මගේ යාපනයේ මගේ කතාවේ පේරාදෙණිය තුළ තනිවුණු යාපන හීනය සතු එක මතකයක් අදටත් මතකයේ ඇත්තේ කිසිදු නව මතක සායමකට මකනු බැරි ලෙසිනි. එදවස අපි උන්නේ පේරාදෙණිය සරසවියේ අවසන් වසර පන්තියේය. එක දේශනයක් අවසන් වී එළියට පැමිණි ඇසිල්ලකදී හදිසියේම යමෙක් කීවේ ‘අද යාපනේ පුෂ්පරත්නම් සර් ඇවිත් ඉන්නවා…’ යනුවෙනි. යාපනේ සිට පැමිණි මහාචාර්ය පී. පුෂ්පරත්නම් දකින්නට අපිට වූයේ කුතුහලය මුසු කැමැත්තකි. එය අපි කැමැති නළුවකු දැකගැනීමට වූ කැමැත්ත මෙන් වූ හැඟීමකි. ඇතැම් විටෙක පතපොතෙහි දුටු පුෂ්පරත්නම් සර් බලන්නට අවශ්‍ය වුවද ඔහු සමග කතා කළ යුත්තේ මොනවාදැයි කියා නිනව්වක් තිබුණේ නැත. ගෙදරට අමුත්තකු ආ විට කුඩා කල දොර රෙද්දට මුවාවී බලන අයුරින් අපි පුෂ්පරත්නම් සර් දෙස බැලුවෙමු. මගේ මිතුරිය චිත්‍රමාලා තරංගනී එවක උන්නේ ‘නාණක විද්‍යාව’ හෙවත් පුරාණ කාසි පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීමේ කැමැත්තෙනි. ඒ නිසාම තරංගනීට අවශ්‍ය වූයේ මේ විද්වතා සමග කතාකරන්නටත් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන වගට කියවා තිබූ කාසි පිළිබඳ අසන්නටත්ය.
ප්‍රධාන කලාගාර ගොඩනැගිල්ලේ පිහිටි දෙමළ භාෂා දෙපාර්තමේන්තුව ඉදිරිපිට කොරිඩෝවේ උන් ඒ අමුත්තාට ළං වීමට හිත පසුබෑවද මට ඔහු සමග කතාකරන්නට නැතත් ඔහු දෙස ළඟින් බලන්නට තිබූ ආශාව නිසාම ‘යමු යමු ගිහින් කතාකරමු’ කියා මම මගේ මිතුරිය තල්ලු කරගෙන පුෂ්පරත්නම් සර් වෙත ගියෙමි. එදා මට කතා කළ දේ මතක නැතත්, තාමත් පුෂ්පරත්නම් සර් අපේය යන හැඟීමක් හිතට එයි. ඒ, ඔහුත් අපිත් පුරාවිද්‍යාවට සම්බන්ධ නිසා මෙන්ම අපි මුලින්ම දැනහඳුනාගත් යාපනේ අයකු නිසා එහෙම හිතෙනවා දැයි මා නොදනිතත් ජේතවනාරාම ව්‍යාපෘතියේ පුහුණුව ලැබීම නිසා එය ‘අපේ ජේතවනය’ වූවා සේම, පුරාවිද්‍යාව, යාපනේ ජීවත් වූ පුෂ්පරත්නම් සර් නිහඬවම අපේ විය. මේ වන විට කීප වතාවක් පුෂ්පරත්නම් සර් මුණගැසුණද, වචනයක් කතා නොකළද කවුරුහරි යාපනේ යැයි කී පමණින් මට පුෂ්පරත්නම් සර් ගැන කියවේ. මේ සියල්ල මගේ හිතේ තිබූ යාපනය කෙරේ වූ උන්මාදය නිසා හෝ අපේ යටිහිත යාපනයෙන් බලාපොරොත්තු වූ හිතවත්කම කෙරේ වූ රික්තකය යම් පමණකින් හෝ පුරවා ගැනීමේ හැඟීමද විය හැකිය. කෙසේ වුවද ඊළඟ වතාවේ යාපනේ ගිය විට ඔහු හමුවීමට මම අදිටන් කර සිටිමි.
අදටත් මගේ මිතුරියත් මමත් හමුවී අපේ අතීත කතා රසවිඳින කල මේ නම් ගම් අපි කතාකරන්නේ ‘අපේම’ කෙනකු ගැන කතාකිරීමේ හැඟීමෙනි. එදා වගේම ඔහු අපි පිළිගනු ඇත. මෙදා ඔහු මුණගැසෙන විට ඔහුගෙන් අහන්නට, දැනගන්නට බොහෝ දෑ ඇත. එක වචනයක්වත් කතානොකර අපි මේ හැටි ආදරේකින් ගෞරවයකින් ඔවුන් වෙත බැඳී ඇත්නම් අපි සැබෑවට ඔවුනොවුන් එකට මුසුවී නම් එකිනෙකා වෙත කොපමණ ගරුත්වයකින් ආදරයකින් කටයුතු කරාවිදැයි යන්නට උදාහරණ අවශ්‍ය නොවේ. පුෂ්පරත්නම් සර්ගේ මතකය ළඟට සිටිනා ඊළඟ මතකය ‘කබිලන් අයියා’ය.
කබිලන් අයියා සොයා කොඩිකාමම් යන්නට මේ දැන් මම දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගැනීමට මාතර ස්ටේෂමට යා යුතුය. එන්න කැමැති කෙනකු වේ නම්, එන්න මාත් එක්ක.

මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ