වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි සිංහලයන්ට ආඩම්බරයෙන් මතක් කළ හැකි විශිෂ්ට රාජ්‍ය පාලනයන් රැසක් හිමිව තිබුණේය. කිසිදා කිසිදු අයකුට යුදමය බලතලවලින් පාගා යටත් කරගන්නට නොහැකි වූ ඒ මහා හෙළ නායකත්වයන් මහ රජු රාවණ යුගය දක්වා ඈත අතීතයට විහිදී යන අතර, එතැන් පටන් සිංහලේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දක්වාම ඉතා නිර්භීතව මෙරට රජවරු කටයුතු කළ අයුරු අදටත් ආඩම්බරයෙන් සිහිපත් කළ හැකිය. කිසිදා කිසිදු බලවේගයකට බිය නොවූ හෙළ රජ දරුවෝ දිවි පරදුවට තබා හෝ තම යුතුකම් ඉටු කළහ. ලෝකයම හොල්ලපු පෘතුගීසින්ට පවා අමතක නොවන පාඩමක් ඉගැන්වීමට එවකට හෙළයේ අභීත රජකු වූ සීතාවක රාජසිංහයන්ට හැකි වූයේ ඒ නිර්භීතකම නිසාමය. එහෙත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිංහලයාට වැරැදුණු සහ පරාජය අත්වුණු සෑම තැනකම පාවාදීමක අඳුරු සෙවණැල්ලක් ඇති බව අකැමැත්තෙන් හෝ පිළිගන්නට සිංහලයාට සිදුවේ. අභිමානවත් හෙළ රාජාවලිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් කරන්නටත් ඒ මහා පාවාදීම හේතුපාදක වූ බව අමතක නොකළ යුතුය.
හෙළ උරුමයන්ගේ අභිමානය කියාපාන රාවණ යුගය ගැන බොහෝ ඉතිහාස පොතපතෙහි කතා නොකළද විජය රජුගේ රාජාභිෂේකයෙන් පසුව අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවකට පසුව සිංහලේ අවසන් රාජධානිය ලෙස කන්ද උඩරට රාජධානිය ගැන සඳහන් කළ හැකිය.
ඉහළ ආරක්ෂාවක් සහිත ස්වාභාවිකවම ආරක්ෂිත වටපිටාවක් ගොඩනැගුණු අභිමානවත් රාජධානියක් වූ කන්ද උඩරට රාජධානිය, සෙංකඩගල මධ්‍යස්ථානය කරගෙන සේනාසම්මත නම් ප්‍රාදේශීය රජු කන්ද උඩරට රාජධානිය ගොඩනැඟුවේය. එහෙත් ක්‍රි.ව. 1591දී පළමුවැනි විමලධර්මසූරිය රජු කන්ද උඩරට අභිෂේක ලැබූ පළමු සිංහලේ රජු විය. ඉන් ඇරැඹුණු කන්ද උඩරට රාජධානිය පිළිවෙළින් රජවරු කිහිප දෙනකු යටතේම පාලන කටයුතු සිදුකෙරුණේය.
ඒ අනුව ක්‍රි.ව. 1789දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරට අවසන් රජු ලෙස කන්ද උඩරට රාජධානියේ පාලන කටයුතු භාරගත්තේය. එදා අනුරාධපුරයෙන් ඇරැඹි රාජ්‍ය පාලන යුගයන්හිදී විවිධ කාලවකවානුවල විවිධ රජවරුන්ට නොයෙකුත් අභියෝගයන්ට සතුරු ආක්‍රමණයන්ට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් ඒ කිසිදු තැනකදී හෙළ රජවරු රට පාවාදුන්නේ නැත. ඔවුහු නොබියව සටන් කළහ. එළාර රජු රටේ කොටසක පාලන බලය නතු කරගනිමින් ජනතාව තළා පෙළා දැම්මේය. පීඩාවට පත් කළේය. නමුත් මේ සියල්ලම වැඩි කාලයක් කරන්නට දුටුගැමුණු රජු ඉඩදුන්නේ නැත. හෙතෙම එළාරට එරෙහිව සටන් කළේය. අවසානයේ එළාර පරදා රට එක්සේසත් කර මිස පසුබැස්සේ නැත.
ලෝකයම හොල්ලපු පෘතුගීසින් ප්‍රථම වරට මට්ටු වුණේද අපේ හෙළ රජ දරුවන් අතිනි. ඒ, සීතාවක රාජධානියට පත් ටිකිරි කුමරුගේ මෙහෙයවීමෙන් මුල්ලේරියාවේදී සිදුකළ මහා සටනින්ය. ඒ අයුරින් බැලූ කල ලෝකයට බලය පෑ කොයි බලවතාත් හෙළ දීපයට පහර දීමට විත් අපේ රජ දරුවන් අතින් මට්ටුවී ඇති වග පැහැදිලි වන්නේය.
මේ සියල්ල එසේ සිදුවෙද්දී අභිමානවත්ව ඉදිරියට පැමිණි හෙළ රාජ්‍ය පාලනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නට තිබූ අවස්ථාව කන්ද උඩරටින් පාවාදීමකට ලක්වූයේ සියල්ල උඩු යටිකුරු කරමිනි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තමන්ට රජකම ලබාගැනීමේ අභිලාසයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකරවීමට මහාදිකාරම් වූ පිළිමතලව්වේ කටයුතු කළද රජවීමෙන් පසු රජු නායක්කාරවරුන්ගේ වචනයට අවනත වන බව තේරුම් ගෙන උරණ වූ පිළිමතලව්වේ, ඉංග්‍රීසින් සමග ලිපි හුවමාරු කරගත්තේය. පසුව අවිස්සාවේල්ලේදී නෝර්ත් ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කළද එය එතරම් සාර්ථක නොවීය. පසුව ජනරාල් මැක්ඩොනල්ඩ් සාමකාමී ගිවිසුමකට රජු හමු වුවද එයද සාර්ථක උත්සාහයක් නොවීය.
මේ කාලයේ කන්ද උඩරට රජු හා ඉංග්‍රීසින් අතර විරසකය දලුලා වැඩුණේය. ඒ, 1802 දී ඉංග්‍රීසින්ට යටත්ව තිබූ ප්‍රදේශයේ සිට කන්ද උඩරටට පුවක් සොයාගෙන පැමිණි මුස්ලිම් වෙළෙඳුන් පිරිසක් කන්ද උඩරටදී කොල්ලකෑම හේතුවෙන් 6,000ක සේනාංක දෙකක් පැමිණ මහනුවර කොල්ලකා පිටව යෑම හේතුවෙනි. මේ සිදුවීම ගැන කෝපයට පත් රජු ඉංග්‍රීසින්ට විරුද්ධව හංවැල්ලේදී මුහුණට මුහුණ සටන් කරන ලද අතර ඉන් දෙපිරිසටම සිදුවූ විනාශය අතිවිශාලය. ඉන් පසු 1804දී විශාල සේනාවක් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේදී සිංහල සේනා ඉතා නිර්භීතව සටන් කොට කන්ද උඩරට ආරක්ෂා කරගත්තේය.
මේ කාලයේ නෝර්ත් ආණ්ඩුකාරවරයා වෙනුවට ජනරාල් මේට්ලන්ඩ් පත්ව ආ අතර, ඔහු කන්ද උඩරට රජු හා සාමකාමී පිළිවෙතක් අනුගමනය කරන ලදී. මේ වකවානුවේ රාජසිංහ රජු පත්තිරිප්පුව සහ නුවර කිරි මුහුද නිර්මාණය කිරීමේ කටයුතු කරගෙන ගියද ඊට පිළිමතලව්වේ මහාදිකාරම් තදින් විරුද්ධ විය. ඊට විරසක වූ රජු අදිකාරම්ගේ සියලු තනතුරු අහිමි කළේය. මේ සම්බන්ධයෙන් රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ අදිකාරම්ගේ බෑණා ඇතුළු හත්දෙනකුට මරණ දඬුවම ලබාදීමට රජු කටයුතු කළේය.
මේ කාලයේ මහාදිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ, සබරගමුවට පිටත් කළ හෙයින් රජු හා ඇහැලේපොළ අතර විරසකයක් ඇතිවීමෙන් ඇහැලේපොළ ඉංග්‍රීසින් හා එක්වූයේය සියල්ල උඩු යටිකුරු කරමිනි. මේ සමගම ඇහැලේපොළ පවුලේ සෙසු සාමාජිකයන්ට රජු ලබාදුන් දඬුවම් ඉතා අමානුෂික වූ හෙයින් ඇහැලේපොළ අදිකාරම්ගේ සිතේ ඇතිවූ කේන්තිය දෙගුණ තෙගුණ කරවූවාට සැකයක් නැත.
මේ කාලයේ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ අතර, පෙර සිදුවූ විවිධ සිදුවීම් සම්බන්ධව රජු ගැන කේන්තියෙන් සිටි බ්‍රවුන්රිග් ඇහැලේපොළගේ සහාය ඇතිව රජුට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ඒ අනුව හෙළ රාජාවලිය අවසානයට රතු එළි දල්වමින් ඉංග්‍රීසි සේනාවන්ට මඟ පෙන්වමින් ඇහැලේපොළගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසි සේනාව කන්ද උඩරට ආක්‍රමණය කරන ලදී. ඒ අනුව එම සේනාවන්ට සියලු රහස් මාර්ග සහ උපක්‍රම ගැන ඇහැලේපොළගේ ගුරුහරුකම් ලැබීමෙන් රජුගේත් සිංහල සේනාවන්ගේත් බලය පරාජය කිරීමට පහසු වූ හෙයින් මොල්ලිගොඩ නිලමේ ඇතුළු පිරිස පලා ගියහ. තම බලය බිඳී ඇති බව වටහා ගත් රජු බෝමුරේ ආරච්චිගේ උඩුපිටිය නිවෙසට පලාගොස් ආරක්ෂා සිතව සැඟවී සිටියේය. එම ස්ථානය පිළිබඳවද ඇතැම් පාවාදෙන්නන්ගෙන්ම ඔත්තු ලබාගත් එක්නැලිගොඩ ඇතුළු පිරිස රජු සොයාවිත් අල්ලාගන්නා ලදුව රජුට සහ බිසෝවරුන්ට අමුනුෂික වධ හිංසා පමුණුවන ලදී. රජුට කස පහර දෙමින් පයින් ගමන් කරන්නට බල කළද ඒ මොහොතේ රජු ඊට විරුද්ධව සිටියේය. තමන් කිසිම හේතුවක් මත පයින් ගමන් නොකරන බවට රජු ප්‍රකාශ කර ඇති අතර ඇතැම් සිංහලයන් රජුට විවිධාකාර වධ හිංසා පමුණුවමින් ඉංග්‍රීසින්ගේ සිත් දිනාගන්නට කටයුතු කළ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ අවස්ථාවේ රජුගේ ගෞරවය පිළිබඳ තේරුම් ගත් ඩොයිලි, දෝලාවකින් රජු ඇතුළු පිරිස රැගෙන යෑමට කටයුතු කළ බවද ජනප්‍රවාදයේ එයි. එම දෝලාව ඔසවාගෙන ගියේද ඉංග්‍රීසි හේවායන් හතර දෙනකු බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
කෙසේ නමුදු එලෙස ඉංග්‍රීසින්ට කන්ද උඩරට පහසුවෙන් අල්ලා ගන්නට හැකි වූයේ රට තුළ ඇති ප්‍රශ්න රට තුළම විසඳා නොගැනීම නිසා එකිනෙකා විරසකව දෙකට බෙදී කටයුතු කිරීමෙන් බව පැහැදිලිව පෙනී යන්නේය. එසේ නොකරන්නට කිසිදා කිසිවකුට හෙළ රාජාවලිය හකුළා තබන්නට හැකි නොවන බව කවුරුත් අවබෝධ කරගත යුතුව තිබේ.
කුමාර රත්නායක











