තක්කඩි විසින් එකතු කරගන්නවා. එකතු කරන අතරතුරේ කෙනෙක් අහනවා, ඔයාලා වනජීවී එකෙන් නම් හැඳුනුම්පත පෙන්වන්න කියලා. ඒකට ඔවුන් පිළිතුරු දෙන්නේ ‘තග් ලෙවල්’ එකෙන්. මේ ‘තග් ලෙවල්’ එකෙන් දෙන උත්තරෙත් එක්ක කතන්දරේ එතැනින් අවසන් වෙනවා. කෑම්ප් එක අහිමි වෙච්ච කොල්ලන්ට අන්තිමට සිද්ධ වෙන්නේ සියල්ල අතහැර දාලා ඉදල්ගස්හින්න දුම්රියපොළේ රාත්‍රිය ගතකරන්න. සීතලේ ගැහි ගැහී රාත්‍රිය ගතකරපු කොල්ලො ටික කෝච්චියේ නැගලා ගෙදර එන්න ඇති. හැබැයි ඉන් පස්සේ ඉදල්ගස්හින්නට මොකද වෙන්නේ?
ඉන් පස්සෙ ඉදල්ගස්හින්නට ගිය කොල්ලො කෙල්ලන්ටත් වනජීවී එකෙන් යැයි කියාගත් පිරිසක් ‘මේකෙ කෑම්ප් ගහන්න එපා, මේකෙ නතර වෙන්න එපා ආපහු යන්න’ කියලා එළවා දැම්මා කියල ප්‍රවෘත්තියකුත් අපි දැක්කා. ඒක කළේ වනජීවී එකෙන්ය කියන එක සම්බන්ධව සැකයක් ඇතැයි කියලා අපි දැක්කෙ නෑ. හැබැයි පහරදීම, මේ මංකොල්ලකෑම කළේ ඇත්තටම වනජීවී එකෙන්ද? ඒ ගැන හොයලා බලපු මාධ්‍යයට වැලිමඩ වනජීවී කාර්යාලයෙන් කියලා තිබුණේ එවැනි දෙයක් ඔවුන් දැනුවත්ව සිදුව නැති බවත්, එවැනි වැටලීමක් ඔවුන් නොකළ බවයි.
හැබැයි ඒ ප්‍රදේශයේ එක්තරා ගැමියෙක් මේ ගැන කියන ප්‍රකාශයක් අපි දැක්කා. ඔහු කියනවා, ‘ෆොරස්ට් එකේ ඔහිය වැඩ බලන මහත්තයා නම් ඒ පිරිසත් එක්ක හිටියා’ කියලා. නාඳුනන පිරිසක් එක්ක ෆොරස්ට් එකේ ඔහිය බලන නිලධාරියා සිටියා නම්, මේ මාධ්‍ය ආයතන වාර්තා කරපු ප්‍රවෘත්තියට අනුව ඔහු සිටියා නම්, ඇත්තටම මේක හොයන්න අපහසු නෑ. මේ වගේ වැඩකට වනජීවී එකේ හෝ වන සංරක්ෂණයේ හෝ නීතියේ හෝ පොලිසියේ තියෙන වචනය මොකක් වුණත්, අපි ඒකට කියන්නේ වැටලීම් කියලා නෙවෙයි ‘මංකොල්ලය’ කියලයි.
මේ මංකොල්ලකෑමේ තියෙන බරපතළකම මේක ඔහියට එදා ආපු කොල්ලන්ගෙන් මංකොල්ලකාපු කෑම්ප්වල කතාව විතරක් නෙවෙයි. අපේ රටට හම්බවෙන්න තියෙන ඩොලර් ලක්ෂ ගණනක් මේ හරහා නොලැබී යනවා කියන එක නොතේරෙනවා නම් තේරුම් කරලා දෙන්නම්. හැබැයි දැන් ඉදල්ගස්හින්න තොටුපළකන්ද රක්ෂිතයට අයත් ෆයිනස් වගා ප්‍රදේශයේ කඳවුරු බැඳීම සඳහා පැමිණෙන්න එපා කියලා වැලිමඩ කලාපයේ අඩවි වන නිලධාරියා නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය දවසක මාධ්‍ය වාර්තා කළා. එහෙම නම් ඉදල්ගස්හින්න කෑම්පින් ඒරියා එකේ කතන්දරේ මෙතැනින් පස්සේ ඉවරයි. තව දුරටත් ඉදල්ගස්හින්නට සංචාරකයන් පැමිණීම සිදුවෙන්නේ නෑ. ඉදල්ගස්හින්නට එන්න එපා නම් මිනිස්සු ඉදල්ගස්හින්නට නොගිහින් ඉන්න එකේ කිසිම ගැටලුවකුත් නෑ. මතක තියාගන්න ඕනෙ කාරණාව තමයි ඉදල්ගස්හින්න මේ කෑම්පින් ඒරියා එක වටේ මිනිස්සුන්ගෙ ජීවිත ගොඩනැගුණේ සහ ජීවිත ගලාගෙන ගියේ මේ කඳවුරු බිම මත.
ඒ මිනිස්සුන්ගෙ ජීවිතවලට මේ හරහා එල්ල කරන පහර ඉතා බරපතළයි. අපි කලින් කිව්වා වගේ ලෝකෙට අපේ දේවල් පෙන්වලා, අපේ දේවල් රස විඳින්න එන්න කියලා අත වනන්න ඕනෙ කාලෙක එන්න එපා අපි එන එවුන්ට සලකන්නේ මෙහෙමයි කියලා ඉතා නරක විදියට සංචාරක කර්මාන්තය විනාශ කරලා දාන, ගහේ ඉන්න කොටියා බේරගන්න ගහ කපලා, කොටියා ගහට යටවෙලා මැරෙන තත්ත්වෙට පත්කරන නිලධාරීන්ට බෑ කියන එක අපට නම් හොඳටම විශ්වාසයි. එහෙම නම් කරුණාකරලා අපිට මේ රට සුන්දර කරගන්න, මේ රට ආරක්ෂා කරගන්න, අපිට ඩොලර් ටිකක් හොයාගන්න නිවැරැදි වැඩපිළිවෙළක් හදන්න පුළුවන් මිනිස්සුන්ව කොහෙ හරි පුටුවකට දාලා නිවැරැදි සිස්ටම් එකක් හදලා දෙන්න. බැරි නම් කියන්න. අපි ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදලා දෙන්නම්. මොකද ඉදල්ගස්හින්න කියලා කියන්නේ අපිට ඩොලර් මවන්න පුළුවන්කම තිබිච්ච තැනක්. හැබැයි අන්තිමට සිද්ධ වුණේ ආපු එවුන්ගෙ කෑම බීම ටික ඇතුළු රුපියල් ලක්ෂ 40ක 50ක උපකරණ කොල්ලකාලා උන්ව එළවලා, කිහිප දෙනකුගේ විනෝදය සඳහා ඉදල්ගස්හින්නෙ සතුට නැති වෙච්ච එක.
ආයෙත් අර වලා සළු අස්සෙ තරු ඇස්පිල්ලම් ගහන රාත්‍රියක ඉදල්ගස්හින්නේ ෆයිනස් ගස් මතුරන කවි සින්දු අහගෙන කූඩාරමක් අස්සේ වැතිරිලා ඉන්න උඹටවත්, මටවත්, කාටවත් අවසර නෑ. ස්තුතියි, වනජීවී නිලධාරීනි ඔබට.
ඉදල්ගස්හින්න රැකගත්තාට. නමුත් මේ තීන්දු ගන්න ඕනෙ ඉදල්ගස්හින්න රකින්නද? නැත්නම් මීට වඩා රකින්න දේවල් තියෙනවද නැද්ද කියන එක අපි ඔබෙන් අහනවා ඇඟිල්ල දිගුකරලා. ටිකක් හිතලා බලන්න. කෑම්පින් ඒරියා, ෆයිනස් වගාවල් රකිනවද? නැත්නම් හොරාකපු එවුන් අල්ලලා උන්ට දඬුවම් කරනවද? එහෙමත් නැත්නම් රටට ඔහොම වුණාවෙ කියලා පිස්සු කෙළිමින් තමන්ගෙ රස්සාව කරගෙන යනවද කියලා ඔබට ඉක්මනට තීරණය කරන්න සිදුවේවි.

ජීවන පහන් තිළිණ










