බුදුන් දිවමන් (ජීවමාන) සමයේම උන්වහවන්සේගේ “පවර් එක” ඔළුවට ගැසූ මහණුන් නොසිටියාද නොවේ. රහත් බවට තබා එහි “බේස්මන්ට්” එකටද හත් ගව්වක් දුරින් සිටි ඔවුන් බුදුන් වහන්සේ පවා තුට්ටුවකට හෝ මායිම් නොකර වලිකෑවේ “හයිෆයි” එකෙන් සිටින්නටය.
“යකෝ සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්න අභිනිෂ්ක්‍රමණය කරන කොට ගියේ මාත් එක්ක මිසක් උඹල එක්ක නෙමෙයි. මමයි එතුමා කන්තක අශ්වයා පිටේ ළුදා “කොක්කං” ගහගෙන (තියාගෙන) අනෝමා ගඟෙන් එගොඩට පැනල, බුදුවෙන්න එක්ක ගියේ. මමයි කන්තකයි නැත්තං, බුද්ධාගමකුත් නෑ. අපි එහෙම නොකෙරුවනං උඹලගෙ බඩවල් පැළෙන්න පිනට කකා ඉන්න හම්බ වෙන්නෙත් නෑ. ඒක තේරුං ගනිල්ලා…” ඔන්න ඔය අන්දමින් සුපේශල ශික්‍ෂාකාමී මහා සංඝරත්නය “පලිච්චි” (අවලාද) කරමින් “සයිස්” එකෙන් සිටි “අය්යා” කෙනෙකි ‘චන්න’ උන්නාන්සේ.
චන්න හාමුදුරුවන් “දෙහි ඇට හැපෙන්නා සේ” මෙසේ කියන “ඇණුංකෙටුං” (හින්ට්) තව දුරටත් ඉවැසිය නුහුණු ඒ වන විටත් නිර්වාණගාමී මාර්ගයට ප්‍රවිෂ්ටව සිටි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ අවලාද වලිනුත් සංසාරය කලකිරී තමන්ට අත්විඳින්නට සිදුවී ඇති මේ වින්නැහිය ගැන එකාවන්ව සාකච්ඡා කර බුදුන් වහන්සේට “කම්ප්ලේන්” කළාහුය.
ඒ පිළිබඳ උන්වහන්සේද සම්‍යක් සම්බුද්ධ ඥානයෙන් නොව සාමාන්‍ය ඥානයෙන් සිතා බලන්නටද ඇති සේක. තමන් වහන්සේ සිද්ධාර්ත නමින් ගිහිව මාලිගයේ වෙසෙන කල චන්නයාද පයුරු පාසානයෙන් (ඉතා ළබැඳිව) සිටි අන්දමත් උයන් කෙළි ආදියට යද්දී ආවුසෝවාදයෙන් (යහළුවන් සේ) කතාබහ කරමින් සිටියා නම් ඒ අන්දමත් සිහි කරන්නටද ඇත. තමන් වහන්සේගේ බිරිඳටද (යශෝධරා) හොරා මහ රෑ අසු සරසාගෙන එන්නට කී කල්හි නොපමාව ඒ අණ නොපිරිහෙළා ඉටුකළ බවද සිතන්නට ඇත. කවුරු මොනවා කීවද “මේකා” ඒ අවස්ථාවේ මාලිගාවේ කාටවත් නොදැනෙන අන්දමට අඩුම තරමින් තම පියාණන් වහන්සේට තබා එක නාට්‍යාංගනාවකට හෝ නොකුද්දා (අවදි නොකොට) තමා ආරක්‍ෂිතව පවුරෙන් (තාප්පෙන්) පිටතට ගෙනා අයුරු “ඒක පොඩි දැ”යි ද සිතන්නට ඇත.
ඒ නිසා තමන් වහන්සේ විසින් චන්න හිමියන් ආණ්ඩු මට්ටු කරනු නොලැබ සිටීමට අදහස් කළා වන්නටද බැරි නැත.
“උණු හින්දා බොන්නත් බැරි, කිරි හින්දා විහික්කන්නත්” (අහක දාන්න) බැරි අවස්ථාවකට පත් වන්නට ඇති උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඒ තෙරණුවන්ට දඬුවමක් වශයෙන් “බ්‍රහ්ම දණ්ඩය” (කතා නොකර සිටීම) පනවන සේ වදාළහ.
ඒ බුද්ධ සාසනේ “අය්යා” කෙනකු වෙන්න හැදූ එක් අයෙකුගේ චරිතයයි. අනිත් “බුවා” සාසනේ හොඳටෝම “නොටෝරියස්” පොරකි. දැක්කොත් බුවාය. නොදැක්කොත් “එබුවා”ය. ඒ බුදුන් වහන්සේ ගේ ‘මචංකාරයා’ය. නොහොත් යශෝධරා දේවියගේ අයියාය. නූල්සූත්තරකාරයාය. නමින් දේවදත්තය. එහෙත් හොඳ වැඩ්ඩෙකි. උඩින් යන්නත්, ඕනෑම වෙසක් මවාගන්නත් හෙතෙම දක්‍ෂ කෙනෙකි. ඔහු විසින් අජාසත්ත (රජ) ගොනාට අන්දවාගනු ලැබුවේ ඒ ශිල්ප දැක්වීමෙනි.
ඉතින් දේවදත්ත තෙරුන්නාන්සේ බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ සියලු සංඝයා වහන්සේලා පාලනය කිරීමේ “ලීඩර්ෂිප්” එකය. නැතහොත් වර්තමානයට අනුව “මහා සංඝනායක”කමය. “උම්හු” බුදුන් වහන්සේ ඊට උකටලී වූ සේක. ඒ නිසා දේවදත්ත තෙරුන්ට “නප්පියටම” තද වුණේය. සාසනේ භාර උපාසක උපාසිකාවන් කියන පරිදි “එක බඩවැල කඩාගෙන උපන්” සහෝදරියගේ (යශෝධරා) ස්වාමි පුරුෂයා නේද මේ යන්නෙ පවා ඔහුට අමතක වී ගියෙන් ඒ තෙමේ තමන්ගේ මචංකාරයා සමග “අඝාත” (වෛර) බැන්දේය.
“නත්ථි මේ සරණං අඤ්ඤං – මස්සිනේ දමලා අඤ්ඤං” යැයි කියමින් බුදුන්ගේ ඔළුවට ගල් පෙරැළුවේය. නාලාගිරියා කුලප්පු කර එව්වේය. එ කල කිසිදු පසල් දනව්වෙක“ස්නයිපර් හෝ ටී ෆිෆ්ටි සික්ස්” (56) කාරයකු නොවූ නිසා විස පෙවූ ඊතල යොදා දුනුවායන් ලවා “ඈම්බුෂ්” එකක් දැමුවේය.
පොඩ්ඩක් හෝව්. දැන් ඒ විස්තර හොඳටෝම ඇති. ඔය ටික කීවේ බුදුන් ධරමාන (සුජීවත්)ව වැඩ සිටි කල ද අද සේම බලයට, නායකකමට ලොකුකමට පෙරේතකම් කළ ඇතැම් සඟුන් හෙවත් ශ්‍රමණ ප්‍රතිරූපක සිටි බව සාසන ඉතිහාසයේම සඳහන් බව කීමටය. ‘මම තමයි සිද්ධාර්ථ කුමාරය බුදුවෙන්ඩ එක්ක ගියේ. අනිත් අයට වැඩිය මම තමයි ඒකට සපෝට් කළේ’ යැයි වහසි බස් කී චන්න තෙරුන් සේම “මම තමයි එයා අගමැතිකමට, ජනාධිපතිකමට පත්කරන්න කැප වුණේ. මගේ විහාරස්ථානෙ තමයි එයාට කාර්යාලෙ දාගන්න, නවතින්න ඉඳුම් හිටුම් දුන්නෙ. මම තමයි සිංහල ඡන්ද හරවල දෙන්න බල කඳවුරු පිහිටුවලා ඇට්ටි හැලෙන්න දුන්නෙ” යන පුරසාරං අදත් රටේ ඕනෑ පදම් අසන්නට ලැබේ.
එසේ කියන්නෝ “ඒ නිසා මට අර තනතුර, අර පදවිය විතරක් නෙවෙයි, මම කියන දේ කරන්නත් ඕනෑ යන කතාවලින් අනුශාසනා කරන අවස්ථාද බෙහෙව.
අනාගත “සඟ” සසුනේ මෙසේ සිදුවන බැව් බුදුන් වහන්සේ දේශනා කර ඇති සේක.
‘ආනන්දය, අනාගතයේදී ආහාරපාන හා අනෙකුත් සුඛවිහරණ භුක්තිවිඳීමට පමණක් මේ සාසනය තුළ භික්‍ෂුන් බිහිවන්නේය’ බුදුන්වහන්සේ එසේ කීහ. එසේ සිදුවන්නේ බුදුදහම අතුරුදන් වන සමයේදීය. ඒ වන විට මහා සංඝරත්නයක් නැත. ඒ වෙනුවට සිටින්නේ “ගණිංනාන්සේලා” පමණි. ඔවුහු කුඹුරු කොටන්නෝය. අඹු දරුවන් රකින්නෝය. වෙළෙඳ ව්‍යාපාර කරන්නෝය. ගිහියන් හා ඔවුනතර වෙනසකට ඇත්තේ ඔවුන් කහ “හුයක්” (නූලක්) පැලඳීම පමණි. ඒ තමන් ශ්‍රමණයන් බැව් ඇඟවීමට බමුණන් පූන නූලක් පලඳින්නා සේ ඔවුන් ද කහ පැහැති නූලක් පැලඳ සිටීම පමණෙකි. ඒ සා වූවනටද “ධර්මයේ නමින් සත්කාර කරන්න” යැයි ධර්මයේ විස්තෘත බවක්ද පැවසේ.
නිර්මල බුදුදහම බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයකට පසුව කෙමෙන් පරිහානියට පත්වන බව ඉගැන්වීමකි. මතයකි.
මේ වන විට බුද්ධ පරිනිර්වාණයෙන් 2566 වසරක් ගෙවී හැටහත් වැනි වසරට එළැඹ තියේ. එසේ නම් “ඇති පන්දහස් පන්සියයක් සහ නැති පන්දහස් පන්සියයක් බුද්ධ ධර්මය පවත්නා යැයි කියන මේ රටේ, බුදුන්ගේ දේශයේ” මේ සිදුවන්නේ “බුද්ධ දේශිත නිර්මල ධර්මයේ පරිහානිය ආරම්භය”දැයි ළෙහි අත්ගසා සාතිශය සංවේගයෙන් ඇසිය යුතුව ඇත්තේය.
සූර්යයා අස්ථඃගත වන විට කෙමෙන් කෙමෙන් ආලෝකය අඩුවනවා හාම අඳුරද පැතිරෙන්නට පටන් ගනී. නිර්මල බුද්ධ ධර්මයේ අවපක්‍ෂයේ ආරම්භයත් සමගම ඊටද (ධර්මයට) විවිධ කරුණු මුසුවෙමින් විකෘති වෙන්නට පටන් ගනියි. බුද්ධ න්‍යායගත සංඝ රත්නය අහෝසි වෙමින් සසුන් පින් කෙතට (පුංඤංකෙත්තං) නාමික සංඝයා හෙවත් බුදුන් කී “ගණිංනාන්සේලා” ආදේශවෙමින් ගණත්වය වර්ධනය වන්නා සේය.
එවන් ගණිංනාන්සේලා “වණක්කු කර්මයෙහි” (වාණිජ කර්මාන්තාදියේ) හෙවත් බිස්නස්වල යෙදෙති. කෘෂි සහ පශු (සත්ව) කර්මාන්තයේ යෙදෙති. හිතූ පැතූ සම්පත් සලසන දේශපාලනයට බසිති. කඩේයති. දේශපාලකයන්ගේ වස්ත්‍ර සෝදති. නොකරන මඟුලක් (මංගල්‍යයක්) නැති තරම්ය.
පැහැදිලිව පෙනෙනා මේ නඩය විසින් නොකරන ලබන එක් දෙයක් පමණක් තිබේ. ඒ බුදුන් අනුදත් දේය. අනුදත් දෙයක් කිසියම් අන්දමකින් කෙරේ නම් ඒ තම තමන්ට ඇවැසි ආකාරයට “මොඩිෆයි” කරගැනීමෙනි. බුදුන් වහන්සේ කිසිදා කිසිදු ආකාරයකින් පරපණ නැසීම අනුදත් නොකළ සේක.
“පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාධියාමි” යන්න සිල් පදයක් බවම කීහ. එහෙත් වර්තමානය වන විට රට වෙනුවෙන් මිනිස් සංහාරයක් කිරීම පාපයක් නොවේ. පාණාතිපාතා වේරමණී තත්ත්වයේ ලා සැලකෙන්නා සේය. එය සියයට සියයක්ම ගළපාගෙන ඇත්තේ ‘සුරාමේරය මජ්ඣ පමා දස්ඨානා වේ රමණී’ යන අන්දමටය. “ඇටි කෙහෙල් දල්ලක් තරම් පළලට තිබූ දුටුගැමුණු මහ රජාණන් ගේ අසිපත, තුන්හිරියා අඩ පං පතක් (තුන්හිරියා පං කොළයක භාගයක්) වන තුරු සතුරන් පොලු ගැසීම (මරා දැමීම) මහත් පල මහත් ආනිශංස දෙන්නකි. ඒ රජතුමා අනාගතයේදී බුද්ධත්වය ලබන බවද ප්‍රකාශිතය.
ඇත්තටම අප මේ සිටින්නේ කවර යුගයකද?සියල්ල “අන්විශ්වාසබල්”සමයකය. මහණදම් පූරණය කරන බව කියන රට පතළ භික්‍ෂුන් වහන්සේ (මහජන හඳුනව්ව පරිදි ශ්‍රමණ ප්‍රතිරූපක) කෙනකුන් පසුගිය දිනෙක රූපවාහිනියෙන් රටටම අනුශාසනා කෙළේ තමන් වහන්සේගේ V 8 වාහනය කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි පහකට අර ප්‍රසිද්ධ නිළි තිළිණිට තිළිණ කළ බවක් හෝ අලෙවි කිරීමට හෝ දුන් බවක්ය.
රටේ නායක කාරකාදීන් සමග පයුරුපාසානෙ විඳි මෙතුමාණන්ගේ ගොඩනැගිල්ලක් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනාවක කුලියකට හෝ බද්දකට දුන් බවක් ද නුදුරු අතීතියේදී සමාජ කතිකාවට ලක් වූවේය. විශ්වවිද්‍යාල පට්ටමක් ගැන පද කියැවිණි.
වෘත්තියකට නොගැනෙන “ගණකම” වෘත්තියක් වශයෙන් සලකා හෝ නොසලකමින් හෝ මෙතුමා “ඡන්ද පොට්ටනියක්” ඇතැයි කියන වෘත්තීය සමිතියක මහා පරිමාණයේ ක්‍රියාකාරිකයෙකි.
අනාගත සඟ සසුනේ බිහිවන ගණිංනාන්සේලා ව්‍යාපාර කරත් යැයි කීයේ මේවාද?
“බඩ සහ බොඩ” යන පද “ආසන්න” යන අරුතෙන් යෙදේ. වැල්ලබඩ (වෙරළ අසල) කඳුබොඩ (කඳු අසල) ඊට උදාහරණය. අභිදානයට ගල අසල යන අර්ථයක් ඇති කෙනකුන් තත් වූ කාල පරිච්චේදයේ කිසියම් නායකත්වයකට “ගොංපස්” ඇල්ලූ අන්දම වනාහි කියලා වැඩක් නැත. නැටූ “කස්තිරං” කිසිම අයි.ආර්.සී.කාරයකුට හෝ නොදෙවැනිය.
මෙපමණකින් නම් මදෑ.
සෑම අතින්ම (සම අන්ත) යහපත් (භද්‍ර) යැයි කියන තවත් කෙනකුන්ගේ වැඩකිඩ ටික ඇසූදුටු විට බල්ලන් බත් කන්නේද නැතිතරම්ය.
ර(හ)ත් වූවා යැයි කියන උන්වහන්සේ සිය දායක කාරකාදීනට “බුෆේ” ක්‍රමයට සුපිරි පන්නයේ පාටි (සාද) දාන්නට නොම්බර එකේ බඩුවකි.
ඛාජ්ජ්‍ය භෝජ්ජ්‍ය ලෙයිය පෙයිය දෙයින් සජ්ජිතය. එතුමා ව(ප)ඩින්නේ පලසක් මෙන් ඇතිරූ නෙලුම් මල් පෙති මතිනි. එකල්හි උවසු උවැසියෝ මහ සයුර ගොස දෙන පරිද්දෙන් සාධු නද පවත්වත්.
එතුමෝ දායකයනට පිරිනමන දානයට “බාබෙකිව්” වරදින්නේ නැත. ඒ පළහන ලද සම්පූර්ණ සූකරයෙකි (ඌරෙකි). වෛවාරන්න අන්දමට ඉවූ පිසූ කකුළුවන්, කුකුළන්, දැල්ලන්ගෙන් අඩුවක් ද නැත. ගණින්නාන්සේ කෙනකු කහ හූයක් (නූලක්) පැලැන්දත් මෙතුමෝ කහ පැහැති වස්ත්‍රයක් පෙරවා සිටින්නාහ. ඒ හා සමානවම ඒ තෙර හොඳ ගොවියෙකි. අක්කර ගණනාවක ගොවිපළක්ය. එළවළු ආදී භවබෝග වගා කෙරේ. ගෙවිලියන් නිසා වගාව ද සශ්‍රීක බව කියත්.
ඒ හා සමාන තවත් සංස්කෘතියක්ද මේ වන විට රටේ පැතිරී තිබේ. ඒ රාමායනයේ රාමාටවත් නොවූ අන්දමේ “ආරාමය”. පවුරකින් වට වූ ඇතැම් ආරාම පවුල් සංස්ථාවකි.
ගමෙන් පිහිට පන්සලටත් පන්සලෙන් පිහිට ගමටත් යන සංකල්පයේ දෙදරීමේ, පැල්මේ ප්‍රභවය එතැනින් මතුව තිබේ. ඒ ස්ථාන ආර්ථික අතින් “සම්පුණ්ණං”ය. ඒ නිසා දායක කාරකාදීන්ගෙන් යමක් අවශ්‍ය නැත. තම තමන්ගේ මවුපියන් නෑදෑ හිතවතුන් සමග යැපෙති. දැපෙති. පිපෙති. ඒ ස්ථානවලින් නැඟෙන දර්ශනය බුදුන් කිසි දිනෙක පාංශුකූලයකට වැඩවදාරා නැති හෙයින් ඒ චාරිත්‍රවලින් වැළකී සිටීමය. ඒ නිසා දානෙකට පිරිතකට හෝ නොවඩිත්.
‘චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය ලෝකානුකම්පාය’ ඒ බුදුන් ඉගැන් වූ පාඩම්ය. දැන් බහුකතෝ බහුලීකතෝ කෙරෙන්නේ ඒ පාඩම් නොව “ලාඩං”ය.
‘අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ’
බොහෝ විහාරස්ථාන “කාසාව කණ්ටකේ භික්ඛු රාජපක්‍ෂ සරණං ගතේ“ වූවේය.
බුදුන් වැඩි කැලණියට නාග ලොවෙන් ධාතුන් වහන්සේලා වඩම්මාගෙන ගඟෙන් නාගයන් පහළ විය. රට යන අත එන හැටි හරි නැති බව දුටු බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය මඟෙහි වඩින අපේ සුපේශල ශික්ෂාකාමී නායක හිමිවරුන් ඒ සඳහා නියත මං ගැනීමට අනුශාසනාවකට සූදානම් වූ කල්හි “බුද්ධං සරණං නොව, රාජපක්‍ෂ සරණං ගච්ඡාමි” කියන කණ්ඩායමක් කහ රෙදිකඩ අංශක විසිතුන හමාරක් ඉහළට ඔසවා ගෙන අස්ගිරි මල්වතු පාර්ශ්ව මහා නායකත්වය ප්‍රතික්‍ෂේප කර රෝහණ නිකායක මහ නාහිමි ධුරයක් ස්ථාපිත කිරීමට පාරම්බෑහ. එහෙයින් අපේ නායක හිමිවරු අසරණ වූහ.
“ලාපූනං සිදන්ති, පාසාණං තිට්ටති” ලබු කටු දියෙහි ගිලෙමින් ගල් දියෙහි පාවෙන හැටි කොසාල් රජු හීනෙන් දුටුවේ අනාගතයේ දී සිද්ධ වෙන ධර්මය උඩු යටිකුරු වීමය.
බාලිකා නණ හෙවත් “නාලිකා බණ” එක් එක් දේශකයාණන් වහන්සේලාට අනුව එක එක අර්ථ නිරූපණය කෙරෙන බව ද නොකියාම බැරිය.
පිරිහීමේ දොරටු විවෘත කෙරෙන්නක් යැයි හැඟෙන ඇතැම් ස්ථානද තිබේ. ඒවා භාවනා මධ්‍යස්ථාන ලෙසින් එම පිරිස් විසින් හඳුන්වනු ලබත්.
ඒ ස්ථානවල කමටහන් දෙන ප්‍රධානීහු මගපල ලාභියෝය. ඇතැමෙක් අනා(ත)ගාමි වූ ඇත්තෝය. ඔවුන්ගේ අනුගාමිකයෝ සෝවාන්, සකෘදාගාමි තත්ත්වයට පත්ව ඇත්තාහයි කම්මට්ඨාචාරීන් විසින්ම හංවඩු ගසනු ලබත්. එසේ මඟ පලලාභීන් අතර ඇති කතාන්තරවද ඉතාම මනහරය. මේ කම්මට්ඨාචාරීන් පමණක් නොව මේ වන විට “කට්ටාඬියාචාරීන්” වහන්සේලාද රටේ ලවක් දෙවක් නැතිව සිටිති. ඇතැම් විහාරස්ථානවල ඇති දේවාලයේ කපුධුරන්ධරාචාරීන්ද උන්වහන්සේලාමය. නූල් බඳිති. දෙහි කපති. (ලැබේ නම් ජම්බෝලද අතගා බලා හපති) ආවේශ (පරල) වෙති.
‘මහණෙනි, කැඩෙන බිඳෙන වෙනස්වන හෙයින් ලුජ්ජති පලුජ්ජතීති ලෝකෝ යැයි මම කියමි’ බුදුන් වහන්සේ එසේ දෙසූ සේක.
‘අහෝ මේකට ධර්ම දීපේ බුදුන්ගේ’ යැයි මොහිදීන් බෙග් ගැයුවා නොවේ ශ්‍රමණ රූපක නෙයියාඩගම් නිසා වැළපුණා සේය.

චන්ද්‍රසේන මාරසිංහ










