මාවරලේ භද්දිය හිමියෝ ඇමෙරිකාවටම ගිහින් කරපු විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න…
ශාසනික මෙහෙවර තුළින් භික්ෂුත්වය ප්‍රභාමත් කළ අතිපූජනීය භික්ෂු පරපුරේ වර්තමාන නියෝජනයක් ලෙස අවිවාදයෙන් සඳහන් කළ හැකි මහා ස්වාමින්වහන්සේ නමක් පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමකි මේ. උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවන අතිපූජනීය හේනේපොල ගුණරතන නම් වූ අප කතානායකයාණෝ Bhante G ලෙස ලොව පුරා ප්‍රචලිතව සිටිති. එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියාහි භාවනා මධ්‍යස්ථානයක වැඩසිටින උන්වහන්සේ ‘සිහිය පිහිටුවීම’ හෙවත් ‘සතිමත් බව’ පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් රචනා කළ Mindfulness in Plain English (සතිමත් බව වැඩීම ලෙස එම කෘතිය සිංහලයට පරිවර්තනය වී ඇත) කෘතිය ලොව පුරා භාෂා 32කට පරිවර්තනය කර ඇති අතර, ඇමෙරිකාව තුළ පමණක් එහි මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී තිබේ. එම කෘතිය තායිලන්තයේ පාසල් පෙළ පොතක් ලෙස විෂය මාලාවට ඇතුළත් කර තිබීමෙන් එහි අගය අපට මැනැවින් වටහාගත හැකිය.
Loving-Kindness in Plain English: The Practice of Metta, Eight Mindful Steps to Happiness, Journey to Mindfulness: The Autobiography of Bhante G, Start Here, Start Now: A Short Guide to Mindfulness Meditation වැනි විශිෂ්ට ධර්ම ග්‍රන්ථ රාශියක්ද උන්වහන්සේ ලොවට දායාද කර ඇති අතර, ලොව පුරා භාවනා උපදේශකවරු එම ග්‍රන්ථ අත්පොත් ලෙස භාවිත කරති. මේ වන විට 95 හැවිරිදි ගුණරතන හිමියෝ විශ්වවිද්‍යාලයන්හි මෙන්ම ධර්ම පාඨශාලාවන්හි ධර්මාචාර්යවරයකු වශයෙන් මෙන්ම කම්මට්ඨානාචාර්යවරයකු ලෙස ලොව පුරා වැඩම කරමින් ධර්මයේ පණිවුඩය බෙදාදෙමින් සිටිති. උන්වහන්සේ දේශනා කරන්නේ ජීවිතයේ යථාර්ථය දැකීමේ මඟයි. ප්‍රසිද්ධිය හඹා නොයන උන්වන්සේගේ එම පණිවුඩය එක් ජාතියකට හෝ රටකට පමණක් වලංගු වූවක් නොවන විශ්වයටම පොදු වූ දහමකි.
සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, වයෝ වෘද්ධ, ඥාන වෘද්ධ අතිපූජනීය හේනේපොල ගුණරතන නාහිමියන් භික්ෂුත්වය බබළවන ප්‍රදීපස්ථම්භයක් ලෙස අවිවාදයෙන් සැලකිය හැකිය. එවැනි විශිෂ්ට හිමිනමක් සමග, පුහුදුන් ජනයා තුළ භාවනාව පිළිබඳ පැනනැගී ඇති පොදු ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්නටත්, ඒවාට පිළිතුරු විමසා දැනගන්නටත් ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේට පසුගියදා අවස්ථාව උදාවී තිබිණි. භද්දිය හිමියන් එක්සත් ජනපදයේදී ඉතා දුර්ලභව උදාකරගත් එම අවස්ථාවේ වීඩියෝව උන්වහන්සේ සිය Buddha Puthun යූටියුබ් නාලිකාවට එක්කොට තිබූ අතර, බෞද්ධ විදර්ශනා භාවනාව පිළිබඳ උනන්දුවක් දක්වන සෑම දෙනකුම ශ්‍රවණය කළ යුතු කරුණු රැසක් එහි අන්තර්ගතව ඇති බැවින් ‘මව්රට’ පාඨක ඔබ වෙත එය මෙලෙස ගෙන ඒමට අප කටයුතු කරමු.
ගෞරවනීය නාහිමිපාණන්වහන්සේගෙන් අවසරයි, ප්‍රථමයෙන්ම මම ඔබවහන්සේගෙන් දැනගන්න කැමැතියි, බටහිර ලෝකේ Mindfulness කියන වචනය සමග භාවනාව සම්බන්ධයෙන් බොහෝ කතිකාවන් සිදුවෙනවා. ඇත්තටම මේ Mindfulness පිළිබඳ ථෙරවාදයේ දැක්වෙන අර්ථකථනය මොකක්ද?
Mindfulness කියන වචනයට පාලියෙන් කියන්නේ ‘සති’ කියලා. ඒක තවත් විදියකින් ‘විපස්සනා’ ලෙසත් හඳුන්වන්න පුළුවන්. විපස්සනාව කියන එකේ තේරුම විශේෂ දැකීම කියන එක. සාමාන්‍ය ඇසකින් දකිනවාට වඩා විශේෂ කොට දැකීම. විශේෂයෙන් දකින්නේ මොනවද? බාහිර තියෙන දේවල් නෙවෙයි. ඒ වගේ දේවල් නම් ඕනෙම කෙනකුට පේනවා. තිරිසන් සතෙකුට පවා පේනවා. විපස්සනාව කියන්නේ ඒකට නෙවෙයි. විශේෂ දැකීම කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධය දැකීමයි. මේක දිහා විශේෂයෙන් දකින්නේ කොහොමද? විශේෂයෙන් දකින්නේ මේ හැම එකක්ම, හැම මොහොතකම වෙනස් වෙනවා. රූපය වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥාව වෙනස් වෙනවා, සංස්කාර වෙනස් වෙනවා, විඤ්ඤාණය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන බව සාමාන්‍යයෙන් අපට පේන්නේ නෑ. ඊයේ තිබුණු රූපය අදත් ඒ විදියටම තියෙනවා කියලයි අපට පේන්නේ. මේක වෙනස් වෙන බව නොපෙනෙන්න බලපාන හේතු 3ක් තියෙනවා. එකක් තමයි තමයි ඝනත්වය. එකට එක්වෙලා තදවෙලා තිබීම. පුටුවක් ගත්තොත් එය ඝනයි. යකඩය, බිත්ති හැමදේම ඝනයි. ඒවායෙත් වෙනස්වීමක් තියෙනවා නමුත් ඇසට පේන්නේ නෑ. දෙවැනි කරුණ සන්ඨාන. ඒ කියන්නේ හැඩය. හතරැස් බව, රවුම් බව, උස් මිටි බව වගේ දේවල්. ඒ කරුණු නිසාත් මේවායේ සිදුවන වෙනස්වීම, අනිත්‍යය පේන්නේ නෑ. තුන්වැනි කරුණ සන්තතිය හෙවත් ගලායෑම. ගලෑයමත් හැම මොහොතකම සිදුවෙනවා නමුත් අපට පේන්නේ නෑ. නමුත් භාවනාවෙන් හිත එකඟ වුණාට පස්සේ පියවි ඇහැට නොපෙනෙන, ශරීරයේ වෙනස් වීම පේන්න ගන්නවා. ශරීරයේ කොටස් 32ම, ධාතු 4ම වෙනස් වෙන බව දැනෙනවා. ඒක වයිබ්‍රේෂන් එකක් වගේ.
අපි දන්නවා මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ Atom (පරමාණු) වලින්නේ. ඒකේ තියෙනවා ප්‍රෝටෝන්, නියුට්‍රෝන් වගේ දේවල්. නමුත් ඒවා අපේ ඇහැට පේන්නේ නෑ. ඒවා බලන්න පුළුවන් ප්‍රබල අන්වීක්ෂයකින් පමණයි. නමුත් භාවනාවෙන් ප්‍රයෝජන ගන්න නම් ඊටත් වැඩිය ගැඹුරට අනිත්‍ය දැකිය යුතුයි. එහෙම දකින්නේ, අවබෝධ වෙන්නේ හිත එකඟ වුණාට පස්සේ. හිත එකඟ වීමෙන් පේනවා මේ සිරුර ඇතුළේ සිදුවන වෙනස්වීම. ඇතුළේ වෙනස් වීම නිසා තමයි අපේ කෙස් ඉදෙන්නේ, කෙස් ගැලවිලා යන්නේ, දත් සෙලවෙන්නේ, කන් ඇහෙන්නේ නැතුව යන්නේ, සම රැලි වැටෙන්නේ, ශරීර ශක්තිය හීන වෙන්නේ. ඒක හරියට මහා කුණාටුවකට පස්සේ ගස් පෙරළිලා යනවා වගේ, ගෙවල් ගැලවිලා යනවා වගේ. ඒ වගේ මතුපිටින් වෙනස් වීමක් වෙන්නේ ඇතුළේ සිදුවන වෙනස් වීම පිටකරනකොට. නමුත් භාවනා කරනකොට ඇතුළේ වෙනස්වීම දැනෙන්න ගන්නවා. ඒ දැනීම මේ ඇස් දෙකෙන් බලලා ලබාගන්න බෑ. ඇස් වසාගෙනයි ඒ විශේෂ දැකීම ලබාගන්නේ. ඇස් වැහුවාම පේන්නේ නුවණට. ඒකට කියනවා ‘පඤ්ඤාය පස්සති’ කියලා. ‘යථො යථො සම්ම සති’ කියලා ගාථාවකින් කියැවෙනවා ස්කන්ධයන්ගේ ඇතිව නැතිව යන ස්වභාවය දකිද්දී ලොකු සතුටක් ඇතිවෙනවා කියලා. ‘සබ්බේ සංඛාරා අනිච්චාති – යදා පඤ්ඤාය පස්සති’ සියලු සංස්කාරයන් ප්‍රඥාවෙන් දකිනවා කියලා. එහෙම දකිද්දී දුක ගැන කලකිරෙනවා. මේ දුකට කලකිරෙනවා කියලා කිව්වාම කෙනෙක් හිතන්න පුළුවන්, අපි කලින් දුක ගැන සතුටු වුණාද කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි දුකට සතුටු වෙලා ඉන්නේ. ඒකනේ දුක පාලනය කරන්න උත්සාහ කරන්නේ. දුක කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ ස්කන්ධ පහම දුකයි. ඒ දුක බව නොදන්නා නිසා ස්කන්ධ පහම අල්ලගෙන ඉන්නවා. නමුත් කලකිරුණට පස්සේ ඒක අතහරින්න පුරුදු වෙනවා. විපස්සනාවෙන් කරන්නේ මේ බව හරියට දැකලා, අල්ලා ගැනීමට තියෙන ආශාව අඩු කරලා නැති කරලා දාන එක. Mindfulness කියන වචනය කිව්වට බොහෝ දෙනෙක් ඒකෙ ගැඹුර දන්නේ නෑ. ගැඹුර ගැන දැනගන්න නම් භාවනා කරන්නම ඕනෙ. භාවනාව ගැන කතාකරන්න ඕනෙ කෙනකුට පුළුවන්. නමුත් අවබෝධය ලබාගන්න නම් ප්‍රායෝගිකව යෙදෙන්න ඕනෙ. අවබෝධ වුණාට පස්සේ ඒ ගැන පැහැදිලිවම කියන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්.
නායක හාමුදුරුවනේ මේ Mindfulness කියන දේ බටහිර ලෝකයේ රටවලින් දැන් අපේ රටටත් ප්‍රචලිත වෙලා තියෙනවා. නමුත් ඔබවහන්සේ විස්තර කරපු ගැඹුරු විපස්සනාව නෙවෙයි අපේ රටේ Mindfulness කියලා කරන්නේ. බටහිර රටවලත් Mindfulness කියලා කරන්නේ හැම කටයුත්තක්ම සිහියෙන් කිරීම කියන සරල දේද? එහෙම නැත්නම් විපස්සනාවේ අර්ථයන් කැටිවූ සතිමත් බව වැඩීමක්ද?
ටික දෙනෙක් ඉන්නවා මේකෙ ගැඹුර දන්න අය. වැඩි දෙනෙක් සාමාන්‍ය මතුපිට අර්ථය තමයි Mindfulness කියලා ග්‍රහණය කරගෙන තියෙන්නේ. හැම දෙයක්ම සිහියෙන් කරනවා කියන එකේ වැදගත්කමක් තියෙනවා. ඒකට කියන්නේ ‘යෝනිසෝ මනසිකාරය’ කියලා. යම් දෙයක් කරනකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා සිහියෙන් කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමක මුල දැනගන්න ඕනේ. අපට මුල් හයක් තියෙනවා ලෝභ, ද්වේශ, මෝහ සහ අලෝභ, අද්වේශ, අමෝහ කියලා. යම් දෙයක් කරද්දී අපි අහන්න ඕනේ අපෙන්ම, මම දැන් කටයුතු කරන්නේ ලෝභ සිතකින්ද, ද්වේශ සිතකින්ද, මෝහ සිතකින්ද කියලා. එහෙම නැත්නම් අලෝභ සිතකින්ද, අද්වේශ සිතකින්ද, අමෝහ සිතකින්ද කියලා. අලෝභය කියන්නේ අතහැරීම, අද්වේශය කියන්නේ මෛත්‍රිය, අමෝහය කියන්නේ ප්‍රඥාව. මම දැන් කටයුතු කරන්නේ මේ මුල් තුනෙන්ද කියලා තමන්ගෙන්ම අහන්න ඕනේ. එහෙම නැත්නම් ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල් සිතකින්ද කරන්නේ කියලා අහන්න ඕනේ. එහෙම විමසා බලමින් නිතරම අලෝභ, අද්වේශ, අමෝහ කියන කුසල මුල්වලින් කටයුතු කරනවා නම් පමණයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. මේ මුල් හය දැකීමට සිත පුරුදු කරගැනීමයි ‘යෝනිසෝ මනසිකාරය’ කියලා කියන්නේ.
සමහරු කියනවා පිඟන් හෝදනකොට සිහියෙන් හෝදන්න, අතුගාද්දී සිහියෙන් අතුගාන්න කියලා. ඒක එහෙම නම් රෙස්ටොරන්ට්වල පිඟන් හෝදන හැමෝම Mindfulness පුරුදු කරන අය කියලා කියන්න පුළුවන් නේ. එහෙම නෑ. පිඟන් හෝදනකොට වුණත් බලන්න ඕනේ හිත දිහායි. ඒ මොහොතේ මගේ හිතේ ඇතිවෙන්නේ රාගයක්ද, ද්වේශයක්ද, මෝහයක්ද කියලා. එහෙම නැත්නම් අලෝභ සිතක්ද, මෛත්‍රී සිතක්ද, ප්‍රඥා සිතක්ද ඇතිවෙන්නේ කියලා බලන්න ඕනේ. එතැන ප්‍රඥාව කියලා කියන්නේ ‘උදයබ්බය ඥානය’ට. ඒ කියන්නේ ඇතිවීම සහ නැතිවීම දැකීමේ නුවණ.
නායක හාමුදුරුවනේ අපෙන් බොහෝ දෙනකු විමසන කරුණක් තමයි, භාවනා කරන්න හොඳ ගුරුවරයෙක්, හොඳ මග පෙන්වන්නෙක් හොයාගන්නේ කොහොමද කියන එක. ඇත්තටම ස්වාමින්වහන්සේ භවනා කරන කෙනාට ඒ සඳහා ගුරුවරයෙක් අවශ්‍යමද?
ඕකට දෙන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි හොඳ ගුරුවරයෙක් තෝරාගැනීම. හොඳ ගුරුවරයා කියන්නේ භාවනාවේ මූලධර්ම විතරක් දන්න කෙනා නෙවෙයි. ප්‍රායෝගිකව ඒවා පුහුණු කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් දෙන උත්තර එකිනෙට වෙනස් වෙන්න බෑ. විද්‍යාත්මකව කරන පර්යේෂණයක් කවුරු කළත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලයනේ. ඒ වගේ වෙන්න ඕනේ. ගුරුවරයෙක් දෙන උත්තරය තව ගුරුවරයෙක් දෙන උත්තරයට වඩා වෙනස් වෙන්න බෑ. ඒ නිසා එහෙම ගුරුවරයෙක් හොයාගන්න එක බොහොම අමාරු වැඩක්. මොකද එක එක්කෙනා තම තම නැණ පමණින් දැනගෙනනේ කියන්නේ. එතකොට උත්තර වෙනස් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මහෝපදේශ හතරක් දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් කියනවා නම් මම බුදුරජාණන්වහන්සේ ඉදිරිපිටමයි මේක ඇහුවේ, ඒ නිසා මම කියන දේ හරි, අනිත් දේවල් වැරැදියි කියලා. බුදුරජාණන්වහන්සේ කියනවා ඒක පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා කියලා. පිළි නොගෙන, ප්‍රතික්ෂේප නොකර ධර්මයට ගැළපෙනවද කියලා බලන්න කියනවා. භාවනාව ගැනත් එහෙමයි. ගුරුවරයෙක් හොයාගන්න තමන්ටත් ඒ වගේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. හොඳ උගත් ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නවනේ. ඒ අය ගාවට ගිහින් අහන්න ඕනේ. එතකොට ඒ අය දෙන උත්තර එකිනෙකට පරස්පර නම්, එතැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යානුකූල නෑ. ඒ නිසා ධර්මයට ගළපා බලන්න ඕනේ. ඒ සඳහා මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, කායගතාසති සූත්‍රය, ආනාපානසති සූත්‍රය වගේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු හොඳ සූත්‍රයක් කියවලා බලන්න ඕනේ. කියවන්නත් ඕනේ හොඳට හිත එකඟ කරගෙන, හැම වචනයක්ම අවබෝධ වෙන ආකාරයටයි. කියවලා ඒක ප්‍රායෝගිකව කරලා බලන්න ඕනේ. ඊට පස්සේ තමන්ට අත්විඳින්න ලැබෙන දේවල් සහ පොතේ තිබුණු දේවල් සංසන්දනය කරලා බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මහා සතිපට්ඨාන සූත්‍රයේ අග දේශනා කරලා තියෙනවානේ මේ කියන දේවල් මේ විදියටම අනුගමනය කළොත් අවුරුදු හතක් හෝ දවස් 7ක් තුළ මාර්ගඵල ලබනවා කියලා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් හොයාගන්න බැරි නම්, ඒ සූත්‍ර ගුරුවරයා කරගත යුතුයි.
ඔබවහන්සේ මුල් කාලයේ භාවනාව ප්‍රගුණ කරද්දී ගුරුවරු මුණගැහුණද?
නෑ. මම ඔය සූත්‍ර කියවලා තමයි ඉගෙන ගත්තේ. ඒ සූත්‍රවල තියෙන දේවල් මම ඒ විදියටම අනුගමනය කළා. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා සූත්‍රයේ තියෙන දේවල් හරි කියලා. මොකද බුදුහාමුදුරුවන්ට වරදින්න බෑනේ.
පසුගිය කාලවකවානුවේ ජනප්‍රිය මතයක් පැතිරුණා භාවනා නොකරත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න පුළුවන් කියලා. බණ දහම් අහමින්, ධර්ම සාකච්ඡා කරමින් වුණත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. මේ යුගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න භාවනාව ප්‍රගුණ කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්ද?
ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි ‘අත්‍යාවශ්‍යම කාරණයක්’ කියන එක. බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි චතුරාර්ය සත්‍යය කියන එක උගත්කමෙන්, බුද්ධියෙන් සහ දැනුමක් විදියට අවබෝධ කරගන්න පුළුවන්ය කියන එක. ඒක හරියට බොහොම ගැඹුරු ළිඳක පතුලේ තියෙන වතුර දකිනවා වගේ. ගැඹුරු ළිඳක පතුළේ වතුර තියෙනවා. නමුත් එතැන වතුර තිබුණට ගොඩ ඉඳලා ඒක දකින අයගේ පිපාසය සංසිඳෙන්නේ නෑනේ. පිපාසය සංසිඳෙන්න නම් ලණුවක් සහ බාල්දියක් යොදාගෙන වතුර අරගෙන බොන්න ඕනේ. එතැන බාල්දිය සහ ලණුව වගේ තමයි ප්‍රායෝගිකව භාවනාවේ යෙදීම. එහෙම භාවනා කළාම තමයි පිපාසය නැතිවෙනවා වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙන්නේ. චතුරාර්ය සත්‍යය ගැන උගත්කමෙන් ලැබෙන අවබෝධය එකක්. ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබන අවබෝධය තව එකක්. ප්‍රත්‍යක්ෂ අවබෝධයට තියරි එච්චර බලපාන්නේ නෑ. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයෙත් කිසිම තියරි එකක් නැතුවනේ බාහිය දාරුචීරිය රහත් වුණේ. ඒ වගේ ලක්ෂ ගණනක් දෙනා රහත් වෙලා තියෙනවා උගත්කමක් නැතිව. මොකද බුදුහාමුදුරුවෝ භාවනාවට දෙන උපදේශයක් කවදාකවත් වරදින්නේ නෑ. ඒ නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම අදත් කරන්න පුළුවන්. අදත් රහතන්වහන්සේලා ඉන්න පුළුවන්. ඒකට හොඳම ක්‍රමය තමයි භාවනා කිරීම. භාවනා නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ.
ලබන සතියට…