ලංකාවෙ එක එක කාලෙට එක එක මැජික්කාරයෝ හැදෙනවා. ඒගොල්ලො ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටලා, මිනිස්සුන්ට එක එක ආතල් දීලා, එක එක සෙල්ලම් දානවා. අපිත් හරක් වගේ පස්සෙන් යනවා. මේක පටන්ගත්තේ කවදාද, කොහොමද කියන එක ගැන එච්චර අවබෝධයක් නැති වුණාට, ඔබට මතකද දන්නේ නෑ එක කාලයක් සුදු බෝධියක් පස්සේ ගියා. තව කාලයක් දොළුකන්දේ ගියා. දොළුකන්දේ වැවම එක පාර පිරිත් කරලා, මිනිස්සුන්ට පිරිත් වතුර දුන්නු කතන්දරේකුත් අපි අහලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ එක එක සෙල්ලම් අස්සේ ධම්මික පැණියක් පස්සේ ගියා පිස්සු හැදිලා වගේ. මතකද දන්නෙ නෑ ඒ කාලෙ ධම්මික පැණි බොන්න මිනිස්සු පෝලිමේ හිටපු හැටි. මේ වගේ එක එක සෙල්ලම් ඇවිල්ලා අපි දේශපාලනික වශයෙන් ගොනාට ඇන්දවීම තමයි වැඩිපුරම තියෙන්නේ. ඇත්තටම අපිව රවට්ටන්න හරි ලේසියි. ඒ නිසා තමයි තැන් තැන්වල ඉන්න කපුවෝ අපට නිතරම ආතල් දෙන්නේ. ලංකාවෙ වැඩිපුරම සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් බොහෝ දෙනෙක් කපුවෝ. කපුවෝ පස්සේ කපෝති වෙනවා. ඒක ඇත්ත. ඒත් රත්තරන් පුරෝගෙන ඒගොල්ලො පුදුම සැපයක් ගන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම හින්දා. ඒ මෝඩකම අස්සේ විද්‍යාවයි අවිද්‍යාවයි එහෙන් මෙහෙන් එහෙට මෙහෙට සෙල්ලම් කරන කාලයක මේ වගේ දෙයක් තමයි මුතුගල සර්ගෙ කතාවත්. මුතුගල සර් අපේ රටේ මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා කියලා නම් අපි කිසිසේත්ම කියන්නේ නෑ. හැබැයි අපේ රටේ මිනිස්සුන් අල්ලගන්න ලේසි නිසා, අපේ රටේ මිනිස්සුන්ගෙ භාෂාව හරියට තේරුම් ගත්තොත් කිසි ප්‍රශ්නයක් නෑ. අපට ඒ මිනිස්සුන් දහස් ගානක් වුණත් එක පාර අන්දවන්න පුළුවන්. මුතුගල සර්ගෙ කතන්දර ඇතුළේ බුද්ධාගම, අරවා මේවා හැම එකම පටලව ගත්තම තවත් ලේසියි. අපේ රටේ භික්ෂුන්වහන්සේලා වැඩිදෙනකුත් කරන්නේ ඒ වැඩේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධ බණ කියනවා. හෝල්සේල් බණ කියලා දහස් ගණන් මිනිස්සු තමන්ගේ ගාවට කැඳවාගෙන, පොඩි ගානකුත් අයකරලා, සරල සුගම සුන්දර සෙල්ලමක් දානවා. මේ වගේ සෙල්ලම් අපේ රටේ ඕනෙ තරම් සිද්ධ වෙනවා.
අපි කාලයක් තිස්සේ එක දිගටම විවිධ වීරයෝ හදාගන්නවා. ඒ වීරයෝ අපට අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු කරලා පැනලා යනකන්, නැත්නම් ඒ වීරයා බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනකන් අපි ඒ වීරයට ආදරේ කරනවා. ඒකට හේතුව තමයි දැන් අපේ වීරයෝ මැරිලා. අපට වීරයෝ නෑ. අපි රටක් විදියට වීරයෝ හොයාගෙන යන ජාතියක්. අපි අපිව පාලනය කරන දේශපාලකයෝ අපේ වීරයෝ කියලා හිතාගෙන හිටපු කාලයක් තිබුණා. ඒක අපට ආයෙත් ඡන්දයක් ළං වෙද්දී සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒගොල්ලෝ වීරයෝ නෙවෙයි. ඒක අපට තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. මතකද දන්නේ නෑ පහුගිය කාලෙ එක්තරා වෙලාවක හදිසියේම මතුවෙච්ච වීරයෙක් හිටියා උතුරේ අරුන් සිද්ධාර්තන් කියලා. අපි කිව්වා ඔය ‘අරුං මුං කියන කතාවලට රැවැටෙන්න එපා’ කියලා. එහෙම කියද්දී ගොඩක් අය අපට ඇඟිල්ල දික්කළා. ඒත් ඇත්තම කතාව වුණේ අරුං මුං අස්සේ රැවැටිච්ච අපට අරුන් සිද්ධාර්තන් කියලා කියන්නේ නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් කියලා තේරිච්ච එක. ඊට පස්සේ අපි දේශපාලකයෝ කරේ තියාගෙන ජනාධිපති කෙනෙක්ව හදාගත්තා. ඒ හදාගත්ත ජනාධිපතිලා වීරයෝ බවට පත්වුණාට, පස්සේ තේරුණා ඇත්තටම ඒගොල්ලෝ වීරයෝ නෙවෙයි කියලා.
දැන් මේ වෙලාවේ සඳකත් වීරයෙක් බවට පත්වෙලා ඉන්නවා. සඳකත් කියලා කියන්නේ දක්ෂ තරුණයෙක්. ඔහුගේ තාත්තා ජයන්ත චන්ද්‍රසිරි. ඒක නිසා සඳකත්ට මුලක්, මැදක්, අගක් තියෙනවා. සඳකත් හෙට මොනවා කරයිද කියලා අපි දන්නේ නෑ. සඳකත් මේ කියන දේවල් ඇතුළේ තියෙන වටිනා හරයක් තියෙන දේවල් ටික අපි ගන්න ඕනෙ. හැබැයි ඒ ගන්නේ මුතුගල සර් නරකයි කියන චේතනාවෙන්වත්, බුද්ධාගමට වඩා ඩාවින් හොඳයි කියන චේතනාවෙන්වත් නෙවෙයි. ඒක තර්කානුකූලව විසඳාගන්න එක ඔබේ වැඩක්. ඒත් සඳකත්ව වීරයෙක් කරගන්න එපා. සඳකත් වීරයෙක් කරලා, සඳකත්ව කරේ තියාගත්තම මුලින්ම ඒ වීරත්වය දරාගන්න බැරුව යන්නේ සඳකත්ට. සඳකත් ඔබෙන් ඉල්ලන්නේ නෑ ඔහුව වීරයෙක් කරගන්න කියලා. ඔබ සඳකත්ගේ අනුගාමිකයෙක් වෙන්න අවශ්‍ය නෑ. හැබැයි ඔබට සඳහකත් කියන එක ඇතුළේ යම් සත්‍යයක් දැනෙනවා නම් ඔබ ඒ සත්‍යය සතුටින් භාරගන්න. ආදරෙන් වැලඳගන්න. ඒකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි සඳකත්ව කරතියාගෙන ගිහිල්ලා කොහෙවත් අතහරින්න හදන්න එපා. ඉන් පස්සේ සඳකත්ටත් රිදෙනවා. ඔබටත් රිදෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ වීරයෙක්ව නම්, ඒ වීරයා සඳකත් නම් ප්‍රශ්නයක් නෑ, ඔබ ඔහුව හදවතේ තියාගන්න. ඒත් අවාසනාවකට අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවෙ ඇතිවෙච්ච මේ විද්‍යා ප්‍රබෝධය ඇරිස්ටෝටල්ට, සොක්‍රටීස්ට වඩා උතුම් යැයි සලකන්න පුරුදු වෙන්න. අපි කියන්නේ නෑ ඇරිස්ටෝටල්ලා, සොක්‍රටීස්ලා උතුම් කියලා. හැබැයි ඇරිස්ටෝටල්ලා, සොක්‍රටීස්ලා අපේ රටේ හදන්න බලාපොරොත්තු වෙන්න එපා. අපේ රටේ මේ පොළොවේ වැවෙන දේවල් ටික වැවුණාවේ. අපි මේකෙ ඇපල් හදන්න ගියාට පස්සේ තමයි අපට කෙළවෙන්නේ. මොකද මේ පොළොවේ ඇපල් හිටවනවට වඩා අපට හිටවන්න දේවල් තියෙනවා. ලේසියෙන් පැළවෙන, ලේසියෙන් හැදෙන කොස් පොළොස් ටික මාර්කට් කරගන්නේ නැතුව, අපි ඇපල් හිටවලා ඒවා ජනාධිපතිතුමාට දීලා, ඒ සම්බන්ධ වීඩියෝ දානකොට අපට දැනෙන්නේ මේක ගොං පාට් එකක් කියලා. ඒක නිසා වීරයෝ හදාගත්තට කමක් නෑ, වීරයෝ කරේ තියාගෙන යන්න එපා. වීරයන්ට ඉන්න දෙන්න. මොකද හේතුව, එහෙම නොවුණාම හැමදාමත් අපේ වීරයෝ මැරිලා කියලයි අපට කියන්න සිද්ධ වෙන්නේ.
ජීවන පහන් තිළිණ