සක්විති රජ කෙනෙකු පහළ වීම යනු අතිශය දුර්ලභ සිදුවීමකි. එය බුදුවරයකු පහළ වීම හා සමානවම දුර්ලභ සහ වටිනා කාරණාවක් වන අතර ගෙවුණු ඉතිහාසය පුරාවටම මෙලොව සක්විති රජවීමට භාග්‍ය ලද්දෝ සක්විති රජකම අතහැර නිවන්මඟ සොයාගෙන ගිය තිදෙනෙකු පිළිබඳ තතු ඉතිහාස කතා ඇසුරේ අදටත් ජන හදවත් තුළ තැන්පත්ව ඇත.
කෙසේ නමුදු සක්විති රජකම නැත්නම් සක්විති රජ කෙනෙකු සතු ස්වභාවය පිළිබඳව පොතපතෙහි පැහැදිලිව සටහන් කර තිබෙනවා. ඉතා දැහැමින් රාජ්‍ය කරවමින් මුළු ලොවටම අධිපතිව සියලු සතුරන් පරදා දිනා සත්රුවනින් යුක්තව මහා දේහයකින් යුතුව ප්‍රිය උපදවන්නාවූ සියලු ගුණාංගයන්ගෙන් යුතු සක්විති රජ කෙනෙකුට සප්ත රත්නයන් භුක්ති විඳින්නට ලැබෙන අතර එය කිසිවෙකුට සම කළ නොහැකි මෙලොව කිසිවෙකුට උරුම නොවන මහා ලැබීමකි.
එහිදී සක්විති රජ කෙනෙකුට පමණක් ලැබෙන සප්ත රත්නය නම් චක්‍ර රත්නය, මණි රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, ගණපති රත්නය, පරිනායක රත්නය, ස්ත්‍රි රත්නය යන සත්විද ලැබීමයි. මේ සියලු රත්නයන් ලැබීමට වාසනාව ලද පුණ්‍යවන්තයින් තිදෙනෙකු බුද්ධ කාලයේ බිහි වී තිබේ. ඒ අතරින් පළමු වැන්නා වන්නේ ගෞතම නමින් බුද්ධත්වයට පත් සිද්ධාර්ථ කුමරුය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි අසමසම කාය ශක්තියකින් හෙබි වූ සිද්ධාර්ථ කුමරුන් තමාට උරුම වන්නට තිබූ සක්විති රාජ සම්පත් අතහැර ගෞතම බුද්ධ රාජ්‍ය දිනාගන්නා අදහසින් ගිහිගෙයින් නික්ම ගියේ සියලු ලෝ වැසියන් ගැන අනුකම්පාවෙනි. ඒ වටිනා නිර්වාණය අවබෝධ කර ගනිමින් ලෝවැසියන් දුකෙන් මුදාගන්නා අදහසිනි.
එහි දෙවැන්නා සිද්ධාර්ථ කුමරුගේ මළනුවන් වූ නන්ද කුමරුය. නන්ද කුමරු සුද්ධෝදන රජුගේත් මහා ප්‍රජාපතී දේවියගේත් පුත්‍රයාය. ඔහුද සක්විති රජකම උරුමව තිබූ ඊට අවශ්‍ය සියලු භාග්‍යයන් සපුරා තිබූ පින්වන්ත කුමරෙකි. නන්ද කුමරුටද දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිහිටා තිබූ බව පොතපතේ සඳහන් වෙයි. නන්ද කුමරුට වාසය සඳහා සුවිසල් වූ අති සුඛෝපභෝගී මහා මාලිගාවක් ගොඩනඟා තිබූ අතර එම මාලිගයට පදිංචියට යෑමේ උත්සවය යෙදී තිබූ දිනටම නන්ද කුමරු හා ජනපද කල්‍යාණියගේ විවාහ මංගල්‍යයද නියමිතව තිබුණි. ඒත් සමගම කුමරුගේ අභිෂේක මංගල්‍යයද එදිනම යෙදී තිබිණි.
එම විශේෂ දිනයේ තවත් විශේෂිතම කටයුත්තක් සඳහා කටයුතු යොදා තිබූ අතර, ඒ සම්බුදු රජාණන් වහන්සේට දානය පිළිගැන්වීමයි. ඒ අනුව උන්වහන්සේ දන් වළඳා ආපිට විහාරයට වැඩම කරන මොහොතේ තමාට යෙදී ඇති සියලු විශේෂ වැඩ පසෙකලා උන්වහන්සේගේ පාත්‍රය රැගෙන විහාරය තෙක්ම බුදුන් වහන්සේ පසුපසින් ගමන් කරන්නට නන්ද කුමරු කටයුතු කළේය. එසේ විවාහය තෙක් පැමිණි නන්ද කුමරුන්ගේ ශ්‍රද්ධාව හඳුනාගත් බුදුන් වහන්සේ නන්ද ඔබ පැවිදි වෙනවා දැයි විචාළහ. එසේය ස්වාමීනි යැයි පවසා නන්ද කුමරුද ඒ මහා සම්බුද්ධ ශාසනයේම උතුම් පැවිදි බව ලබා ගත්තේය. ඒ අනුව නන්ද කුමරුද සක්විති රජකම පෙනි පෙනී අත්හළ කෙනෙකු ලෙස ඉතිහාස පොත්වල ලියැවිණි.
සක්විති රජ සුවය අත්හළ තුන් වැන්නා ලෙස ඉතිහාසයේ හමුවන්නේ සිද්ධාර්ථ කුමරුන්ගේ පුත්‍රයා වන රාහුල කුමරුන්ය. සිය පියා මෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂයන්ගෙන් හෙබි රාහුල කුමරුද සක්විති රජ කිරුළේ උරුමය ලද්දකු වන අතර, ඒ සඳහා භාග්‍යයන් සුදුසුකමක් සපුරා තිබූ අයකු ලෙසද සඳහන් වේ.
තම පියාගෙන් දායාද ඉල්ලාගෙන පැමිණි සත් හැවිරිදි රාහුල පුතුට සම්බුදු පියාණන්ගෙන් ලැබුණේ සම්බුද්ධ ශාසනයේ පැවිදි බව නැමැති දායාදයයි. එයින් මතු සසුන්ගතව උස්මහත් වන තුරු ගතකළ රාහුල කුමරුන් නිසි කල වැඩි පසු උතුම් අර්හත්වයට පත් වූයේ, බුදු පියාණන් වහන්සේ දේශනා කළ චූල රාහුලෝවාද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසුවය.
මෙලෙස සක්විති රාජ සම්පත් භුක්ති විඳින්නට වාසනා මහිමය ලද්දෝ තිදෙනෙකු ඒ මහා සැප සම්පත් පෙනි පෙනී අතහැර උතුම් නිර්වාණ සුවය සොයා ගමන් කළ අතර ඉන් ලෝක සත්වයාටම සිදුවූ යහපත අතිවිශාලය.
කුමාර රත්නායක











