මහාවංශය, දීපවංශය, වංසත්ථප්පකාසිනිය ආදී පාලි වංස කථා පරිශීලනය කිරීමේදී ලාටරට්ඨ නම් රාජ්‍යයෙහි සීහපුර නම් අගනුවර සිට සීහබාහු නම් රජතුමා රාජ්‍ය කළ බව සඳහන්ය. එතුමාගේ වැඩිමහල් පුත්‍රයා වන විජය සිංහල රාජධානියෙහි රාජ්‍ය පෙළපතෙහි ඇරඹුම සනිටුහන් කළ බවද තව දුරටත් දක්වා ඇත. එකල පැවැති රාජ්‍ය පැවැත්ම හා සියලුම යටත් වැසියන්ගේ ගෝත්‍රික ජීවන රටාවට අනුගත නොවන අයුරින් විජය සිය ජීවන ගමනෙහි අයහපත් හැසිරීම දුටු සීහබාහු රජතුමා කල ලබා දිය හැකි උපදෙස් හා අනුශාසනා සිය ජ්‍යෙෂ්ඨ පුතණුවන්ට කොතෙක් දුන්නද නිසි මඟට ගැනීිමට නොහැකි වූ තැන සිය වැඩිමහල් පුත්‍රයා වූ විජයව ඔහුගේ සගයන් සත්සියයක්ද සමඟ රටින් පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි. එකල ඉන්දියාවේ වෙරළ ආසන්නයෙ පැවැති නැව් තොටුපොළ දෙකක් වූ භාරුකච්චයෙන් හා සුප්පාරක නැව් තොටින් ගොඩවීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී. අවසානයේදී ඔහු සිය සගයන්ගේ සහාය ඇතිව දිවයිනකට පා තබා එය තම්බපණ්ණි ලෙස නම් කළ බවද සඳහන් වේ.
ඔවුන් තම්බපණ්ණි ලෙස නම් කළ දිවයින එකල ජනාවාසව පැවැතිණි. ඒ වන විට වැසියෝ එදිනෙදා ජීවිතයේ ආහාර පරිභෝජනයට අවශ්‍ය සහල් ආදී ධාන්‍ය වර්ග ගබඩා කොට, විලි වසාගැනීමට අවශ්‍ය ඇඳුම් පිළියෙල කිරීමට අවශ්‍ය කපු කටිමින්, තම තමන්ගේ බඩු බාහිරාදිය ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් බල්ලන් හීලෑ කොට ඇති කළහ. එකල මේ දිවයිනෙහි ජීවත් වූ යක්ෂ ගෝත්‍රික ජනයා සිරිසවත්ථු හා ලංකා නගර යන නගර දෙකක් ද පිහිටුවා ගත් බව සඳහන් වේ. සිය උත්සව අවස්ථාවන්හි සංගීතයෙන්, ගීත ගායනයෙන් විනෝදමත්ව කාලය ගත කළ බවද දැක්වේ. එපමණක් නොව යක්ෂ ගෝත්‍රිකයන්ගේ නායකයා වූ අයෙක් රාජ්‍යත්වයට පත් කර කිසියම් සලකුණක් ද පැලැඳ රාජ්‍යත්වයේ කටයුතු කළ බවද සඳහන් වේ.
විජය යක්ෂ ගෝත්‍රික තරුණියක හා විවාහගතව සිට ඇයගේ සහාය ලබමින් ජීවත් වූ ඔහු අවසානයේදී සිය ජන්ම භූමිය වූ ඉන්දියාවෙන් රාජකීය පෙළපතකට හිමිකම් කියන ක්ෂත්‍රිය බිසවක ගෙන්වා නැවත විවාහ ප්‍රාප්තව සිටිමින් මුල් යක්ෂ ගෝත්‍රික කාන්තාව අත්හැර දැමූ බවද පසු කලෙක යක්ෂ ගෝත්‍රිකයන් විනාශ කර තම්බපණ්ණි ප්‍රදේශයෙහි නගරයක් පිහිටුවාලීමට කටයුතු කොට සිය රජ මාලිගය එහි තනාගත් බවද දැක්වේ.
ඒ වන විට ඔහු සමඟ පැමිණි සත් සියයක් පමණ පිරිසෙන් කොටසක් තම්බපණ්ණි දිවයිනෙහි රට ඇතුළට ගමන් කොට හෝ නැවත ඉන්දියාවට සේන්දු වී එකට ප්‍රසිද්ධ ස්ථාන කරා ගොස් ජනාවාස ඉදිකර ගත් බවද සඳහන්ය. අද වන විට උතුරු මැද පළාත ලෙසින් නම් කර ඇති ප්‍රදේශයේ විශාල ක්ෂේත්‍රයක් පුරා මෙලෙස ජනාවාසකරණය කරගෙන ඇත.
විජය එවකට තම ජන්ම භූමිය වූ ඉන්දියාවේ පැවැති සිරිත් විරිත්වලට ගරුකිරීම් වශයෙන් තමා තනාගත් අලුත් රාජ්‍යයෙහි නීතිගරුක බව ආරක්ෂා කර ගැනීමට දකුණු මදුරාපුර එවකට පැවැති පාණ්ඩ්‍ය රාජ්‍යයෙන් රජ පරපුරකට ඥාතීත්වයක් දැක්වූ මනාලියක හා සරණ බන්ධන ගත වූ බවද සඳහන්ය. මේ කාලය වන විට මේ තම්බපණ්ණි දේශයේ පොළොවෙන් මැණික් හා මෙම දේශය වටකොට ඇති මහමුහුදෙන් මුතු හා සක් බෙල්ලන් සොයා ගත් බවත්, පාණ්ඩ්‍ය රජුට තෑගි වශයෙන් බොහෝ වටිනා මැණික් හා මුතු ඇට සමඟ අලංකාර සක් බෙල්ලන්ද යැවූ බවද දැක්වේ. එයින් අපමණ සතුටට පත් පාණ්ඩ්‍ය දේශයේ රජ තමාගේම දියණිය විජයගේ මනාලිය ලෙස එවීමට කටයුතු කළේද බොහෝ කාන්තාවන් පිරිසක් සමඟය. එම කාන්තාවෝද මනා සමාජ පසුබිමක් සහිත අය වූහ. එම කාන්තා පිරිස විජයගේ මැති ඇමැති සහ අනුගාමිකයන්ට මනා ලෙස සැසඳෙන අය වූ බැවින් ඒ එකිනෙකා තම මනාප වූ පරිද්දෙන් සරණ බන්ධන ගත වූහ. එකල්හි එදිනෙදා ජීවිතයට අවශ්‍ය විවිධ උපකරණ සැපයූ විවිධ වෘත්තීන්හි නියැළි ශිල්පීහුද මේ තම්බපණ්ණි දේශයට සම්ප්‍රාප්ත වූහ. එම පාණ්ඩ්‍ය රජතුමා විජය රජු හා තම දියණිය වූ බිසවට තෑගිබෝග විශාල ප්‍රමාණයක් එවූ බවද ගමනාගමනය පහසු කිරීමට රජතුමා හා බිසවට සුදුසුම පිළියෙල කළ අශ්ව රිය සමඟ මනා පුහුණු කළ අශ්වයන්ද, අලි ඇතුන් රැසක්ද එවා ඇත. කෘතගුණ සැලකීමක් වශයෙන් විජය රජ තමාගේ මාමණ්ඩිය වූ පාණ්ඩ්‍ය රජුට වසරක් පසා බොහෝ තෑගි යැවූ බවද ඒ අතර කහවණු දෙලක්ෂයක් පමණ මිල කළ හැකි මුතු සහ සක්බෙල්ලන් තිබූ බවද දැක්වේ.
එවකට මේ දෙරටේම වැසියෝ එකම භාෂාවක් භාවිත කළ බවද පාණ්ඩ්‍ය වැසියන් හා සිංහල වැසියන් ලිපි ගනුදෙනු කළ බවද ඔවුන්ගේ සාක්ෂරතාව මනා අයුරින් සංවර්ධනය වී තිබුණු බවටද සාක්ෂියකි. එපමණක් නොව වාද්‍ය භාණ්ඩ භාවිතයද පැවැති බවටද සාක්ෂි ලෙස බෙර දවුල් වාදනයෙන් කිසියම් ආකාරයකට ජනතාව අතර සන්නිවේදනයක් ක්‍රමයක් ද තිබී ඇත. පසුකලෙක පාණ්ඩ්‍ය දේශයේ සිට එරට වැසියෝ මෙරටට මුහුදු මාර්ගයෙන් මහාතිත්ථ හෙවත් මහතොට නම් නැව්තොටට පැමිණියහ.
යක්ෂ ගෝත්‍රික නායිකාවක වූ කුවේණිය විජයගේ පළමු භාර්යාවය. විජයගේ දුරස් වීමත් සමඟ කුවේණිය සිය ගෝත්‍රික ජනයා අතරට ගියේ ස්වකීය පුතණුවන් හා දියණිය සමඟය. පසු කලෙක ඇය වෙතින් වෙන් වූ දරුවෝ තම්බපණ්ණි දිවයිනෙහි මැද පිහිටි කඳු පෙදෙස් වෙත සංක්‍රමණය වූහ. පුලින්ද නම් වූ ජන කොටස පැවැත එන්නේ මෙම දරුවන් වෙතිනි. අද වැද්දන් ලෙස හඳුන්වන ජන කොටස මෙම ආදිවාසීන්ය.
පුරා වසර තිස්අටක් විජය මේ තම්බපණ්ණි නුවර රජ කළ බව ද දැක්වේ. ඓතිහාසික සාධක අනුව මේ ධරණි තලයම එකල විජය ඉතාම සාධාරණව හා සාමයෙන් පාලනය කළේය. කාලය ක්‍රමයෙන් ගත වෙත්ම විජය රජු වෙත මහත් මානසික කම්පනයක් ඇති විය. එනම් ඉතා දුෂ්කර කාලසීමාවක් ගතකොට ගොඩනැංවූ තම රාජධානිය තමාගේ ඇවෑමෙන් පසු භාර ගැනීමට සුදුසු අයෙක් නොවීමයි. හෙතෙම තම එක කුස උපන් නිවුන් සොයුරු වූ සුමිත්ත ගැන අදහසක් සිත තුළ මතුවිය. ඒ අදහස ක්‍රියාත්මක කිරීමේ අදහසින් තම නිවුන් සොහොයුරාට හසුන් පතක් යැවීමට පසුබට නොවීය. නමුත් අවාසනාවක මහත. පිළිතුරු හසුනක් හෝ පණිවුඩයක් ලැබීමට කාලයක් නොලැබිණි. විජය රජු තම ජීවන ගමන නිමා කළේය. එයින් මහත් කම්පනයකට පත් වූ විජය රජුගේ අමාත්‍ය මණ්ඩලය තම අගනුවර වශයෙන් සැලැකූ මුහුදුබඩ පෙදෙසක් වූ තම්බපණ්ණි රාජ්‍යය අද අනුරාධපුරය ලෙස හඳුන්වන, එකල්හි හැඳින්වූ උපතිස්ස නම් ගම් පියස වෙතට ගෙන ගියහ. එහි සිට ඔවුහු නව රජතුමා වශයෙන් ක්ෂත්‍රිය කුමරකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් යහපාලනයක් ගෙන ගියහ. මෙය සිංහල රජදහන පිළිබඳ ආරම්භයයි.
ගුණරත්න බණ්ඩාර











