අනංගයා, මල්සරා එහෙමත් නැත්නම් ආදරයට, ප්‍රේමයට, කාමයට අධිපති මිනිස් සිත තුළ රාගී හැඟුම් ඇතිකරවීමේ වගකිව යුත්තා මල්සරා යැයි කියයි. විටෙක තම සිතැඟි පරිදි විරුද්ධ ලිංගිකයකු වසඟ නොවූ කල අපට තව මල්සරා විද නැතැයි කටකතාවට කියන පුරුද්දක්ද වෙයි. කෙනකු ඕනෑවට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි යොමුවන විටද එහි වගකීම භාර කරන්නේ මල්සරාටය. කල වයස ගෙවීයන තුරු විවාහයක් හරි නොයන විටද මල්සරාට බැණවදින්නෝ අනන්තවත් සිටිති. ගැහැනුන් පිරිමින් තුළ රාගය ඇතිකරන්නට සමත් වන්නේද මල්සරාම බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. මල්සරා තම අත නිතරම උක්දඬු දුන්නක් සහ මල්හී සරයක් තබාගෙන සිටින බවත්, සුදුසු පුද්ගලයන් දුටු විට වහා ක්‍රියාත්මක වී හීසර විදින බවත් ජන විශ්වාසයයි. ඇතැම් ගැහැනුන් පිරිමින් අධික ලෙස කාමාශා ඇතිව කටයුතු කිරීමත් බොහෝ අය කෙරේ පෙමින් බැඳීමත් අනංගයාගේ හීසර නළලට වැදීමෙන් සිදුවන්නක් බවටත් ජනප්‍රවාදයන්හි එයි.
එසේ බලන විට මල්සරා යනු ලෞකික ජීවිතය රසවත් කරවන ගැහැනුන් පිරිමින් අතර සබඳතා ඇතිකරවන අයෙකි. මල් හීසර වැදුණු පසු ගැහැනුන්ට පිරිමින් නොමැතිවත්, පිරිමින්ට ගැහැනුන් නොමැතිවත් වෙසෙන්නට බැරි බවයි පැවසෙන්නේ.
රාගයට කාමයට ආදරයට සම්බන්ධ මල්සරා යනු කාමාවචර දෙව්ලොවට අධිපති බවටත් විශ්වාසයක් ජනප්‍රවාදයේ එයි. මේ කාම ලොව බලවතා මෙරට සුවිශේෂ ස්ථානයකදී ඔබට දැකබලා ගන්නට ලැබෙන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. එම ස්ථානය වෙන කොහේවත් නොව තොටගමුව විහාරයයි.
ඔබට ඇතිවන ඊළඟ ප්‍රශ්නය විහාරයකට අනංගයා ආවේ කුමටද, කෙලෙසකද යන්නය. ඒ පිළිබඳ මතවාදයන් රාශියකි.
තොටගමුව විහාරය සතුව අලුත් විහාරය සහ පරණ විහාරය ලෙස වෙන් කළ පිළිම ගෙවල් දෙකක් ඇති අතර, මෙහි අලුත් විහාරය මහනුවර රාජධානි සමයට අයත් වන්නක් බව හඳුනාගෙන තිබේ. එහි විහාරයට ඇතුළු වන ශාලාවේ සිට විහාර ගර්භයට පිවිසීම සඳහා ඉදිකළ දොරටු දෙකකි. ඒ සඳහා විශාල මකර තොරණ දෙකක්ද ඉදිකර තිබේ. මේ සුවිශේෂ මකර තොරණ දෙක අතර ස්ථානයේ අනංග දේව ප්‍රතිමාව ඉදිකර තිබෙනු දැකගත හැකිය. ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි මේ අනංග දේව ප්‍රතිමාව තොටගමුව විහාරයට පමණක් ආවේ කෙසේද යන්න පිළිබඳ මත රාශියකි. ඇතැම් විට මල්සරා, කාමාවචර දෙව්ලොවට අධිපතිව හිඳ කාමයට මුල්ව කටයුතු කර බුදුහිමියන්ගේ බුද්ධත්වයට බාධා කළ අයකු සේ සලකා මොහුගේ මූර්තියක් විහාරය තුළ ඉදිකරන්නට ඇතැයි මතයක් ගොඩනැගෙන අතර, තවත් මතයක් වන්නේ මෙම අනංග මූර්තිය අනෙක් මූර්ති මෙන් බිත්තියෙන් වෙන්ව නොසාදා බිත්තියට අල්ලා සෑදීමෙන් විහාරය තුළදී කාමය රාගය මෙල්ල කෙරෙන බව හැඟවීමට උත්සාහ ගත් බවයි. කෙසේ නමුත් මෙම අනංග රූපය කුමන අදහසින් මූර්තිමත් කළද තොටගමුව විහාරය අන් සියලු විහාර අතර විශේෂිත විහාරයක් කරන්නට මෙම මූර්තිය සමත්ව ඇති බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි තොටගමුව විහාරය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා සබඳතා ඇති බවට පැවසේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී සිදුවූ බව කියන සුනාමි තත්ත්වයකදී පොළෝ තලය මුහුදට බිලිවීම වළක්වා ගැනීමට තොටගමු විහාරයේ දිසා පිළිමවහන්සේ වඩාහිඳුවා ලක්බිම බේරාගත් බවට මතයක් වෙයි. ඒ බව ගිරා සංදේශයේද සඳහන් කර ඇත.
දේවානම් පියතිස්ස රජුගේ සොයුරු මහානාග කුමරු මෙම විහාරය කරවූ බවටද ජනප්‍රවාදයේ එයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩවිසූ විහාරය මෙය නිසාම මෙරට අතිශය ප්‍රසිද්ධියක් උසුලන අතර 15 වැනි සියවස වන විට උසස් විද්‍යා පීඨයක් ලෙස පැවත ඇත. එමෙන්ම යටත් විජිත සමයේ ජරාජීර්ණ වූ විහාරය නැවත කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ප්‍රතිසංස්කරණය වූ බවද පැවසේ.
කෙසේ නමුදු දෙස් විදෙස්හි ප්‍රසිද්ධියට පත් ශ්‍රී රාහුල හිමියන් මෙන්ම උන්වහන්සේ වැඩවිසූ මෙම විහාරයද දෙස් විදෙස්හි ප්‍රසිද්ධව ඇති අතර ඊට බලපෑ තවත් සාධකයක් ලෙස මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
කුමාර රත්නායක