1818 නිදහස් අරගලයේ ඉහළින්ම කියැවෙන නාමය වනුයේ මොණරවිල කැප්පෙටිපොල මහ දිසාවයි. එකී අරගලයේ වීර සෙන්පතියා වූ හෙතෙම දේශය වෙනුවෙන් දිවිය කැපකොට සිය නාමය මෙරට ඉතිහාස පොතේ රන් අකුරින් ලියා මේ වන විට වසර දෙසිය ගණනක් පසුකොට අවසන්ව ඇතත් අදටත් එකී නාමය කිසිවකුගේ හදවත් තුළින් මැකී ගොස් නැත්තා සේම මතුවටත් එලෙසම රැඳී තිබෙනවාට සැකයක්ද නැත.
කැප්පෙටිපොල මහ දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයයි. ඔහුගේ පිය රාජාධි රාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහවී සිටි අතර මේ දෙපළට දරුවන් තිදෙනකු වූහ. දියණිය ඇහැලේපොල කුමාරිහාමිය. වැඩිමහල් පුතු රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොල නොහොත් කැප්පෙටිපොල මහ දිසාවේය.
කෙසේ නමුදු මෙරට උන්නතිය උදෙසා අපරිමිත සේවාවක් කළ කැප්පෙටිපොල මහ දිසාවේ සිය ජීවිතයේ අවසන් කාලය ගත කළේ මාතලේ හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොල මහ වලව්වේය. පෞරාණිකත්වය අභිමානය සුරැකෙන අයුරින් ඉදිකළ කැප්පෙටිපොල මහ වලව්ව කැප්පෙටිපොල මහ දිසාව මාතලේ දිසාව භාරව කටයුතු කරද්දී ඉදිකරවූවකි.
හුලංගමුව ගම්පියසේ පර්චස් 120ක භූමියක ඉදිකර ඇති මෙම වලව්ව කාමර 16කින් යුතු සුවිශේෂ ගොඩනැගිල්ලක් ලෙසද සඳහන් කළ හැකිය.
හෙළ ගෘහ නිර්මාණ සම්ප්‍රදායන්ගේ සුවිශේෂ නිර්මාණ අංග රැසක් මෙම වලව්ව තුළ දැකගත හැකිය. 18 වැනි සියවසේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් මෙහි පෙන්නුම් කෙරෙන අතර උස අඩි 30ක් පමණය. දිගින් අඩි 40ක පළලින් අඩි 25කුත් වන මෙහි එක් බිත්තියක් අඟල් 16ක් තරම් ඝනකමින් යුතුව ඉතා ආරක්ෂිත සහ ශක්තිමත් අයුරින් නිමවී තිබේ. බිත්ති බැඳිමේදී සිමෙන්තිවලින් තොරව මැටි බදාම විශේෂයක් භාවිත කර තිබීමද දැකිය හැකිය. ඉහළ වටිනාකමින් යුත් දැව යොදා සකස් කළ වහල දොර ජනෙල් ආදිය සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකට අනුව නිර්මාණය කර ඇති අතර මහල් දෙකකින් යුතුව වලව්ව නිර්මණය කිරීමද විශේෂත්වයකි.
උඩු මහලේ සඳලුතල දෙකකි. එමෙන්ම දැවමය නිමාවක් සහිත උඩුමහලේ බිම කාගේත් සිත් ඇදබැඳ ගන්නට සමත් අපූරු නිර්මාණයකි. සඳලුතලයේ ආරක්ෂිත වැට මෙන්ම දෙපසින් ඉහළට පියනගන පඩිපේළි දෙකද කාගේත් සිත් ඇදගන්නා ආකාරයට නිමවා තිබේ.

එකල කැප්පෙටිපොල දිසාවේගේ අභිමානය කියැවෙන පරිදි රජකුට පවා වාසයට සුදුසු අයුරින් නිර්මාණය කර ඇති මෙම වලව්වට පිවිසුමට අශ්ව ලාඩමක හැඩයෙන් සාදා නිම කළ ප්‍රධාන දොරටු දෙකකි. බරාඳයෙන් විසිත්ත කාමරයට පිවිසීමට දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමයර දිගින් අඩි 40කි. පළලින් අඩි 15කි. මෙහි හරි මැද බිත්ති ආරුක්කුවකි. ඒ අසලම කෑම කාමරයකි. කෑම කාමරයට පිවිසීමටද දොරටු දෙකකි. එසේම කෑම කාමරයේ දිග පළලත් විසිත්ත කාමරයේ දිග පළලට සමානය.
කැප්පෙටිපොල දිසාව විසින් මෙම කෑම කාමරයේදී අලි ඇතුන්ටද ආහාර දුන් බවට පැවසේ. වලව්වේ පළමු කොටසේ වහල සහ මැද මිදුල එහි පෞරාණික බව මනාවට කියාපාන සාධකයන් බවට පත්ව ඇත්තේය. එතරම් ප්‍රෞඪත්වයක් සහිත වලව්වක සිය ජීවිකාව ගෙන යෑමට වාසනාව ලද ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව නුවර කලාවිය පරවාගම කහල්ල ගම් පියසේ සිටින බවට 1818 ඔක්තෝබර් මස 23 වැනිදා අනුරාධපුර පිහිටි බි්‍රතාන්‍යයන්ගේ කඳවුරේ ලෙෆ්ටිනන්ට් විලියම් ඕනිල්ට ඔත්තුවක් ලැබී, එහිදී බි්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්විය. ඒ අනුව 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාවේ සහ මඩුගල්ල නිලමේ බෝගම්බර වැව අසලදී හිස ගසා මරාදැමීමට නියම විය.
කැප්පෙටිපොල දිසාව සිය ආරක්ෂාව උදෙසා නිතරම සිය ඉණෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතක සඳහන් කළ ධම්මපද ගාථාවක් භාවිත කළ අතර, හිස ගසා දැමීමට ප්‍රථම එදින උදෑසන කැප්පෙටිපොල දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. ඉන් පසු එය ධම්ම පදය සහිත පුස්කොළ පොත අතට ගෙන එහි පද කිහිපයක් මුමුණා තමා අසල කඩුව අමෝරා සිටින වධකයා දෙස නිර්භීත සේයාවකින් බලා, ‘බොල එක කඩු පහරින් මගේ ගෙල සිඳදමව’ යැයි පවසා ඉතිපිසෝ ගාථාව කියවා තිබේ. ‘අරහං’ යන වචනය කියවුණේත් හිස කඳින් වෙන් වූයේත් එකම මොහොතක බවටද විවිධ ජනප්‍රවාද ඔස්සේ අදටත් පැවැත එයි.
ඉන් පසුව එංගලන්තයට ගෙන ගිය කැප්පෙටිපොලගේ හිස විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර හිස් කබල ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කෙරිණි.
පසුකාලීනව එය මෙරටට ගෙන්වා 1954 නොවැම්බර් 26 වැනිදා මහනුවර මහ මළුවේ ශ්‍රී දළදා වහන්සේ අබියස ස්මාරකයක් ඉදිකර එහි තැන්පත් කර තිබේ.
තම උපන් රට වෙනුවෙන් ණය නොවූ නිර්භීත සෙන්පතියකු ලෙස දේශය නිදහස් කරගැනීම උදෙසා ලෙයින් කඳුළින් දහඩියෙන් දායකත්වය දැක්වූ නායකයකු ලෙස කැප්පෙටිපොල විරුවා අදටත් මෙරට ජන සමාජයේ කාගේත් සිත් තුළ ආදරණීය චරිතයක් ලෙස අනුස්මරණීයව සිටින්නේය.
කුමාර රත්නායක











