සීතල සුළං රැලි උස් කඳු මුදුන් අතරින් හමාගෙනවිත් සිරිපා මළුවේ හාත්පස විසිරි යමින් තිබිණි. මෙය වරක් දෙවරක් නොව දවසේ පැය විසිහතර පුරාවටම අඩුවැඩි වෙමින් සිදුවන්නකි. අවාරය නිසාවෙන් එදින සිරිපා බිමේ සිටියේ මුරකරුවන් දෙදෙනා පමණකි. නිරන්තරයෙන් හිමිදිරියේ අවදි වීමේ පුරුද්දක් තිබූ වැඩිමල් මුරකරු වෙනදා මෙන්ම කලින්ම අවදි වූයේ වෙනදා නොදැනුණු අමුත්තක් දැනීමෙනි. හෙතෙම යම් කලබලයකින් නැඟිටගෙන, විශ්‍රාම ශාලාව අතරින් ඇවිදගෙන විත් මළුවට ඇතුල් වන දොරටුව දෙස බැලුවේ කුතුහලයෙනි. කාගේ හෝ රුවක් මළුවේ සක්මන් කරන අයුරු දුටු මුරකරු කලබලයෙන් එදෙසට දිවගියේ අවාරයේ පැමිණි කෙනෙක් දැයි සැකයෙනි. එහෙත් කිසිවකුත් එහි පෙනෙන්නට නොසිටි අතර, සිරිපාද පත්මය අබියස මල් අසුනක් මත තිබූ සුවඳ හමන මල් දෝත මුරකරු නෙත ගැටුණේ එවෙලේය.
මින් පෙර එතරම් සුවඳවත් මල් දැක නැති වග සිතමින් කලබලයෙන් ආපසු සිය සගයා අසලට ගිය මුරකරු මේ පුවත පවසා ඔහුවද කැඳවාගෙන ආවේ ඒ විස්මිත අසුන පෙන්වන අදහසිනි. එහෙත් ඔවුන් ආපසු එද්දි ඒ මල් දෝත එහි දක්නට නොතිබිණි.
මේ එක් සිදුවීමක්ම පමණක් වූ අතර, මෙවැනි බොහෝමයක් අත්දැකීම් එවකට සිටි සිරිපා බිමේ කටයුතු කළ අයට අත්විඳින්නට සිදුව ඇති බව අසන්නට ලැබේ.
සිරිපා සමය නිම වීමෙන් පසු එළැඹෙන්නේ අවාරයයි. අවාරයට සිරිපා බිම ජනයාගෙන් තොර කලාපයක් බවට පත්වන්නේ ස්වභාවධර්මයට ඉඩ හසර ලබා දෙමිනි. මේ අවාර සමයේ කලාතුරකින් සිරිපා බිමෙන් නික්මෙන ඝාණ්ටාර හඬත් අසල ගම්දනව්වල ජනයාට ඇසෙන බව පැවසෙනවා. ඔවුන් පවසන ආකාරයට එම ඝාණ්ටාර හඬින් යම් අසුබ සිදුවීමක් ගැන අනාවැකියක් පවසන බවයි විශ්වාසය. ඒ අනුව එවකට සිරිපාද ස්ථානයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වූ දින මේ ඝණ්ටාර හඬ ඇසුණු බවටත් ගම්වැසි ජනයා පවසති.
අවාර සමයේ විවිධ අවස්ථාවන්හි විශාල නඩයක හඬ මුරකරුවන්ට ඇසුණු අවස්ථා අනන්තවත් ඇති බවත් එසේ ඇසුණද එවැනි නඩයක් නොපැමිණි බවත් ඔවුන් පවසා ඇත්තේ සිය විස්මිත අත්දැකීම් විස්තර කරමිනි. පසළොස්වක පොහෝ දිනවලත් ඇතැම් විශේෂිත දිනවලත් බෙරහඬ, සක්හඬ, නිතර නිතර ඇසෙන බව බොහෝ දෙනෙකු අත්දැක තිබේ.
බොහෝ කලකට පෙර දිනෙක දහවල් මුර රාජකාරියේ යෙදී සිටි මුරකරුවන් දෙදෙනෙකු සිරිපා මළුවේ වන්දනාමාන කටයුතුවල යෙදෙමින් සිටින පූජ්‍ය උතුමකු දැක තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා දානය පිළියෙල කර එම පූජ්‍ය උතුමන්ට පිළිගන්වා ඇති අතර, දානය පිළිගෙන මුරකරුවන්ට ස්තුති කළ එම පූජ්‍ය උතුමාණන් ඔවුන්ට සමුදී පිටව ගොස් ඇතත්, මුරකරුවන් ආපසු හැරී බලද්දී එවැන්නකු පඩිපෙළ මත ගමන් කරනු දක්නට ලැබී නැත.
මේ ආකාරයේ බොහෝමයක් හාස්කම් සිරිපා අවාර සමයේ සිදුවන අතර, බොහෝ දෙනකුගේ මතය අනුව සමනල බිමේ ඇති සියලු ගහකොළවල, අතු මුදුන් සිරිපා පද්මය දෙසට නැමී ඇති බවයි පැවසෙන්නේ.
සිරිපා සමය ඇරැඹෙන්නේද මහත් ගරුසරු සහිතවය. ඒ අනුව සමන්දේව ප්‍රතිමාව, ආවතේවකරුවන්ගේ කර පිටින් සිරිපා කන්දේ සමන් දේවාලයට වැඩම කරවීම සිදු කෙරෙන අතර ඒ සඳහා සමන් දෙවියන් නල්ලතන්නියට වැඩම කරවන අතරතුර සැදැහැවත් දානපතීන් විසින් දෙවියන්ට රන් මාලා පලඳනු ලබන අතර එලෙස පලඳන සියලු මාල අවසානයේ එකට එකතු වන බවටත්, එලෙස සෑම වසරකම පරණ මාලයට අලුත් මාල එකතු වී ප්‍රමාණයෙන් වැඩි වන බවත් පැවසෙයි.
සිරිපා වන්දනාවට එන සියලු බැතිමතුන් ආරක්‍ෂා කරන්නට සමන් දෙවියන් කටයුතු කරන බව එදත්, අදත් ජනතා විශ්වාසයයි. කිලි, පිලි නොමැතිව සිරිපා බිමට පා තැබීම කාගෙත් යුතුකමකි. එසේ නොවුණු විට විවිධ දුක් දෝමනස්වලට පත්වන්නට සිදුවීමද හාස්කමක් බඳුය. එසේම සිරිපා සමයට කොතරම් වන්දනාකරුවන් පිරිසක් සිරිපා මළුවට පැමිණියත් තදබදයක් ඇති නොවීමද කවුරුත් අත්දැක ඇති සත්‍ය හාස්කමකි. මෙනිසාම කටවරද්දා නොගෙන සිරිපා කරුණා කරන්නට සිතා ගැනීම කාගෙත් යුතුකමකි.
කුමාර රත්නායක