1690දී අප්‍රිකාවෙන් ලංකාවට
කෝපි ගසේ මුල් රට අප්‍රිකාවය. බොහෝ පුරාණ කාලයක සිට අරාබිවරු කෝපි වැවූහ. 1690 දී පමණ ලන්දේසීන්ට ලංකා පොළොවේ කෝපි වගාකොට ලාභ ලබාගැනීමේ අදහස පහළ වීමත් සමග ඔවුහු මුලින්ම මීගමුව සහ කෑගල්ල යන ප්‍රදේශ දෙක මුල් කරගනිමින් කෝපි වගාව ආරම්භ කළහ. එහෙත් ක්‍රමයෙන් දියුණු කරමින් පැමිණි එම කෝපි වගාව ඉන් වසර 50කට පමණ පසු අත්හැර දැමුණු අතර කෝපි වගාවේ පළමු පියවර එසේ විය.
ජනයාගේ වුවමනාවට තැන තැන කෝපි
ඌව වැනි කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වූ ජනයා සිය ආහාර සැකසීමේදී ව්‍යංජන රස කිරීම පිණිස කොළ ලබාගැනීමටත් වැඳුම් පිදුම්වලට මල් ලබාගැනීමටත් සුළු වශයෙන් කෝපි වගා කිරීමට උනන්දු වූහ. මෙසේ වැවූ කෝපි ගස්වල පලදාව එකතුකොට තබාගෙන සිටීමට ඔවුහු හුරුවූ අතර පහත රට ප්‍රදේශවල ජීවත්වූ මුස්ලිම් වෙළෙන්දෝ එම ප්‍රදේශවලට ගොස් කෝපි එකතු කොට පිටරට යවා ආදායම් ඉපයූහ.
කෝපි ප්‍රචලිත කළ බාන්ස් සහ බර්ඩ්
ඉංග්‍රීසින්ගේ යුද්ධ හමුදාවේ උසස් නිලයන් දැරූ ජෝර්ජ් බර්ඩ් සහ ආණ්ඩුකාර බාන්ස්ද මෙරට කෝපි වැවීම මහා පරිමාණයෙන් කළ යුතු යැයි විශ්වාස කළ දෙදෙනෙකි. ඒ අනුව බාන්ස් පේරාදෙණියට නුදුරු ගන්නොරුව වත්තේ කෝපි වැවීම ආරම්භ කළ අතර බර්ඩ් 1824දී ගම්පොළට නුදුරු සිංහාපිටිය වත්තේ කෝපි වැවීම ආරම්භ කරන ලදී.
මෙයින් මෙරට කෝපි වගාවේ අලුත් පරිච්ඡේදයක් ලියවිණි.