බණ්ඩාර කපු මහතා සුගන්ධිකා දෙස ඉතා විමසිලිමත් බැල්මකින් බලාගෙන සිටියේය. විනාඩි කිහිපයක් එලෙස බලා සිටි ඔහු අවසානයේ සුගන්ධිකාගේ පියා දෙසට හැරුණේය. යම් තීන්දුවක් සිතෙහි ඇතිකර ගෙන බව ඔහුගේ මුහුණෙන් හඳුනාගත හැකිය.
මහත්තයා කල් යවන්න කාරි නෑ, මං හිතන්නේ. මේ කටයුත්ත අද රාත්‍රියේම කළා නම් හොඳයි. මේ දරුවගෙ තත්ත්වය එතරම් ගුණ පාටක් පෙනෙන්නෙ නැහැ.
බණ්ඩාර මහතා එසේ කියා පැන්සලකුත්, කොළ කැබැල්ලකුත් ගෙන තම පූජාවට අවශ්‍ය සියල්ල සටහන් කර විජේ බණ්ඩාර අතට දුන්නේ යම් කලබලයකිනි.
විජේ බණ්ඩාර උන්නේ සිය දියණියගේ හදිසි රෝගී තත්ත්වය ගැන සිතේ උපන් කලබලයෙනි.
මං මේ ටික රෑ වෙන්න කලින් ගෙනත් තියන්නම් මහත්තයා, ඔබතුමාව එක්කගෙන යන්නත් මං එන්නම්.
නෑ… නෑ… අවශ්‍ය නෑ… මහත්තයා බඩු ටික සූදානම් කරන්න මං හවස හතර පහ වෙද්දී අපේ උදව්කාරයෝ දෙන්නත් එක්ක එහෙම එන්නම්.
ඒ අනුව විජේ බණ්ඩාර මහතා අවශ්‍ය සියල්ල කඩිමුඩියේ ලකලෑස්ති කර ගත්තේය. හවස දෙක, තුන වෙද්දි සියලු කටයුතු අහවර කළ විජේ බණ්ඩාර මහතා සිය පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකුම නිවෙසට ගෙන්වා ගත්තේ, මෙවන් අත්දැකීමක් ලබන මුල්ම වතාව මෙය බැවිනි.
සවස හතර, පහවෙද්දී පැමිණි බණ්ඩාර මහතා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ශාන්ති කර්මය ආරම්භ කළේ රාත්‍රි දහයට පමණය. ඒ අනුව අනෙක් පිරිසත් සුගන්ධිකාත් ඒ අසල රැඳී උන්නාය. ක්‍රමයෙන් බණ්ඩාර මහතාගේ ස්තෝත්‍ර සහ මන්ත්‍ර ජපය උත්සන්න වෙද්දී සුගන්ධිකාගේ හැසිරීම වෙනස් වන්නට පටන් ගත්තාය. ඇය අසුන්ගෙන සිටි තැනින් නැඟිට නටන්නට පටන් ගත්තේ ආවේශයක ස්වරූපයෙනි. බොහෝ වේලාවක් ඇයට නටන්නට ඉඩදුන් බණ්ඩාර මහතා, සිය යාතිකාව නතර කළේ සුගන්ධිකා නැටුමින් හෙම්බත් වූවාට පසුවය.
‘තමුන්ට මාව ඇහෙනවද?’
බණ්ඩාර මහතාගෙ ප්‍රශ්නයට ඇගෙන් පිළිතුරු නොලැබිණි.
තමුන්ට මාව ඇහෙනවා කියලා මං දන්නවා. කතා කරනවා. ඇයි ආවේ, මොකටද ආවේ, තමුන් කවුද කියලා නොකිව්වොත් මේ දැන්මම තමුන්ව අල්ලලා මුහුදට දානවා.
බණ්ඩාර මහතා දුම්කබලට කට්ටකුමන්ජල් මිටක් ගසා කේන්තිය මුසු හඬින් කීවේය.
‘හිහ්… හිහ්… හී… මුහුද මුහුද… මං ඔය මුහුදෙ අවුරුදු තිහක්ම පාවෙවී ඉඳලයි මෙහාට ආවේ. ඔව්… අවුරුදු තිහක්, අවුරුදු තිහක්, බණ්ඩාර හාමුවා අර සේදිරිස් ගුරා එක්ක එකතු වෙලා මාව අල්ලලා බෝතලයකට හිර කරලා මහ මුහුදට විසික් කළා. එදා ඉඳලා මං අවුරුදු තිහක්ම මුහුදෙ පාවුණා. හහ්… හහ්… හා… මං කවදා හරි බණ්ඩාර හාමුව හොයාගෙන එන්න බලාගෙන හිටියෙ. එදා කට්ටිය මාව එහෙට මෙහෙට විසි කරා, උඩ දැම්මා. අන්තිමට මාව නිදහස් වුණා. මට බණ්ඩාර හාමුවගෙ ලේ සුවඳ මතකයි. ඒකයි මං මෙහෙම ආවේ… ඔව්… මං සේදිරිස් කපුවගෙන් ගන්න තිබුණු පලියත් ගත්තා. හහ්… හහ්… හා… මං නිකන් යන්නේ නෑ… මං බණ්ඩාර හාමුවා මට කරපු දේට ලේ බිල්ලකුත් අරගෙනමයි යන්නේ.
ඔව්… මං යන්නෙ නෑ. බණ්ඩාර හාමුවා මගේ දේපොළ සේරම උදුරා ගත්තා. මාව නොමරා මැරුවා. අන්තිමට මාව අල්ලලා මුහුදට දැම්මා.
බණ්ඩාර හාමු යනු සුගන්ධිකාගේ සීයාය. ඒ අනුව ඔහුගේ අතින් සිදුවූ වරදකට ප්‍රේත ආත්මයක් සුගන්ධිකාගේ සිරුරට ඇතුළු වන්නට ඇති බව බණ්ඩාර මහතා වටහා ගත්තේය. ඔහු යළිත් වතාවක් මන්ත්‍ර ස්තෝත්‍ර කියමින් හිඳ ආත්මයට පොරොන්දු කිහිපයක් දී පලවා හැරියේ ප්‍රේත ආත්මයේ සුබසිද්ධිය උදෙසා දානමය කටයුත්තක් කරන්නටද පොරොන්දු වෙමිනි.
විජේ බණ්ඩාර මහත්තයා ඒ කටයුත්ත අහකයි. හැබැයි අර කියපු විදියටම ලොකු දානමය කටයුත්තක් කරන්නට වෙනවා. මොකද ඔය ප්‍රේත ආත්ම රවට්ටලා බේරෙන්ඩ බැහැ පේනවනෙ. අවුරුදු තිහකට පස්සෙත් වෛරය හිතේ තියාගෙන ඉඳලා තමයි මේ දරුවා පස්සෙ ඇවිත් තියෙන්නෙ, මට තියෙන ප්‍රශ්නෙ මේ දරුවා කොහොමද හරියටම ඒ වෙලාවේ එතැනට ගියේ කියන එක. අනෙක් එක ආත්මය හිරකරපු බෝතලේ ඒ වෙලාවේ කවුරු හරි උඩ දමලා තියෙනවා. මේ දරුවට එහෙම සිද්ධියක් මතකද..?
බණ්ඩාර මහතාගේ ප්‍රශ්නය හමුවේ මොහොතක් කල්පනා කළ සුගන්ධිකා යමක් මතක් වූවාක් මෙන් වටපිට බැලුවාය.
‘ඔව්… එදා අපි ගාලු යන ගමන් බීච් එකට ගියා. එතකොට වැල්ලෙ තිබිලා පරණ බෝතලයක් හම්බ වුණා. කට්ටිය ඒක ‘වී.ඕ.සී.’ බෝතලයක් කියලා ඒක උඩ දම දමා සෙල්ලම් කරනකොට එක සැරේටම ගලක් උඩට වැටිලා කුඩු වුණා. එතකොටම මට අමුතු කලන්තයක් වගේ දැනුණා.
දියණියගේ කතාවෙන් සියල්ල තේරුම් ගත් බණ්ඩාර මහතා තම කටයුත්ත අවසන් කර පිටව ගියේ කාගෙත් ස්තුතිය පිළිගනිමිනි. ඊට සතියකට පසුව විජේ බණ්ඩාර මහතාගේ නිවෙසේ සංගීත දානමය පුණ්‍ය කර්මයක් සිදුකෙරුණු අතර, එතැන් පටන් පෙර තිබූ දොස් දෙවොල් තුරන් වූ අතරම, විජේ බණ්ඩාර මහතාට අයත් රන්බඩු සාප්පුවේ සේවය කරමින් සිට හදිසි සොරකමකට අනුව සුගන්ධිකා කළ පැමිණිල්ලට අනුව සිරගතව සිටි සේදිරිස් ගුරුන්නාන්සේගෙ දියණිය වූ පියුමිව බේරා ගන්නටද විජේබණ්ඩාර මහතා කටයුතු කළේ එම සොරකමත් ප්‍රේත ආත්මය මැදිහත්ව කළ ක්‍රියාවක් බවට වටහා ගැනීමෙන් පසුවය. ඒ අනුව අද වෙද්දි සියලු දෙනාම සතුටින්, සමගියෙන් සිය කටයුතු කරගෙන ජීවත් වෙයි.
(සියලු නම්, ගම් මනඃකල්පිතයි)
සත්‍ය කතාවක් ඇසුරින්
සටහන – කුමාර රත්නායක











