එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ශ්‍රීලනිපය බිහි කළේය. එහෙව් බණ්ඩාරනායකගේ පුතා, අනුර බණ්ඩාරනායක පසු කාලයකදී එක්සත් ජාතික පක්ෂයට එක්ව සිය මවටත් සොහොයුරිය චන්ද්‍රිකාටත් එරෙහිව දේශපාලනය කළේය. පිලිප් ගුණවර්ධන ලංකාවේ සමාජවාදයේ පියාය. එහෙත් ඔහු අන්ත දක්ෂිණාංෂික එ.ජා.ප.යේ නායක ඩඩ්ලිට 1965 හත් හවුල් ආණ්ඩුව හදන්නට උදව් කළේය. ලලිත් – ගාමිණි දෙදෙනා ප්‍රේමදාස සමග වූ අරෝව නිසා එ.ජා.ප.ය හැර ගියෝය. එහෙත් කොටි සංවිධානය ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි බිලිගත් පසු ගාමිණි යළි එ.ජා.ප.යට එක්ව එහි නායකත්වය ලබාගත්තේය. ලංකාවේ දේශපාලනයේ බෙදීම් සහ නැවත එක්වීම්වලට මෙවැනි උදාහරණ ඕනෑ තරම්ය. එහෙත් මේ සෑම අවස්ථාවකම එකී වෙන්වීම් සහ එක්වීම් වෙනුවෙන් කියන්නට කුමක් හෝ කතාවක් තිබිණි. එමෙන්ම එකී කතාවල අසා සිටීමට තරම් වැදගත් කමක්ද තිබිණි.
පසුගියදා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද තවත් දේශපාලන පක්ෂ දෙකක එක් වීමක් පිළිබඳ මාධ්‍යයට කරුණු හෙළිකර සිටියේය. ඇත්තම කියන්නේ නම් එහි අලුත් එක්වීමක් කියා දෙයක් ඇත්තටම නැත්තේය. දැනට වසරක පමණ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරන පක්ෂ දෙකක් සිය සන්ධානගත වීම ප්‍රසිද්ධ කිරීමක් ලෙස එය හැඳින්වීම වඩාත් සුදුසුය. එක ගෙයක ජීවත් වන අනියම් පෙම්වතුන් යුවළක් විවාහ වීමට සමකළ හැකි ඒ සිදුවීම පෙර සඳහන් දේශපාලන සන්ධානයන්ට සහ ඊට හේතුවූ කරුණු කාරණාවන්ට ඉඳුරාම වෙනස් පසුබිමක සිට ක්‍රියාත්මක වන්නකි.
මෙලෙස සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා පෙනීසිටීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ යන පක්ෂ දෙකයි. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා මහේශාක්‍ය ලීලාවෙන් රට කරවන්නට පටන්ගත් පොදුජන පෙරමුණ දෑවසරක් යද්දී එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පමණක් සිමාවී දුර්වල පාර්ලිමේන්තු නියෝජනයක් සහිතව සිටින එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගත වීමට තීරණය කිරීම වූ කලී වර්තමානයේ එම පක්ෂය පත්ව සිටින දුර්වල තත්ත්වය මනාව පෙන්නුම් කරන තත්ත්වයකි. එමෙතුදු නොව පක්ෂ දෙකේම ඇත්තන් ‘රෙදි නැති’ දේශපාලනයක නියැළෙන බවට කදිම උදාහරණයකි.
නිදහස ලැබූදා සිට මෙරට පැවැති සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන තරගකරුවා වූ අතර සෙසු පක්ෂ තරග කළ යුතුව තිබුණේ එම පක්ෂය සමගය. එහෙත් අවසන් වරට මෙරට පැවැති 2020 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන විට දශක හතක ඉතිහාසය වෙනස් කරමින් විධායක බලය හිමි කරගෙන සිටි පොදුජන පෙරමුණට බලය සඳහා තරග කිරීමට සිදුවූයේ රනිල්ගේ එ.ජා.ප.ය සමග නොව සජිත්ගේ ස.ජ.බ.ය සමගය. ඇත්තම කියන්නේ නම් එ.ජා.ප.ය සහ පොදුජන පෙරමුණ අනියමින් සන්ධානගත වූයේ සජිත්ගේ සමගි ජන බලවේගය පරාජය කිරීමටය. ඒ 2020 මැතිවරණයට පෙර තත්ත්වයයි.
පක්ෂ දෙකේ නායකයන් අනියමින් සන්ධානගතව සිටියද දෙගොල්ල ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පක්ෂ දෙකක් ලෙසය. එහෙයින් බරපතළ චෝදනා දෙපාර්ශ්වය අතර හුවමාරු විය. මේවාට වශී වූ ගමේ යු.ඇන්.පී.කාරයාට අල්ලපු වැටේ පොහොට්ටු සාමාජිකයා වහකදුරු මෙන් විය. අවසානයේ අරගලය පැමිණ රාජපක්ෂවරු බලයෙන් නෙරපා හැරියේය. අන්න ඒ අවස්ථාවේ නම් එ.ජ.ප.ය සහ පොහොට්ටුවේ මිතුරුකම සඟවාලන්නට බැරිව ගියේය. එ.ජා.ප. නායකයා රාජපක්ෂවරුන්ගේ එකම ගැලවුම්කාරයා වන්නට ගත වූයේ ටික කලකි. ඊයේ පෙරේදා පොහොට්ටුවේ ලේකම් රටටම ඇහෙන්නට කීවේ අනෙකක් නොව මෙන්න මේ පරණ ජෝඩුව කසාද බඳිනා පුවතය.
දේශපාලන පක්ෂයක් තවත් පක්ෂයක් හා එක්වීම වරදක් ලෙස මේ ලියුම්කරු දකින්නේ නැත. එහෙත් එවැනි තැනකදී එකී පක්ෂවල නායකයන්ට නැතත් ගම් මට්ටමේ සාමාජිකයන්ට ලැජ්ජාව කියා දෙයක් තිබෙන බව ඔවුන් මතකයේ තබාගත යුතුය. එහෙත් එ.ජා.ප. පොහොට්ටු එක්වීම අපට කියාපානුයේ පක්ෂ දෙකේම නායකයන් පාක්ෂිකයන්ගේ ආත්මගරුත්වය නොසලකා හැර ඇති බවය.
මෙරට දේශපාලන බල පෙරළියේ තීරණාත්මක වසරක් ලෙස 2015 වසර දැක්විය හැක්කේය. ව්‍යවස්ථාව වෙනස් කර තුන්වැනි වරටත් ලංකාවේ ජනාධිපති වී සිය පුත්‍රයාට කිරුළ හිමිකර දෙන්නට සිහින දුටු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සක්ක මුක්කුකරුවන් එකී සිහිනයෙන් පුබුදුවා මැදමුලනට පිටුවහල් කරන්නට මෙරට ජනයා කටයුතු කළේ ඒ වසරේ පැවැති ජනාධිපතිවරණයේදීය. එකී ජනාධිපතිවරණයේදී මෙන්ම පසුව පැවැති මහා මැතිවරණයේදීද ප්‍රධාන සටන් පාඨය වූයේ රාජපක්ෂලාගේ හොර ඇල්ලීමය. එය ජනතාවට සැබෑවටම ආකාර්ෂණීය විය. එහෙයින් ඔවුහු රාජපක්ෂලා දඟගෙයිලන තෙක් ඇඟිලි ගනින්නට වන්නෝය. එදා මෛත්‍රිපාල සිරිසේනගේ ජනපතිවරණ වේදිකාවේ බරට නැගුණු චෝදනා අතර මිග් ගනුදෙනු පිළිබඳ චෝදනාවද එකකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේන සමාගමකින් මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේ මිල ඇමෙරිකානු ඩොලර් 2,462,000 (රුපියල් 265,896,000) ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව එකල දේශපාලන වේදිකවේ සුලබව ඇසුණු එකකි. එහි චූදිතයා වූයේ පසුකලක ජනාධිපති වී ජනතාව පලවා හළ ගෝඨාභය රාජපක්ෂය.
රාජපක්ෂවරුන්ට එල්ල වූ චෝදනා අතර වූ අනෙක් ප්‍රධාන චෝදනාව රජයේ මුදලින් සිය මවුපියන් වෙනුවෙන් සොහොන් කොත් දෙකක් ඉදිකිරීමය. ‘සිරිලිය සවිය’ ගිණුම් වංචාව සහ ශිරන්ති රාජපක්ෂගේ ව්‍යාජ හැඳුනුම්පත පිළිබඳවද එකල බොහෝ දේ කතා විය. එමෙන්ම හැඳුනුම්පත් වැනි ලේඛන වෙනස් කිරීම ඇප නොදෙන වැරදිය. එහෙත් ඒ සාමාන්‍ය ජනයාටය. එහෙත් ගෙදරට ගොස් ප්‍රකාශයක් සටහන් කරගත්තාට වඩා යමක් මේවාට වූයේ නැත. එහෙත් එ.ජා.ප.ය ප්‍රමුඛ යහපාලන රජය අඛණ්ඩව රාජපක්ෂලා හොරු යැයි කෑගසා කීවෝය. හොරුන්ට එරෙහි චෝදනා විමසීමට මහාපරිමාණ මූල්‍ය වංචා විමර්ශන ඒකකයක් ද පිහිටුවනු ලැබීය. එහෙත් වරදක් ඔප්පු කර දඟගෙට යැවූ රාජපක්ෂවරයෙක් හෝ පොහොට්ටුවේ සාමාජිකයෙක් නම් නැත.
රාජපක්ෂ පවුලට පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන් ලෙස සැලකුණු අයටද එදා දූෂණ වංචාවන් පිළිබඳ චෝදනා එල්ල විය. එලෙස චෝදනා එල්ල වූවන් අතර රුසියාවේ මහකොමසාරිස් ධුරය දැරූ උදයංග වීරතුංග සහ ඇමෙරිකාවේ මහ කොමසාරිස් ධුරය දැරූ ජාලිය වික්‍රමසූරියද විය. ඊට අමතරව විමල් වීරවංශ, ලලිත් වීරතුංග, මහින්දානන්ද අළුත්ගමගේ වැනි අයටද චෝදනා එල්ල විය. මින් ඇතැමුන්ට ඕනෑවට එපාවට නඩු පැවරීම සිදුකළ අතර එකී නඩු සියල්ල තාක්ෂණික කරුණු මත නිෂ්ප්‍රභ විය. එහෙත් ඇත්තම කතාව නම් රාජපක්ෂ පාලනයේ වංචා කළ බවට චෝදනා කළාමිස ඒවා ඔප්පු කරන්නට යහපාලන ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැත. ප්‍රශ්න කිරීම් අත්අඩංගුවේ දින දෙක තුනක් රඳවා තබාගැනීම් වැනි සොච්චම් රංගනයන් විනා එකම වංචාවකටවත් දඬුවම් නියම කිරීමක් සිදු වූයේ නැත.
එමිරේට්ස් ආයතනය මගින් ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පුද්ගලික කරුණක් මත පවරාගෙන තම මස්සිනාගේ පාලනයට නතුකර රුපියල් බිලියන ගණන් පාඩු ලබන තැනට පත්කිරීම රාජපක්ෂවරුන්ගේ තවත් එක දේශපාලන තක්කඩිකමකි. ශ්‍රී ලංකන් එයාර්හි රූමත් සේවිකාවන් ඔටුන්න හිමි කුමරාගේ සමාගමට යොමුකර ලක්ෂ ගණනින් පඩි ගෙවීමද, ඩොලර් මිලියන ගණන් පාඩු ලබමින් සිටියදී අලුතින් ගුවන් යානා මිලදී ගැනීමට ගොස් වංචා සිදුකිරීමද එකල සුලබව සාකච්ඡාවන්ට ලක්විය. සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ටික කලකට බන්ධනාගාර ගතකිරීම හැර වෙන යමක් එම චෝදනා සම්බන්ධව සිදුවූයේ නැත. එහෙත් එජාපය ශ්‍රී ලන්කන් එයාර්හි වංචාවන් ගැන අදටද 2010 – 2015 පැවැති ආණ්ඩුවට චෝදනා කරති.
රාජපක්ෂලාට හොරු යැයි පවසමින් බලයට පත් යහපාලන ආණ්ඩුවටද වැඩි කල් නොගොස් හොරකම් සඳහා චෝදනා නැගෙන්නට විය. එවක ලංකාවේ ලොකුම හොරකම යැයි පැවසුණු භාණ්ඩාගාර බැඳුම්කර හොරකම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාව විය. 2015 පෙබරවාරි 27 දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් රජයට රුපියල් මිලියන 1774ක පාඩුවක් සිදුවී ඇති බව රාජපක්ෂලා මොරදෙන්නට විය. ඊට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ රාජපක්ෂ පාලනය යටතේද බැඳුම්කර වංචා සිදුවී ඇති බවය. 2012, 2013, 2014 වසරවල බැදුම්කර නිකුතුවෙදී රුපියල් බිලියන 2,700ක වංචා සිදුව් ඇති බව මහබැංකු බැඳුම්කර පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිසම අනාවරණ කර ඇති බව අගමැතිවරයා 2015 මැයි 22 දින සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ඒ අනුව ලංකවේ ලොකුම හොරකමේ ‘ගෞරවය’ ටික දිනකින් රාජපක්ෂලා මත පැවරූ එජාපය, යළි ‘මෙන්න හොරු’ යැයි කෑගසන්නට විය.
2020 මැතිවරණයේදී එ.ජා.ප. පොහොට්ටු දෙපාර්ශ්වය දෙපසට බෙදී හොරකම්වලට චෝදනා කරගත්හ. බලයට පත් සැණින් පොහොට්ටුවේ ආණ්ඩුව සීනි සඳහා වූ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා මාස තුනක කාලයකට අඩු කළේය. ඒ තම ගජමිතුරන්ට වාසිවනු පිණිසය. ඒ සාමගම යළි රාජපක්ෂවරුන්ට ප්ලේන්ටියෙන් ගසා කෑවායයි චෝදනා කරන්නට එ.ජා.ප.ය කටයුතු කළේය. දැන් අලුත් හොරකමක් කරළියට ඇවිත් ඇත. ඒ, සිගරට් බදු වංචාවයි. එහෙත් හෙට අනිද්දා සන්ධානගත වීමට සිටීම සහ දැන් පොහොට්ටු ආණ්ඩුවේ ලොක්කා එ.ජා.ප. නායකයා වීම නිසදෝ තවමත් ඒ ගැන චෝදනා කරන්නට එ.ජා.ප.ය ඉක්මන් වී නැත. මේ අනුව බලන විට දෙපාර්ශ්වයම හොරු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් රටේ වාසනාවට මින් පෙර එක වරකට හොරකම් කිරීමේ අවස්ථාව හිමිවූයේ එක පක්ෂයකට පමණි. එම පක්ෂය හොරකම් කරන විට අනෙක් පක්ෂය ‘මෙන්න හොරු’ යයි කෑ ගැසූහ. දැන් එම පක්ෂ දෙකම එක් වීමට සූදානාම්ය. ඉන් පසු දෙගොල්ලටම හොරකම් කිරීමට බාධාවක් නැත. එහෙත් පොඩි කොස්සක් නැත්තෙම නොවේ. ඒ පක්ෂ දෙකකට එක්ව හොරාකන්නට තරම් දෙයක් දැන් රටේ ඉතිරිව නොතිබීමය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










